මානසික රෝග යනු කිසිලෙසකින්වත් සමච්චලයට ලක් කළ යුතු දෙයක් නොවේ. ශාරීරික රෝගී තත්ත්වයන් මෙන් ම මානසික රෝගී තත්ත්වයන් ද නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් සුව කර ගත හැකි ය.
සාමාන්‍ය පුද්ගලයකුට එවැනි රෝගී තත්ත්වයක් ඇති වූ විට එහි බලපෑම එල්ල වන්නේ එම පුද්ගලයාට හෝ ඔවුන්ගේ පවුලේ අයට පමණි. කෙසේ වෙතත් රටක හෝ රටවල් කිහිපයක රාජ්‍යත්වය දරන අයකුට එවැනි තත්ත්වයක් හට ගත් විට එහි බලපෑම ඔවුන්ගේ පාලනය යටතේ සිටින සාමාන්‍ය ජනතාවට ද එල්ල විය හැක.
මෙම ලිපිය යම් යම් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු එවැනි අතීත රජවරුන් කිහිප දෙනකු පිළිබඳව යි.
1. බැබිලෝනියාවේ නෙබුකඩ්නේසර් රජු (ක්‍රිස්තු පූර්ව 604-562)
ලෝක ඉතිහාසයේ මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු පළමු රජු ලෙස සැලකෙන්නේ නෙබුකඩ්නේසර් රජු ය. ඔහු පිළිබඳ ව පැරැණි තෙස්තමේන්තුවේ ද සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට ඔහු එක්තරා ජන කොටසක් ඇදහූ දෙවි කෙනකු පිළිබඳ ව විශ්වාස නොකළ බැවින් පහර කෑමකට පවා ලක්ව තිබේ.
ඉන් අනතුරුව ඔහුට වැලඳුණු මානසික රෝගී තත්ත්වය නිසා ඔහුගේ හැසිරීම සතකුගේ හැසිරීම හා සමාන වී තිබේ. ඒ නිසා ම මෙම රජු සිය මාලිගයෙන් බැහැරට ගොස් කැලෑබද ප්‍රදේශයක වසර හතක පමණ කාලයක් ජීවත් වූ බව කියැවේ. එය පසුකාලීනව යුදෙව්-ක්‍රිස්තියානි ජනයා අතර ප්‍රසිද්ධ, රසවත් කතන්දර රැසකට ප්‍රස්තුතය වී තිබේ.
2. රෝම අධිරාජ්‍ය කැලිගුලා (ක්‍රිස්තු වර්ෂ 12-41)
රෝම ඉතිහාසයේ සඳහන් වන කැලිගුලා රජු සිය සුඛ විහරණය පිණිස වන විවිධ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කිරීමේ උමතුවකින් පෙළුණු අයකු බව කියැවේ. වරක් ඔහු සිය හමුදාව ලවා විශාල මුදලක් වැය කර පාවෙන පාලමක් සකස් කර තිබේ. එම පාලමෙන් ඔහු සිය අශ්වයා පිට නැඟ ගමන් කර ඇත්තේ එක් වරක් පමණි.
තවත් වරක් ඔහු මුහුදේ ඇති සියලු බෙලිකටු හිස්වැසුම්වලට එකතු කරන ලෙස සිය හමුදාවන්ට අණ දී තිබේ. ඉතා උස, මවිල් පිරුණු ශරීරයකින් යුක්ත වූ තමන් ඉදිරියේ එළුවන් පිළිබඳ ව කිසිවක් පැවසීම ද ඔහු සියලු දෙනාට තහනම් කර තිබිණි. එක්තරා අවස්ථාවක ඔහු අශ්වයකු සඳහා සුඛෝපභෝගී නිවසකට සමාන ගොඩනැඟිල්ලක් ඉදිකරවා දී තිබේ. එම අශ්වයා ම කොන්සල්වරයකු ලෙස උසස් කිරීමට ද ඔහු සැලසුම් කළේ ය. කෙසේ වෙතත් අශ්වයා එම තනතුරට පත් කිරීමට පෙර කැලිගුලා අධිරාජ්‍යයා මිය ගියේ ය.
3. එංගලන්තයේ හයවැනි හෙන්රි (1421-1471)
විලියම් ශේක්ස්පියර් රචිත කොටස් තුනකින් යුතු නාට්‍යයක ප්‍රස්තුතය වූ හයවැනි හෙන්රි රජු සිය පළමු උපන් දිනයටත් පෙර රාජ්‍යත්වයට පත් විය. කෙසේ වෙතත් සිය රාජධානියට අයත් ඉඩම් ප්‍රංශයට යටත් වීම නිසා ඔහු පසුකාලීන ව උමතු බවට පත් විය. කිසිවිටෙක ශක්තිමත් පාලකයෙක් නොවූ ඔහු පළමු වරට සම්පූර්ණයෙන් ම මානසික රෝගී තත්ත්වයකට පත් වූයේ 1453 වසරේ දී ය.
ඒ නිසා ඔහුට වසරකටත් වැඩි කාලයක් පුරාවට කිසිවකුත් සමඟ කතාබහ කිරීමට නොහැකි විය. ඉන් අනතුරු ව තාවකාලික සුවයක් ලද ඔහුගේ තත්ත්වය 1456 වන විට උග්‍ර අතට හැරිණි. පසුව හමුදා ප්‍රධානීන් පිරිසක් ඔහු අල්ලාගෙන 1461 දී ස්කොට්ලන්තයට පිටුවහල් කර තිබිණි. 1470 දී නැවැත රාජ්‍යත්වයට පත් වූ ඔහු 1471 දී මිය ගියේ ය.
4. චීනයේ ෂෙන්ග්ඩේ අධිරාජ්‍යයා (1491-1521)
චීනයේ ඉපැරණි රාජවංශයක් වූ මින්ග් රාජවංශයට අයත් වූ ෂෙන්ග්ඩේ අධිරාජ්‍යයා මෝඩකම සහ කෲරත්වය යන ගතිගුණ දෙකට ම ප්‍රසිද්ධ විය. කිසිදු ප්‍රයෝජනයක් නොමැති හමුදා මෙහෙයුම් වැනි දේ ක්‍රියාත්මක කිරීම සඳහා විශාල මුදලක් වැය කළ ඔහු මනඃකල්පිත ජෙනරාල්වරයකු පිළිබඳව ද නිරන්තරයෙන් කල්පනා කළේ ය. සිය පාලන සමයේ පළමු වසර පහ තුළ ලියු ජින් නමැති පුද්ගලයකු අධිරාජ්‍යයේ උසස් තනතුරකට පත් කිරීමට ඔහු කටයුතු කළේ ය.
කෙසේ වෙතත් ඇති වූ මත ගැටුමක් නිසා ඔවුන් දෙදෙනා වසර පහක් වැනි කාලයකට පසු අමනාප වූ බැවින් ලියු ජින් මරා දැමීමට අධිරාජ්‍යයා තීරණය කළේ ය. පණපිටින් සිටිය දී, දින තුනක් පුරාවට ඔහු කුඩා කොටස් වශයෙන් කපා දමන ලෙස ෂෙන්ග්ඩේ වධකයන්ට නියෝග කළේ ය. (දෙවැනි දිනයේ දී ජින් මිය ගොස් තිබේ).
කලක සිය සමීපතමයකු වූ ලියු ජින් මරාදැමීම සඳහා අධිරාජ්‍යයා භාවිත කළ ක්‍රමය ඔහුගේ කෲරත්වය කොතරම් ද යන්න මනාව පිළිබිඹු කරයි. ඔහුගේ මෝඩකම කෙතරම් ද යත් ඔහුගේ අදහස වූයේ බත්, මුතු ඇට පිසීමෙන් සකස් කරගන්නා ආහාරයක් බව යි.
5. කැස්ටීලයේ ජොආනා (1479-1555)
වර්තමාන ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශ ගණනාවක එකතුවක් ලෙස පාලනය වූ කැස්ටීලයේ සිහසුනට උරුමකම් කියන පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසු වූ ජොආනා ගේ මව්පියන් වූයේ එවකට සිහසුන දැරූ ඉසබෙලා සහ ෆර්ඩිනන්ඩ් යන දෙදෙනා යි. ඇය වයස අවුරුදු 16 දී පමණ පිලිප් නමැති තරුණයකු සමඟ විවාහ වූවා ය. සිය මව හදිසියේ අභාවයට පත් වීමත් සමඟ ජොආනාට සිහසුන හිමි වූ නමුත් සිහසුන හිමි කරගැනීමේ අරමුණින් පිලිප් ඇය සිරගත කළ බව කියැ වේ.
1506 දී පිලිප් මිය ගිය අතර ඇයට නැවත වරක් සිරගත වී සිටීමට සිදු විය. ඊට හේතුව ඇගේ පියා වූ ෆර්ඩිනන්ඩ් නැවත සිහසුන දැරීම යි. ෆර්ඩිනන්ඩ් ද 1516 දී මිය ගිය බැවින් ජොආනා සහ ඇගේ නව යොවුන් වියේ පසු වූ පුත්‍රයා (චාර්ල්ස්) රාජ්‍යත්වයට පත් විය. එවර ද ඇය සිරගත කර තැබීමට චාර්ල්ස් කටයුතු කළේ ඇය තනි ව සිහසුන දරතැයි බියක් ඇති වූ හෙයිනි.
1520 දී එක්තරා කැරලිකරුවන් කණ්ඩායමක් ඇය නිදහස් කර ඇය රාජ්‍යත්වයට සුදුසු බව නිවේදනය කළහ. කෙසේ වෙතත් ඒ වන විට දීර්ඝ කාලයක් තිස්සේ සිරගත වී සිටි ඇය එම පීඩනය නිසා ඇති වූ මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු බව කියැවේ.
6. රුසියාවේ අයිවන් (1530-1584)
රුසියාවේ සාර් රජ පෙළපතේ පළමුවැන්නා ලෙස සැලකෙන අයිවන්, එරට පාලන තන්ත්‍රයේ වෙනස්කම් ගණනාවක් ඇති කළේ ය. වංශවත් පවුල්වල සාමාජිකයන්ට වධහිංසා පමුණුවා ඔහු විශාල සතුටක් ලැබූ බව කියැවේ. රාජ්‍ය පාලනය පිළිබඳ ව කලකිරුණු ඔහු 1564 දී ඉල්ලා අස්වීමට තීරණය කළත් බොහෝ දෙනකුගේ ඉල්ලීම මත එම ඉල්ලා අස්වීම කල් දැමුවේ ය.
1581 දී ඔහු සිය පුත්‍රයා සහ ඔහුගේ බිරිය මරා දැමූ අතර ඊට හේතුව ඔහු යම්කිසි මානසික ව්‍යාධියකින් පෙළීම බව කියැවේ. එවැනි දරුණු අපරාධයක් කර තිබුණු අයකු වීම සහ මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු අයකු වීම කෙසේ වෙතත්, ඔහු ප්‍රංශය තුළ වඩාත් ගෞරවයට සහ ආදරයට ලක් වූ අයෙකි.
7. එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් (1738-1820)
තුන්වැනි ජෝර්ජ් රජු යම්කිසි මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු බවට තහවුරු වන හොඳ ම සාක්ෂිය එක්තරා කාව්‍ය නිර්මාණයක “මහලු, පිස්සු, අන්ධ, ගර්හාවට ලක් වූ සහ මිය යමින් සිටින රජෙක්” ලෙස ඔහු පිළිබඳ ව සඳහන් වීම ය. 1765 දී පළමු වරට ඔහු තුළ මානසික රෝගී තත්ත්වයක රෝග ලක්ෂණ පහළ විය. ඊට හේතුව ඔහුගේ රාජ්‍ය කාලය තුළ සිදු වූ අමෙරිකන් විප්ලවය සහ ප්‍රංශ විප්ලවය වැනි සිදුවීම් නිසා ඇති වූ පීඩනය නිසා බව ද කියැවේ. 1810 දී ඔහුගේ පුත්‍රයා, රජු ලෙස නම් කිරීමට එරට පාර්ලිමේන්තුව තීරණය කිරීමත් සමඟ ඔහුගේ මානසික රෝගී තත්ත්වය වඩාත් උත්සන්න විය.