බුදු දහම රැක ගැනීමටත්, ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසාත් මහඟු මෙහෙවරක් කළ, විසිවන සියවසේ වැඩ විසූ අග්‍රමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් ගැනයි අද ලිපියෙන් කතා කරන්නේ.
ළමා කාලය
ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ගිහි කළ නාමය විලියම් වන අතර කුඩා කාලයේදී පුංචි මහත්තයා යන නමින්ද ආමන්ත්‍රණය කරනු ලැබුවා. බලංගොඩ කිරිඳිගල උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි මහතාගේත්, බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවගේත් දරුවා වූ විලියම්ට වයස අවුරුදු 14දී ඔහුගේ මව මිය යනවා. ඉන්පසු විලියම් පියාගේ වැඩිමල් සොහොයුරාගේ නිවසේ සිට බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලබන අතර වයස අවුරුදු 15දී පැවිදි වීමට තීරණය කරනවා.
පැවිදි දිවිය
උන්වහන්සේ 1911 මාර්තු 02 වන දින බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේදී සාමණේර පැවිද්ද ලැබුවා. ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වූයේ දහමාහාන ධම්මානන්ද තෙරුන් වහන්සේ වන අතර උපාධ්‍යයන් වහන්සේ වූයේ දෙනියායේ ශීලානන්ද තෙරුන් වහන්සේයි. ආනන්ද මෛත්‍රීය හිමියන් 1916 ජූලි 14 වැනිදා බලංගොඩ උළුගංතොට උදකුඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලැබුවා. 1919 වර්ෂයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළුව අධ්‍යාපනය ලද උන්වහන්සේට 1922දී එම විද්‍යාලයේම බුදු දහම පිළිබඳ ආචාර්ය තනතුර හිමි වෙනවා.
පෙර භවය ගැන ප්‍රකාශ
භාවනාවෙන් සිත දියුණු කළ ආනන්ද මෛත්‍රීය හිමියන් 1997 ජූලි මස 07 වැනිදා උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදී තම පෙර භවය පිළිබඳවද අදහස් දක්වා තිබෙනවා.
ඇතැමුන් පවසන පරිදි වසවර්ති මාරයා යනු කෙළෙස් නොවන බවත් ඔහු පුද්ගලයෙක් බවත් උන්වහන්සේ දේශනා කරනු ලැබුවා. වසවර්ති මාරයා මේ ලෝකය තණ්හාවෙන් සහ කාමයන්ගෙන් පිරී පවතිනවාට මහත් කැමැත්තක් දක්වනවා. සිද්ධාර්ථයන් බුද්ධත්වය ලබන විටත් වසවර්ති මාරයා එයට බාධා කළ බව සඳහන් වෙනවා.
ලොව පුරා බුදු දහම පැතිර යාම වැළැක්වීමටත්, බුදු දහම විනාශ කිරීමටත් ඔහු පිරිසක් මෙලොවට එවා තිබෙනවා. දෙව්ලොව සිටින මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙය දැනගත් පසුව, බුදු සසුන මෙම හානිදායක ක්‍රියාවෙන් ආරක්ෂා කර ගැනීමට උන්වහන්සේට අවශ්‍ය වුණා. ආනන්ද මෛත්‍රීය හිමියන් දේශනා කළ පරිදි මෙම ගැටළුව සාකච්ඡා කිරීම සඳහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ දේව සභාව කැඳවා තිබූ අතර ඒ සඳහා දේව ආත්මයක සිටි උන්වහන්සේටත් ආරාධනා කර තිබුණා.
බුදු දහම යැයි කියා මිථ්‍යා අදහස් පතුරවන පිරිසක් දැනටමත් වසවර්ති මාරයා මනුෂ්‍ය ලෝකයට යවා ඇති නිසා එය වළක්වා ගැනීමට දේව කණ්ඩායමක් යැවිය යුතු බව එහිදී තීරණය වී තිබෙනවා. ඒ කණ්ඩායම සමඟ ආනන්ද මෛත්‍රීය හිමියන්ටත් මනුෂ්‍ය ලෝකයට යන ලෙස මෙෙත්‍රී බෝසතාණන් වහන්සේ පවසා තිබෙනවා.
බුදු දහම රැක ගැනීම
එවැනි කාර්යයකට තමන් වහන්සේගේ ප්‍රබලත්වය අඩු යැයි පැවසු ආනන්ද මෛත්‍රීය හිමියන් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ට කෙදිනක හෝ ලොව්තුරා බුද්ධත්වයට පත් වී ලෝක සත්ත්වයාට පිහිට වීමට අවශ්‍ය බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. එවන් දෙයකට ධෛර්යයක් තිබෙනවා නම් මේ කාර්යයට පසු බැසීමට හේතුවක් නැතැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවසූ පසු මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට එකඟ වූ ආනන්ද මෙෙත්‍රීය හිමියන් මුලින් සඳහන් කළ පරිදි “විලියම්” නමින් මෙහි උපත ලබනවා.
අනගාරික ධර්මපාල තුමා, ඕල්කට් තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා ආනන්ද මෛත්‍රීය හිමියන්ට පෙර මෙලොවට පැමිණි පිරිස අතර සිටියා. මේ කණ්ඩායම නිසා බුදු දහම ලොව පුරා පැතිරීමටත්, එය විනාශ වීම වළක්වා ගන්නටත් හැකි වුණා.
තමන් වහන්සේට අපවත් වීමට නියමිතව තිබුණේ 1983 වර්ෂයේ බවත් ඒ අවස්ථාව භාවනාවෙන් වළක්වා ගත් බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. එක් ආත්මයක ගෞතම බුදුන් වහන්සේ පිටදුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක්ව සිටි බවත්, දෙසිය වසරකට පසුව එම වෘක්ෂය කැපීමත් සමඟම උන්වහන්සේ මිය ගිය බවත්, ඉන්පසුව අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී තමන් උපත ලද බවත් ආනන්ද මෛත්‍රීය හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.
ධූරයන්
1925 වර්ෂයේ ආරම්භ කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ පළමු ධර්මාචාර්යයන් වහන්සේ වූයේ ආනන්ද මෛත්‍රීය හිමිපාණෝයි. උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහායාන බුදු දහම පිළිබඳ මහාචාර්යවරයා ලෙසද කටයුතු කළ අතර 1963 දී එහි බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති ධූරයට පත් වී 1966 වර්ෂයේදී එම විශ්ව විද්‍යාලයේම උපකුලපති ධූරයට පත් වූවා.
ආනන්ද මෛත්‍රීය හිමියන් 1930දී ශ්‍රී ධම්මානන්ද පිරිවෙන ආරම්භ කළ අතර 1954 ජනවාරි 18 වැනිදා සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත් වූවා. 1969 සැප්තැම්බර් 02 වැනිදා සමස්ථ ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති ධූරයටද එතුමන් පත් වීම ලැබුවා.
සේවාවන්
ආනන්ද මෙමත්‍රීය හිමියන් පාලි ත්‍රිපිටකය සිංහලයට නැගීම අරඹා කාලයක් ගතවන විට රජය විසින් එහි වගකීම බාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති ධූරයට පත් කෙරුණා. එසේම අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට උනන්දු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණින් “බලංගොඩ ආනන්ද මෛත්‍රීය පදනම” පිහිටුවනු ලැබුවා.
පදවි සහ සම්මාන
බුදු දහම වෙනුවෙන් කළ සේවයට උපහාර වශයෙන් 1955 දී මියන්මාර රජය විසින් ආනන්ද මෛත්‍රීය හිමියන්ට “අග්ග මහා පණ්ඩිත” යන අභිධානය පිරිනැමූ අතර ඊට අමතරව මියන්මාර රජය විසින්ම ශ්‍රී ලංකාවේ සංඝරාජ පදවියට සමාන වන “අභිධර්ම මහාරට්ඨගුරු පදවිය” ද පිරිනැමුණා. ශ්‍රී ලංකා රජය වෙතින් උන්වහන්සේට “ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද ගෞරව උපාධිය”ත් පිරිනැමුණා.
මීට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් “සාහිත්‍යසූරී ගෞරව අභිධානය” ත්, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් “සාහිත්‍ය චක්‍රවර්තී අභිධානය” ත් උන්වහන්සේට හිමි වුණා. නමුත් ආනන්ද මෛත්‍රීය හිමියන් කිසිදු ආකාරයක පදවියක් හෝ සම්මානයක් කෙරෙහි කැමැත්තක් නොදැක්වූ අතර ප්‍රදානය කළ අයගේ සිත් සතන් සතුටු කිරීම සඳහා පමණක් ඒවා පිළිගනු ලැබුවා.
ග්‍රන්ථ
සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද ග්‍රන්ථ රචනා කළ ආනන්ද මෛත්‍රීය හිමි විසින් රචිත “ශාක්‍යමුනීන්ද්‍රවාවදානය” හෙවත් බුද්ධ චරිතය පාසැල් පෙළ පොතක් ලෙස පිළිගෙන තිබෙනවා. උන්වහන්සේ අභිධර්මය සහ පාලි හා සංස්කෘත ව්‍යාකර ග්‍රන්ථ 50 කට ආසන්න ගණනාවක්ද රචනා කර තිබෙනවා.
විදෙස් ධර්ම දූත මෙහෙවර
ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ප්‍රථම විදේශ ධර්ම දූත මෙහෙවර සිදුවූයේ 1926 වසරේදි ඉන්දියාවේ කේරල ප්‍රාන්තයටයි. මීට අමතරව එංගලන්තය,ඩෙන්මාර්කය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව සහ ස්‌කොට්‌ලන්තය වැනි රටවලත් ධර්ම දූත සේවාවේ යෙදුණු උන්වහන්සේ වසර එකසිය එකක් ආයු වළඳා 1998 ජූලි 18 වැනිදා අපවත් වූවා.
කවරයේ පින්තූරය – www.gossip99.com
මූලාශ්‍ර:
- www.lakehouse.lk
- dahamvila22.blogspot.fr