චිත්‍රපටයක් නැරඹීමට ඔබව පොළඹවන කාරණය කුමක් විය හැකි ද? ඇතැම් විට එහි කතා සාරාංශය කියවීමෙන් හෝ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් ඔබට එම චිත්‍රපටය කෙරෙහි උනන්දුවක් ඇති වූවා විය හැකියි. අනෙක් අතට ඔබ කැමතිම රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය එම නිර්මාණයට දායක වන නිසා ඔබ එය නැරඹීමට කැමති ඇති. නමුත් ලෝක සිනමාව තුළ ඇතැම් සිනමා අධ්‍යක්ෂකවරුන් සිටිනවා, ඔවුන්ටම කියා අනන්‍ය වූ විලාසිතාවක් හෝ දෘෂ්ටිකෝණයකින් තම නිර්මාණ කරගෙන යන. ඇතැම් විට සිනමා නිර්මාණයක් ප්‍රේක්ෂයා අතරට යන්නේ, මෙම සිනමා අධ්‍යක්ෂකවරයා ලෝක සිනමාව තුළ ගොඩනඟා ගත් ඒ අනන්‍යතාවය සහ පෞරුෂය නිසා පමණක්ම වෙන්න පුළුවන්. තමා ගැන එතරම්ම විශ්වාසයක් ලෝකය පුරා වූ සිනමාලෝලීන් තුළ ගොඩනැගූ අධ්‍යක්ෂකවරුන් සිටින්නේ අතළොස්සක් පමණ යි. ඒ අතළොස්සක් වූ සිනමා අධ්‍යක්ෂකවරුන් අතර “කාලය” තමන්ගේ නිර්මාණ තුළ අනන්‍යතාවයක් කරගත් තැනැත්තෙක් සිටිනවා. ඒ තමයි ක්‍රිස්ටොෆර් නෝලන්.
ක්‍රිස්ටොෆර් නෝලන් සිනමා අධ්‍යක්ෂකවරයෙකු පමණක්ම නොවේ. ඔහු නිෂ්පාදකවරයෙකු වගේම තිර පිටපත් රචකයෙකු ලෙස ද තම හැකියාවන් විහිදුවා තියෙනවා. ඔහුගේ බොහෝ නිර්මාණවල කතා රචකයා ද ඔහු යි. සැබැවින්ම ක්‍රිස්ටොෆර් නෝලන් කියන්නේ දුර්ලභ ගණයේ පරිකල්පන හැකියාවක් තිබෙන සිනමා අධ්‍යක්ෂකවරයෙක් කිව්වාට වරදක් නැහැ.
කුඩාකල සිටම තිබූ උනන්දුව
1970 ජූලි 30 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබූ ක්‍රිස්ටොෆර් නෝලන්, කුඩාකල සිටම චිත්‍රපට නිර්මාණය කිරීමට උනන්දු වූ තැනැත්තෙක්. ඔහු තමාගේ පළමු කෙටි චිත්‍රපටය නිපදවන්නේ වයස අවුරුදු 7 දී තරම් ළපටි අවධියේ. නෝලන්ගේ තාත්තා සතුව තිබූ Super 8 වර්ගයේ කැමරාවක් යොදාගෙන තමයි ඔහු අද සිනමාව තුළ පෙන්වන හපන්කම්වලට අඩිතාලම දමා ගත්තේ.
නෝලන්ගේ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර මව ඇමරිකානු ජාතික කාන්තාවක්. මේ නිසා නෝලන්ගේ ළමා කාලය එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර දෝලනය වෙවී ගතවුණා. කෙසේ නමුත් ක්‍රිස්ටොෆර් නෝලන්ට සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීමට යා යුතු මාර්ගයේ විධිමත් බවක් ඇරඹෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරීම උදෙසා ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් වෙත ඇතුළුවීමෙන් පසුව යි. එහිදී ඔහු ඒ ආයතනයේ වූ චිත්‍රපට සමාජයකට සම්බන්ධ වුණා. ජෝර්ජ් ලූකස්ගේ Star wars චිත්‍රපට සහ රිඩ්ලි ස්කොට්ගේ සිනමාකරණය, අධ්‍යක්ෂකවරයෙකු ලෙස තම වෘත්තිය ජීවිතය ගෙන යාමේ ආශාවට වැඩිපුරම බලපෑම් එල්ල කළ නිර්මාණයන් සහ පුද්ගලයන් වූ බව පසුකලෙක ඔහු සඳහන් කොට තිබුණා.
උසස් අධ්‍යපනය ලබන කාලයේ දී නෝලන් ආයතනික හා කාර්මික පුහුණු වීඩියෝ අධ්‍යක්ෂණය කරමින් සිටි අතර, ඒ සමගම නෝලන්ගේ නිළ වශයෙන් සඳහන් කළ හැකි කුළුදුල් සිනමා ආගමනය වන Following, 1998 දී ප්‍රේක්ෂකයා හමුවට එනවා. නමුත් මේ කුළුදුල් චිත්‍රපටය ඩොලර් හයදහසක් වැනි ඉතා කුඩා පිරිවැයකින් නිර්මාණය කරන ලද්දක්. චිත්‍රපටයට දායක වී තිබෙන්නෙත් ඔහුගේ සමීපතමයන්. අලෝකකරණය වැනි තාක්ෂණික කටයුතු සඳහා මුදලක් දරන්න බැරි නිසාම ඔහු මේ චිත්‍රපටය රූගත කර ඇත්තේ ස්වභාවික ආලෝකය යටතේම යි. කෙසේ නමුත් මෙම චිත්‍රපටය සාම්ප්‍රදායික නොවන, රේඛීය ගලා යෑමක් නොමැති කතා වස්තූන් කෙරෙහි නෝලන්ගේ වූ උනන්දුව වැඩි කිරීමට හේතු වූ අතර, ඔහුගේ ඊළඟ නිර්මාණය වන Memento වෙත ඉක්මණින් යෑම සඳහා මේ චිත්‍රපටය මනා උත්තේජනයක් වෙනවා.
සුවිශේෂී අදහස් ඇත්තෙකු ලෙස
ක්‍රිස්ටොෆර් නෝලන් අතින් නිර්මාණය වන සෑම චිත්‍රපටයක්ම පාහේ මීට පෙර කවදාවත් දැක නැති කතාවක් බවට පත් වීමේ සම්භාවිතාවය ඉතා වැඩියි. ඔහුගේ Memento, The Prestige, Interstellar සහ නවතම නිර්මාණය වන TENET චිත්‍රපට තුළ ඇත්තේ නැවුම්ම අදහස් සහ සංකල්පයන්. මූලික වශයෙන් නෝලන් විද්‍යා ප්‍රබන්ධ විෂය පථය ගවේශනය කරන්න කැමති පුද්ගලයෙක්. භෞතික විද්‍යාව තුළ ඇති කාලය හා සම්බන්ධ විරුද්ධාභාසයන් සිනමාව තුළ ජීවමාන කිරීමට ඔහු තුළ ඇති දක්ෂතාවය විශ්මය දනවනසුළු යි. ඔහු ඒ තරමටම පුද්ගල මනෝභාවයන් පිළිබඳව කෙරෙන ගවේෂණ ඇතුළත් කතා වස්තූන් ගොඩනැඟීමට ද දක්ෂයෙක්. පුද්ගලයෙකුගේ මතකය, එය ක්‍රියා කරන ආකාරය, එය දූෂිත වන්නේ කෙසේ ද, යථාර්තය හා අප සිතින් මවා ගත් දේ මත පදනම්ව අපේ මතකය හැඩ ගැහෙන ආකාරය පිළිබඳව සියුම් මනෝ විද්‍යාත්මක විග්‍රහයන් මත පදනම් වූ කතා වස්තූන් නිර්මාණය කෙරෙහි ද ඔහුට ඇත්තේ සුවිශේෂී වූ හැකියාවක්.
ප්‍රේක්ෂකයාව සිය චිත්‍රපට තුළ නොපැහැදිලි අවසානයන් මැද අතහැර යාම අතින් දක්ෂ පුද්ගලයෙක් ලෙස ක්‍රිස්ටොෆර් නෝලන් හැඳින්විය හැකියි. එසේ කිරීමෙන්, ඔහු නරඹන්නාට අර්ථ නිරූපණය සඳහා විශාල ඉඩක් ලබා දෙනවා. එමෙන්ම බොහෝවිට ඔහුගේ නිර්මාණයක් තේරුම් ගැනීම සඳහා එය කිහිපවතාවක් නැරඹීමට සිදුවිය හැකියි.
කාලයත් සමග රේඛීය ලෙස ගලායන කතාවක් ගොඩනැඟීමට නෝලන් අකමැතියි. ඇතැම් විටෙක ඔහුගේ චිත්‍රපටයක ආරම්භක ජවනිකාව චිත්‍රපටයේ අවසානය වන්නත් පුළුවන්. චිත්‍රපටයේ එක් එක් චරිතවලට සුවිශේෂී වන ලෙස වෙන වෙනම කාලරේඛා ගොඩනැඟීම ඔහුගේ සිනමාකරණයේ තිබෙන සුවිශේෂ අංගයක්. එම කාලරේඛා (Timelines) මුලින්, මැදින්, අගින්, පටන්ගෙන එකිනෙකාගේ කාලරේඛා හරහා ද ගමන් කරන නිසා නරඹන්නාට බොහෝ දුරට වියවුල් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. කාලයත් සමග කරන මේ හරඹය ප්‍රෙහේලිකාවක් සේ විසඳා ගැනීමේ වගකීම ප්‍රේක්ෂයාට භාර දී ක්‍රිස්ටොෆර් නෝලන් පැත්තකට වෙනවා. නමුත් නෝලන්ටම සුවිශේෂ වුණ මේ කාලය පිළිබඳ සංකල්ප මැද අතරමං වීමට ප්‍රේක්ෂකයාට ඇති කැමැත්ත නිසාම, ඔහුගේ නිර්මාණයක් එනතෙක් මඟ බලා සිටින රසිකයන් පිරිස අතිමහත්. නෝලන්ගේ චිත්‍රපටයක් අවසාන වන අන්දමේ ඇති ව්‍යාකූල ස්වභාවයට ඇතැම් අය ආදරය කරන අතර තවත් සමහරු සිතන්නේ එම අවසානයන් පූරෝකථනය කළ නොහැකි දාර්ශනික කරුණුවලින් වැසී තිබෙන බව යි.
සිනමාකරණයේ සුවිශේෂීතා
නෝලන් සිය සිනමාකරණ ක්‍රියාවලිය විස්තර කර ඇත්තේ සහජ අවබෝධයේ හා ජ්‍යාමිතියේ එකතුවක් ලෙස ය. ඔහු වැඩ කරන විට අවබෝධය සඳහා දළ සටහන් විශාල ලෙස අඳින්නෙකු බව කියැවෙනවා. එලෙස වැඩ කිරීම මඟින් ඔහු ගණිතමය හෝ විද්‍යාත්මක ආකෘතියක් සොයාගන්නා අතර, එය තම නිර්මාණ සඳහා සොයා ගන්නවා. Interstellar චිත්‍රපටය නිපදවීමේ දී, චිත්‍රපටයේ විද්‍යාත්මක පදනම වෙනුවෙන් උපදේශන සේවා සැපයූ කිප් තෝර්න් නම් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයාට අනුව, විද්‍යාත්මක සංකල්පයන් ග්‍රහණය කර ගැනීම පැත්තෙන් නෝලන් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නෙක්.
නළු නිළියන් සමග වැඩ කරන විට, ලබා දී ඇති දර්ශනයක් ඔවුන්ට අවශ්‍ය පරිදි රඟ දැක්වීමට කාලය ලබා දීමට නෝලන් කැමැත්තක් දක්වනවා. ආලෝකකරණය, කැමරා සැකසුම් වැනි තාක්ෂණික දේවල් මැද කාලය ගත වන ක්‍රියාවලියක් වුණත්, රංගන ශිල්පියෙකු ලෙස තමාට ලැබුණු චරිතය පිළිබඳව මීට වඩා යමක් තමන්ට කළ හැකි බව හැඟුණහොත්, ඔහුට හෝ ඇයට ඉඩ දීම නෝලන්ගේ සිරිත යි. එයට හොඳම උදාහරණය වන්නේ Batman චිත්‍රපට පෙළෙහි “Joker” නම් චරිතය රඟදැක්වූ හීත් ලෙජර් නම් රංගන ශිල්පියා යි. ඔහු නෝලන්ගේ උපදෙස් මතම නොපිහිටමින් තම චරිතය පිළිබඳව බොහෝ වෙහෙස මහන්සි වී ස්වයං අධ්‍යනයක යෙදුණු අතර, එයින් හීත් ලෙජර් උකහා ගත් කරුණු “Joker” චරිතය සමග සංයුක්ත කිරීමට තරම් නෝලන් නිහතමානී පුද්ගලයෙකු වූවා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් රූගත කරන ස්ථානයක කිසිවෙකුට කිසිම අයුරකින් දුරකථන භාවිතා කිරීමට නෝලන් ඉඩ නොදෙන බව කියවෙනවා. ඔහු ඒ තරමටම තමන්ගේ රාජකාරිය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන පුද්ගලයෙක්.
ක්‍රිස්ටොෆර් නෝලන් තම චිත්‍රපටවල විශේෂ ප්‍රයෝග සඳහා පරිගණකයෙන් ජනනය කරන ලද නිරූපණ ප්‍රමාණය හැකිතාක් අවම කිරීමට උත්සහ ගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකට යි. හැකි සෑම විටම එම රූප රාමු ප්‍රායෝගික අන්දමින්ම රූගත කිරීමට ඔහු වඩාත් කැමතියි. උදාහරණයක් ලෙස Batman begins, Inception, සහ Interstellar වැනි චිත්‍රපටවල දෘෂ්‍ය ප්‍රයෝග සහිත දර්ශනයන් ඇතුළත් වුණත්, අනෙකුත් සුපිරි වීර චරිත පාදක වූ චිත්‍රපට හා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට සාපේක්ෂව එම දෘශ්‍ය ප්‍රයෝග දර්ශන ප්‍රමාණය ඉතා සුළුයැ යි සැළකෙනවා. රූගත කිරීමට ඉතා අපහසු, සංකීර්ණ දර්ශන පවා පරිගණක තාක්ෂණයන් මත නොපිහිටමින් ඔහු සැබෑ ලෙසටම කරන්න උත්සුක වෙනවා. උදාහරණයක් ලෙස මෑතක දී නිකුත් වූ TENET චිත්‍රපටයේ එන දර්ශනයක් දැක්විය හැකියි. එහිදී එක්තරා අවස්ථාවක ගුවන් යානයක් ගොඩනැඟිල්ලකට කඩා වැදී පුපුරවා දමන දර්ශනයක් ඇතුළත් වන අතර, නෝලන් එය සත්‍ය වශයෙන්ම සිදු කර තිබෙනවා. ඒ සඳහා ඔහු බොයිං 747 වර්ගයේ ගුවන් යානයක් යොදා ගෙන තිබෙනවා.
“ඒක සැබෑ ගුවන් යානයක් වගේම සැබෑ ගොඩනැගිල්ලක්. අපි, නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව සියල්ලෝම එය සිදුකෙරෙනු දුටුවා. එය ඇදහිය නොහැකි පුදුම සහගත අත්දැකීමක්. ක්‍රිස්ට එම දර්ශනය බලාපොරොත්තු වූ මට්ටමින් ලැබුණ බව දැනගත්තම අපි හැමෝම ප්‍රීතිඝෝෂා කළා. ඔබ චිත්‍රපටයෙන් දුටු දෙය ඇත්ත වශයෙන්ම සිදු වූවක්.. අඩුම තරමේ ඒ රාත්‍රියේ එතන ඉන්න හරි මට අවකාශ ලැබුණා..”
TENET චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඩේවිඩ් වොෂිංටන් එම දර්ශනය පිළිබඳව අදහස් දැක්වූයේ එලෙසින්.
අනෙක් අතට ඔහු දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයේ දී වුණත්, එය පරිපූර්ණ ලෙස යොදා ගැනීමට උත්සුක වන සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ක්‍රිස්ටොෆර් නෝලන් තම උපරිමය දැක් වූ ස්ථානයක් ලෙස Interstellar චිත්‍රපටයේ එන කළු කුහරය දැක්විය හැකියි. මෑතක දී දුරේක්ෂ ජාලයකින් හෙබි Event Horizon Telescope මඟින් සැබෑ ලෙසම කළු කුහරයක් ඡායාරූපගත කිරීමට සමත්වීමත් සමග ඊට වර්ෂ කිහිපයකට පෙර නිකුත් වූ නෝලන්ගේ Interstellar චිත්‍රපටයේ එන කළු කුහරය නැවත කතාබහට ලක්වූවා. එයට හේතු වූයේ විද්‍යාත්මක උපදේශනයන් අනුව යමින් Interstellar චිත්‍රපටයේ නිර්මාණය කළ කළු කුහරයත්, මෙම දූරේක්ෂය මඟින් ලබා ගත් කළුකුහර ඡායාරූපයත් රූපීය වශයෙන් සැලකිය යුතු අන්දමින් සමානවීම යි. කළු කුහරය වෙත අධික ගුරුත්වය යටතේ ගමන් කරන අංශුවලින් හටගන්නා ඝර්ෂණයෙන් උපදින තාපය විකිරණය වීමෙන් තමයි මෙම කළු කුහරය වටා තිබෙන කහ-තැඹිලි වර්ණය දර්ශනය වෙන්නේ. Interstellar චිත්‍රපටය විද්‍යාත්මක අතින් බොහෝ තරම් නිවැරදි, පරිපූර්ණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස ලෝකය පුරා ගෞරවාදරය ලබන්න මෙම කළු කුහරය නිර්මාණය කිරීම පිටුපස තිබෙන පරිශ්‍රමයත් හේතු වුණා. ඒ පිටුපස තිබෙන තාක්ෂණික තොරතුරු තරමක් සංකීර්ණ යි.
ක්‍රිස්ටොෆර් නෝලන්ගේ රසබර පැති
මෙතෙක් මේ ලිපිය තුළින් කතා කළ නෝලන්ගේ ආරම්භය, ඔහුගේ අදහස් සහ සිනමාකරණයේ තිබෙන සුවිශේෂිතාවලින් මඳක් වියුක්තව, වෘත්තිකයෙක් ලෙස ඔහුගේ චරිතයේ තිබෙන රසබර පැති අපි දැන් සළකා බලමු.
ක්‍රිස්ටොෆර් නෝලන් කියන්නේ e-mail ලිපිනයක් හෝ ජංගම දුරකථනයක් භාවිතා නොකරන පුද්ගලයෙකු බව පැවසෙනවා. ඔහුට එවන වැදගත් e-mail පණිවිඩ, ඔහුගේ සහායකයා මුද්‍රණය කොට ඔහුට කියවන්න ලබා දෙනවා. ඒ වගේම ඔහුව දුරකථන මාර්ගයකින් සම්බන්ධ කර ගැනීමට අවැසි නම් ඔහුගේ සමීපතයෙක් හරහා හෝ ඔහු රාජකාරී කරන ස්ථානයේ සිටින තැනැත්තෙකු හරහා හෝ සම්බන්ධ කරගැනීමට සිදුවෙනවා. මනස වඩාත් වෙහෙසවන තැනැත්තෙක් ලෙස තාක්ෂණය සමග පමණට වඩා ගැටීමෙන් සිතීමේ නිදහස සීමා වන නිසා නෝලන් මෙවැනි පිළිවෙතක් අනුගමනය කරන බවයි සඳහන් වෙන්නේ.
ක්‍රිස්ටොෆර් නෝලන් කියන්නේ කවදාවත් සිනමා පාසලකට බැඳිලා, සිනමාව විෂයක් විදිහට හදාරපු තැනැත්තෙක් නෙවෙයි. නමුත් ඔහු සිනමාවේ විවිධාකාරයේ වූ පැති ගැන ප්‍රායෝගික තලයක ඉඳන් බොහෝ කාලයක සිට ස්වයං අධ්‍යනයේ යෙදුණ කෙනෙක්. ඒ අනුව ඔහු සංස්කරණය, කැමරා ක්‍රියාකාරකම් සහ අධ්‍යක්ෂකවරුන් ගේ සහායකයෙකු ලෙස වූ බොහෝ පැතිවලින් රැකියා කරමින් ඉගෙනගත්තා.
රූගතකිරීම් අතරතුර දී තේ පානය සහිත ප්ලාස්කුවක් ළඟ තබාගෙන වැඩ කිරීම නෝලන්ගේ තවත් එක් චර්යාවක්. රාජකාරී කරන වෙලාව පුරා ඔහු වරින් වර එය පානය කරමින් වැඩ කරගෙන යනවා. අතරමඟ දී ප්ලාස්කුවේ තේ පානය අවසන් වුවහොත්, එය තමාම සාදා ගැනීම ඔහුගේ පුරුද්දක් බව සඳහන්. ඒ වගේම ඔහු උපතින්ම රතු-කොළ වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නෙකු බව කියැවෙනවා. නමුත් ඔහු එම අඩුපාඩුව ඉතා දක්ෂ අන්දමින් මැඩගත්තේ, ඔහුට දැකිය හැකි වර්ණ පරාසයට ගැලපෙන පරිදි අඳුරු වර්ණ සංයෝජන තම චිත්‍රපට සඳහා යොදා ගැනීමෙනුයි. එයින් ඔහුගේ සිනමා කාර්යයන්වලටම අනන්‍ය වූ වටිනාකමක් ලැබුණා. රාජකාරී වේලාවන්වල දී එකම පන්නයේ ඇඳුම් විලාසිතාවක් භාවිතා කිරීමත් ඔහුගේ තවත් එක් පුරුද්දක්. ඒ වගේම ඔහු කවදාවත් සති අන්තවල වැඩ කටයුතු කරන්නේ නැහැ.
ඉතින්, ඔබ වඩාත්ම කැමති ක්‍රිස්ටොෆර් නෝලන්ගේ කුමන සිනමා නිර්මාණයට ද?