ලීලාවතී: තුන් වරක් කිරුළු දැරූ එඩිතර රැජන

පළමු වන පරාක්‍රමබාහු රජු ලක් ඉතිහාසයේ විශාල කීර්තියක් හිමිකර ගත් පාලකයෙක්. ඒ රජුගේ මරණයෙන් ටිත කලකට පසු කිරුළට පත්වන්නේ ඔහුගේ බිසව වූ ලීලාවති යි. ඇයට රාජ්‍ය ලෝභය ඉහට ගැසූ බව වරින් වර තෙවරක් ම  විවිධ සෙනෙවියන් ලවා උපක්‍රම යොදවා රජකම ලබා ගැනීමෙන් පෙනෙනවා.  තෙවරක් සිංහාසනය දැරූ ලංකාවේ එක ම කාන්තාව ලෙසත් ලීලාවතී රැජන සැලකෙනවා.

 ලීලාවතී රැජන රජකම් කරමින් වාසය කරන්නට ඇති  බව සලකන පොළොන්නරුවේ පැරකුම් රජ මාලිගය- Wikipedia.org

ජීවන තතු

ලීලාවතී යනු ශ්‍රී වල්ලභගේ සහ සුගලා නම් වූ ඔහුගේ බිරියගේ දියණිය බව තමයි ඉතිහාසය පවසන්නේ. ඇයට සහෝදරයෙකුත් සිටියා. ඔහුගේ නම මානාභරණ නම් වුණා.  ලීලාවතීට ඇගේ අනාගත සැමියා වූ පරාකුමබාහු ඇගේ  බාල කාලයේදී ම හමුවෙනවා. ඒ ඥාතිත්වයෙන් පැරකුම් කුමරු ඇගේ මස්සිනා වුණු නිස යි. පරාක්‍රම කුමරුගේ පියාගේ නමත් මානාභරණ යි. පැරකුම්ගේ මව රත්නාවලී බිසව යි.    

පැරකුම්ගේ පියා වූ මානාභරණ සිටියේ කෑගල්ලේ දැදිගම මාලිගයේ යි. මානාභරණගේ බිසව වුණේ රත්නාවලී යි. මානාභරණ අකාලයේ මිය යන අතර මේ නිසා රත්නාවලී බිසවට පැරකුම් කුමරු ඇතුළු සිය කුඩා දරුවන් පස් දෙනා ද කැටු ව ඇගේ ඥාති රුහුණේ ශ්‍රී වල්ලභ රජුගේ මාළිගයෙහි පදිංචියට යාමට සිදු වෙනවා. එහිදී පැරකුම් කුමරුට ලීලාවතී කුමරිය මුණ ගැසෙනවා. ලීලාවතී කුමරිය පරාක්‍රමබාහු සමඟ විවාහ වූයේ කුමන අවස්ථාවක ද යන්න ගැන නම් ඉතිහාසයේ කිසි ම  කරුණක් සඳහන් වන්නේ නැහැ.

කිත්තිසිරි මේඝගේ ඇවෑමෙන්  පැරකුම් කුමරු මුලින් ම රජ වන්නේ දක්ඛිණ දේශයේ යි.

ලීලාවතීගේ පියා පාණ්ඪ්‍ය කුමාරයකුගේ පුතකු වූ සිරිවල්ලභ යි. සිරිවල්ලභගේ බිසව වුණේ සුගලා බිසව යි. ඒ අනුව ඇය පිය පාර්ශ්වයෙන් අයත් වුණේ පාණ්ඩ්‍ය වංශයට යි. ඇගේ මව සුගලා රුහුණ ටික කලක් පාලනය කළ අභීත කාන්තාවක ලෙස සැලකෙනවා. 

 සිත්තරකු දුටු ලීලාවතී රැජන- ප්‍රේමසිරි මාහිංගොඩගේ ලීලාවතී බිසව කෘතිය ඇසුරිනි – grantha.lk

 

ලීලාවතී සූර්ය වංශයට අයත් බව ඇගේ එක් සෙල්ලිපියක දැක්වෙන අතර අනෙක් සෙල්ලිපියේ සඳහන් වන්නේ අය චන්ද්‍ර වංශයට අයත් බව යි. දාඨා වංශය දක්වන්නේ අය පණ්ඩු වංශයට අයත් බව යි. ලීලාවතියගේ සහෝදරයා වූ රුහුණේ මානාභරණ සහ මව් රැජින වූ සුගලා යන අය පරාක්‍රමබාහු රජු සමග තිබුණේ හොඳ සම්බන්ධයක් නොවේ. තරුණ පරාක්‍රමබාහු කුමරු හා ලීලාවතී කුමරිය අතර විවාහයට   බල පෑ ප්‍රධාන හේතුවක් වූයේ රුහුණු රාජ්‍යය හා දක්ඛිණ දේශය අතර සම්බන්ධතාව ශක්තිමත් කර පැරකුම් කුමරුගේ අනාගත අරමුණු ළඟා කර ගැනීම බව පේනවා.

පොළොන්නරුවේ රජවූ ඉක්බිති මහා පරාක්‍රමබාහු රජු ලංකාව එක්සේසත් කරන්නට ලීලාවතීගේ සහෝදරයා වූ මානාභරණ සමඟත් රුහුණු පාලනය කළ ඇගේ මව වුණු සුගලා එක්කත් සටන් වදිනවා. මේ සටනින් සුගලා පරදවා ඇය සතු ව තිබුණු දළදා වහන්සේත්, පාත්‍රා ධාතුවත් පරාක්‍රමබාහු ලබා ගන්නවා.

 ලිලාවතී රැජනගේ පළමු රාජ්‍ය කාලයේ සෙල්ලිපියක් හමු වූ අභය වැව- discover.lk

තුන් වරක් රජවීම

ලංකාවේ රජ කළ කාන්තාවන් අතරින් කිහිප වරක් ම සිහසුන හෙබැ වූ එක ම රැජන ලෙස ලීලාවතී නම් කළ හැකි යි. පරාක්‍රමබාහුගෙන් පසු පොළොන්නරුවේ ඇය පළමු වරට රජ වුණේ ක්‍රිස්තු වර්ෂ 1197 සිට 1200 දක්වා වසර තුනක කාලයක්. දෙවැනි වරට 1209 සිට 1210 දක්වා වසරක කාලයක් සිහසුනෙහි සිටියා. තුන් වැනි වරට ද සිහසුනට පත් ඇයට එ වර රජකම දරන්නට ලැබුණේ මාස හතක කාලයක් පමණයි.

 

වරින් වර සිහසුනෙන් පහ වී යළිත් ඇය කිරුළු දැරුවේ පොළොන්නරුවේ පාලනය අර්බුදකාරී බවට පත්ව තිබූ කාලයක යි.  එ වැනි අවිනිශ්චිත යුගයක යළි යළිත් සිහසුන පිළිගැනීමෙන් ඇගේ එඩිතර බව පළවන බව සමහර විචාරකයන් සඳහන් කරනවා.   

මහ පැරකුම්ට පසු පොළොන්නරුවේ රජ වූ නිශ්ශංකමල්ල- දඹුලු විහාරය- Wikipedia.org

මහ පැරකුම්ගේ මරණය

රට පුරා වාරි වික්‍රමයක් කළ මහා පරාක්‍රමබාහු රජු මිය ගියේ සිහසුනට උරුම පුත් කුමරුවකු නොමැති ව යි. මේ නිසා  රජකමට පත්වුණේ රජුගේ නැගණියගේ පුත්‍රයා යි. ඔහු දෙ වැනි විජයබාහු නමින් සිහසුනට පත් වුණත් රජකම් කරන්නට හැකි වුණේ අවුරුද්දක් විතර යි.  කේශධාතු මහින්ද නම් ඇමැතියා ඔහු මරා රජකම ලබා ගන්නවා. පස් දිනක් ඇවෑමෙන් මහින්ද ඔහු මරා දමනු ලැබුවේ සිංහාසනයට නීත්‍යානුකූල හිමිකරු වූ කාලිංග වංශික නිශ්ශංකමල්ල විසින්.

නිශ්ශංකමල්ල රජු අවුරුදු නවයක් රජ කරනවා. ඉන්පසු රජ වූයේ ඔහුගේ පුත් වීරබාහු යි. වීරබාහු එක් දිනකින් ම මරා නිශ්ශංකමල්ල රජුගේ සහෝදරයකු වූ දෙ වැනි වික්‍රමබාහු රජකමට පත්වෙනවා. ඔහුගේ කිරුළත් මාස තුනකින් අහිමි වෙනවා.  චෝඩගංග නම් කුමරෙක් රජ  යළිත් රජවෙනවා.  

 ලීලාවතී රැජන නිකුත් කළ කාසි- coinshome.net

ලීලාවතී රජ වෙයි

 රජුගේ සිහසුන පිටුපස සිටි කිත්ති නම් මහ සෙනෙවියා චෝඩභංග සිහසුනෙන් නෙරපීමට කුමන්ත්‍රණය කරන්නේ වෙනත් ඇමතිවරුන්ගේ ද සහායෙන් බව පේනවා. ඔහු හිටපු රජු වූ චෝඩගංගගේ පා, ඇස් උගුලුවා අන්ධ කොට රටින් ද පිටුවහල් කළ බව සඳහන් වෙනවා.

කිත්ති සෙනෙවියා කුමන්ත්‍රණය කොට ලබා ගන්නා කිරුළ ලබා දෙන්නේ පැරකුම් රජුගේ වැන්දඹු බිසව වූ ලීලාවතී දේවියට යි.  ඇය ක්‍රිස්තු වර්ෂ  1197 සිට 1200 දක්වා රජකම දරනවා. අගමැති තනතුර දරමින් සිහසුන පිටුපස සිට පාලන කටයුතුවලට බලපෑම් කළේ බලය ලබා ගැනීමට උදව් වූ කිත්ති සෙනෙවියා යි. ලීලාවතීට රජ උරුමයක් ඇයට නැති බව ඇමැතිවරුන් පවසා සිටියා. මේ විරෝධය නිසා ලීලාවතී රජ සමයත් අරාජික කාලයක් වුණා.

 ලීලාවතී රැජන පිළිසකර කළ බව පැවසෙන පොළොන්නරුව පොත්ගුල් වෙහෙර- discover.lk

ලීලාවතී රැජනගේ සෙල්ලිපි

ලීලාවතී රැජනගේ පළමු රාජ්‍ය සමයට අයත් සෙල්ලිපියක් අනුරාධපුර අභය වැව් කණ්ඩියෙන් හමු ව තිබෙනවා.  රුවන් පායේ කළ පූජා හා පමුණු දාන ගැනත් අභයවැව සෙල්ලිපියේ පැවසෙනවා. සසඳාවත කාව්‍ය කෘතිය ද ඇගේ කාලයේ දී ලියූ කවක්. තෙරුවන් නමස්කාරයෙන් කාව්‍ය කෘතිය ආරම්භ කරන කවියා අනතුරු ව ලීලාවති රැජන ගේ දැහැමි පාලනය කරණ කොටගෙන ඇති වූ සමෘද්ධිය නිසා මෙවැනි කාව්‍යයක් ලියන්නට ලැබුණු බව දක්වා සිටීනවා.

එහි ලීලාවතී රැජන ගැන දැක්වෙන්නේ කළ සෝ සසුන් වැඩ- ලීලාවතී හිමි සඳ යනුවෙන්. අනුරාධපුර පුලියන්කුලම සෙල්ලිපියේ සඳහන් වන්නේ අභාසලමෙවන් ලීලාවතී ස්වාමින් වහන්සේ ත්‍රිසිංහල රජය දැහැමින් සෙමෙන් කළ බවත් භක්තිසම්පන්න ඇමති මණ්ඩලයක් ඇයට සිටි බවත් කියා යි.  එහි දැක්වෙන අන්දමට දිළින්දන්ට දන් දීමට පලබලව් මේධාවී නම් දන්සලක් ද පවත්වා තිබෙනවා.

සසදාවත කාව්‍ය කෘතියේ සංස්කරණයක්-facebook

 

ලීලාවතී රැජනගේ තවත් සෙල්ලිපියක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකිටිපේ ගමෙන් හමු ව තිබෙනවා. එය ඇගේ අවසන් රාජ්‍ය කාලයට අයත් බව සැලකෙනවා. ලීලිවතීගේ මිනිපේ සෙල්ලිපියෙන් කියවෙන්නේ අබලන් ව තිබූ මිනිපේ අමුණ සෙනෙවියකු යොදවා ප්‍රතිසංස්කරණය කර වූ බව යි.

ලීලාවතී රැජන සිහසුනෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණ

ලීලාවතී දැහැමෙන් රජ කරන බව සෙල්ලිපිවල කොටවා තැබුවත් බලවත් ඇමැතිවරුන් කාලිංග දේශයේ සහස්සමල්ල කුමරුට සංදේශයක් යවමින් ඉල්ලා සිටින්නේ  ලංකාවට පැමිණ රාජ්‍යය භාරගන්නා ලෙස යි. ඒ අතර ම ලීලාවතී බිසව සිහසුනෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණ ද දෙවසරකට අධික කාලයක් රහසිගත ව ක්‍රියාත්මක ව පැවතුණා.  කිත්ති සෙනෙවියා ඇතුළු හමුදා බලය හමුවේ එය එක්වර ම සාර්ථක වුණේ නැහැ. සාහසමල්ලට රජකම බාර ගන්නා ලෙස ඉල්ලා සිටි ඇමතිවරුන් වුණේ ලංකාධිකාර ලොලුපැලෑකුළු දුත්තැටි අබෝනා සහ ලොලුපැලෑකුලු බුදල්නා යන ඇමැතිවරු යි.

ලීලාවතී බිසවගේ පාලන කාලය තුන් වසරකට සීමා වුණා. කුමන්ත්‍රණකරුවන් අවසානයේ ලීලාවති බිසව සිහසුනෙන් නෙරපා සාහස්සමල්ලට රජකම ලබා දුන්නා.

සාහසමල්ලගේ සෙල්ලිපියක්- sirimunasingha.wordpress.com

ලීලාවතී රැජන නෙරපා දමා කිරුළ ලබා දුන් සාසහස්සමල්ල ( 1200-1202) කලින් ලංකාවේ රජ ව සිටි  නිශ්ශංකමල්ල රජුගේ සහෝදරයෙක්. ඔහුටත් රට පාලනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ අවුරුදු දෙකක් පමණ යි. ආයස්මන්ත නම් සෙනෙවියා ඔහුට එරෙහි ව කුමන්ත්‍රණය කොට සාසහස්සමල්ල රජකමෙන් නෙරපනවා. සාහසමල්ල සිහසුනෙන් පහ කළ ආයස්මන්ත සෙනවි  සිහසුන හිමි කර දුන්නේ නිශ්ශංකමල්ල රජුගේ මෙහෙසිය වූ කල්‍යාණවතී බිසවට යි. ඒ බිසවගෙන්  පසු ව   ළදරු ධර්මාශෝක කුමරු තමයි රජකමට පත්කරන්නේ. ඔහු නමින් රාජ්‍ය කටයුතු මෙහෙයැ වූයේ කිත්ති සෙනෙවියා යි. අවුරුද්දකින් කිත්ති සෙනෙවි මරා මහාදිපාද අණිකංග රජ වුණත් ඔහු රජකමේ සිටියේ මාස බාගයක් පමණ යි.

ලීලාවති දෙවැනි වරට රජ කිරුළට

අණිකංග රජුගේ ම මහ සෙනෙවියා වූ වික්කන්ත චමුක්ක, ඔහු මරාලීලාවතී රැජනට යළිත්  සිහසුන ලබා දෙනවා.

ඇය මෙවර ක්‍රිස්තු වර්ෂ 1209 සිට 1210 දක්වා රජකම දරනවා. ධම්මකිත්ති තෙරුන් දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ වූ ‘දාඨාවංසය’ නම් පාලි ග්‍රන්ථය රචනා කළේ මේ කාලයේදි යි. ඇය යළිත් සිහසුනෙන් පලවා හැරීමට මුල් වී ඇත්තේ ද්‍රවිඩ ආක්‍රමණිකයකු වූ ලෝකේශ්වර යි.  මහාවංසයෙහි සඳහන් කරන්නේ ඔහු  අවි සරඹයක දී ශරීරාංගයක් බිඳී ගිය කෙනකු බව යි.

 ලීලාවතීගේ තඹ මස්ස කාසි- Wikipedia.org

ලීලාවතී තෙවන වරටත් සිහසුනට

සිහසුනෙන් නෙරපනු ලැබ සිව් මසකින් පසු ලීලාවතී රැජන තුන් වැනි වරට සිහසුනට පත් කළේ පරාක්‍රම නම් සෙනෙවියකු යි.  ඒ වර්ෂ 1211 දීයි. දාඨාවංසය සඳහන් කරන්නේ ලීලාවතීට රජකම ලබාදුන් පරාක්‍රම සෙනෙවියා ඇගෙන් පසු රජය භාර ගැනීම සඳහා මධුරින්ධ නම් පාණ්ඩ්‍ය කුමරුවකු ද පුහුණු කිරීමත් කළ බව යි.  

තුන් වැනි කාලයේ ඇයට රජකම දැරීමට හැකිවූවේ මාස හතක් පමණක් බව මහාවංශය සඳහන් කරනවා.  පරාක්‍රම නමැති පාණ්ඩ්‍ය ජාතිකයෙක් ඇය සිහසුනෙන් පහකොට පරාක්‍රම පාණ්ඩ්‍ය නමින් පෙළොන්නරුවේ රජවෙනවා. ඒ සමඟ ම ලීලාවතී රැජනගේ නම වංශ කතාවෙන් ඉවත් වී යනවා. ඉන්පසු ඇයට අත්වූ ඉරණම කුමක්දැයි දැන ගැනීමට අපට අවස්ථාවක් නැහැ.

ලීලාවතී රැජන- චන්ද්‍රසිරි පල්ලියගුරුගේ මහ බිසෝ ලීලාවතී කෘතිය ඇසුරිනි- buddhistcc.com

 

පරාක්‍රම පාණ්ඩ්‍යගේ රජය ද අවුරුදු තුනකින් නිම වන්නේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි කාලිංග මාඝ පොළොන්නරුවේ බලය අල්ලා ගැනීම නිසයි. කාලිංග මාඝගේ කෘර පාලනය විසි අවුරුද්දක් පමණ පැවතුණා.  

ලීලාවතීගේ කාසි

ලීලාවතී රැජනගේ පාලන සමයේ භාවිත කළැයි විශ්වාස කැරෙන කාසි සහිත මුට්ටියක් මින්නේරිය වැවෙන් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2012 දී වාර්තා වුණා. ධීවර කාර්මිකයකු වැවට ආ අවස්ථාවේ තමයි ඒ මුට්ටිට හමු වී තිබෙන්නේ. ඊට පෙරත් විවිධ අවස්ථාවලදී ලීලාවතී රැජනගේ පාලන සමයේ නිකුත් කළ කාසි හමු වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- චන්ද්‍රසිරි පල්ලියගුරුගේ මහ බිසෝ ලීලාවතී කෘතිය ඇසුරිනි- buddhistcc.com 

මූලාශ්‍ර:

අභිලේඛන- පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා- සංස්. ආචාර්ය නන්දදේව විජේසේකර

ලංකා විශ්ව විද්‍යාලයීය ලංකා ඉතිහාසය- 1 කාණ්ඩය, 11 භාගය  විද්‍යාලංකාර වි. වි.

ලීලාවතී බිසව- ප්‍රේමසිරි මාහිංගොඩ

Related Articles

Exit mobile version