මෑත කාලයේ අපිට සිටි ඉහළම බුද්ධිමතෙක් ලෙස සැළකෙන ස්ටීවන් හෝකින්ග් සාමාන්‍ය ජනතාව අතර ලොකු ප්‍රසිද්ධියක් ලබන්න හේතු වුණේ ඔහුගේ රෝගී තත්ත්වය සහ ඒ හේතුවෙන් ඔහුට ජීවත් වන්නට සිදු වූ ආකාරය බවට සැකයක් නැහැ. ඔහුට තිබුණු රෝගයේ හැටියට හෝකින්ග් මෙතරම් කාලයක් ජීවත් වුණු එක ලොකුම පුදුමයක්. අවුරුදු 21 දී ඔහුට වැළඳුණු amyotrophic lateral sclerosis (ALS – ආංශික පටක ක්ෂය වී දෘඪ වීමේ රෝගය) කියන දුලබ රෝගය නිසා ඉතාම කෙටි කලක් තුළ බෙල්ලෙන් පහළ මුළුමනින්ම පාහේ අප්‍රාණික වී රෝද පුටුවකට සීමා වෙන්නත්, පසුව කතා කිරීමේ හැකියාවට සමු දෙන්නත් සිදු වුණා. හෝකින්ග් මොන තරම් බුද්ධිමත් වුණත් පිටතට අදහස් සංවේදනය කරන්න බැරි වීම නිසා සියල්ල අපතේ යන්න ඉඩ තිබුණා.
කොහොම නමුත් පරිගණකමය ලෙස හඬ නිපදවිය හැකි පද්ධතියක් ඒ වන විටත් නිර්මාණය වෙලා තිබුණු නිසා ලෝකයට හෝකින්ග්ගේ දැනුම උකහා ගන්න අලුත් අවස්ථාවක් ලැබුණා. මේ සඳහා ඉමහත් දායකත්වයක් දුන්නේ ඩෙනිස් ක්ලැට් මහතායි. තමන්ගේම හඬ යොදා ගනිමින් පරිගණක ආශ්රයෙන් හඬ උත්පාදනය කරන්න ඔහු බිහි කළ යන්ත්‍රය සහ ඒ වෙනුවෙන් කළ පර්යේෂණ අද පවතින සියලු හඬ සංස්ලේෂණ (speech synthesizing) ක්‍රමවල මූලාරම්භය ලෙස සැලකෙනවා.
හඬ සංස්ලේෂණයේ වැදගත්කම
හඬ සංස්ලේෂණය කියන්නේ මොන තරම් වැදගත් දෙයක් ද කියලා මෑත කාලීනව තාක්ෂණික ලෝකයේ සිදු වන දේවල් දිහා බැලුවාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. Google Assitant, Siri, Cortana ඇතුළු පුද්ගලික සහායකයන් සියලු දෙනාගේම ප්‍රධානතම අවශ්‍යතාවක් වන්නේ අපිට හඳුනාගත හැකි විදිහට කතා කිරීමේ හැකියාවයි. අද වන විට මේ ක්ෂේත්රයේ දියුණුව නිසා සාමාන්‍ය කාන්තා/ පිරිමි හඬකට හැම අතින්ම සමාන ලෙස අකුරු හඬ බවට හරවන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ වන විට Apple, Google, Amazon, Microsoft වැනි සුවිශාල සමාගම් පෞද්ගලික සහායකයන් ඇතුළු වෙනත් සේවා හරහා මේ තාක්ෂණය යොදාගෙන අති විශාල ලාභයක් ලැබුවත් ඔවුන් කිසිවෙක් ඩෙනිස් ක්ලැට් හට සුදුසු ගෞරවය ලබා දෙන බවක් නම් පෙනෙන්න නැහැ. නිකමට ක්ලැට්ගේ නම search කර බැලුවොත් මේ ආයතනවල ඔහු ගැන දැක ගන්න ලැබෙන්නේ මොන තරම් කුඩා තොරතුරු ප්‍රමාණයක් ද කියලා ඔබටම බලාගන්න පුළුවන්. ඔහුගේ රූපයක්වත් සොයා ගන්න හරිම අපහසු යි.
මුල් කාලය
1938 වර්ෂයේ මාර්තු 31 වන දින උපත ලැබූ ඩෙනිස් ක්ලැට් ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ, මිල්වෝකි ප්‍රදේශයේ ජීවත් වූ පවුලකින් පැවත එන අයෙක්. හොඳ අධ්‍යාපනයක් ලැබූ ඔහු විදුලි ඉංජිනේරු වෘත්තිකයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්ඩියානාහි පිහිටි පර්ඩියු විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. 1960 දී එයින් සිය විද්‍යාවේදී උපාධියත්, 1961 දී විද්‍යාපති උපාධියත් හිමි කරගත් ඔහු පසුව සුප්‍රසිද්ධ මිචිගන් සරසවියට ඇතුළත් වී 1964 දී එයින් සන්නිවේදන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගත්තා.
ආචාර්ය ක්ලැට් 1965 දී ලොව අදටත් විශිෂ්ටතම තාක්ෂණික විශ්ව විද්‍යාලය ලෙස සැළකෙන මැසචුසෙට් තාක්ෂණ ආයතනයට (MIT) ඇතුළත් වෙන්න වරම් ලැබුවා. ඒ සහාය මහාචාර්යවරයෙක් ලෙස යි. 1978 දී MITහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු බවට පත් වූ ඔහු ඉන් පසුව මුළු ජීවිත කාලය පුරාවටම MIT හි තාක්ෂණික පීඨයේ සාමාජිකයෙක්ව සිටියා. ඔහුගේ වැදගත් සොයාගැනීම් බොහොමයක් සිදු වුණේ මේ කාලයේ දී යි.
කටහඬ පිළිබඳව කළ පර්යේෂණ
ලියන ලද හෝ ටයිප් කරන ලද දෙයක් හඬ බවට හැරවීම ඔහුගේ ප්‍රධානතම සිහිනයක් වුණා. වචන වශයෙන් පටිගත කර ඒවා ඇසුරෙන් හඬ උත්පාදනය වෙනුවට, කටහඬේ පවතින සංඛ්‍යාත ඇතුළු හඬ ගුණ හඳුනා ගන්නත්, ඒවා භාවිතයෙන් අකුරු කෙලින්ම හඬ බවට පෙරළන්නත් හැකි තාක්ෂණයක් බිහි කරන්න ඔහු කළ පර්යේෂණ ඍජුවම හේතු වුණා. අද මේ තාක්ෂණය ඩිජිටල් උපාංග සඳහා වැඩි වශයෙන් යොදා ගැනුණත් ඩෙනිස් ක්ලැට්ගේ ඒකායන උත්සාහය වුණේ කතා කිරීමේ අපහසුතා ඇති පුද්ගලයන්ට පහසුවක් වෙන යන්ත්‍රයක් මේ තුළින් බිහි කිරීම යි. එය බොහෝ දුරට සාර්ථක කර ගනිමින් ඔහු ඉංග්‍රීසි අකුරුවලින් තේරුම් ගත හැකි ලෙස හඬ උත්පාදනය කළ හැකි සම්පූර්ණ යන්ත්‍රයක් බිහි කරන්නත් සමත් වුණා.
හඬ සංස්ලේෂණයේ හෙවත් විවිධ ශබ්ද එක් කරමින් කෙනෙක් කතා කරනවාට සමාන හඬපටයක් කෘත්රීමව නිපදවීම කියන තාක්ෂණයේ පියා ලෙස ඩෙනිස් ක්ලැට් මහතා අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ ස්වරාක්ෂර වලට අනුව අනෙක් අක්ෂරවලින් ලැබෙන හඬ වෙනස් වන අයුරු (උදාහරණයක් ලෙස A,E,I,O,U අකුරු B හා T අතර යෙදීම නිසා සෑදෙන bat, bet, bit, bot, but යන වචන පහේ ශබ්ද රටා සළකන්න පුළුවන්) හඳුනාගෙන, ඒ අනුව අකුරු ඇසුරෙන් හඬ ප්‍රතිනිර්මාණය කරන පරිගණක වැඩසටහනක් සකසන්න ඔහුට හැකි වුණා. මේ සඳහා ඔහු යොදා ගත්තේ තමන්ගේම හඬ වීම විශේෂත්වයක්. “Perfect Paul” ලෙස නම් කෙරුණු ඩෙනිස් ක්ලැට්ගේ යාන්ත්‍රිකකරණය වූ කටහඬ තමයි ස්ටීවන් හෝකින්ග්ගේ මුල්ම හඬ යන්ත්‍රය සඳහාත් යොදා ගැනුණේ.
ස්ටීවන් හෝකින්ග්ගේ හඬ තුළින් අමරණීයත්වය ලැබූ හැටි
80 දශකයේ මුල් භාගය වන විටත් හෝකින්ග් පවසන දේවල් හඳුනා ගන්න බැරි තරම් දුර්වල වෙලයි තිබුණේ. ඒ නිසා ඔහුත් මෙයට තාක්ෂණික පිළියමක් සොයමින් සිටියේ. ඔහු වෙනුවෙන් හඬ උත්පාදනය කරන යන්ත්‍රයක් බිහි කරනු ලැබුවත් සාර්ථකව හෝකින්ග්ට අවශ්‍ය සංකීර්ණ වචන උච්චාරණය කළ හැකි වූයේ “Perfect Paul”ට හෙවත් ඩෙනිස් ක්ලැට්ගේ කටහඬට පමණක් නිසා එය යොදා ගන්න තීරණය වුණා.
ඩෙනිස් ක්ලැට්ගේ හඬට ස්ටීවන් හෝකින්ග් විශාල කැමැත්තක් දැක්වූවා. ඒ විතරක් නෙවෙයි, මොන තරම් තාක්ෂණය අලුත් වුණත්, වඩා හොඳ හඬ සංස්ලේෂක බිහි වුණත් එය වෙනස් කරන්න ඔහු කිසිසේත් කැමති වුණේ නැහැ. මේ නිසාම හෝකින්ග්ගේ හඬ සංස්ලේෂණ පද්ධතිය බොහෝ වාර ගණනක් වැඩි දියුණු වුණත් එදා සිට අද දක්වාම ඔහුගෙන් නිකුත් වුණේ ඩෙනිස් ක්ලැට් තම හඬේ පටිගතකිරීම් යොදාගෙන තැනූ “Perfect Paul” කටහඬම පමණ යි. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වූ හෝකින්ග්ට ඇමරිකානු/ ස්කොට් ඌරුවක් සහිත හඬක් ලැබුණේ ඒ නිසාවෙන්. මේ ගැන වරක් එංගන්ත මහ රැජිණ ද ඔහුගෙන් අසා තිබෙනවා.
තරමක් යාන්ත්‍රික බවක් තිබුණත් එහි තිබුණු අපූරු ශබ්දනැගීම නිසාම ක්ලැට්ගේ හඬ හෝකින්ග්ගේ හඬ ලෙස ලෝක ප්‍රසිද්ධ වුණා. පසුව මෙහි තියෙන සුවිශේෂීත්වය නිසාම ඒ හඬ ස්ටීවන් හෝකින්ග්ගේ හඬ ලෙස ලියාපදිංචි (trademark) කර තිබෙනවා. මේ නිසා Big Bang Theory, Theory of Everything වැනි කලා නිර්මාණ සඳහා ඒ හඬ භාවිතයට හෝකින්ග්ගෙන් අවසර ලබාගන්නත් සිදු වුණා.
හෝකින්ග් සහ ඔහුගේ හඬ ගැන අද කවුරුත් දැන සිටියා වුණාට, අද විවිධ තාක්ෂණ මෙවලම් හරහා හඬ සංස්ලේෂණ තාක්ෂණය ඇති තරම් භාවිත කරනවා වුණාට, ඩෙනිස් ක්ලැට් ඒ තාක්ෂණ ක්‍රම ශිල්ප ගොඩ නංවන්න කළ වැඩ කොටස ගැනවත්, කොටින්ම ඔහු ගැනවත් දන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. ඔහු නිර්මාණය කරපු දේවල්වලින් බොහෝ දෙනා අද ප්‍රයෝජන ගනිමින් සිටියත්, ඔහුට ඒ ගෞරවය ලබා දෙන්න වැඩි දෙනෙක්ගේ උත්සාහයක් නැහැ.
1988 දී මිය ගිය ආචාර්ය ක්ලැට් නිමැවූ ඩිජිටල් පුද්ගලික සහකයන්ගේ මූලාරම්භය වූ හැටි ගැන මේ තොරතුරු ඔබට ගෙන එන්නත්, ඔහුට හිමි විය යුතු නිසි ගෞරවය ලබා දෙන්නත් මේ ලිපිය සම්පාදනය කරන්න අපි හිතුවේ ඒ වගකීම අපි හෝ ඉටු කරන්න ගන්න පුංචි උත්සාහයක් විදිහට යි.
කවරයේ රූපය : sprint-ink.co.uk