කාලි මහේන්ද්‍රන් (54) නුවරඑළිය තුරඟ තරග පිටිය අවට ක්‍රියාත්මක වන ලියාපදිංචි අශ්වාරෝහක සංචාරක මාර්ගෝපදේශකයෙකි. කෙසේ වෙතත්, කඳුකරයට පැමිණෙන සංචාරකයන් අඩුවීමත් සමඟ, මහේන්ද්‍රන් සහ ඔහු වැනි තවත් බොහෝ දෙනකුට එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමේ අභියෝගයට දැඩි ව මුහුණ දීමට සිදු ව ඇත.
“දැන් පෝනි සවාරිවලට කැමති අය හොයාගන්න අමාරුයි. පදින ගාස්තුවෙන් වැඩි කොටසක් සතාගේ අයිතිකරුට දෙක්කට සිදු වෙනවා. ඉතිරි වන දෙයකින් තමයි මං ජීවත් වෙන්නේ. අපට ගෙවන්නේ ආදායමෙන් 30% ක කොමිස් මුදලක් පමණයි. සවාරියකින් රුපියල් 1000 ක් ලැබෙනවනම් නම් අපට ලැබෙන්නෙ රුපියල් 300 යි. මෙම අවුරුද්දෙ ඉඳලා පෝනි සවාරිවලින් ලැබෙන ආදායම විශාල ලෙස පහත වැටිලා. “
පෝනින් සහ අශ්වයන් පැදීම හෙවත් උන් පිට යාම මෑත කාලයේ දී පිළිකුල් සහගත කටයුත්තක් ලෙස සලකන්නට පටන් ගැනිණි. බොහෝ දෙනෙක් එය සත්ව හිංසනයක් මඟින් කුරිරු විනෝදාස්වාදයක් ලැබීමක් ලෙස සලකති. කෙසේ වෙතත් මහේන්ද්‍රන් වැනි අයට නම් මෙය අත්‍යවශ්‍ය ආදායම් මාර්ගයකි.
පෝනියාගේ හිමිකරු මහේන්ද්‍ර නොවුණත්, සතා රැක බලා ගැනීමේ දී කැපී පෙනෙන කාර්යභාරයක් වගකීමෙන් යුතු ව ඔහු ඉටු කරයි. ඔහු පෝනියාට ආහාර මිල දී ගෙන එම සතා පිරිසුදු කළ යුතු ද වෙයි. මේ සියල්ල සිදු කළ යුතු වන්නේ වත්මන් අර්බුදය සමඟ වෙනස් නොවූ කොමිස් වැටුප් ලබමින් වීම තත්ත්වයේ බැරෑරුම් බව මොනවට විදහා පාන්නකි.
“අපි පෝනියන්ට දවසට තුන් වේලක් ම ආහාර සහ තණකොළ කවනවා. දැන් අශ්ව ආහාර මිලත් දරාගත නොහැකි තත්ත්වයට පත්වෙලා. ආහාර කිලෝ තුනක මිල රුපියල් 500-600ක් පමණ වෙනවා. පෝනියාට කන්න දෙන්න මට මීටත් වඩා මහන්සි වෙන්න වෙනවා. පෝනියාට කන්න දෙන්න තරම් මුදලක් උපයන්න උත්සාහ කිරීමත් අද එක අතකින් අභියේගයක්. අන්තිමට මට ගෙදර ගෙනියන්න ඉතුරු වෙන්නේ සොච්චම යි.”
ඔහුගේ දිවි පැවැත්මේ මාර්ගයේ සලකුණු වඩාත් මංමුළා සහගත වන විට, එය තව දුරටත් අභියෝග සහගත වනවිට මහේන්ද්‍රට තම පවුල පෝෂණය කිරීම සඳහා අමතර රැකියාවක් සොයා ගැනීමට සිදු වී ඇත.
“මගේ පවුලේ හැමෝ ම දැන් මේ පැත්තේ තියෙන පොඩි පොඩි රස්සාවල් හොයනවා. මේවා ස්ථීර රස්සාවල් නෙවෙයි, වැඩි පඩියක් ලැබාන ඒවාත් නෙමෙයි. ඒත් ජීවිතේ ගැට ගහගන්න තියෙන වැඩක් කරන්න ඕනේ. සමහර දවස්වලට අපට පෝනි සවාරි නැති වුණාම මං උත්සාහ කරනවා මට කරන්න පුළුවන් ඕනෑම වැඩක් කරන්න. සමහර වෙලාවට ඒක තේ වත්තක දෛනික වැටුපට කරන රස්සාවක්. ඒවගේ රස්සාවක්වත් මේ දවස්වල හොයා ගන්න අමාරුයි” කාලි මහේන්ද්‍රන් කියයි.