අතීතයේ ඉතා සුළු මුදලක් අරන් ගමෙන් කොළඹට ඇවිත්, කුමක් හෝ රැකියාවක් කරලා ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයින් බවට පත් වුණු ගොඩක් අය ගැන අපි අහලා තිබෙනවා. එවැනි පුද්ගලයින් විසින් ආරම්භ කෙරුණු ව්‍යාපාර අතර නවලෝක සමූහ ව්‍යාපාරය, පෙරේරා සහ පුත්‍ර සමාගම වැනි ඒවා ඉතා ප්‍රසිද්ධ යි. ඒ ව්‍යාපාර වර්තමානයේ පවතින තත්ත්වයට රැගෙන ආවේ ඔවුන් තුළ සහජයෙන්ම තිබූ ව්‍යාපාර දැනුම සහ දක්ෂතාවය කිව්වොත් නිවැරදියි.
සමහර ලාංකිකයෝ අපේ රටේ දීම ව්‍යාපාර පටන් අරන් දියුණු වුණා වගේම, සමහර ලාංකිකයො වෙනත් රටවල පවා ව්‍යාපාර කටයුතු කරලා ඒවා ඉතාමත් දියුණු මට්ටමකට ගෙන ආවා. ඒ ව්‍යාපාර තවමත් ඒ රටවල දකින්නට පුළුවන්. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ මෑත ඉතිහාසයේ මැලේසියාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම නමක් අත්කර ගත් පී. එච්. හෙන්රි කියන ශ්‍රී ලාංකිකයා ගැන.
මුල් කාලය හා මැලේසියාවට යාම
මේ කතාවේ කතානායක පී.එච්. හෙන්රි, එහෙම නැත්නම් පුංචි හේවගේ හෙන්රි වුණත්, කතාවේ ආරම්භය වෙන්නේ ඔහුගේ පියා වූ පී.එච්. දිනෙස්හාමිගෙන්.
1870 කාලේ ගාල්ලේ වරාය ගල්පරවලින් පිරුණු තැනක් වුණු නිසා නුපුරුදු නාවිකයන්ට බොහෝ අනතුරු සහිත තැනක් වුණා. මේ නිසා ගාලු වරායේ පිහිටීම ගැන නොදන්නා නාවිකයෝ එක විටම නැව වරායට ඇතුල් නොකර, වරායට පිටතින් නැව නැංගුරම් දාලා වරාය දෙසට වෙඩිල්ලකින් දැනුම් දෙනවා තමන් වරායෙන් පිටත රැඳී ඉන්න බව. ඊට පස්සේ ගාලු වරායෙන් පලපුරුදු නැව් මෙහෙයවන්නෙකු රැගත් කුඩා බෝට්ටුවක් ගිහින් තමා නැව වරාය තුළට ගේන්නේ. මේ දිනෙස්හාමි කියන්නේත් ඒ කාලේ ගාල්ලේ හිටපු දක්ෂම නැව් මෙහෙයවන්නෙක්. ඉතින් ගාල්ලට නැවක් ආවම ඔහුගේ සේවය නැතුවම බැරි වුණා. ඊට අමතරව රෑමස්සල කඳුවැටිය පාමුල මුහුදට නෙරලා තියෙන, “Watering Point” (වෝටරින් පොයින්ට්) කියලා අදත් හඳුන්වන ස්ථානයේ ඉදලා නැව්වලට වතුර සැපයීමත්, තමන්ගේ සහෝදරයා වූ මතෙස්හාමි සමග නැව්වලට ගිහින් බීරලු රේන්ද, කැස්බෑ කටු, සහ කළුවර ලීයෙන් හදපු විසිතුරු භාණ්ඩ, මැණික් ආදිය විකිණීමත් දිනෙස්හාමි සිදු කළා.
දිනෙස්හාමිගේ හොඳම යාලුවා වුණ බී.පී. ද සිල්වා සිංගප්පූරුවට ගිහින් ස්වර්ණාභරණ ව්‍යාපාරයක් ආරම්භ කරනවා, 1872 දී. මේ අතර දිනෙස්හාමිට හමුවෙන නාවිකයෙකුත් කියනවා සිංගප්පූරුව ව්‍යාපාර කරන්න හොඳ තැනක්, ඒ නිසා ඔහුත් සමග සිංගප්පූරුවට යමු කියලා. ඒ ආරාධනාව පිළිගත් දිනෙස්හාමි, 1875 දී මල්ලක බීරලු රේන්ද, කළුවර කැටයම්, රීදි භාණ්ඩ සහ මැණික් පුරවගෙන ඒ නැවෙන්ම සිංගප්පූරුවට යනවා.
ඕස්ට්‍රේලියාවට යාමට ගොස් සිදු වූ අකරතැබ්බය
සිංගප්පූරුවේ දී නැවෙන් නැවට ගිහින් වෙළදාම් කරන අතරතුර ඔහුට හමුවෙන නැව් කපිතාන් කෙනෙකු, ඕස්ට්‍රේලියාවේ ඩාවින්වල මුතු වගා කරන්න යන්නට දිනෙස්හාමිට ආරාධනා කරනවා. දිනෙස්හාමිත් ඒ්කට කැමති වෙලා ඒ නැවෙන් පිටත් වෙනවා. නමුත් කවුරුවත් හිතපු නැති විදිහට ඔවුන් ගමන් කළ නෞකාව කුණාටුවකට අහු වෙලා මුහුදුබත් වෙනවා. වාසනාවකට නෞකාවේ හිටපු පිරිසගෙන් බේරෙන්නේ දිනෙස්හාමි විතර යි. දින ගණනක් කැඩුනු ලී කොටයක් බදාගෙන අන්තිමේ ඕස්ට්‍රේලියාවේ වෙරළකට ගොඩගහලා දිවි රැකගත් ඔහු නැවතත් සිංගප්පූරුවට යනවා. තමන්ගේ යාලුවා වූ බී.පී. ද සිල්වාට තමන්ට වුණ දේ කිව්වම, තමන්ගේ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් වෙන්න කියලා සිල්වා දිනෙස්හාමිට ආරාධනා කරනවා.
තමන්ගේ යාලුවගේ යෝජනාවට එතරම් කැමති වෙන්නේ නැති දිනෙස්හාමි එතනින් මැලේසියාවට යනවා. නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න මැලේසියාවට ගියත්, දිනෙස්හාමිට තමන් මුලින් කළ සුළු ව්‍යාපාර සියල්ල එපා වෙලා යි තිබුණේ. ඉතින් ඔහු අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ බේකරියක්. මැලේසියාව ඒ කාලේ එතරම් දියුණු වෙලා නොතිබුණු නිසා යුරෝපයේ අයට ඕනෑ රසයෙන් යුතු පාන් ආදිය මැලේසියාවේ තිබුණේ නෑ. මෙන්න මේ නිසාම 1892 දී ඔහු ‘Ceylon Bakery’ (සිලෝන් බේකරි) නමින් මැලේසියාවේ පළවෙනි බේකරිය පටන්ගන්නවා. ඒ, ලංකාවෙන් ගෙන්වාගත් සේවකයන් දෙදෙනෙකු සමග. ටික කාලයක් යනකොට මේ බේකරිය යුරෝපීයයන් අතර ඉතාම ජනප්‍රිය වුණා.
හෙන්රිත් මැලේසියාවට පිටත්ව යයි
මේ කාලයේ දීම දිනෙස්හාමි තමන්ගේ පුතා වුණු හෙන්රිවත් මැලේසියාවට ගෙන්වාගෙන බේකරියේ කටයුතු ඔහුට භාර දෙනවා. ටික කාලයක් මේ කටයුතු කරගෙන යනකොට හෙන්රිට හිතෙනවා තමන්ගේ තාත්තා මුලින් කරපු මැණික් ව්‍යාපාරය ස්වර්ණාභරණ වෙළෙඳාමත් එක්ක පටන් ගන්න. මේ ගැන තාත්තට කිව්වම තදබල විරෝධයක් ඉදිරිපත් වෙනවා. මොකද ඔහුගේ හොදම යාලුවා වුණ බී. පී. ද සිල්වා මේ වෙනකොට සිංගප්පූරුව මූලික කරගෙන ඒ ව්‍යපාරය කරගෙන ගිය නිසා. දිගින් දිගටම හෙන්රි තමන්ගෙ පියාගෙන් මේ ගැන අහනකොට ඔහු කියනවා මේ ව්‍යාපාරය පටන් ගන්න ඕනම නම් ගිහින් බී. පී. ද සිල්වාගෙන් අවසර අරන් එන්න කියලා. ඒ අනුව හෙන්රි සිංගප්පූරුව ගිහින් තම පියාගේ මිතුරාගෙන් අවසර ඉල්ලුවම ඔහු ඉතාමත් සතුටට පත්වෙලා ඊට අවසර දෙනවා.
ව්‍යාපාරයේ ඇරඹුම
සිල්වාගෙන් අවසරය අරන් මැලේසියාවට එන හෙන්රි ක්වලාලම්පූර්වල මලයි වීදියේ පිහිටි ඔවුන්ගේ බේකරියේම කොනකම නව ව්‍යාපාරය පටන් ගත්තා. ඒ 1902 දී යි. ලංකාවෙන් ගෙන්වපු ස්වර්ණාභරණ හා මැණික් දුටු බේකරියට යන එන යුරෝපීයයන් වගේම චීන ජාතිකයනුත් මේවා ඉතා ආශාවෙන් මිල දී ගත්තා. ටික කාලයක් යනකොට, ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා බටූ පාර් අංක 2, 4 නම් වූ තට්ටු තුනක ගොඩනැගිල්ල මිල දී ගත් හෙන්රි තමන්ගේ ව්‍යාපාරය එම ස්ථානයට රැගෙන යනවා. 1915 දී දිනෙස්හාමි මිය ගියාට පසු ව්‍යාපාර දෙකේම අයිතිය හෙන්රිට ලැබෙනවා. ඉන් අනතුරුව මේ ව්‍යාපාරය P.H. Hendry Royal Jeweller (පී. එච්. හෙන්රි රෝයල් ජුවලර්) නමින් ප්‍රසිද්ධ වෙනවා.
1920 වන විට මැලේසියාවේ ඉන්න ප්‍රමුඛතම ව්‍යපාරිකයා බවට පත්වීම නිසා මැලේසියාවේ විසූ රජ පවුල් කිහිපයක්ම සිය රාජකීය රන්කරු හැටියට තෝරා ගන්නේ හෙන්රි යි. සෙලැන්ගෝර්, කෙලැන්ටෑන්, නිගේරි සෙම්බිලෑන් කියන රජ පවුල්වල රාජකීය ස්වර්ණාභරණ ආයතනය බවට පත් වූ මේ ආයතය විසින් 1930 දශකයේ දී සෙලැන්ගෝර් රජ පවුලේ නව ඔටුන්න ද දියමන්ති යොදා නිමකර තිබෙනවා. සෞදි රජ පවුල ද කාලයක් මේ ආයතනයෙන් තමන්ට අවශ්‍ය රිදී ආයිත්තම් නිපදවා ගෙන තිබෙනවා. 1957 දී මැලේසියාවට නිදහස ලැබීම වෙනුවෙන් මැලේසියානු රජය මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනට තිළිණ කළ ඇත් දළ යුවල දෙකෙහි නිර්මාණ ශිල්පීන් වෙන්නේත් හෙන්රිගේ මේ ආයතනය යි.
නව ශාඛාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි
1930 දී පමණ මෙම ආයතනයේ ශාඛාවක් පීනැංහි බිෂොප් පාරේ ආරම්භකොට, ඉතා දියුණු මට්ටමෙන් පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් 1944 දී දෙවෙනි ලෝක යුධ සමයේ මේ ශාඛාව අසලම බෝම්බයක් පිපිරීමෙන් එහි කළමණාකරු මියයාම නිසා එය වසා දමන්නට හෙන්රි තීරණය කරනවා. සිංගප්පූරුවේත් ශාඛාවක් විවෘත කෙරුණු අතර එය 1970 වන තෙක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ස්වර්ණාභරණවලට අමතරව ඇත්දළ කැටයම් ආදී හස්ත කර්මාන්තවලට දක්ෂ ශිල්පීන් මේ ආයතයේ සේවයකර තිබෙනවා. එහි ශිල්පියෙකු වී ඇටයක තෙල් සායමින් සිතුවම් කළ නිර්මාණයක් හෙන්රි විසින් ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයාට තෑගි කරලා තිබෙනවා. Rolex සහ Omega කියන ලෝ ප්‍රකට සන්නාමවල මැලේසියාවේ විකුණුම් අයිතිය ද හෙන්රිට ලැබෙනවා.
මේ ව්‍යාපාරය දියුණු වෙමින් යන අතරතුර තවත් ව්‍යාපාරයකට ඔහුගේ හිත යොමු වෙනවා. ඒ අනුව මැලේසියාවේ රබර් අක්කර ගණනාවක අයිතිකරු බවට ද ඔහු පත් වෙනවා. ඉන් නොනැවතී, ඔහුගේ උපන් ගම වූ ගාල්ලේත් අක්කර 145ක පමණ ප්‍රදේශයක රබර් වගාවක් ඇති කරන්නට ඔහු කටයුතුකර තිබෙනවා.
සමාජ හා ආගමික සේවාව
මැලේසියාවේ ප්‍රථම බෞද්ධ විහාරය වූ, වර්තමානයේ ‘බ්‍රික්ෆිල්ඩ් මහා විහාරය’ ලෙසින් හඳුන්වන විහාරය ආරම්භක යුගයේ පටන්ම දියුණු කිරීමට මැලේසියාවේ විසූ සිංහලයන් හා කටයුතු කළ හෙන්රි පියවර ගත්තා. 1932 දී එහි ධර්මශාලාව ගොඩනැංවූ අතර 1935 දී බුද්ධ මන්දියේ ප්‍රතිමා හා සිතුවම් සියල්ල නිමකර දී තිබෙනවා. මැලේසියාවේ වෙසක් සැමරුම් ආරම්භ කිරීමට පුරෝගාමි වූ ඔහු එම විහාරයේ ශාසන අභිවෘද්ධිවර්ධන සමිතියේ සභාපතිවරයා මෙන්ම ගිහි අනුශාසකවරයා බවට ද පත් වෙනවා. ඒ කාලයේ ලාංකික භික්ෂූන්වහන්සේට මැලේසියාව හුරු පුරුදු තැනක් නොවූ නිසා, උන්වහන්සේ එහි වැඩම කිරීම සිදු නොවුණු තරම්. ඒ නිසා වරින් වර භික්ෂූන්වහන්සේ මැලේසියාවට වැඩම කරවන්නත් ඔහු මහන්සි වී කටයුතුකර තිබෙනවා.
මේ වෙද්දී මැලේසියාවේ සැලකිය යුතු සිංහල පිරිසක් ජීවත් වූ නිසා, ඔවුන් එකතු වී ‘මැලේසියානු සිංහල සංගමය’ ආරම්භ කරනවා. 1939 දී මේ සංගමයේ සභාපති බවට පත්වන හෙන්රි සංගමය දියුණු කිරීමේ අරමුණෙන් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ඩී. එස්. සේනානායක හා මහාචාර්ය ගුණපාල මලලසේකරත් මැලේසියාවට කැඳවනවා. පසු කාලයේ දී මේ සංගමය මැලේසියාවේ ජීවත් වූ ලාංකික ද්‍රවිඩ සමාජයටත් විවෘත කරන්න මොහු කටයුතු කරනවා.
1947 මැලේසියාවේ ප්‍රථම සිංහල බෞද්ධ පාසල ආරම්භ කිරීමටත් මුල් වෙන්නේ හෙන්රි තමයි. මැලේසියාව තුළ ඔහුට කොතරම් පිළිගැනීමක් තිබුණා ද කිවහොත් 1921 දී වේල්සයේ කුමාරයා මැලේසියාවට පැමිණි අවස්ථාවේ දී ඔහු පිළිගැනීමට මැලේසියාව වෙනුවෙන් ඉදිරිපත් වන්නෙත් හෙන්රි යි.
එක්තරා අවස්ථාවක මැලේසියාවේ සුළු රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ රාජකාරි කටයුතු සඳහා කාර්යාලයක් නැතිබව හෙන්රිට කිවු විට, තමන්ගේ ස්වර්ණාභරණ ආයතයේම කොටසක් ඔහු වෙනුවෙන් වෙන්කර දෙන්නට මේ ව්‍යාපාරිකයා කටයුතුකොට තිබෙනවා. මේ රාජ්‍ය නිලධාරියා වෙන කවුරුත් නොව, නිදහස් මැලේසියාවේ පළමුවෙනි අගමැති බවට පත් වූ තුන්කෝ අබ්දුල් රහමන්.
හෙන්රි පවුලට මේ නිසා මැලේසියාවේ අදටත් විශේෂිත තැනක් හිමි වෙනවා කියලා කියන්න පුළුවන්. හෙන්රි ඉතාම නිරහංකාර චරිකයක් වූ නිසා අදටත් මැලේසියානු ජනතාව ඔහුට දක්වන්නේ ගෞරවයක්. ඒ නිසාම ඔහුගේ නමින් වීථියක් පවා නම් කරන්නට එරට රජය කටයුතු කරලා තිබෙනවා.
1961 දී අගෝස්තු මස 31 වැනි දා හෙන්රි මියයන්නේ ගාල්ලේ දී යි.
ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය
හෙන්රිගෙන් පසු මේ ව්‍යපාරය ඔහුගේ පුත්‍ර ග්‍රැන්විල් හෙන්රිට ලැබෙනවා. පියාගේ ව්‍යාපාර කටයුතු වගේම ආගමික හා සුබසාධන කටයුතුත් වඩාත් හොඳින් පවත්වා ගෙන යන ඔහු ආචාර්ය කිරින්දේ ධම්මානන්ද හිමියන් සමග එක්වී බ්‍රික්ෆිල්ඩ් මහා විහාරය මූලිකකර ගෙන විශාල ආගමික සේවයක් සිදු කරනවා. ඔහුට මැලේසියානු රජයෙන් DATO කියන ගෞරව නාමයත් පිරිනමනවා.
ඔහුගේ මියයෑමෙන් පසු වර්තමානයේ මේ ව්‍යාපාරය පවත්වගෙන යන්නේ ඔහුගේ බිරිද වූ රංජනී හෙන්රි සහ පුතු වන සුරේන් හෙන්රි විසින්. ළඟ දීම Ceylon Bakery නැවතත් ආරම්භ කරන්න යනවා කියලත් අපට දැනගන්න ලැබුනා. ඉතින් ඔබත් මැලේසියාවට ගියොත් අපේ රටේ අභිමානය මැලේසියාවට ගෙන ගිය P.H Hendry Royal Jeweller ආයතනයට ගොඩ වැදිලා හෙන්රි පවුල එක්ක කතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සිංහල පාන්වල රස මැලේසියාවට එන යන හැමෝටම විඳින්න ලැබෙයි කියලත් අපි හිතනවා.