Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත් සමුදුර තරණය කළ කපිතාන් ජේම්ස් කුක්

අතීතයේ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන පහසුකම් කිසිවක් නොතිබූ සමයක ලෝකයේ බොහෝ දූපත් හා රටවල් ශිෂ්ට සමාජය විසින් ගවේෂණය කර නොතිබූ අතර, ඒවා ගවේෂණය කිරීම ද අසීරු කාර්යයක් වුණා. ඉමක් කොණක් නැති සාගරයේ නොදන්නා පෙදෙස් වෙත වික්‍රමාන්විතව යාත්‍රා කිරීමෙන් පමණක් මේ ගවේෂණය සිදු කළ හැකි වුණා. මෙලෙස නොදන්නා ප්‍රදේශ සොයා යාම මරුවාට අත වැනීමක් මෙන් වූයේ නිතර සිදුවන සයුරේ ප්‍රචණ්ඩ වීම්, මිනීමරු ගෝත්‍රිකයින්, හා එකල මහ මුහුද අරක්ගත් මුහුදු කොල්ලකරුවන්ගෙන් එල්ල වන ජීවිත තර්ජනයන් නිසා යි. බිය පසෙක තබමින් අතීතයේ ක්ලෝඩියස් කොලොම්බස්, ඇමෙරිගෝ වෙස්පුචි වැන්නන් එලෙස නිර්භීතව මෙම අවදානම් සහගත කර්තව්‍යයට ඉදිරිපත් වූවන් වෙනවා. එම සමාජයේ තවත් එක් විශේෂිත පුරුකක් ලෙස කපිතාන් ජේම්ස් කුක් හැඳින්විය හැකියි.

මූලික අවධිය

ක්‍රි.ව 1728 ඔක්තෝබර් මස 27 වන දින එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ පිහිටි මාර්ටන් හි දී යි ජේම්ස් කුක් උපත ලබන්නේ. ඔහුගේ පියා ස්කොට්ලන්ත සම්භවයක් සහිත වූවෙක් වූ අතර අසල ගොවිපොලක රැකියාවේ නිරත වුණා. එම ගොවිපොළෙහි හිමිකරු ජේම්ස්ගේ මූලික අධ්‍යාපනය සඳහා උදව් කළ අතර නව යොවුන් වියෙහි තරුණයෙකු වූ විට ඔහු සිය පියාට උපකාර කිරීමට ගොවිපොළට යාම ද ආරම්භ කළා.

ancientpages.com

කුඩා කාලයේ ඉතා සාමාන්‍ය දරුවෙකු වූ ජේම්ස්ගේ සිත මුලින්ම සයුර හා බැඳෙන්නේ ඔහු කෙටි කාලීනව මුහුදුබඩ ගම්මානයක පිහිටි වෙළඳසැලක සේවය කිරීමට යාමත් සමග යි.

වයස අවුරුදු 18 සපිරෙන විට කෙසේ හෝ නැවක සේවය කිරීම ආරම්භ කරන්නට ඔහුට හැකි වෙනවා. ආධුනිකයෙකු ලෙස විට්බි හි නැව් සමාගමක සේවය අරඹන ඔහු ඉතා ඉක්මණින් නාවුක කටයුතු ඉගෙනගන්නා අතර, වයස 21 වන විට තමන් රැකියාව කළ නැව් සමාගමෙහි සිටින දක්ෂ තරුණයෙකු බවට පත්ව සිටියා. මේ කාලය තුළ දී නිතරම ප්‍රචණ්ඩ වෙන උතුරු මුහුදේ යාත්‍රා කරමින් නාවිකයෙකු වීමට කප්පරක් දේ ජේම්ස් කුක් ඉගෙන ගන්නා අතර සාමාන්‍යයෙන් මුහුද ප්‍රචණ්ඩ කාලයේත් සිය නැව් සමාගම යාත්‍රා කරන නිසා මුහුදට ඇති බියත් සම්පූර්ණයෙන්ම පාහේ ඔහු වෙතින් ඉවත් වෙනවා.

තරුණයෙකු ලෙස

ක්‍රි.ව 1752 වසරේ නාවුක නිලධාරියෙකු වශයෙන් උසස් කරනු ලදුව ජේම්ස් කුක්ට ඔහු සේවය කළ නාවුක සමාගමේ නෞකාවක් මෙහෙයවීමේ අවස්ථාව ලැබුණා. පුරා වසර 8ක් ඔහු මෙම කර්තව්‍යයේ නිරත වුණා. මේ ආකාරයට උසස්වීම් ලබන බොහෝදෙනා සාමාන්‍යයෙන් වෙනත් තැන් වලට නොගොස් තෘප්තිමත්ව ජීවිත කාලයම සිය රැකියාවේ නිරත වන මුත්, ඒ වන විට ලොව පුරා සංචාරය කොට වික්‍රම කිරීමේ නොතිත් ආශාව කුක්ගේ සිතෙහි දළු ලා තිබූ නිසා ඔහු ස්වෙච්ඡාවෙන් රාජකීය නාවුක හමුදාවට බැඳෙනවා.

නාවුක හමුදාවට බැඳීමෙන් ඔහු අපේක්ෂා කළේ සාමාන්‍ය නැව් සේවාවකට වඩා වික්‍රමාන්විත සේවා කාලයක් ගත කරන්නට යි. එය යතාර්ථයක් කරමින් 1756 දී මහා බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර යුද්ධයක් ඇවිලී ගිය අතර එය 1763 වසර වන තුරු පැවතුණා. මේ කාලය තුළ සයුර සබැඳි ඉතා අවදානම් මෙන්ම වික්‍රමාන්විත ක්‍රියා කිහිපයකටම සම්බන්ධ වීමට ජේම්ස් කුක්ට හැකියාව ලැබෙන අතර, ඉතා කාර්යශූර නිලධාරියෙකු ලෙස ඔහුගේ නාමය බ්‍රිතාන්‍ය පුරා ප්‍රචලිත වුණා. යුද්ධයෙන් පසු ක්‍රි.ව 1768 වසර වන තුරු උතුරු ඇමෙරිකා මහාද්වීපයේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේවය කිරීමට සිදු වූ නිසා නාවුක ගමනාගමනය පිළිබඳ හසල දැනුමක් එක් කර ගැනීමට ඔහුට හැකි වුණා.

දේශ ගවේෂකයෙකු ලෙස

1768 දී කපිතාන් ජේම්ස් කුක්ට බ්‍රිතාන්‍ය රජයෙන් නව අභියෝගයක් ලැබෙනවා. එම වසරේ දී හිරුට ඉදිරියෙන් සිකුරු සංක්‍රාන්තියක් සිදුවන්නට යෙදී තිබුණු අතර මෙය දකුණු අර්ධගෝලයේ සිට නිරීක්ෂණ‍ය කරන්නට කණ්ඩායමක් යවන්නට ඔවුන් තීරණය කරනවා. පසුගිය වසරවල ඇමෙරිකා එක්සත් ජනපදය අවට සාර්ථකව සේවයේ නිරත වීම නිසා මොවුන් රැගත් නැව මෙහෙයවීමේ වගකීම ජේම්ස් කුක්ට පැවරෙනවා.

මෙම අභියෝගය කුක් ජීවිත කාලයක් පුරාවට පෙරුම් පිරූ එකක්. පැසිෆික් සයුරේ දකුණු දෙසට හැකි තරම් යාත්‍රා කිරීමට ඔහුට අණ ලැබුණු අතර, ඒ වන විට හරි හැටි ගවේෂණය කර නොතිබූ ඕස්ට්‍රේලියාව හා තදාසන්න දූපත් ගවේෂණය ද ඔහුට පැවරුණා.

The Endeavour හි ආකෘතියක් -James Morgan/ Carnival Australia via Getty Images

කපිතාන් ජේම්ස් කුක් විසින් අණ දෙන The Endeavour නම් නෞකාව 1768 වසරේ එංගලන්තයෙන් පිටත් වූ අතර එය කෙටි කාලීනව දකුණු ඇමෙරිකා මහාද්වීපය ආසන්නයේ රැඳී සිට ටහිටි බලා පිටත් වෙනවා. බ්‍රිතාන්‍ය රජය සිතූ පරිදිම සිකුරු සංක්‍රාන්තිය ඔහුගේ පිරිස විසින් සාර්ථකව ලේඛණගත කරගන්නා අතර මීට අමතරව නවසීලන්තය ද නිවැරදිව සිතියම්ගත කරගන්නට ද කුක්ට හැකි වෙනවා.

තව දුරටත් නවසීලන්තයෙන් බටහිර දෙසට යාත්‍රා කළ කපිතාන් ජේම්ස් කුක් අවසානයේ ඕස්ට්‍රේලියාවට ගොඩ බසින අතර ඔහු විසින් එම භූමිය බ්‍රිතාන්‍යයට අයිති බව ප්‍රකාශ කරනවා. මේත් සමඟ ඕස්ට්‍රේලියාව සිතියම්ගත කර ගැනීම ද ඔහු විසින් අරඹන අතර මේ ගමනේ දී මහා බාධක පරයේ හැපී ඔහුගේ නෞකාවට සුළු අනතුරක් සිදු වෙනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවට ගොඩබැස, එහි මඳ කාලයක් නැවතී එය අළුත්වැඩියා කරගැනීමට ඔවුන්ට සිදුවෙනවා. 1771 දී ඔවුන් නැවතත් එංගලන්තය බලා එන්නේ ජයග්‍රාහකයින් ලෙස යි.

කුක්ගේ සොයාගැනීම් වලින් ඉතා සතුටට පත් බ්‍රිතාන්‍ය රජය ඉක්මණින්ම ඔහු නැවත දකුණු අර්ධ ගෝලය වෙත පිටත කර හරින්නේ වැඩිදුර ගවේෂණ කටයුතු සඳහායි. මෙවර ඔහු දකුණු අර්ධගෝලයේ දකුණුදිගට යමින්  ඇන්ටාක්ටික් වෘත්තයට ළඟා වූ ප්‍රථම දේශ ගවේෂකයා බවට පත් වෙනවා. කෙසේ නමුත් මෙවර ඔහු බලාපොරොත්තු වූ තරම් භූ ස්කන්ධ හමු නොවූ අතර 1775 වසරේදී නැවත එංගලන්තය බලා පැමිණෙනවා.

අවසන් චාරිකාව

කපිතාන් ජේම්ස් කුක්ගේ අවසානය -pinterest.com.au

ක්‍රි.ව 1776 දී කපිතාන් ජේම්ස් කුක් නැවතත් අත්ලාන්තික් සයුර හා පැසිෆික් සයුර රා පිටත් කර හැරෙන්නේ එම සාගර දෙක අතර පහසුවෙන් හුවමාරු විය හැකි සමුද්‍ර තීර සොයාගැනීමේ අටියෙනුයි. මෙය ඒ තරම් සාර්ථක නොවූ අතර 1779 වසර වන තුරුම වැඩි යමක් සොයා ගැනීමට ඔහු ඇතුළු පිරිසට නොහැකි වෙනවා. 1779 දී ඔහු හවායි දූපත් වලට ගොඩබසින අතර එහි ස්වදේශික ජනයා සමග ඇති වූ ගැටුමක දී ඉතා අවාසනාවන්ත ලෙස පිහි ඇනුම් කා මියයනවා.

කපිතාන් ජේම්ස් කුක්ගේ අවසානය ඛේදනීය වු වද දේශ ගවේෂණ ඉතිහාසයේ ඔහුගේ නාමය රන් අකුරෙන් ලියැවී තිබෙනවා. කපිතාන් ජේම්ස් කුක් නිසා බ්‍රිතාන්‍ය කිරීටය තවත් ව්‍යාප්ත වූවා පමණක් නොවේ, බ්‍රිතාන්‍ය ආර්ථිකය පවා වර්ධනය වුණා.

කවරයේ පින්තූරය-pocketmags.com

Related Articles