මුසෝලිනී: ප්‍රචණ්ඩත්වයේ සහ යුදවාදී මානසිකත්වයේ පිළිබිඹුව

ඉතාලිය පාලනය කළ අය අතරෙන් බෙනිටෝ මුසෝලිනීට හිමි වන්නේ ප්‍රමුඛත ම ස්ථානයක්. ප්‍රචණ්ඩත්වය සහ යුදවාදී මානසිකත්වයෙන් එරට පාලනය කළ ඔහු විටෙක මුළු යුරෝපාකරයට ම අභියෝගයක් වුණා.

‘ඉල් ඩූචේ ‘ හෙවත් නායකතුමා ලෙස හැඳින්වූ ඔහු 1920 දශකයේ පටන් 1945 වසරේ දී ඝාතනයට ලක් වන තුරු ම ඒකාධිපතියෙක් වශයෙන් ඉතාලිය පාලනය කළා. ඔහුගේ නැග්ම සහ දේශපාලනික ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ ලිපියෙන් විස්තර කෙරෙනවා. 

බෙනිටෝ මුසෝලිනී ගේ ආරම්භය

බෙනිටෝ මුසෝලිනී උපත ලැබුවේ 1883 වසරේ ජූලි මස 29 වනදා ඉතාලියේ දෝවියා දි ප්‍රෙඩාපියෝ හී දී යි. කුඩා කල සිට ම බුද්ධිමත් දරුවකුගේ ලක්ෂණ ප්‍රකට කළ ඔහු අලුත් දේ ඉගෙන ගන්නට දැඩි ළැදියාවක් දැක්වූවා. ද්විතියික අධ්‍යාපනය නිම කළ පසු මුසෝලිනී සිය ප්‍රථම රැකියාව ලෙස තෝරා ගත්තේ ගුරු වෘත්තිය යි. කෙසේ නමුත් එය තමන්ට ගැළපෙන රැකියාවක් නොවන බව  ඔහු ඉක්මනින් ම වටහා ගත්තා. කෙසේ නමුත් කියැවීම විනෝදාංශයක් කර ගත් ඔහු ගුරු වෘත්තියෙන් සමුගත් පසුව ද එය අත්හැරියේ නැහැ. යුරෝපීය දර්ශනවාදී පොත්පත් කියැවීම ඔහු වඩාත් ම ප්‍රිය කළ විනෝදාංශයක් වුණා.

මේ පොත්පත් පරිශීලනය කිරීම නිසා දේශපාලනය පිළිබඳ ඇල්මක් මුසෝලිනීට ඇති වුණා. කාල් මාක්ස්, ෆෙඩ්‍රික් නිට්ෂේ වැන්නවුන්ගේ මඟ යන්නට ඔහුට සිත් වුණා. ඔහු 20 වියැති ව සිටිය දී දේශපාලනික පුවත්පත් කලාවට යොමුවූයේ තමන්ගේ ලිවීමේ හැකියාව ද ලොවට පෙන්වමින්. කෙසේ නමුත් ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ වූ දරුණු බව කෙමෙන් කෙමෙන් ඔහුගෙ ලියැවිලිවලින් පිළිබිඹු වන්නට පටන් ගත්තා. ඔහුට අනුව කම්කරු සමිති සහ වෙනත් වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් දිනා ගැනීමට නම් ප්‍රචණ්ඩත්වය ද යම් පමණකින් භාවිත කළ යුතු වුණා. කෙසේ නමුත් ඔහුගේ ලියැවිලිවල සිත් ඇදගන්නාසුලු භාවය නිසා ඒ පිළිබඳ ව යම් පිළිගැනීමක් කා අතරත්, විශේෂයෙන් පීඩිත පන්තිය තුළ ඇති වුණා.

 තරුණ මුසෝලිනී 1903 වසරේ ස්විස්ටර්ලන්ත පොලිසිය අත් අඩංගුවට ගත් පසු ගත් ඡායාරූපයක්- Wikimedia commons

 

මුසෝලිනී තමන්ගේ ලියැවිලිවල අන්තර්ගතය නිසා කිහිපවිටක් ම සිරගත කෙරෙනවා. ඒ, ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම යන චෝදනාව යටතේ යි. 1903 වසරේ ස්විට්සර්ලන්තයේ දී සිදු වූ ප්‍රචණ්ඩකාරී, වෘත්තීය සමිතිවල වැඩ වැරුමට දායක වූ ඔහුගේ ක්‍රියා කලාපය ‘වුවමනාවටත් වඩා ප්‍රචණ්ඩකාරී’ යැයි කා අතරත් මත පළ වූ අතර, විටෙක ඔහු සම්බන්ධ වී කටයුතු කළ සමාජවාදී පක්ෂයෙන් ද ඔහු නෙරපා හැරෙනවා. 

මුසෝලිනී තනිව ම වැඩ අරඹයි

සමාජවාදී පක්ෂයෙන් නෙරපා හැරීමෙන් අනතුරු ව 1914 වසරේ දී මුසෝලිනී තනිව ම වැඩ අරඹනවා. ඒ වන විට පළමු ලෝක යුද්ධය ලොව දිග හැරී තිබුණා. ‘ද පීපල් ඔෆ් ඉටලි ‘ යනුවෙන් පුවත්පතක් ආරම්භ කළ ඔහු නිතර ම ඉන් ජාතිවාදය, යුදවාදය සහ අන්තවාදී අදහස් සමාජ ගත කරන්නට උත්සාහ කළා. මෙමඟින් ඔහුගේ ජීවිතයේ පසුකාලීන නැඹුරුතා පිළිබිඹු වූ බවට විචාරකයන් පවසනවා.

කෲර ඒකාධිපතියෙක් බවට පත් වීම

මුසෝලිනී පළමුවන ලෝක යුද්ධයේ දී ඉතාලිය වෙනුවන් වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කළා. මාධ්‍යවේදී වෘත්තිය ද අඛණ්ඩ ව ඔහු කරගෙන ආවා. මෙලෙස ශාරීරික ව හා මානසික ව සන්නද්ධ වූ මුසෝලිනී 1921 වසරේ දී ඉතාලියේ ‘ජාතික ෆැසිස්ට් පක්ෂය’  ස්ථාපිත කරනවා. ඔහු සිය පක්ෂයට බඳවා ගත්තේ ඔහු වැනි ම අන්තවාදී දේශපාලනික මත දරන අය යි. සිය පාක්ෂිකයන්ට කළු ඇඳුම් අන්දවා වෙන ම වීරත්වයක් ආරෝපණය කළ ඔහු, ඉතා ආවේගශීලී කතා පවත්වා, ඔවුන් වෙත වැඩි වැඩියෙන් සිය මතවාදය එන්නත් කළා.  මුසෝලිනී ඉක්මනින් ම ඔවුන්ගේ එකම වීරයා වූ අතර, එකල ඉතාලි පාලනයට එරෙහි ව ඔවුන් කැරලි ගසන්නට පටන් ගත්තා. රජයේ ගොඩනැඟිලිවලට ගිනිතැබීම, විරුද්ධවාදීන් සිය ගණනක් ඝාතනය කිරීම මේ අතර වුණා. 1922 වසරේ දී මුසෝලිනී ඉතාලිය පුරා වැඩවැරුමක් ද සිදු කළ අතර, රෝමයේ පා ගමනක් ද සංවිධානය කළා. මේ වන විට ඔහු වටා සැලකිය යුතු පිරිසක් එක්කාසු වී සිටිය අතර, ඔහුගේ මේ ක්‍රියාකලාපය ඉතාලි බලධාරීන්ට තදින් දැනෙන්නට වුණා.

 මුසෝලිනී ඉතාලි අගමැති ලෙස පත් වී- brewminate.com

 

1922 වසරේ ඔක්තෝබර් මස වන විට මුසෝලිනී වටා, ඉතාලි පාලන තන්ත්‍රය පෙරළා දැමීමට හැකි තරම් පිරිසක් එක් වී සිටියා. එම මස 29 වන දින ඔවුන් විශාල කැරැල්ලක් අරඹා ඉතාලියේ පාලන බලය සියතට ගත්තා. එවකට ඉතාලි රජු තෙවන වික්ටර් එමානුවෙල් මුසෝලිනීට අග්‍රාමාත්‍ය පදවිය පිරිනැමුවා. ඒ වෙනත් විකල්පයක් නොමැති පසුබිමක යි. ඒ වන විට මුසෝලිනී  39 වන වියෙහි පසු වූ අතර, එවකට ඉතාලියේ එම තනතුර හෙබ වූ ළාබාලතමයා බවට ඔහු පත් වුණා.

බලයට පත් වූ පසු මුසෝලිනී තමන් වටා වැඩි වැඩියෙන් පිරිස එක් රැස් කිරීමට සිය කථන හැකියාව සහ රචන හැකියාව භාවිත කළා. තමන් වෙත මිනිසුන් ආසක්ත කරගැනීමට මෙන් ම ඔවුන් තුළට සිය මතවාදය රිංගවා ක්‍රියාවේ යෙදවීමටත් ඔහුට නිසග හැකියාවක් තිබුණා. ඉක්මනින් ම ඉතාලිය තුළ විමුක්තිකාමී නායකයෙක් ලෙස සිය ප්‍රතිරූපය සකසා ගත් මුසෝලිනී, 1930 දශකය වන විට, ඉතාලියෙන් පිටතටත් සිය බලය පැතිරවීමට උත්සාහ කළා. 1935 වසරේ දී ඔහු ඉතියෝපියාව ආක්‍රමණය කළ අතර, එය පහසුවෙන් ම ඉතාලි යටත් විජිතයක් බවට පත් කර ගත්තා. මෙය දෙවන ලෝක යුද්ධය ආරම්භ වන්නට රුකුල් දුන් ප්‍රධානත ම හේතුවක් බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

 මුසෝලිනී (වමේ) සහ හිට්ලර් දෙවන ලෝක යුද සමයේ- timeshighereducation.com

 

දෙවන ලෝක යුද සමයෙහි මුසෝලිනී ගේ ක්‍රියාකලාපය

ඉතියෝපියානු ආක්‍රමණයෙන් වසර 5 කට පමණ පසුව හිට්ලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ප්‍රංශය ආක්‍රමණය කළ යුත්තේ හිට්ලර් නොව, තමන් බව මුසෝලිනී තමන්ට ම ප්‍රකාශ කර ගත්තා. කෙසේ නමුත් ඒ වන විට ජර්මානු හමුදාව ඉතාලි හමුදාවට වඩා සෑම අතින් ම ශක්තිමත් එකක් වුණා. එම නිසා ජර්මනියට එරෙහි ව ගොස් ප්‍රංශය තනිව ම  ආක්‍රමණය කරනු වෙනුවට, ජර්මානු හමුදාව සමඟ එක් ව ප්‍රංශයට එරෙහි ව යුද වැදෙන්නට මුසෝලිනීට සිදුවුණා. මේ අනුව එක් සමයක දී ජර්මානුවන්ට සහායට සිටියේ ඉතාලිය පමණ යි. මුළු ලෝකයක් එම රටවල් ද්විත්වයට එරෙහි ව පෙළගැසුණා. කෙසේ නමුත් යුදකාමී මුසෝලිනී එය දුටුවේ වැඩි වැඩියෙන් යුද වැදෙන්නට අවස්ථාවක් ලැබීමක් ලෙස යි. ජර්මානු සහාය ද තමන්ට හිමි වීම නිසා ඔහු ඔද වැඩී සිටියා. මේ නිසා සිය රටවැසියන්ගේ අප්‍රසාදය මැද සිය යුද ශක්තිය වැඩිදියුණු කරන්නට සිය රටෙහි ප්‍රාග්ධනය ඔහු යෙදවූවා. 

 වැඩි වැඩියෙන් ඉතාලි ජාතිකයින් හමුදාවට බඳවා ගැණුනා. මේ නිසා ඉක්මනින් ම මුසෝලිනී ඉතාලි ජාතිකයන් අතර අතිශය අප්‍රසන්න චරිතයක් බවට පත් වුණා. විශේෂයෙන් ග්‍රීසිය ආක්‍රමණය කිරීමේ වැඩපිළිවෙළ අසාර්ථක මෙන් ම ඉතාලි ජනතාව අතර මුසෝලිනී අතිශය අප්‍රියජනක චරිතයක් බවට පත් කරන්නට සමත් වුණා. රටේ ජනයා ඔහුට එරෙහිව පෙළ ගැසෙන්නට වුණා. 1941 වසරේදී සිදු වන්නට ගිය බල පෙරළියකින් ඔහු ගැලවුණේ ජර්මනියට පින් සිදුවන්නට යි.

බෙනිටෝ මුසෝලිනීගේ කඩාවැටීම සහ ඔහුගේ අවසානය සිදු වූ ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරියේ දී ගෙන එන්නට අපි සූදානම්. 

කවරයේ ඡායාරූපය - nationalww2museum.org

මූලාශ්‍ර:

Britannica.com

Allthatsinteresting.com

History.com

Related Articles

Exit mobile version