Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1931 මැතිවරණයේ දී සුද්දාට කටින් ගැසූ කොතලාවල

ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සර් ජෝන් කොතලාවල කවදත් අයුක්තියට අසාධාරණයට එරෙහි වූ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා. එම නිසාම දැඩි ලෙස ජනතා ආකර්ෂණයට ලක්වුණු ඔහු 1947 සහ 1952 මහ මැතිවරණවලින් වැඩි ඡන්ද 15000කට වඩා ලබාගනිමින් දොඩංගස්ලන්ද ආසනය ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව 1953 වසරේ ඇතිවුණු හර්තාලය නිසා එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වීමත් සමග අගමැති තනතුරට පත්වූ කොතලාවල සිදුකළ ඇතැම් හිතුවක්කාර වැඩ නිසා 1956 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත අසරණබවට වැටුනා. එනමුත් එවර ද කොතලාවලගේ ආසනය වුණු දොඩංගස්ලන්ද ආසනය ඔහු ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 8000කටත් වඩා ලබාගනිමින්. එතරම් අසීරු අවස්ථාවක වුව ද ජනතා ප්‍රසාදය දිනාගත් කොතලාවල මුලින්ම මැතිවරණයකට තරග කළේ 1931 වසරේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට සභිකයන් තේරීමට පැවති මැතිවරණයේ දී යි. එදා ජවසම්පන්න තරුණයෙකු වුණු කොතලාවල එම මැතිවරණය වෙනුවෙන් අදාල ප්‍රදේශයේ පැවතුණු උත්සවයක දී සුදු ජාතිකයන්ට එරෙහිව කළ කතාවක් නිසා සිංහලයන් අතර වීරයෙකු බවට පත්වුණා. එම නිසාම ඉතාමත් පහසුවෙන් එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළත් වීමට ඔහුට වරම් ලැබුණු ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට පුළුවන්.

1952 ඩඩ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලය (wikipedia)

1931 මැතිවරණය සඳහා කුරුණෑගල ආසනයෙන් සටනට පිවිසි කොතලාවල

1931 වසරේ පැවති මැතිවරණය සඳහා කොතලාවල ඉදිරිපත් වූයේ එවකට විශාල මැතිවරණ කොට්ඨාශයක් වුණු කුරුණෑගලින්. ලාංකීය ජනයාට මුල්මවරට ඡන්ද අයිතිය ලැබුණු මැතිවරණය එය වීම නිසා ජනතාවට අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. එම නිසාම ජනතාව සිය මනාපය ලබාදුන්නේ අපේක්ෂකයන්ගේ බල පුළුවන්කාරකම, තනතුර, වත් පොහොසත්කම්, පරම්පරාව සහ කුලය වැනි දේවල් සලකා බලමින්. එලෙසම එකල ලංකාව ඉංග්‍රීසින්ට යටත්ව තිබුණු නිසා සුදු ජාතික වතු අධිකාරිවරුන්ට තිබුණේ අසීමිත බලයක්. එම නිසාම වෘත්තියෙන් සාමදාන විනිශ්චයකාර තනතුරු සහ නිල නොලත් මහේස්ත්‍රාත් තනතුරු උරුමව තිබුණු ඔවුන්ට එමඟින් සිවිල් සමාජයට ලොකු බලපෑමක් කළ හැකිව තිබුණා. එම අවදියේ එලෙස බලවත්ව සිටි  සුදු ජාතිකයන් පිරිසක් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මඟින් සංගමයක් පිහිටවූ අතර, එම නව සංගමය මඟින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග කරන අපේක්ෂකයන්ට ඔවුන් හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කළා. ඒ, අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සහිත කතා එදින සංගමයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැතිවරණයේ දී ඔවුන්ගේ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා තෝරාගැනීමට යි. එලෙස අපේක්ෂකයන් වෙත නිකුත් කළ ලිපියක් කොතලාවල වෙතට ද ලැබීමෙන් අනතුරුව ඔහු එදා කුරුණෑගල නගර ශාලාවේ පැවති එම උත්සවයට ගියේ වතු කම්කරු ඡන්ද ලබාගැනීමට නම් එම සංගමයේ සහාය අවශ්‍ය වුණු නිසා යි. එදා ඩයිසන් නැමති සුදු ජාතික වතු අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට පැමිණ සිටි සුදු ජාතිකයන්ට පමණක් අසුන් පනවා තිබුණු නිසා අපේක්ෂකයන්ට තම අවස්ථාව පැමිණෙන තුරු පිටත රැඳී සිටින්නට සිදුවුණා. එහිදී මුලින්ම කතාව ඉදිරිපත් කිරීමට නොතාරිස්වරයෙකුට අවස්ථාව හිමිවුණා.

නොතාරිස්ගේ කතාව නිසා කොතලාවලගේ රතු කට්ට පනී

මේ නොතාරිස්වරයා තම කතාව ඇරඹීමට පෙර එක් එක් සුද්දා ඉදිරියට ගොස් වැඳවැටී නමස්කාර කළා. ඉන්පසුව ඔහු බැගෑපත් හඬින් සිය කතාව අරඹමින් ප්‍රකාශ කර සිටියේ තමා කුරුණෑගල මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුවහොත් “සුදු මහත්තුරුන් කියන විදිහටම වැඩකිරීමට කැමති” බව යි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ නොතාරිස්වරයා, සිංහලයන්ට වැරදී ඇත්තේ සුදු මහත්වරුන් කියන විදිහට වැඩ නොකිරීමෙන් බවත්, සිංහලයන් කවදා හෝ දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ සුදු මහත්වරුන් කියන හැටියට වැඩ කිරීමෙන් බවත් කීමත් සමග ඔහුගේ කතාව අනුමත කළ බව හඟවමින් සුදු ජාතිකයන් හිස වැනුවා. අනතුරුව නැවතත් සුද්දන්ට වැඳවැටී නමස්කාර කළ එම නොතාරිස් වේදිකාවෙන් බැසගිය පසු පැමිණියේ කොතලාවලගේ වාරය යි. එදා මෙම උත්සවය වෙනුවෙන් කොතලාවල කතාවක් සූදානම් කරගෙන පැමිණියත් නොතාරිස්වරයා තම ජාතිය පහත හෙලමින් කළ කතාව නිසා ඔහුගේ රතු කට්ට පැන තිබුණා. එනිසා කොතලාවල සූදානමින් සිටි කතාව වෙනුවට කළේ වෙනත් කතාවක්.

කොතලාවලගෙන් සුදු ජාතිකයන්ට කනේ පහරක්

සුදු ජාතිකයන් ඉදිරියේ නොබියව සිය කතාව ඇරඹි කොතලාවල පෙර කී නොතාරිස්වරයාට සහ සුදු ජාතිකයන්ට  එල්ල කරමින් මෙසේ ප්‍රකාශයක් කළා.

මට කලින් කතා කළ සිංහල මහතා ජාතියටම නින්දාවක් කළා. ඒ විදියේ සිංහල බල්ලන් මන්ත්‍රණ සභාවට යැව්වොත් අපේ රට නම් විනාශ වෙන එක විනාශ වෙනවාම යි. දැන් අපට පැවරිල තියෙන්නෙ වැදගත් කටයුත්තක්. අපට මෙවර යන්න වෙලා තියෙන්නෙ ජාතියට නිදහස දිනාගැනීමේ සටනකට යි. මම කොහොම වුණත් මේ පාර කුරුණෑගල ආසනය දිනල, මන්ත්‍රණ සභාවට යන එක යනවාම යි. හැබැයි ඒ යන්නෙ මට කලින් කතා කරපු කැණහිලා කියපු දේවල් කරන්න නෙවෙයි. එංගලන්තෙ ඉඳල ආපු උඹල මේ රටින් එලවල දාන්න යි. ශීලාචාර විදිහට බැරිනම්, ගුටි ගහල පෙති ගහල හරි තොපි එළවල දාන්න යි!

එම අවස්ථාවේ එම කතාවට සවන් දුන් වතු අධිකාරීවරුන් දැඩිලෙස කෝපයෙන් දැවෙද්දී ඉදිරියට පැමිණි ඩයිසන් “මගෙ දෑසට නොපෙනී පලයන්!” කියා කොතලාවලව එළවාගත්තත්, එදා කොතලාවල කළ එම ප්‍රකාශය ප්‍රදේශයේ ජනතාව අතර කටින් කට ප්‍රචාරය වන්නට වුණා.

ජනතාව කොතලාවලට ඡන්දයේදී කළගුණ සලකයි

කොතලාවල එදා කළ නිර්භීත කතාව නිසා ඔහු පිළිබඳව ලාංකිකයින් පැහැදීමක් ඇති කරගෙන තිබුණා. ඒ පැවති මැතිවරණයේ දී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සහාය දුන් අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 9045ක් ලබාගනිමින් කොතලාවල රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරුණු ලාබාලම අපේක්ෂකයා වශයෙන්. ඉන් අනතුරුව 1936 වසරේ මැතිවරණයෙන් නිතරගයෙන්ම තේරී පත්වූ ඔහු 1947-1959 කාල සමය තුළ දොඩංගස්ලන්ද ආසනයෙන් පාර්ලිමේන්තුවට අවතීර්ණ වුණේ ජනතාව අතර සැමදා වීරයෙක් වුණු නිසා යි.

කොතලාවල පසු යුගයේ දී  (Daily News)

කවරයේ කතාව- කොතලාවල අගමැතිවරයා ලෙස සිටින අවදියේ (gettyimages)

මූලාශ්‍රයයන්:

දේශපාලඥයන්ගේ රස කතා-සෝමදාස අබේවික්‍රම

Related Articles