රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ඉතා සමීප බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කුඩා කාලයේ පටන් විවිධ රුසියන් සහ සෝවියට් පොත්පත්වල සිංහල අනුවාදයන් අපි ඇසුරු කරනවා.
රුසියානු සාහිත්‍යය අපට සමීප කිරීමට විශාලම සේවයක් සිදුකළේ කවරකුදැ යි විමසුවහොත් ඒ දැදිගම වී. රුද්‍රිගු බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණක්. නමින් ඔහුව එසේ දැන සිටියත්, ඔහු පිළිබඳ විශේෂ විස්තරයක් වැඩි දෙනකු දන්නේ නැහැ. ඔහු රුසියන් භාෂාවෙන් සිංහලයට පරිවර්තන කටයුතු කළ බවත්, සෝවියට් දේශයේ ජීවත් වූ බවත් බොහෝ දෙනෙකු දන්නවා.
කොමියුනිස්ට්වාදියා
දැදිගම වී. රුද්‍රිගුගේ මුල් කාලීන ජීවිතය පිළිබඳ තොරතුරු සොයා ගැනීම අපහසු යි. ඔහුගේ සැබෑ නම දොන් වින්සන්ට් රුද්‍රිගු වන අතර ඔහුට දැදිගම ප්‍රදේශය හා සම්බන්ධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ නම පසුකාලීනව ඔහු විසින් භාවිතයට ගන්නා ලද්දක්.
1929 ජූනි 25 වනදා උපන් රුද්‍රිගු කිරුලපන ප්‍රදේශයේ ජීවත් වූ බව යි කියවෙන්නේ. එමෙන්ම ඔහු කලක් මරදාන සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලදැ යි කියවෙනවා. වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද බවක් ද කියැවෙනවා. නමුත් මේ කිසිවක් හරිහැටි පැහැදිලි නැහැ.
ඔහු තරුණ සමයේ සිටම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වුණා. එහිදී ඔහුගේ වැඩකටයුතු පිළිබඳ පැහැදිලි සාධක තිබෙනවා. ඔහු පක්ෂ ප්‍රකාශන සිංහලයට නැගීමේ යෙදුණ අතර පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ පීටර් කේනමන්ගේ භාෂා පරිවර්තකයා ද වුණා. එමෙන්ම පක්ෂයේ තරුණ කටයුතුවල නිරත වූ ඔහු එහි කොළඹ දිසාවේ තරුණ ලේකම්වරයා ද වුණා.
රුසියාවට පැමිණීම
රුද්‍රිගු පළමු වරට සෝවියට් දේශයට පැමිණියේ 1957 වසරේදී 6 වන ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවට සහභාගී වූ ශ්‍රී ලාංකික නියෝජිතයකු ලෙස යි. ඔහුට තම බිරිඳ වූ ලුද්මිලා විෂ්නෙපොල්ස්කායා හමු වූයේ ද එම ගමනේ දී යි. ඔවුන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධය ඉතා විශේෂ වූවක්.
රුද්‍රිගු යළි රුසියාව බලා යාමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මෙම ප්‍රේම සම්බන්ධය බව යි කියැවෙන්නේ. ලංකාවට පැමිණි පසු ද ඔහු නැවත රුසියාවට යාම පිළිබඳ විශාල අවශ්‍යතාවයකින් පසු වුණා. ඇය මිලිටරි ගුවන් යානා සැලසුම් ශිල්පිණියක වූ අතර රුද්‍රිගු ආපසු රුසියාවට ගිය පසු ඔවුන් විවාහ වුණා. ඔහුගේ මරණය තෙක්ම ඔවුන් ඉතා සමීපව සිටි බව ප්‍රකට කරුණක්. ඔවුනට වික්තර් සහ දිමිත්‍රි නම් පුත්‍රයින් දෙදෙනකු ලැබුණා.
රුද්‍රිගු ආපසු රුසියාවට ගියේ 1960 දී යි. එම වසරේ දී සෝවියට් දේශය විසින් මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ඇරඹූ විට, එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට රුද්‍රිගු ද ඇතුලත් වුණා. ඔහු එහිදී වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර උපාධිය ලද පසු කෙටි කලක් වෛද්‍යවරයකු ලෙස ද සේවය කළා.
කෙසේ වෙතත් රුද්‍රිගු සාහිත්‍යය සහ නිවේදන කටයුතු වෙත ඇදී ගියේ එම අංශයන් කෙරෙහි වූ ඔහුගේ උද්‍යෝගය සහ එකල වූ අවශ්‍යතා මත යි. 1963 දී එවකට අගමැති සිරිමා බණ්ඩාරනායක සෝවියට් දේශයේ කළ සංචාරයට සමගාමීව “රේඩියෝ මොස්කව්” හි සිංහල අංශය ඇරඹි අතර ඔහු එහි කාර්යය මණ්ඩලයට ඇතුලු වුණා. එමෙන්ම සෝවියට් චිත්‍රපටවලට සිංහල දෙබස් කැවීමට ද ඔහුව දායක කරගැනුණා. මේ අතර, සෝවියට් පත පොත සිංහලයට නැගීමේ කටයුතු ද මෙකල ඇරඹුණ අතර එයට ද ඔහුව දායක කරගැනුණා.
සාහිත්‍ය කටයුතු
මුල් කාලීනව විවිධ කටයුතුවල නිරත වුණත් පසුව රුද්‍රිගු සම්පූර්ණයෙන්ම පාහේ පරිවර්තන කටයුතු වෙත අවධානය යොමු කළා. ඔහු විවිධ රුසියානු සහ සෝවියට් පොත් 250ක් පමණ පරිවර්තනය කර තිබෙනවා. ඒවා අතර දේශපාලන න්‍යායය, විද්‍යාව, ළමා කතා, සහ ප්‍රබන්ධ යනාදී විවිධ ක්ෂේත්‍ර ආවරණය කළ පොත් තිබුණා. මේ තරම් පොත් ප්‍රමාණයක් රුසියන් බසින්ම සිංහලයට පරිවර්තනය කිරීම මෙහිදී සුවිශේෂී වුණා.
රුද්‍රිගු අතින් පරිවර්තනය වූ සෝවියට් දේශය බිහි වීමට පෙර ලියවුණු රුසියන් කෘති අතර මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ මෙන්ම ‘ළමා විය’, ‘මිනිසුන් අතර’ සහ ‘මගේ සරසවි’ යන තුන් ඈඳුතු කෘතින් ද, අලෙක්සාන්දර් පුෂ්කින්ගේ ‘කපිතාන්ගේ දියණියෝ’, ‘ඉස්කෝප්ප රැජිණ’, ‘දුබ්‍රොව්ස්කි’ ආදී කෘතීන් ද, නිකොලායි ගොගොල්ගේ ‘තරාස් බුල්බා’ ද, ලෙව් තොල්ස්තෝයිගේ ‘ඉවාන් ඉලීච්ගේ මරණය’ ද, ලෙර්මන්තොෆ්ගේ ‘අපේ කාලයේ වීරයෙක්’ ද ආදී වශයෙන් කෘතීන් රැසක් වනවා.
ඔහු විසින් සිංහලයට නැගූ සෝවියට් පොත් අතර බරිස් පලෙවෝයිගේ ‘සැබෑ මිනිසකුගේ කතාවක්’, නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’, චිංගිස් අයිත්මාතොෆ්ගේ ‘ගුරු ගීතය’, යූරි බොන්දරෙෆ්ගේ ‘උණු හිම’ ආදී කෘතීන් වනවා. මීට අමතරව ඔහු මාර්ක්ස්, එංගල්ස්, හා ලෙනින් ආදී කොමියුනිස්ට් චින්තකයන් ලියූ න්‍යායාත්මක කෘති ද සිංහලයට නැගුවා.
රුද්‍රිගු විසින් පරිවර්තිත ළමා කතා අතර නිකොලායි නෝසෆ්ගේ ‘වැඩ බැරි දාසගේ කතා’ මෙන්ම සුප්‍රකට ‘ලස්සන වසීලිස්සා’ ද, ‘හත් පෙති මල’, ‘වලසුන් තුන්දෙනා’ ආදී කතා ද වනවා.
මහජන තානාපති
දැදිගම වී රුද්‍රිගු මෙන්ම ඔහුගේ බිරිඳ ද ඉපයූ මුදලින් ඔවුන්ට සාමන්‍යයෙන් සැප පහසු නිවසක් තට්ටු නිවාස සංකීර්ණයකින් ලබාගන්නට හැකි වුණා. ලංකාවෙන් සෝවියට් දේශය වෙත යන්නන් නිතර ඔහුගේ නිවස වෙත පැමිණියා. ඔහු ද ඔවුන්ට හොඳින් සත්කාර කළා. විවිධ ස්ථාන නැරඹීමට රැගෙන ගියා. එමෙන්ම මොස්කව් රේඩියෝවේ සිංහල අංශය හරහා ඒ ඇතැමුන්ට සම්මුඛ සාකච්ඡා ද ලබා දෙන්නට රුද්‍රිගුට හැකි වුණා. සරසවි අධ්‍යාපනය වෙනුවෙන් මොස්කව් ගිය ශ්‍රී ලාංකික සිසුන් සමග ද ඔහුට හොඳ සබඳතාවක් තිබුණා.
මෙම කරුණ මත එකල ප්‍රසිද්ධව පැවති එක්තරා කතාවක්, එනම් “යාන් හෑල්ලක්” තිබුණා. ඒ පහත පරිදි යි.
“ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතියේ ය. එහි තානාපතිවරු දෙදෙනකු ද සිටියෝ ය. ඉන් එක් කාර්යාලයක් පිහිටියේ මොස්කව් හි ඌලිත්සා පෙෂ්කිනා හෙවත් පෙෂ්කිනා වීදියේ අංක 24 දරන සුවිසල් දෙමහල් මන්දිරයේ ය. ඒ, ශ්‍රී ලංකා රජයේ නිල තානාපති කාර්යාලය යි. රජයේ නිල තානාපතිවරයා සිටියේ එහි ය. අනෙක පිහිටියේ මොස්කව්හි පෙයර්වි දිමිත්‍රොව්ස්කි ප්‍රොයේස්ද් හෙවත් පළමුවන දිමිත්‍රොව්ස්කි මාවතේ අංක 16 තට්ටු නිවාසයේ අංක 18 දරන නිවසේ ය. ඒ අන් තැනක් නොව, දැදිගම වින්සන්ට් රුද්‍රිගුගේ නිවස්න යි. එය ලංකාවේ ‘නොනිල තානාපති කාර්යාලය’ වී ය. එපරිදිම, දැදිගම වී රුද්‍රිගු මොස්කව් හි ලංකාවේ ‘නොනිල තානාපති’ හෙවත් මහජන තානාපතිවරයා විය.”
මොස්කව් හි ජීවත් වුණත් රුද්‍රිගු නිතර ලංකාව පිළිබඳ මෙනෙහි කරමින් සිටි බව ප්‍රකට යි. නමුත් බිරිඳ හේතුවෙන් ඔහු මොස්කව් දමා ලංකාවට පැමිණියේ නැහැ.
දශක තුනකට ආසන්න කාලයක් මොස්කව් හි ජීවත් වෙමින්, 25 වසරක් සාහිත්‍යකරණයේ නිරත වූ දැදිගම වී. රුද්‍රිගු 1988 නොවැම්බර් 27 වන දා මියගියා. ඔහුගේ නිවසේ වූ පොත් එකතුව ලුමුම්බා සරසවිය වෙත ප්‍රදානය කෙරුණා. ඊට මූලිකත්වය ගත්තේ එකල එහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ සභාපති වූ වර්තමානයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක බුද්ධප්‍රිය රාමනායක යි.
සෝවියට් කාන්තාවක හා විවාහ වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වාස කෙරෙන්නේ දැදිගම වී රුද්‍රිගු යි. එමෙන්ම පූර්ණ ගෞරව සහිතව සෝවියට් දේශයේ මිහිදන් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද සැලකෙන්නේ ඔහු යි.