Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටි “බැරී සීල්”

1960 සහ 1980 දශක අතර කාල වකවානුව ඇමරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතාමත් දරුණු ලෙස පැතිර ගිය යුගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. කොලොම්බියාව ඇතුළු රටවල් ගණනාවක තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ අත මිට මුදල් යහමින් ගැවසෙන තරුණ ඇමරිකානුවන්ට කොකේන් වැනි මත්ද්‍රව්‍ය හුරු කිරීමයි. ඇමරිකානු රජයේ මූලික අවධානය මේ කාල වකවාණුවේදී යොමු වුණේ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් (මේ කණ්ඩායම් හැඳින්වෙන්නේ Drug Cartels නමින්) අල්වා ගැනීමට මෙහෙයුම් දියත් කිරීමයි. ඒ සඳහා ඇතුළු සංවිධාන විවිධ මෙහෙයුම් දියත් කොට තිබුණා.

ඇඩ්ලර් බෙරීමන් “බැරී” සීල්

ඇඩ්ලර් බෙරීමන් සීල් හෙවත් බැරී ඇලන් කියන්නේ ඇමරිකාව මේ අර්බුදයට මුහුණ පා සිටි කාලයේ TWA හෙවත් ට්‍රාන්ස් වර්ල්ඩ් එයාර් ලයින්ස් ගුවන් සේවයේ සේවය කළ ගුවන් නියමුවෙක්. වයස අවුරුදු දහසය වන විට ගුවන් නියමු බලපත්‍රය ලබා ගත් බැරී එකල වාර්තාගත ලාබාලතම ගුවන් නියමුවා වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඉතා අඩු වයසින් ගුවන් නියමුවකු බවට පත් වූ බැරී ඉතා දක්ෂ තරුණ ගුවන් නියමුවකු බව කාටත් රහසක් වුණේ නැහැ. ඇමරිකානු රාජ්‍ය ඔත්තු සේවාවන්ගේ අවධානය බැරී වෙත යොමු වුණේ මේ කාලයේදී යි. ඇමරිකානු රජයේ රහසිගත වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන ගුවන් ගමන් වලට බැරීව බඳවා ගැනුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි.

ඇඩ්ලර් බෙරීමන් “බැරී” සීල් (frontierpartisans.com)

1950 දශකයේදී බැරී වෙත පැවරී තිබුණු කාර්යය වූයේ කියුබානු කැරලිකරුවන් වෙත රහසිගත ලෙස ආයුධ ලබා දීමයි. කුඩා ගුවන් යානාවක මෙම ආයුධ පටවා ගන්නා බැරී හමුදා රේඩාර් පද්ධතීන්ට හසු නොවන ගුවන් මාර්ග ඔස්සේ තම යානය මෙහෙයවා කියුබානු කැරලිකරුවන් වෙත මේ ආයුධ ලබා දීමට කටයුතු කළා. වියට්නාම් සිවිල් යුද සමය වන විට ලාඕස් හි කඳවුරු ලා සිටි ඇමරිකානු විශේෂ හමුදා භට කණ්ඩායම් වලට අවි ආයුධ රැගෙන යාමේ වගකීම පැවරුනේ ද බැරී වෙතයි.

ඇමරිකානු රජයේ ක්‍රියා කලාපය අද වගේම එදත් දෙබිඩි ස්වරූපයක් ගත්තා. ලෝක ප්‍රජාවට තමන් ඉතා සාධාරණ ලෙස කටයුතු කරන බව පෙන්වුවත් ඇමරිකානු රජය තමාට බිම හෙලන්න අවශ්‍ය කර තිබෙන සතුරු රාජ්‍යයේ කැරලිකරුවන්ට අවශ්‍ය සියළුම උපකාර දක්වා සිටියේ එම දෙබිඩි ප්‍රතිපත්ති නියමාකාරයෙන් ක්‍රියාත්මක කරමිනුයි.

මේ ප්‍රවාහන කටයුතු අතරතුරදී බැරී වෙත කොලොම්බියානු මත් කුඩු ජාවාරම්කරුවන්ගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒ, තම මත් කුඩු ඇමරිකානු දේශ සීමා වෙත ප්‍රවාහනය කිරීමේ කටයුත්තයි. දෙවරක් නොසිතා බැරී ඒ ආරාධනය පිළිගන්නේ තමාට උපයාගත හැකි මුදල් කන්දරාව පිළිබඳව සිතා වන්නට ඇති.

1980 දශකය වන විට පබ්ලෝ එස්කොබාර් ඇතුළු ලොව අංක එකේ මත් කුඩු ජාවාරම්කරුවන් සමග ඇමරිකාව පුරා කොකේන් බෙදා හැරි බැරී ඒ සමය වන විට ඇමරිකාව තුළ පිළිලයක් මෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවති මත් කුඩු වසංගතයට වගකිව යුතු ප්‍රමුඛයින් අතුරින් කෙනෙක් බවට පත්ව හමාරයි. කොතරම් ඒ වැඩ වලට හවුල් වුවත්, ආයතනය බැරීගේ එම ක්‍රියා කලාපයන් නොදුටු විලසින් සිටියේ බැරී හරහා තම ආයතනයට ඉටු කරගන්නට අවශ්‍යව තිබුණු නිර්ලජ්ජිත ක්‍රියා නිසාවෙන්මයි. නිකර්ගුවාවේ පැවති යුදමය තත්වයට මග පෑදූ “කොන්ට්‍රාස්” නැමති කැරලි කණ්ඩායම වෙත ආයුධ සැපයුවේද බැරි සීල් බවටයි වාර්තාගත ඉතිහාසය සාක්ෂි සපයන්නේ. කොන්ට්‍රාස්වරුන්ට ආයුධ ලබා දී නැවත් පැමිණෙන විට බැරී විසින් මත් කුඩු නැවත ඇමරිකාවට ප්‍රවාහනය කර ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා.

ගමන් වාර සියයකදී  කොකේන් ටොන් 56ක්

ඇමරිකානු දේශ සීමාව වෙත කොකේන් රැගෙන එන එක් ගමන් වාරයක් සඳහා බැරීට ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් හිමි වුණා. වැඩි කලක් නොයවාම බැරී ඇමරිකා එක්සත් ජනපදයේ එකල විසූ ධනවත්ම පුද්ගලයින් අතරට එක් වුණේ එලෙස උපයාගත් මුදල් සම්භාරය නිසාවෙනුයි. සමස්තයක් ලෙස ගත් විට, බැරී විසින් කොකේන් ප්‍රවාහනය කිරීම සඳහා ගමන් වාර සියයකට වැඩි ගණනක් යොදාගෙන ඇති අතර, ඒ ගමන් වාර තුළදී, කොකේන් ටොන් පනස් හයක් ඇමරිකාව වෙත ගෙනැවිත් තිබෙනවා. එම කොකේන් තොගයේ එකල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන තුනත් පහත් අතර පැවතුණා.

බැරීගේ කතාව රැගත් “American Made” චිත්‍රපටය (thedmonline.com)

හොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ඩග් ලීමන් විසින් බැරීගේ ජීවිත කතාව අළලා මේ වසරේදී අධ්‍යක්ෂණය කරන ලද “American Made” නම් වූ චිත්‍රපටය නැරඹුවහොත් ඔබට මේ සිදුවීම් සියල්ලක්ම නොපමාව නරඹන්නට හැකියාව පවතිනවා. සත්‍ය තොරතුරු සියල්ලක්ම එලෙසින්ම දක්වා නොතිබුණත්, චිත්‍රපටයේ සාර්ථකත්වයට ඉන් හානියක් වී නැහැ. සුපිරි නළු ටොම් කෲස් විසින් බැරී සීල්ගේ චරිතයට පන පොවනු ලබන නිසා මේ චිත්‍රපටය සහ එහි එන දර්ශන ගැන අමුතුවෙන් කීම අවශ්‍ය වන්නේත් නැති තරම්.

සුපිරි නළු ටොම් කෲස් බැරී ලෙසින් (www.youtube.com)

විචාරක පැසසුම් ලබමින් මේ වසරේ අගෝස්තු මාසයේදී ලොව පුරා තිරගත වූ American Made චිත්‍රපටයට IMDB චිත්‍රපට දර්ශකයේ මේ වන විට හිමි ව ඇත්තේ 7.2ක අගයක්. නමුත් මේ චිත්‍රපටයට එරෙහිව තවත් පසෙකින් නැගුණු විශාලතම චෝදනාවක් වන්නේ, එහි එන කිසිදු ක්‍රියාවක සදාචාරාත්මක භාවය හෝ ඇමරිකානු රජයේ ක්‍රියා කලාපයේ සදාචාරාත්මක භාවය පිළිබඳව විවේචනයක් කිරීමට මුළු චිත්‍රපටය තුළ ඉඩක් වෙන් කොට නොතිබීමයි. චිත්‍රපට පමණක් නොවෙයි,  ඩේල් හැන් නැමති කතුවරයා විසින් නමින් “Smuggler’s End: The Life and Death of Barry Seal” කෘතියක්ද බැරීගේ ජීවිත කතාව අළලා ලියැවී තිබෙනවා. චිත්‍රපටයට වඩා සවිස්තරාත්මක වන මේ කෘතියේ අන්තර්ගත වන්නේ සාධක සහිත සත්‍ය තොරතුරුයි.

බැරීගේ අවාසනාවන්ත අවසානය

1983 වසරේ දිනක බැරීව ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය (Drug Enforcement Authority) විසින් දෙන ලද ඔත්තුවකට අනුව ෆ්ලොරීඩා හිදී ඇමරිකානු රේගු නිලාධාරීන් බැරී සීල්ව අත්අඩංගුවට ගන්නේ ඇමරිකානු දේශ සීමා තුලට මත්ද්‍රව්‍ය ඒකක ලක්ෂ දෙකක් ගෙන එමින් සිටියදීයි. CIA ආයතනය බැරීගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලට බලපෑම් නොකළත් මේ අවස්ථාවේදී නම් බැරීව බේරාගන්නට එම ආයතනය උත්සාහ කළේ නෑ. වහාම නීතියේ පිහිට පැතූ බැරී කියා සිටියේ තමා දන්නා සියළු තොරතුරු හෙළි කිරීමට තමා කැමැත්ත පළ කරනා බවයි.

ඒ අනුව, 1984 වසරේ මාර්තු මස පටන් ඔහු රජයේ තොරතුරු සපයන්නෙක් ලෙසින් කොලොම්බියානු හා අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්ඩායම් වලට එරෙහිව සාක්ෂි සපයනවා. මත්ද්‍රව්‍ය ලොවේ රජවරු ලෙසින් නම් දරා සිටි පබ්ලෝ එස්කොබාර් සහ ජෝර්ජ් ඔචෝවා වැන්නවුන් කොටු කරගන්නට මෙන්ම තවත් වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් රැසකට බැරීගේ මේ පාපොච්චාරණ වලින් මග පෑදෙනවා.

මහ මගදී වෙඩි තබා ඝාතනය කරන ලද බැරීගේ සිරුර (www.historyvshollywood.com)

නමුත් කොලොම්බියානු මත් රජවරුන්ගේ සහචරයින්ගෙන් බේරෙන්නට බැරීට හැකියාවක් ලැබෙන්නේ නෑ. 1986 වසරේ පෙබරවාරි මස 19 වන දින සවස ලුවිසියානා ප්‍රාන්තයේ බැටන් රූජ් හිදි සිය කැඩිලැක් කාරය තුළම බැරී මිය යන්නේ හිසට එල්ල වන වෙඩි ප්‍රහාර කිහිපයක් හේතුවෙනුයි. අධික තන්හාව නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඉත්තකු බවට පත් වූ බැරී සීල් එහිම ප්‍රතිඵලයක් වශයෙන් අවසන් ගමන් ගියේ ඒ අයුරිනුයි.

කවරයේ ඡායාරූපය – www.nola.com

තොරතුරු උපුටා ගැනීම – airandspace.si.edu, www.thedmonline.com , www.historyvshollywood.com සහ www.imdb.com වෙබ් අඩවි ඇසුරිණි.

Related Articles