ජීවමාන ජෝති

මෙරට ගුවන් විදුලි නාලිකාවන්හි දිනකට වැඩිම ප්‍රමාණයක් ගීත ප්‍රචාරය වන්නේ කුමන ගායකයාගේද යන්න ඔබෙන් කවුරුන් හෝ ඇසුවොත්, එහි පිළිතුර කුමක්ද?

අදට පවා වැඩිම ගීත ප්‍රමාණයක් ගුවන් විදුලි නාලිකා වල ප්‍රචාරය වන කලාකරුවා අන් කිසිවෙකුත් නොව අප හොදින් හදුනන එච් ආර් ජෝතිපාල හෙවත් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලයන්ය.

ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කලේ ආදරණිය ගායකයා ලෙස ජනතාවගේ සිතේ සදාකාලිකව ලැගුම් ගත් අමරණිය ජෝති පිළිබඳවයි. අපි අතරින් සමුගෙන කොතරම් කාලයක් ගත වුවත් ඔහුගේ ජනප්‍රියත්වය නම් කිසි ලෙසකින් අඩු වීමක් සිදු වෙලා නෑ. ලිපිය කියවා අවසානයේදී ජෝති ගැන ඔබට තියන අදහසත් comment එකකින් සටහන් කර යන්නට ඉඩ විවර කර තිබෙනවා.

කුඩා කළ

ජෝතිපාල (lankadeepa.lk)

1936 පෙබරවාරි 12 වැනි දින කොළඹ නාගරික මධ්‍යම පාන්තික පවුලක කැටවලමුල්ලේ එච්.ආර් ජේම්ස් හා ඇම්.කේ පොඩි නෝනා යන දෙපළට දාව  උපන් ඔහුගේ සම්පුර්ණ නම වන්නේ හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලයි. ජෝති මූලික අධ්‍යාපනය සඳහා මරදානේ ශාන්ත ලෝවුරන්ස් විද්‍යාලයටත් පසුව දෙමටගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයටත් ඇතුළත් වෙනවා.

නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු නිසා කුඩා කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාම පුරුද්දක් කරගෙන තිබෙනවා. සෑම දිනම තේ කඩයට පැමිණ ගුවන් විදුලියේ ප්‍රචාරය වන ගීත වලට උරුවම් බාමින් වාඩි වී, බංකුවට අතින් තට්ටු කරමින් තාලය අල්ලන මේ කොලුවා පිළිබඳව මුදලාලිගේ හිතේනම් එතරම් කැමැත්තක් තිබුනේ නෑ.

බංකුවට තට්ටු කිරීම නවත්වා ගීත පමණක් ශ්‍රවණය කරන ලෙස ඔහු දින කිහිපයක්ම අවවාද ස්වරූපයෙන් පැවසුවත් කුඩාකළ සිට දඩබ්බර ඇවතුම් පැවතුම් ඇති ජෝති එය කනකට ගන්නේ නෑ. එහි ප්‍රතිඵලයක් ලෙස වතුර කොරහකින් නහවා ඔහුව පළවා හැරීමට මුදලාලී පසුබට වන්නේ නෑ.

එක් වචනයක් පමණක් ගායනය කළ ජෝතිගේ පළමු ගීතය

චන්ද්‍රානි ගුණවර්ධන සමඟ (lankadeepa.lk)

ප‍්‍රකට හින්දි ගීතයක තනුවකට අනුව නිර්මාණය වූවක් වන “මහවැලි නදියේ” ගීතයේ  සිංහල පදමාලාව ආනන්ද සරත් විමලවීර විසින් ලියනු ලැබූ අතර සිංහල ගීතයේ සංගීතය එම්. වින්සන්ට් පෙරේරා විසින් නිර්මාණය කරනවා.

වසන්තා සන්දනායක තමයි මෙම ගීතය ගයනා කරන්නේ. වසන්තා සන්දනායක එවකට ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්. නමුත් මෙම අත්වැල් ගායනයට ජෝතිපාල සම්බන්ධ වන විට ඔහු ගුවන්විදුලියේ සරල ගී පර්යේෂණයෙන් සමත්ව නොසිටි බව  පැවසෙනවා. ඒ හේතුවෙන් ඔහුට ගුවන්විදුලියේ ගීත ගායනයට අවසර ලැබෙන්නේ නෑ. නමුත් වසන්තා සන්දනායක මෙම කාලය වන විට ඒ ශ්‍රේණියේ ගායිකාවක් වීම නිසා ඇගේ විශේෂ ඉල්ලීම හේතුවෙන් මේ ගීතය සඳහා ජෝතිපාල සම්බන්ධ කර ගන්නට ගුවන්විදුලියෙන් අවසරය ලැබෙනවා. ගීතයේ එන “තොටියෝ” නම් පදය පමණයි ඔහුට ගායනය කිරීමට තිබුනේ. පුෂ්පරාණි ආරියරත්න හා සුජාතා අත්තනායක අනෙක් අත්වැල් ගායිකාවන් විය.

ජෝතිපාලගේ ගායනය එදා එලෙස ඇරඹෙන්නේ එම ගීතයේ එකම එක වචනයකින් වීමද මේ කතාවට අපූර්වත්වයක් එක්කරයි. ඇතැම් විටෙක එය කෙනෙකුට විශ්වාස කරන්නට බැරි තරමේ පුවතක් ද වෙන්නට පුළුවන්. ඒ ආකාරයෙන් පටන් ගත් ඔහු මිය යන විට ගායනා කළ ගීත සංඛ්‍යාව හයදහස ඉක්මවෙනවා.

අසාර්ථක වීම් පන්නරයක් කරගනිමින් චිත්‍රපට පසුබිම් ගායනයට

සම්මාන සමඟ (lankadeepa.lk)

චිත්‍රපටයක ඕනෑම අවස්ථාවක භාවයන් නිරූපණය වන අයුරින් විවිධත්වයෙන් ගී ගැයීමේ සහජ හැකියාවක් ජෝතිට උපතින්ම පිහිටා තිබුනා. එහෙත් ජෝති චිත්‍රපට පසුබිම් ගායකයකු වූයේ බොහෝ බාධක මැදින්. ජෝති මුල්වරට චිත්‍රපටයක ගී ගැයීම සඳහා සිරිසේන විමලවීර වෙත කැඳවාගෙන ගියේ සංගීතඥ ටී.එෆ් ලතීෆ්. කිහිප වරක්ම ගීතය ගායනා කළත් විවිධ තාක්ෂණික දෝෂයන් හේතුවෙන් ඔවුන් ජෝතිගෙන් බලාපොරොත්තු වූ හඩ නිසි පරිදි එළියට ගලා ආවේ නෑ.

“අයිසේ… ළමයා… තමුසෙගේ හඬ දෙදුරුම් කනවා. හරියට එන්නේ නෑ. මට ඇහෙන්නේ තමුසේ සින්දු කියන හඩක් නෙවේ… ගොරවන හඩක්..”

සිරිසේන විමලවීරගේ එම වදන්  ජෝතිගේ දෑසට කදුළු එක කිරීමට සමත් වෙනවා. චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ මුල්ම සිහිනය එසේ බොඳ කරන ලද විමලවීර විසින් “මේ ලෝකේ නවාතැන” නම් වූ එම ගීතය ගැයීම සඳහා සිසිර සේනාරත්න යොදා ගනු ලබනවා.

ඉන් පසුව බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ “මතභේදය” චිත්‍රපටයේ ගී ගැයීමට ජෝති තෝරා ගෙන තිබුණත්, අවාසනාවන්ත අයුරින් ඒ අවස්ථාව ජෝතිගෙන් ගිලිහී යන්නේ ගීතය පටිගත කිරීම සඳහා ඉන්දියාවට යෑමට ඔහුට ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වූ නිසයි.

එහෙත් ජෝති සිය අරමුණ ඉටු කරගැනීමට පසුබට නොවී තවත් උත්සහවන්තව කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සංගීතඥ බී.ඇස් පෙරේරාගේ මග පෙන්වීම යටතේ ඔහු “පෙරකදෝරු බෑණා” චිත්‍රපටයට ගීතයක් ගැයීමට අවස්ථාව ලැබුනත් එහි අධ්‍යක්ෂ ඒ.බී රාජ්, ජෝතිගේ හඬට එතරම් ප්‍රිය නොකල නිසා එම අවස්ථාවත් ජෝතිට අහිමිව යනවා.

සම්ප්‍රදාය උඩු යටිකුරු කරමින් “සිරියමේ සාරා …නැගේවි හද මෝරා” ගීතය ආනන්ද ජයරත්න වෙනුවෙන් ගයමින් 1956දී  චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ ගෞරවය ජෝතිට හිමි වන්නේ “සුරතලී” චිත්‍රපටය තුළින්.මෙම අනගි අවස්ථාව ජෝතිට ලබා දුන් අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්න විසින් එවකට සිංහල සිනමාවේ ජනප්‍රියම පසුබිම් ගායක ගායිකාවන්ව සිටි ධර්මදාස වල්පොල, ජී.එස්.බී රාණි පෙරේරා හා ස්වර්ණා අබේරත්න සමඟ සමූහ ගායනයකටද එක් වන්නට ජෝතිට අවස්ථාව උදා කර දෙනවා. ‘පුදුමේකි ලෝකේ මැවුණා වූ ප්‍රේමේ’ එම ගීතයයි.  චිත්‍රපටය සඳහා මෙම ගීත දෙකම රචනා කරන්නේ විල්ෆ්‍රඩ් සිල්වායි. සංගීතවත් කරන්නේ  ටී. ආර්. පාපා විසින්.

චිත්‍රපට පසුබිම් ගායනයේ රජු

ජෝති රාත්‍රිය ප්‍රසංගයේදී (lankadeepa.lk)

ඉන් පසුව සිනමාවේ තම ආධිපත්‍යය පතුරවමින් ජෝති විසින් නළුවන් හතළිස්හය දෙනෙකුට ගීත ගයනා කර තිබෙනවා. 1958 වසරේ තිරගත වූ “වන මෝහිනී” චිත්‍රපටයේ රිචඩ් ඇල්බට් වෙනුවෙන් “කොළ කඩ කඩ බොරුවට දෙනවා” ගීතයත්, 1960 වසරේ තිරගත වූ “නළඟන” චිත්‍රපටයට “පැණි වෑහෙන කතා” ගීතයත්, “ලසඳා” චිත්‍රපටයේ “ජරමර අස්සේ මං නටමී” ගීතයත් ඔහුගේ ප්‍රසිද්ධ චිත්‍රපට ගීතයන් වෙනවා.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ජෝති වෙනුවෙන් ගී තනු නිර්මාණය කළ ප්‍රධාන නිර්මාණකරුවෙක්. කැකුළු මලක පෙති මත (ලොකුම හිනාව), ආදර මල් පවනේ (දුලීකා), මා ප්‍රාර්ථනා ආශාවෝ (ළසඳා), ගෙදර හිටිය රෝස කැකුළ (ළසඳා), ඔබ ළඟ ඉන්න (වාසනා), සීත මෝසම් ගීත නාදෙන් (ජනක සහ මංජු), හා මනහාරයි මනමාලයි (හිඟන කොල්ලා) වැනි ගීත කේමදාසයන් ජෝති වෙනුවෙන් කළ ගී නිර්මාණ අතරින් කිහිපයක්.

අමර පෙම් ලතාවේ (සදහටම ඔබ මගේ), පාට පොදක් තිලකලා (කස්තුරි සුවඳ), හද විමන් දොරින් (කස්තුරි සුවඳ), සල් සපු නා (සංගීතා), ලෝකයේ වෙනස් වුණේ (සංගීතා), පායන දේදුනු (වානරයෝ), තනියේ ආවාරේ (චණ්ඩි පුතා), බඹරා වගේ (චණ්ඩි පුතා), සරා සඳේ (මිහිදුම් සිහින), සිහින අහසේ (නැවත හමු වෙමු) ඇතුළු තවත් ගී රැසක් සරත් දසනායකයන්ගේ තනු නිර්මාණයෙන් ජෝතිගේ සුමියුරු හඬට මුසු වෙනවා. වැඩි ප්‍රමාණයක් යුග ගී වන අතර ඒවාට ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ගුණතිලකයි.

1972 වසරේදී දීපශිඛා සම්මාන උළෙලේ ජනප්‍රිය ගායකයා ලෙස තේරෙන්නේ ජෝතියි. 1976 දී “ඔන්න බබෝ බිල්ලෝ එනවා” චිත්‍රපටය උදෙසා හොඳම ගායනයට සම්මාන හිමි කර ගන්නෙත් ඔහුයි.

1983 වසරේ “මිහිදුම් සිහින” චිත්‍රපටයේ “සරා සඳේ” හා 1986 වසරේ ‘ඔබට දිව්රා කියන්නම්’ චිත්‍රපටයේ “පාළු සුසානේ ප්‍රේම පුරාණේ” ගීත වෙනුවෙන් ඔහු වසරේ ජනප්‍රියම ගායකයා ලෙස කිරුළු පළදිනවා.

1987 ජුලි 7 වන දින ගම් උදා වේදිකාවක ගීත ගයනා කරමින් සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජෝති මරණයට පත් වන්නේ වයස අවුරුදු 51දියි. සාමාන්‍ය ජනතාවට සමීප වූ ආදරණිය ගායකයා වෙනුවෙන් කෙතරම් ජනතා ආදරයක් තිබුනද යන්න විමල් කැටපෙආරච්චි කවියා විසින් ජෝති 80 වන ජන්ම දින සමරුව වෙනුවෙන් ලියු කවි පෙළකින් පැහැදිලි වෙනවා. ඉන් එක් කවියක් ඔබ වෙනුවෙන් උපුටා දක්වමින් ලිපිය අවසන් කරන්නට අපි තීරණය කළා.

අසූ හතේ ජූලි හතේ යන්න ගියත් ජෝතිපාල

අපේ හිතේ කවදාවත් මැරුණෙ නෑනෙ ජෝතිපාල

ගෙදර-පාරෙ-බස් එකේදී මුණගැහෙන්නෙ ජෝතිපාල

නතර නොවී තාම ඇහෙයි නිතර නිතර ජෝතිපාල

 

මුලාශ්‍ර –

දිවයින,

සිළුමිණ,

ලංකාදීප 

සරසවිය පුවත්පත්,

Wikipedia

Related Articles

Exit mobile version