සල්ලි සම්මාදම් කරමින් පාසල් තැනූ අහිංසාවාදියා

අද පරම්පරාවේ බහුතරයක් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ගැන දන්නේ නැහැ. ඔහු අපට නම් පේන්නේ ලංකාවේ සිටි ගාන්ධි කෙනෙක් ලෙස යි. අහිංසාවාදයෙන් තම අරමුණු ඉටුකර ගැනිමට කැපවූ කෙනෙක් ලෙස අදිකාරම් ප්‍රකට යි. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට ඔහු විශාල සහයෝගයක් ලබාදුන්නා. ඉංග්‍රීසි පාලන කාලයේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමට මුදල් සම්මාදම් කරමින් දුක්වින්ඳා.

පාසලට කි. මී. 7ක් පයින් ගිය ගමන

අදිකාරම් ඉගෙන ගත් වෙස්ලි විදුහල –  lankapura.com

1905 වසරේ මාර්තු මස 29 වන දින සරනේලිස් සහ සිසිලියානා යුවළට ලැබුණු පුතාට නම තැබුවේ දොන් එඩ්වඩ් විනිප්‍රඩ් බ්‍රිටෝ අදිකාරම් කියල යි. පසුව එම නම ඊ. ඩබ්ලිව්. අදිකාරම් යනුවෙන් තමයි භාවිත වුණේ. මේ දරුවාට සුරතලයට ඇමතුවේ ‘විනී’ කියන නමින්. ටික කලකින් විනීට නැගණියක් ද හිමි වුණා. ඈ මෝඩ් මිලී. විනී කුඩා කාලයේ දී ම පියා හදිසියේ මිය ගියා. ඒ වන විට ඔහු අධ්‍යාපනය ලබමින් සිටියේ දෙහිවල ශාන්ත මේරි විදුහලේ. පියා අහිමිවීමෙන් පසු අම්මා තම දරු දෙදෙනාත් රැගෙන ඇගේ ගම වූ වැල්ලම්පිටිය වෙන්නවත්තට ආවා.  එහි දුෂ්කරතා පිරුණු ජීවිතයක් තමයි ගෙවන්න සිදුවුණේ.

අදිකාරම් තරුණ වියේ- Adikaramblog.wordpress.com

ඉගෙනීමේ අගය වටහාගෙන සිටි විනීගේ මව ඔහු බොරැල්ල, වෙස්ලි විදුහලට ඇතුළත් කළා. ඒ වන විට ඔහු සිටියේ අවුරුදු 15ක යොවුන් වයසේ. අනෙක් සිසුන් මෙන් කෙළි සෙල්ලම්වලට ප්‍රිය නොකළ අදිකාරම් සිසුවා ඉගෙනීමටම අවධානය යොමු කළා.  ඔහු වෙන්නවත්තේ සිට පාසලට ඇති කි. මී. 7ක දුර පැමිණියේත් ආපසු ගියේත් පා ගමනින්ම යි. සල්ලි තියෙන අය කරත්තවල, රික්ෂෝවල තමයි ඒ කාලේ ආවේ. බස් එහෙම තිබුණේ නැහැ. වෙන්නවත්තට ආසන්නව පිහිටි කලවිටිගොඩැල්ල පුරාණ විහාරයේ  දහම් පාසලටත් අදිකාරම් සිසුවා ගියා.  පන්සලේ විහාරාධිපති සද්ධානන්ද හිමියන්ගේ සමීපතම ඇසුර ද ඔහුගේ ජීවිතයට බලපා තිබෙනවා.

එස්. ජේ. වී. චෙල්වනායගම්-dailynews.lk

ක්‍රේම්බිජ් කනිෂ්ඨ විභාගය හොඳින් සමත් වූ ඊ.ඩබ්ලිව්. අදිකාරම් කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පන්තියට ද ඇතුළත් වුණා. ඒ පන්තියේ දී ඔහුට ඉගැන්වූ ගුරුවරයෙකු වුණේ විශිෂ්ට බුද්ධිමතෙක් ලෙස සැලකෙන නීතිඥ එස්. ජේ. වී. චෙල්වනායගම්. මේ ගුරුවරයා ගැන ඔහු නිතර ගෞරවයෙන් සිහිපත් කර තිබෙනවා. ඒ ගැන මහාචාර්ය ජිනදාස පෙරේරා තබන සටහනක් මේ:

චෙල්වනායගම් නාමය අදිකාරම්තුමාගේ සිතෙහි සදාකල්හි අමරණීයව පැවතුණු බව මම පෞද්ගලිකව දනිමි. චෙල්වනායගම්තුමාගේ නිසංසලභාවයත්, චාම් දිවි පැවැත්මත් අදිකාරම්තුමාගේ ජීවිතය මුලින්ම හැඩගස්වාලීමට සමත්වූ බව ඔහු නිතර පැවසුවේය.

(පූජිත ජීවිත ඇසුර- අමරසිරි පොන්නම්පෙරුම).

බී ඒ කියන්නෙත් උපාධියක් ද?

අදිකාරම් මූලික උපාධිය ලබාගත් කොළඹ යුනිවර්සිටි කොලේජ් ගොඩනැගිල්ල අද කොළඹ විශ්වවිද්‍යාලයට අයත් –  wikipedia.org

අදිකාරම් වෙස්ලි විදුහලේ අධ්‍යාපනයෙන් පසු 1922 දී කොළඹ යුනිවර්සිටි කොලිජියට ඇතුළත්ව ලන්ඩන් ඉන්ටර් සයන්ස් විභාගය විද්‍යා විෂයයන්ගෙන් හැදෑරුවා. ඒ කාලෙ ලංකාවෙ විශ්වවිද්‍යාල ආරම්භ කර තිබුණේ නෑ. 1926 වසරේ දී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියට (බී.ඒ.) පෙනී සිටීමෙන් පසු  රැකියාවක් සොයා ගැනීමට ඔහු උත්සාහ කළා. ඒ උසස් අධ්‍යාපනය සඳහා මුදල් සොයාගැනීමට යි. ඔහු යුනිවර්සිටි කොලීජියේ රසායන විද්‍යා අංශයේ ප්‍රධාන ආචාර්යවරයා  වූ ජේ. වී. සී. චන්ද්‍රසේකර  දුන් ලිපියක් ද රැගෙන කොළඹ නාලන්දා විදුහලට ගොස් එහි විදුහල්පතිවරයා හමුවුණා. ඒ ගුරු පත්වීමක් ලබාගැනීමට යි.  විදුහල්පතිවරයා අදිකාරම්ගේ කෙසඟ සිරුර දෙස බලා ඔහු සමච්චලයට ලක් කළේ “බී.ඒ. කියන්නෙත් උපාධියක් ද? තමුන්ට ළමයි 40ක් ඉන්න පන්තියක් පාලනය කරන්ට පුළුවන් ද?” යි පවසමින්. ඔහු පාසල් කිහිපයකටම ගියත් ගුරුකමක් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. පසුව අදිකාරම් තරුණයා ස්ථිර අධිෂ්ඨානයකට එළඹුණා. ඒ, කෙසේ හෝ ආචාර්ය උපාධිය ලබාගැනීමට යි.

ආචාර්ය අදිකාරම්

ආචාර්ය උපාධි නිබන්ධනයෙන් සකස් වූ කෘතිය- thriftbooks.com       

සිරුරින් කෙසඟ වුණත් අදිකාරම්ගේ සිතේ ශක්තිය විශාල වුණා. ඔහු ශිෂ්‍යත්වයක් ලබා ලන්ඩනයට නැව් නැගුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා යි. ශාස්ත්‍රපති උපාධි පර්යේෂණය කරන ඔහු 1931 දී එම උපාධිය ලබාගන්නවා. ආචාර්ය උපාධිය සඳහා ඔහුගේ මාතෘකාව වුණේ  Early History of Buddhism in Ceylon (ලක්දිව පුරාතන බෞද්ධ ඉතිහාසය). එහි උපදේශකවරු වුණේ මහාචාර්ය විලියම් ස්ටීඩ් සහ රීස් ඩේවිස් මැතිනිය යි.  1934 වසරේ දී එම නිබන්ධය සඳහා ආචාර්ය උපාධිය ඔහුට පිරිනමනවා. අදටත් එම කෘතිය විද්වතුන් අතර සම්භාවනාවට ලක්වන අධ්‍යයනයක්. එහි සිංහල පරිවර්තනයක් ද තිබෙනවා.

ලන්ඩනයේ සිටි කාලයේ දී ඔහුගේ සමීප ඇසුරට වැටෙන්නේ ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන ආදී කොමියුනිස්ට් නායකයන්. නමුත් අදිකාරම් දේශපාලන විප්ලවයකට නොගිය අතර ඔහුට අවශ්‍ය වුණේ මිනිසාගේ චින්තන විප්ලවයක්. 1933 අවුරුද්ද අවසානයේ ලංකාවට නැවත පැමිණෙන ඊ. ඩබ්ලිව්. අදිකාරම් තරුණයාට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති තනතුරට පත්වෙනවා. මෙවර නම් ඔහුට අභියෝග කිරීමට කවුරුත් පැමිණියේ නැහැ.

ආනන්ද ශාස්ත්‍රාල විදුහල් බිම- anandashastralaya.com          

ගරාවැටුණු ගොඩනැගිලි කිහිපයකින් යුත් සිසුන් 200කට අඩු සංඛ්‍යාවක් සිටි එම විදුහල කෙටිකලකින්ම ප්‍රධාන පෙළේ තක්සලාවක් බවට පත්වුණේ අදිකාරම් ශක්තිය නිස යි. මේ අතර දේශීය බුද්ධිමතුන් විසින්  බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ 1937 දී ආරම්භ කළ මහරගම විද්‍යාකර විද්‍යාලයේ විදුහල්පති ලෙස අදිකාරම් සේවයට ගියේ මසකට රු. 15 පඩියකට යි.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය – asm.lk   

1939 දී දෙවැනි ලෝක යුද්ධය ඇතිවෙනවා. මේ වකවානුවේ දී ආනන්ද ශාස්ත්‍රාලය ඉංග්‍රීසි හමුදාවේ ප්‍රයෝජනයට කඳවුරක් ලෙස පවරා ගන්නවා. මේ නිසා තවත් විදුහල් කිහිපයක් රට පුරා ඇතිකිරීමට ආචාර්ය අදිකාරම් මුල් වෙනවා. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය,  කරවනැල්ල මහා විදුහල, බත්තරමුල්ලේ මහා විදුහල, උඩහමුල්ල මහා විදුහල, පැපිලියාන මහමායා විදුහල ඒවා යි.

ඔහු වැටුපෙන් රුපියල් දහය බැගින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹීම ඉතිහාසයට ද එක්වී ඇති කතාවක්. ඒ 1940 අවුරුද්දේ.  එමෙන්ම කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමට ඉඩමක් මිලට ගැනීමට ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කර තිබෙනවා. 

පන්සිල් නොගත් විද්වතා

සිතුවිලි පොත් පෙළෙන්- godage.com

විසල් දැනුමකින් යුතු එතුමා පාලි, සංස්කෘත, ජර්මන්, ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයකු වුණා. ඔහු කිසිදිනක උත්සව අවස්ථාවල දී පන්සිල් නොගත් අයකු ලෙස ද ප්‍රකට යි. පන්සිල් රකින නිසා එය නැවත නැවත නොගත යුතු බව ඔහුගේ මතය වුණා. මේ නිසා බොහෝ නායක හාමුදුරුවරු පවා අදිකාරම් සමග එකඟ වුණේ නැහැ.

වරක් මාලිගාකන්ද පිරිවෙනේ භික්ෂූන්ගෙන් ආචාර්ය අදිකාරම්ට ආරාධනාවක් ලැබුණා. එහිදී භික්ෂූන්වහන්සේලා ඉතා උනන්දුවෙන් ඇසූ වැදගත් ප්‍ර‍ශ්නවලට ඔහු හොඳ උත්තර දී තිබෙනවා. එක් ප්‍රශ්නයක දී එක් භික්ෂුවක් ඔබේ බලාපොරොත්තු මොනවාදැ යි ආචාර්ය අදිකාරම්ගෙන් ඇසුවා. ඔහු මෙසේ පිළිතුරු දුන්නා:”මගේ දෑස පියවෙන්න කලින් ඉටුවිය යුතු සිහිනයක් තිබෙනවා. එනම් ලංකාවේ එක හාමුදුරු කෙනෙක් හරි බුදු දහම වැළඳ ගනු දැකීම යි.

විද්‍යාව සිංහලෙන්

සිංහලෙන් විද්‍යාව ඉගැන්වූ ප්‍රථම සඟරාව -thattayagekolama.com

විවාහ නොවූ ඔහුට පෞද්ගලික අරමුණු තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන් සිංහල පවා ඉගැන්වූ යටත්විජිත කාලේ සිංහලෙන් විද්‍යාව ඉගැන්විය හැකි බව කී අය අතර අදිකාරම් පුරෝගාමියා වුණා. ඒ සඳහා 6 වැන්නේ සිට ජ්‍යෙෂ්ඨය දක්වා සාමාන්‍ය විද්‍යා පොත් පෙළක් ද ලිව්වා. ඊට අමතරව විද්‍යාවට සිංහල පාරිභාෂික වචන මාලාවක් සකස් කළා.

ඔහු පුවත්පත්වලට තීරු ලිපි පවා ලිව්වා. ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවුවා. එම්. ඩී. ගුණසේන සහ සමාගම මගින් නවීන විද්‍යා මාසික සඟරා පෙළක් ද එළි දැක්වුවා. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා සඟරාව යි. තරුණ සිතුවිලි සමාජයේ වැඩසටහන් සඳහා විවිධ ප්‍රදේශවලට යමින් කරන ලද දෙසුම් ඇතුළත් සිතිවිලි නමැති පොත් මාලාව එකල තරුණයන් අතර ඉතා ජනප්‍රිය වුණා.

අහිංසාවාදය

අදිකාරම් සමරමින් නිකුත් කළ මුද්දරයක්-en.todo.collection.net

අවිහිංසාවාදය අගය කළ අදිකාරම් වයස අවුරුදු 14 දී සියලු මාංශ වර්ග අනුභවයෙන් දුරස්ත වූයේ මස් අනුභවය සතුන්ගේ මරණයට හේතුවන නිසා යි. මීට අමතරව ඔහු පසුකාලීනව තරුණ සිතුවිලි සමාජය හරහා සමාජය තුළ අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙත පැතිරවීමට උත්සාහ ගත්තා. තරුණ සිතුවිලි සමාජයේ තේමාව වූයේ දුම්පානය, මත්පැන් පානය, හිංසන ක්‍රියාවලින් වැළකී අවිහිංසාවාදීව සමාජ සේවයට කැපවීම යන්න යි.

අදිකාරම් චින්තනයේ මූලික ලක්ෂණ වුණේ සැහැල්ලූ දිවි පැවැත්ම, දෘෂ්ටියෙන් තොර වූ දැකීම, සහ මවක් තම එකම දරුවාට ආදරය හා මෛත්‍රිය පතුරවන්නා සේ සියලු සත්ත්වයා කෙරෙහි මෙත් වැඩීම යි.

අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමි මෙසේ සඳහන් කර තිබෙනවා:

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහිම තිබිය දී කොහේ දෝ යෑමට ඔහු වෙන කෙනෙකුගේ කාරයක් බලාපොරොත්තුවෙන් සිටියහ. ඇයි තමන් ගේ කාරය තිබෙද්දී වෙන එකක් ගැන බලාපොරොත්තු වන්නේ”යි මම ඇසීමි. තව සති කීපයක් යන තුරු එයට නිවාඩු දී ඇතැ යි ඔහු කීහ. ඒ ඇයි දැ”යි මම ඇසීමි. ඔහු එහි ගොස් සෙමෙන් එය ඇර පෙන්වීය. මී පැටවුන් කීප දෙනෙකි. මී දෙනක එහි විත් පැටවුන් වදා එයට වී ඉඳී. පැටියන් එයින් වෙන තැනක තබන්නට තැත් කළොත් මී දෙන බියෙන් පැන යනු ඇත. පැටවු අනාථව මැරෙති. එබැවින් ඔවුන් ලොකු වී මව සමග නික්ම යනතුරු කාරය නොසෙල්වමි”යි ඔහු කීහ. 

(E. W.Adikaram fb page)

1976 සිට 1983 දක්වා ජයවර්ධනපුර සරසවියේ කුලපති ධූරය දරුවේ ආචාර්ය අදිකාරම්. එතුමා බුදුදහමට අනුගත සරල ජීවිතයක් ජනතාවට ලබාදෙන්නට වෙහෙසී කැපවී ක්‍රියාකළා. ඔහු මියගියෙත් නිසංසලව යි. ඔහු දැඩි සේ ඇලුම් කළ ජේ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දෙසුමට සහභාගි වන්නට සූදානමින් සිට නිදාගත් පසු 1985 වසරේ දෙසැම්බර් මස 28 දා රාත්‍රියේ නිදියහනේ දීම මියගොස් සිටියා.

නිදහස් අධ්‍යාපනයට පෙරමුණ ගනී

වියපත් අහිංසාවාදියා-  alchetron.com

1947 දී නිදහස් අධ්‍යාපන පනත ගෙන එන විට බොහෝ පිරිසක් ඊට විරුද්ධ වුණා. මේ නිසා  අධ්‍යාපන ඇමැති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරට ජනතා සහායක් අවශ්‍ය වුණා. මේ සඳහා මුල් පියවර තැබුවේ අදිකාරම්තුමා. නිදහස් අධ්‍යාපන ක්‍රමයට මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදී එය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම අරමුණු කරගත් මහජන උද්ඝෝෂණයේ මුල්ම රැස්වීම පැවැත්වුණේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී යි. ඊට අමතරව රට පුරා රැස්වීම් සංවිධානය කරමින් මන්ත්‍රීවරුන්ට පනතට පක්ෂව ඡන්දය දෙන ලෙස බලකරමින් පැවසුවා. ඒ ඒ පළාත්වල ජනතවා විසින් විදුලි පණිඩුව දහස් ගණනින් එවීමට ද කටයුතු සංවිධානය කර තිබුණා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති පදවියෙන් විශ්‍රාම ගන්නා විට ඔහු විශ්‍රාම වැටුප පවා ප්‍රතික්ෂේප කළා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

පූජිත ජීවිත ඇසුර- අමරසිරි පොන්නම්පෙරුම

Adikaramblog.wordpress.com

ආචාර්ය අදිකාරම්- boondi.lk

Related Articles

Exit mobile version