පැසිස්ට්වාදයේ පියා ලෙස ලෝකයා විසින් හදුන්වන ඉතාලියේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය බෙනිටෝ මුසෝලිනි රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස භාවිතා කළ අයෙකි.
පළමු ලෝක සංග්‍රාමයෙන් පසුව තම ෆැසිස්ට් පක්ෂය නිර්මාණය කර ඉතාලියේ බලය පැහැරගෙන,රට දිනෙන් දිනම විනාශය කරා රැගෙන ගිය ඔහුව අවසානයේ දී ඔහුගේ ම ජනතාව අතින් ඝාතනය වෙනවා. ඉතින් අද ලිපිය තුළින් ගෙන එන්නේ ඉතාලිය හෙල්ලූ ඒකාධිපති පාලකයා පිළිබඳව යි. ඒ පිළිබඳව ඔබේ අදහසත් අපට කියන්න.
නොහික්මුණු දඟකාරයා
1833 වසරේ ජූලි 29 වනදා ඉතාලියේ උතුරු මැදට වන්නට පිහිටි කඳුකර ගම්මානයක උපත ලබන බෙනිටෝ මුසෝලිනිගේ පියා වන්නේ වෘත්තියෙන් කම්කරුවෙක් වන අලිසන්ද්‍රෝ (Alessandro) යි. මව වූ රෝසා කතෝලික පාසලක ගුරුවරියක් විය. බෙනිටෝගේ පියා කෙදිනකවත් පාසල් ගිය පුද්ගලයෙක් නොවූවත් ඔහු බුද්ධිමත් සමාජවාදියෙක් බවට ප්‍රදේශය පුරා ප්‍රසිද්ධව සිටියා. ඔහු තම දිවියෙන් වැඩි කොටසක් යොදවන්නේ එම දේශපාලනික කටයුතු සඳහායි. සමාජවාදය දැඩි ලෙස විශ්වාස කළ අලිසන්ද්‍රෝ තම කුළුදුල් පුත්‍රයාට නම තබන්නේ මැක්සිකානු විප්ලවවාදියෙක් වූ බෙනිටෝ ජුවාරෙස් සිහි වීම පිණිසයි.
කුඩා කළ ඉතා බුද්ධිමත් සිසුවෙක් වූවත්, හික්මිය නොහැකි දඟකාරයෙක් ලෙස ඔහු පාසැල පුරා ජනප්‍රිය වෙනවා. කිසිදු ගුරුවරයෙකුට පාලනය කළ නොහැකි වූ මෙම සිසුවා ඔවුන්ට හිසරදයක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව පාසලෙන් ඉවත් කර කතෝලික පියවරුන් යටතේ පාලනය වන වෙනත් පාසලකට යොමු කිරීමට දෙමාපියන්ට සිදු වෙනවා.
එහිදී පියවරුන්ට ද මෙල්ල කළ නොහැකි වූ මුසෝලිනි ශිෂයෙකුට පිහියෙන් අනින අතර ගුරුවරයෙකුට තීන්ත කුප්පියකින් දමා ගසනවා. ඒ හේතුවෙන් එම පාසලෙනුත් ඉවත්කර වෙනත් විද්‍යාලයකට ඔහුව ඇතුළත් කරනවා. කුඩා වියේ සිටම ඔහු සෑම අවස්ථාවකම නායකත්වය සොයා ගිය අතර ඉක්මණින් කෝපයට පත් වෙන බලකාමී පුද්ගලයෙක් විය. ඉගෙනීමට දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු 1901 වසරේදී ගුරුවරයෙක් ලෙස පත් වීම් ලබනවා.
විප්ලවීය දිවියකට නැඹුරු වීම
මාස හතරක වැනි කුඩා කලකින් ගුරු දිවියට ආයුබෝවන් කියන ඔහු 1902 වසරේදී ස්විස්ටර්ලන්තය බලා පිටත් වෙනවා. එහි දී විප්ලවීය කණ්ඩායමකට සම්බන්ධ වන ඔහු වරෙක කම්කරුවෙක් ලෙසත් තවත් වරෙක මස් වෙළෙන්දෙකුගේ සහායකයෙක් ලෙසත් කටයුතු කරනවා.
තම නොහික්මුණු ගති පැවතුම් අත් නොහරින ඔහු ස්විස්ටර්ලන්තයේ දී ගණිකාවන් පසු පස යෑම ආරම්භ කරනවා. එම ගති පැවතුම් කෙසේ වෙතත් ඔහුට ලැබෙන සෑම විවේකි අවස්ථාවකදීම දර්ශනවාදය කෙරෙහි නැඹුරු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කාල් මාක්ස්, ඉම්මානුවෙල් කාන්ට්, ක්‍රෝපොතකින් හා ගුස්ටා ලෙබෝන් වැනි දාර්ශනිකයන්ගේ පොත්පත් කියවා නිමා කරනවා. ඒ අතර ඔහු පල්ලියට,රජ පෙළපතට හා ධනවාදයට විරුද්ධව උද්වේගකර කතා පවත්වමින් ජනයා ප්‍රකෝප කිරීම හේතුවෙන් එරට රජය මගින් වරෙක ඔහුව අත්අඩංගුවට ගන්නවා.
මුසෝලිනි සහෝදරයා
නැවත ඉතාලියට පැමිණෙන ඔහු සමාජවාදී පුවත්පත් රැසකට ලිපි ලිවීම ආරම්භ කරනවා. පුවත්පත් කලාවට ඉතා දක්ෂ වූ ඔහු තමන් හැදෑරු දර්ශනවාදය ද උපයෝගී කරගනිමින් පන්ති සටන නමින් පුවත්පතක් ආරම්භ කරනවා. මේ පුවත්පතේ සාර්ථකත්වය දකින ඉතාලි සමාජවාදී පක්ෂය තම නිල පුවත්පත වූ “අවන්ති” හි කතෘ තනතුර මුසෝලිනිට පිරිනමනවා. පළමු ලෝක යුධ සමයේ පළමුව යුද්ධයට විරුද්ධ වූ ඔහු පසුව එම අදහස වෙනස් කරමින් යුධ හමුදාවට බැඳීමට තීරණය කරනවා. යුද්ධයේදී තුවාල ලැබූ බැවින් නැවත පැමිණෙන අතර පසු කාලයේදී ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඉතාලියේ සමාජවාදී පක්ෂයෙන් ද නෙරපා හරිනු ලබනවා.
ඉතාලියේ ෆැසිස්ට් පක්ෂය ගොඩනැගීම
මිනී හිස් කබල හා කිනිස්ස සංකේතය වශයෙන් යොදා ගනිමින් ෆැසිස්ට් පක්ෂය නිර්මාණය කරන ඔහු ඉතාලියේ දේශපාලන ක්ෂේත්‍රයට ඉක්මණින් අවතීර්ණ වෙනවා. 1921දී පවත්වන ලද මහා මැතිවරණයෙන් නියෝජිත මණ්ඩලයේ ආසන 35ක් දිනා ගැනීමට සමත් වෙනවා. නමුත් මෙම ආසන සංඛ්‍යාව ඉතාලි පාර්ලිමේන්තුවේ සුළුතරක් වූ බැවින් ඔහු බලාපොරාත්තු වූ බලයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නෑ.
සමාජවාදී පක්ෂයට විරුද්ධ වෙමින් ඉතාලියේ බලය අල්ලා ගැනීම
1922 වසරේ අගෝස්තු මාසයේදී ඉතාලියේ සමාජවාදී පක්ෂය විසින් මහා වැඩ වර්ජනයක් සුදානම් කරනවා. මෙය තම අවස්ථාව කරගන්නා මුසෝලිනි එම පක්ෂයට එරෙහි වෙමින් වැඩ වර්ජනය පරාජය කරමින් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරනවා.
ඒ අනුව රජය විසින් මහා වැඩ වර්ජනය මැඩ පැවැත්වීමට කටයුතු නොකළ හොත් එය තමන්ගේ පක්ෂය විසින් මැඩ පවත්වන බව ප්‍රකාශ කරන මුසෝලිනි රාජ්‍ය තම පක්ෂයට භාර දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටින අතර එසේ ලබා නොදුන්නොත් රාජ්‍ය පැහැර ගන්නා බවත් ප්‍රකාශ කරනවා.
තම ප්‍රකාශය අනුව රෝමය වෙත ෆැසිස්ට් පාක්ෂික හමුදාවක් පිටත් කර යවන්නට මුසෝලිනි විසින් කටයුතු කරනවා. යුධ නීතිය පනවා ෆැසිසිට්වාදීන්ගේ ගමන නැවැත්විය යුතු බව රජය විසින් ප්‍රකාශ කලත් රජු එයට අකමැති වෙනවා.
සමාජවාදින්ගෙන් ගැලවීමට සඳහා පැසිස්ට්වාදීන්ගේ උපකාර ලබා ගැනීමට සිතූ රජු, රජය භාර ගන්නා ලෙස මුසොලිනිට ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව රජයේ නායකත්වය ලබා ගන්නා මුසෝලිනිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හා සෙනට් මණ්ඩලයෙන් සහයෝගය හිමි වෙනවා. ඉන් පසු ඔහු තමා සඳහා පුළුල් බලතල සම්මත කරගන්නවා.
තමාට විරුද්ධවන්නන්ට දඬුවම් ලබා දීම
බලයට පත් වූ දා සිටම තම පක්ෂයේ ප්‍රබලයන් ඇතුළු බොහෝ දෙනෙකු පිළිබඳව ඔහු බලන්නේ සැකමුසු ආකල්පයකින්. ෆැසිස්ට් පක්ෂයට විරුද්ධව හඬ නගන්නන්ට මැර කල්ලි යොදා පහර දීම හා අතුරුදහන් කිරීම ආරම්භ කරන මුසෝලිනි තමාට විරුද්ධව පුවත් පළ කරන මාධ්‍යවේදීන්ට හා ඒවා කියවන්නන්ට දඬුවම් කරන ලෙස තම පක්ෂයේ ශාඛා සමිති වල ලේකම්වරුන්ට උපදෙස් දෙනවා.
තමාට විරුද්ධව පුවත්පත් වල ඇති ලිපි මුසෝලිනි විසින්ම කපා ඒවා ප්‍රාදේශීය ශාඛා සමිතිවල ලේකම්වරුන්ට යවා එම පුද්ගලයන් අතුරුදහන් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන්ට දැන් වූ බව සඳහන්.
ක්‍රමයෙන් කුරිරු පාලකයෙක් බවට පත් වූ ඔහු ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය පැවති සමයේ ස්පාඤ්ඤයේ ආඥාදායක ෆ්රැන්කොට සහය දැක්වීම ඉතාලියේ බොහෝ දෙනා විසින් හෙළා දකිනවා. එම විරුද්ධව වීම් නොසළකා හරින ඔහු විරුද්ධත්වය ප්‍රකාශ කරන සෑම පුද්ගලයෙකුටම දඬුවම් කරන ලෙස නියෝග නිකුත් කරනවා. තවද සෝවියට් පාලක ස්ටාලින්ගේ ඉල්ලීම පරිදි ස්පාඤ්ඤයේ ජෙනරාල් ෆ්රැන්කොට එරෙහි ව සිවිල් යුද්ධයට සහභාගී වූ ඉතාලියේ සමාජවාදීන්ව වෙඩි තබා මරා දමන ලෙස අණ කරනවා.
ඒකාධිපතියෙක් බවට
සිය ෆැසිස්ට් පක්ෂය හැරෙන්නට අනෙකුත් සියළුම පක්ෂ තහනම් කර විනාශ කරන අතර තමන්ට අවිශ්වාස ඕනෑම නිළධාරියෙකු ඕනෑම මොහොතකදී නෙරපා හැරීමට ඔහු පසුබට වන්නේ නෑ. තමන්ට විරුද්ධ වන සියළුම දෙනා ඝාතනය කිරීමට නියෝග ලබා දෙනවා. යුධ උන්මාදයෙන් පෙළුණු ඔහු සෑම විටම යුධ ඇදුම් ඇඳගෙන සිටීමටත් හමුදා අභ්‍යාස පැවැත්වීමටත් වඩා කැමැත්තක් දක්වනවා.
1924 වසරේදී රෝම විශ්ව විද්‍යාලය මඟින් මුසෝලිනිට නීතිය පිළිබඳව ආචාර්ය උපාධියක් පිරිනමනවා. එය ලබා ගැනීම සඳහා තමන් කෘතියක් රචනා කරන බව ප්‍රකාශ කරන ඔහු “මකියාවෙලි පිළිබඳව හැදින්වීමක් ” නමින් පොතක් ලියා නිම කරනවා. එහි ඔහු මෙලෙස සටහන් කර තිබෙනවා. “සම්පූර්ණයෙන් පොදු ජනතාවගේ මතය අනුව පාලන තන්ත්‍රයක් ගොඩ නැගිය හැකි වන්නේ නෑ, තමාගේ කැමැත්ත ජනතාව වෙත රැගෙන යාම සඳහා පාලකයා සිය බලය යොදා ගැනීම කරනු ලබයි.”
තවද මුසෝලිනිගේ අනුගාමිකයන් ඔහු පිළිබඳව මිත්‍යා කතා නිර්මාණය කර ඒවා සත්‍ය බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා. එවැනි පුවත් එදිනෙදා පුවත්පත්වල ද පළ කරනු ලබනවා.
අන් කිසිදු ඇමතිවරයකුගෙන් නොවිමසා තමන්ට කැමති ආකාරයට තීරණ ගත් අතර ඔහු දැඩි ලෙස මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටි පාලකයෙක් ලෙස ප්‍රසිද්ධයි.
මරණය
ජර්මනිය හා ජපානය සමඟ එක් වී ඉතාලිය දෙවන ලෝක යුද්ධයේ දී කටයුතු කරන අතර මිත්‍ර හමුදාවන්ගෙන් ඉතාලියට දරුණු පරාජයක් හිමි වෙනවා. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ඉතාලි ජාතිකයන් ලක්ෂ ගණනින් නිරපරාදේ මිය ගියේත් ඉතාලියේ සම්පත් විනාශ වී ගියෙත් මුසෝලිනිගේ ඒකාධිපති තීරණ හේතුවෙන් බව ප්‍රකාශ කරන ජනතාව ඔහුගේ මාළිගාව වටලනවා.
1945 වසරේ අප්‍රේල් මස 28 වනදා ප්‍රකෝප වූ ජනයා මාලිගාව වට කරන අතර ඔහු සහ ඔහුගේ අනියම් බිරිඳ වෙඩි තබා ඝාතනය කරනවා. මරා දැමූ මුසෝලිනිගේ ශරීරයට ජනතාව කෙළ ගැසූ බවත් සදහන් වෙනවා. ඉතින් ඉතාලිය බලෙන් යුද්ධයට තල්ලු කල ඒකාධිපති පාලකයකුගේ ඉරණම ඔන්න ඔය ආකාරයට තමයි නිමා වෙන්නේ.
කවරයේ ජායාරූපය – YouTube