Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් දිවියට සමුදෙන පාකිස්ථානු සුපිරි ක්‍රීඩිකාව

ලොව පුරා සීඝයෙන් කොරෝනා වසංගතය පැතිරයාම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වීමට තිබුණු තරගාවලි සියල්ලම අවලංගු වී තිබෙනවා. මෙම දිනවල ක්‍රිකට් තරග නොමැතිවීම නිසා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කොරෝනා මර්ධන සටනට එකතු වී තිබෙනවා. එලෙස ලෝක ක්‍රිකට් පිටියම අකර්මණ්‍ය වී තිබෙන අවස්ථාවක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පසුගිය දිනවල තවත් කණගාටුදායක පුවතක් පාකිස්ථානය දෙසින් අසන්නට ලැබුණා. ඒ පාකිස්ථානයෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වුණු සානා මිර් සිය වසර 15ක දීර්ඝ ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කිරීම යි.

යොවුන් වියේදී ම ජාතික කණ්ඩායමට එක් වෙයි 

1986 වසරේ ජනවාරි 5 වැනිදා උපන් සානා මිර් පාසල් අවදියේ සිටම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වුණා. එම නිසාම ඇය 19 හැවිරිදි වියට එළඹෙන විටම සිය රටේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවා. එලෙස ජාතික කණ්ඩායමට එක් වුණු සානා මුල්මවරට සහභාගි වුණේ 2005 වසරේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා යි. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයේ දී එක්දින වරම් දිනාගත් ඇය එම තරගයේ දී පන්දුවාර 4ක් ක්‍රියාත්මක කළත් කිසිදු කඩුල්ලක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් එම තරගයේ දී ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කාන්තා කණ්ඩායම 88/6 ලෙසින් අසරණව සිටි අවස්ථාවේ සානා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළා. එදා සානා සහ අස්මාවියා ලකුණු 66ක අගනා සබඳතාවයක් ගොඩනැගුවත් සානා ලකුණු 23කට දැවී යාමත් සමගම පාකිස්ථානු ඉනිම කඩා වැටුණේ ලකුණු 14ක පරාජයක් උරුමකරගනිමින්. 

සානා මංගල එක්දින තරගයේ දී පිත්ත අතැතිව (gettyimages)

සානාගේ සුපිරි දස්කම් නිසා පාකිස්ථානයට ලෝක කුසලාන වරම් 

පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුල්ම වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 1997 වසරේ දී යි. 2001 සහ 2005 වසරවල පැවති කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලි සඳහා පාකිස්ථානය සුදුසුකම් ලබාගත්තේ නැහැ. නමුත් 2009 වසරේ පැවැත්වුණු කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථානය සුදුසුකම් ලැබුවේ සානා මිර් දැක්වූ සුපිරි දස්කම් නිසා යි. 2008 වසරේ දී පැවති ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී පාකිස්ථානය අනු ශූරතාවය දිනාගනු ලැබුවා. එහි දී පිත්තෙන් ලකුණු 70ක් රැස් කරමින්, පන්දුවෙන් කඩුලු 11ක් ලබාගත් සානා මිර් තරගාවලියේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවා.

සානා ඉතිහාසගත ජයග්‍රහණයකට මඟ විවර කර දෙයි 

2009 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති  ශ්‍රී ලංකා-පාකිස්ථානු තරගයෙන් ලකුණු 57ක ජයක් හිමිකරගත් පාකිස්ථානය කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ මුල්ම ජය වාර්තා කළා. එදා පාකිස්ථානය මුලින්ම පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 161ක් ලබාගන්නා විට සානා නොදැවී ලකුණු 22ක් ලබාගත්තා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටි අවස්ථාවේ ශෂිකලා සිරිවර්ධන සහ දිලානි මනෝදරා ගොඩනැගූ අගනා සබඳතාවය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 91/5 බවට පත්වුණා. පාකිස්ථානය වෙතින් තරගය ගිලිහෙමින් පැවති එම අවස්ථාවේ මනෝදරාව දුවද්දී දැවීයාමකට සහාය දුන් සානා ඉන් නොනැවතී ඉනෝකා ගලගෙදරව දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 94/7 බවට පත්කරමින්. ඉන් පසුව යළි ක්‍රියාත්මක වුණු සානා ලකුණු 58ක් ලබා සිටි ශෂිකලාව දුවද්දී දවාගැනීමට සහාය වී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ශ්‍රීපාලි වීරක්කොඩිව දවාගත්තේ සිය රටට ඉතිහාසගත ජයක් හිමිකරදෙමින්. 

සානා ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රාහී කඩුල්ල ලබාගනිමින් (gettyimages) 

සානාට පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුක්කානම හිමිවෙයි 

2009 වසරේ මැයි මාසයේ දී සානා පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වුණා. ඉන් අනතුරුව ජූනි මාසයේ දී පැවති පළමු කාන්තා ලෝක කුසලාන 20/20 තරගාවලිය ඇය සිය කණ්ඩායමට නායකත්වය ලබාදුන් මුල්ම තරගාවලිය වුණා. එදා ශ්‍රී ලංකාව, එංගලන්තය, සහ ඉන්දියාව සමග තරග වැදුණු සානා මිර් ප්‍රමුඛ පාකිස්ථානු කණ්ඩායම කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ නැහැ. එසේම සානාට ද සිය සුපුරුදු දස්කම් පෙන්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පාකිස්ථානු නායිකාව ලෙස 2009 වසරේ 20/20 ලෝක කුසලානයේ දී (gettyimages)

පාකිස්ථානයට ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් රන් පදක්කම හිමිකර දෙයි 

2010 වසරේ දී චීනයේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වුණා. නමුත් කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ප්‍රබල කණ්ඩායම් සහභාගි වුණේ නැහැ. එවැනි වටපිටාවක පැවති තරගාවලියේ දී කාන්තා රන් පදක්කම ලබාගැනීමට පාකිස්ථානය සමත් වුණේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අභිබවා යමින්.

2011 වසරේ ජයග්‍රාහී ශ්‍රී ලංකා සංචාරය

2011 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව පාකිස්ථානය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සහ නෙදර්ලන්තය සහිත වුණු සිව්කොන් 20/20 තරගාවලියක් සඳහා ද පාකිස්ථානය සහභාගි වුණා. වර්ෂාව නිසා තරග කිහිපයක් අතහැර දැමුණු මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය යි. එදා වර්ෂාව නිසා පන්දුවාර 9කට සීමා වුණු අවසන් තරගයෙන් පාකිස්ථානය ලකුණු 12ක ජයක් වාර්තා කළේ සාර්ථක සංචාරයක් අවසන් කරමින්. එහි දී අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකරගත් සානා මිර් පිත්තෙන් සහ පන්දුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

2014 වසරේ දී තවත් ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනා දෙයි 

2014 වසරේ දී දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහාත් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වුණා. එම තරගාවලිය සඳහා ඉන්දියාව සහභාගි නොවුණත් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සහභාගි වුණා. එදා සානා මිර් ප්‍රමුඛ පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙසු රටවල් අභිබවා ගොස් නැවත වරක් කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ආසියානු රන් පදක්කම දිනාගනිමින් (gettyimages)

2016 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු සානාට 

2016 වසරේ පැවති ආසියානු කුසලාන 20/20 තරගාවලියේ දී පාකිස්ථානය අවසන් තරගය සඳහා රැගෙන යාම සඳහා සානා මිර් සුව මෙහෙයක් ඉටුකළා. එහි දී කඩුලු 12ක් ලබාගත් ඇය තරගාවලිය තුළ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නිය බවට පත්වුණා.

2018 වසරේ දී එක්දින පන්දු යවන්නියන් අතර මුල් තැනට 

2018 වසරේ පෙබරවාරි මාසයේ 7 වැනිදා වන විට සානා මිර් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වුණා. එය පාකිස්ථානු කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුවිශේෂී සිදුවීමක් වුණා. එසේම ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අවස්ථාව වන විටත් කාන්තා පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයට පත්ව සිටියා.

සානා පන්දු යවමින් (gettyimages)

ලෝක කුසලාන තරගාවලි 7ක දී පාකිස්ථානය මෙහෙයවයි 

සානා මිර් 2009-2017 කාල සමය තුළ පැවති ලෝක කුසලාන තරගාවලි 7ක දී සිය රටට නායකත්වය ලබාදුන්නා. 2013 සහ 2017 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිවල දීත්, 2009, 2010, 2012, 2014, සහ 2016 යන වසරවල පැවති කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලිවලදී ත් සානා සිය රටට නායකත්වය ලබාදුන්නා. නමුත් එම තරගාවලිවල දී සිය රට සාර්ථකත්වය කරා රැගෙන යාමට ඇයට හැකිවුණේ නැහැ.

2010 T20 ලෝක කුසලානයේ දී පාකිස්ථානු නායිකාව ලෙස (gettyimages)

සානාගේ ක්‍රිකට් දිවියේ දත්ත කෙටියෙන් 

ජාත්‍යන්තර එක්දින තරග 120කට සහභාගි වුණු සානා මිර් එහි දී ලකුණු 1630ක් රැස්කරන අතරතුර කඩුලු 151ක් දවාගෙන තිබෙනවා. එසේම ජාත්‍යන්තර 20/20 තරග 106ක් සඳහා සහභාගි වුණු ඇය ලකුණු 802ක් රැස්කරමින් කඩුලු 89ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර එක්දින සහ 20/20 තරග 137ක දී සිය රටට නායකත්වය දුන් සානා මිර් ඉන් තරග 52ක දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වුණා.

පාකිස්ථානය වෙනුවෙන් වසර 15ක් ක්‍රිකට් ක්‍රීඩා කළ සානා මිර් නම් සුපිරි ක්‍රීඩිකාව පසුගිය අප්‍රේල් 25 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළා. පසුගිය දශකය තුළ පාකිස්ථානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ඉදිරියට රැගෙන යාම සඳහා සුවිසල් මෙහෙයක් කළ සානා මිර්ගේ අඩුව පිරවීමට තව බොහෝ කලක් ගතවනු ඇති.

කවරයේ ඡායාරූපය- සානා මිර් (gettyimages)

Related Articles