එච්. ආර්. ජෝතිපාල මියගොස් මේ වන විට අවුරුදු 34ක් වුවත්, අදටත් රටේ වැඩිපුරම ඇහෙන්නේ ජෝති ගීත යි. කුඩා දරුවන් පවා ඔහු ගැන දන්නවා. නමුත් ජෝති ජීවත්ව සිටි කාලයේ ඔහුට රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවලින් නිසි ඇගැයීමක් ලැබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය පමණ යි. රූපවාහිනී සංස්ථාව කිසිම වැඩසටහනකට ජෝතිව සම්බන්ධ කර ගත්තේ හෝ ඔහුගේ ගීත ප්‍රචාරය කළේ හෝ නැහැ. ගුවන්විදුලියත් ඔහුට සම්බාධක පනවා තිබුණා. ජීවතුන් අතර සිටි කාලයේ ඔහුට බොහෝ දෙනා පරිභව කළේ “බයිලාකාරයා” කියලයි.
ජෝතිපාලගේ සිංදු කාමරේ
කුඩා කාලයේ පටන් ගී ගැයීමට ඔහු තුළ වූයේ විශාල ආසාවක්. මේ නිසාම ජෝතිට පාසල් අධ්‍යාපනය හොඳින් කරගැනීමටත් ඉඩ ලැබුණේ නැහැ. විචාරකයන් පවසන්නේ එහු සැබෑ ලෙසම ජීවමාන වන්නට පටන් ගත්තේ මරණයෙන් පසුව බව යි.
ජෝතිපාල අයත් වූයේ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයට නෑකම් කියූ සින්දු කාමර සම්ප්‍රදායට යි. මෙම සංගීත සම්ප්‍රදාය 50-60 දශකවල මරදාන කේන්ද්‍ර කරගෙන ඇති වුණා. ආර්. ඒ. චන්ද්‍රසේන සංගීත ශිල්පියා තමයි මෙහි ආරම්භකයා වුණේ. ප්‍රේමසිරි කේමදාස, හරුන් ලන්ත්‍රා, ලතා වල්පොල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ප්‍රෙඩී සිල්වා (ප්‍රෙඩී සිල්වා ගැන මෙතැනින් පිවිස කියවන්න) වගේම ජෝතිපාලත් මෙයට අයත් පිරිස අතරේ සිටියා.
ජෝති යොවුන් වියේ සිටම මිතුරන් සමග සංගීත සාජ්ජවල ගී ගැයුවා. ඔහු මුලින්ම තැටිගත කළ ගීතයක් ලෙස ගායනා කළේ වසන්තා සන්දනායකගේ ගිතයක “තොටියෝ” යන පදය පමණ යි. ඒ 1952 දී යි. ඉන්පසු ඔහු බාධක රැසක් මැද්දේ තමයි ගීත ලොවට පිවිසුණේ.
ජී. එස්. බී. රාණි පෙරේරා ගායිකාව ජෝතිට ප්‍රසිද්ධ ගායකයෙකු වීමට වඩාත් උපකාරී වුණු කෙනෙක්. “ලැබේ යයි සිතාල ද ආශා කළේ” කියන ගීතය ජෝති 1953 දී මුල්වරට ඇය සමග ගායනා කළා. මගේ රන් රාජිනි ගිතය ඔහු තනිව ගැයුවේ 1954 දී යි.
ජනප්‍රිය ජෝති
1954 වසරේ සිට 1987 වසර දක්වා වසර 33ක් තුළ ඔහු ගායනා කළ ගීත සංඛ්‍යාව දොළොස්දහසකට ආසන්න යි. නමුත් ඔහු කිසිදින සංගීතය ඉගෙනගත් කෙනෙකු නොවෙයි. ඔහු පසුබිම් ගීත ගායනා කර ඇති චිත්‍රපට සංඛ්‍යාව 450ක්.
ජෝති මුලින්ම ගායනා කළ චිත්‍රපට ගීතය 1956 දී තිරගත වූ “සුරතලී” චිත්‍රපටයේ ඇතුළත් වුණා. එහි නිෂ්පාදක ජබිර් ඒ. කාදර්ට චිත්‍රපටයට යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්‍ය වුණා. ගීතයක් තැටිගතකර පෙන්වීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදී ස්ටැන්ලි ඔමාර් එකල විශාල මුදලක් වූ රු.35ක් පරිත්‍යාග කර තිබෙනවා. සුරතලී චිත්‍රපටයේ ජෝතිපාලගේ “සිරියා මේ සාරා” ගීතය අතිශය ජනප්‍රිය වුණා. පසුව ජෝතිපාල ඉන්දියාවේ “වාහිනී” චිත්‍රාගාරයේ ටී. ආර්. පපාගේ අධීක්ෂණය යටතේ ජනප්‍රිය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.
සිරිය මෙ සාරා- නැගේවි හදේ මෝරා
දි ප්‍රෙමේ අම ධාරා- හෝ ප්‍රෙමේ අම ධාරා
චිත්‍රපට ගීත
මුලින්ම ඔහුව චිත්‍රපටවලින් ප්‍රතික්ෂේප කළත් පසුව ජෝතිපාල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමග කටයුතු කර ඇති ගායකයෙක්. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ දී ජෝතිපාල, අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සංදේශය” චිත්‍රපටයේ දී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තා. ජෝතිපාල මෙයට “පෘතුගීරිසිකාරයා රටවල් අල්ලන්න සූරයා” ගීතය ගායනා කළා.
‘‘හොඳ සිරියාව යි ආකාසේ-වාසනාවට ආදරේ
හඳ තරු පායයි ආකාසේ-වාසනාවට ආදරේ
පෙම් සුව විඳිනු වගේ-ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්-මෝරලා එයි සෙනේ’
පසුව ජෝතිට රංගනයට ද ආරාධනා ලැබුණා. 60- 70 දශකවල චිත්‍රපට රාශියක ඔහුගේ රංගනය දැකගත හැකියි. ඔහු හින්දි ගීත කොපි ගායනා කිරීම විවේචනයට ලක් වූ කාරණයක්. පණ්ඩිත් අමරදේව, පී. වී. නන්දසිරි, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක ආදී සංගීත අධ්‍යක්ෂවරුන්ගේ මඟපෙන්වීම යටතේ ද ගීත ගායනා කර තිබෙනවා.
ඔහු ගී ගැයූ චිත්‍රපට අතර කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා, හොඳට හොඳයි, වාසනා, සංගීතා කිහිපයක් පමණයි. ජෝතිපාල 1974 දී ජනප්‍රියම ගායකයාට හිමි සම්මානය දිනා ගත්තේ, “ඔන්න බබෝ බිල්ලෝ එනවා“ චිත්‍රපටයේ ගැයූ “මේ ජීවනයේ” ගීතය වෙනුවෙන්. 1983 වසරේ සරසවි සම්මාන උලෙළේ දී “මීදුම් සිහින” චිත්‍රපටයේ ‘සරා සඳේ’ ගීතය සඳහාත් 1986 වසරේ ‘ඔබට දිවුරා කියන්නම්‘ චිත්‍රපටයේ ‘පාළු සුසානේ‘ ගීය සඳහාත් වසරේ හොඳම ගායකයා ලෙස ජෝතිපාල සරසවි සම්මාන දිනාගෙන තිබෙනවා. මෙම සම්මානලාභී ගායකයා ඇතුල්වීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති, සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍රපට චරිත නිරූපණයන් සිදුකර තිබෙනවා.
ගී ගයන ගමන් මියගිය ගායකයා
1987 ජූලි 7 වැනිදා මෙලොවින් සමුගන්නා විට ජෝතිගේ වයස අවුරුදු 51ක් පමණ යි. ජෝතිපාල අවසන් වරට ගී ගැයුවේ කතරගම ගම් උදා භූමියේ යි. එහි මූලාසනයේ සිටි එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස “දුටුගැමුණු කුමාරයා” ලෙස ජෝති විසින් හඳුන්වා දී තිබෙනවා. ඔහු කියා ඇත්තේ දුටුගැමුණු කුමාරයා වෙනුවෙන් ජෝතිපාල එළිවනතුරු ගීත ගායනා කරන බව යි.
තම ගායන දිවියේ එදා තෙක් ජෝතිපාලට ලැබුණේ අත්පුඩි හා විසිල් පාරවල් පමණ යි. නමුත් ජෝතිපාලට මුල්වරට හූ හඬකින් රසිකයන් උපහාර පිදුවේ මේ ගම් උදා ප්‍රසංගයේ දී යි. එයට හේතුව ඔහුත් නොදැන රෝගීව සිටි ජෝතිපාලගේ හඬ ඒ තරම් විකෘති වී තිබීම යි. හදිසි හෘදයාබාධයක් නිසා එදින රෝහල්ගත කළ පසු ජෝතිපාල වෛද්‍යවරයාට කියා ඇත්තේ “ගීත කියන්නට බැරි නම් ජීවත් වී පලක් නැතැ” යි කියලයි.
ජෝතිපාලගේ මේ අවසන් මරණාසන්න ගම් උදා ගීත පෙළ ජාතික රූපවාහිනියෙන් විකාශනය කිරීමට කටයුතු යොදා තිබුණා. ඒ ඔහුට උපහාර ලෙස යි. එයට කෙලින්ම විරෝධතාව දැක්වූ පුද්ගලයකු වූයේ ආනන්ද තිස්ස ද අල්විස්. ඊට එරෙහිව ලිඛිතව විරෝධය පෑ ආනන්ද තිස්ස ද අල්විස් ප්‍රවෘත්ති අමාත්‍යවරයා ද වුණා. ඔහු තම විරෝධය පෑවේ ජෝති අපහසුවෙන් ගැයූ එම ගීත ප්‍රචාරය ජෝතිපාලට කරන ලොකුම අපහාසය බව යි.
අවමඟුලට සූට් තුන යි
ජෝතිගේ දේහය මහජන ප්‍රදර්ශනයට දින තුනක් තබා තිබුණා. එයට දිනපතා ඇඳුම බැගින් ඇඳුම් තුනක් ඇන්දවීමට සිදුව තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ ජෝතිට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනතාව ඔහුගේ සිරුර අතපත ගෑම නිසා දවසක් යන්නටත් මත්තෙන් ඔහුගේ දේහයට අන්දවා තිබූ සුදු ඇඳුම් දුර්වර්ණවීම යි. එසේ සිරුරට ඇන්දවූ සියලු ඇඳුම් නිර්මාණය කොට ඇත්තේ ජෝතිගෙත්, විජේගේත් ඇඳුම් නිර්මාණ ශිල්පියා වූ ෂෙල්ටන් ජයසිංහ යි. ජෝතිපාලගේ අවමඟුල නිසා කොළඹ කනත්තට ආ රසිකයන් එහි වූ සමරු ඵලක බිම හෙළා කළ හානිය රුපියල් ලක්ෂ විස්සකට අධික යි. තරුණ තරුණියන් විශාල වශයෙන් මේ අවමඟුලට සහභාගි වී සිටියා. වහලයකට නැගී රසිකයන් පිරිසක් සමග කනත්තේ වහලය බිමටම සමතලාවුණා.
අවමඟුලේ ප්‍රධාන කතාව පැවැත්වූ අගමැති ආර්. ප්‍රේමදාස එවෙලේම අජන්තා රණසිංහ ලවා ගීතයක් රචනා කොට ලතා වල්පොළ ලවා ගායනය කරන්නට පියවර ගත්තත් දුක නිසා ලතාට ගායනා කළ හැකිවූයේ පේළි කිහිපයක් පමණ යි.
බිඳ වැටුණු සංස්කෘතික බලකණුව
ජෝතිගේ අවමඟුල ගැන එකල විශාල කතාබහක් ඇතිවුණා. මේ අවස්ථාවේ ආචාර්ය සරත් අමුණුගම “ජෝතිපාල බිඳ වැටුණු සංස්කෘතික බලකණුව යි” යනුවෙන් විචිත්‍ර සිනමා පුවත්පතට ලියූ ලිපිය රටේ විද්වතුන් අතර සංවාදයක් ඇති කිරීමට මුල්වුණා. එයට හේතුව ජෝති විද්වතුන්ගේ අවධානයට කිසිදින ලක්නොවූ ගායකයෙකුවීම යි. ඒ ගැන ජෝතිපාල විශාල කලකිරීමකින් සිටිබවත් නොරහසක්. මේ ඉන් උපුටාගත් කොටස් කිහිපයක්:
නූතන සිංහල සංස්‌කෘතිය පිළිබඳ අලුත්ම පාඩම් පන්තිය ඇරැඹිය යුත්තේ කනත්තෙනි. පසුගිය දා සිදුවූ අවමඟුල් දෙකකින් සිංහල සංස්‌කෘතිය හා එහි නුදුරු අනාගතය පිළිබඳව විශ්වවිද්‍යාලයයකින් හෝ ලද නොහැකි පාඩමක් අප දෑස් ඉදිරියේම මැවී පෙනුණේ ය.
ජෝතිපාල හා රමණිගේ මළගම්වලට ආ දහස් සංඛ්‍යාත ජනකායට ඇතුළත් වූයේ කවුද? එයින් සියයට අනූවක්‌ම බාල තරුණ තරුණියන් ය.
ජෝතිපාල මේ තරුණ කල්ලියේ සංස්‌කෘතික වීරයෙකු වූයේ ය. ඔහුගේ අවමඟුල් පෙරහැරේ දකින්නට ලැබුණේ “අපේ කලා රජාට නිවන් සැප ලැබේවා·” යි කියවුණු නාම පුවරු යි. ඇත්තෙන්ම ජෝතිපාල මේ තරුණ පෙළේ ආදරය ලැබීමට සුදුස්‌සෙකි. සිංහල චිත්‍රපටයේ ප්‍රධානතම අංගයක් වන ගීතය ඔපවත් කළේ, රසවත් කළේ ඔහුගේ කටහඬ යි. ඇතැම් නරඹන්නන් ගාමිණී, විජය, ටෝනි, සනත් වැනි නළුවන්ගේ නියම කටහඬට ප්‍රිය වූවායැ යි කීවොත් වැරැදි නොවේ. සිංහල චිත්‍රපටවල ආදර ගීත සහ විරහ ගීත සියල්ලම ජෝති එක හුස්‌මටම කියා දැම්මේ ය.
ජෝතිට ඉටු කිරීමට සිදුවූ මෙහෙය පැරැණි සංගීත සම්ප්‍රදාය මේ තරුණ පරපුරට හඳුන්වාදීම යි. ඔහු උපතින්ම හොඳ රසඥානයක් හා රසිකත්වයක් ලැබූවෙකි. මුල් පුහුණුව අනුවත් ඔහුගේ චාම්, අවංක ගතිගුණ නිසාත් ඒ ශාස්‌ත්‍රීය සංගීත ලෝකය ජෝති ප්‍රිය කළේ ය. ඔහු “ප්‍රබුද්ධයැ” යි ගැනුණු ගායකයන්ගේ කොටසට නොවැටීම ගැන ඔහු අවංකවම කනගාටු වූයේ ය.
අවාසනාවකට මෙන් අපගේ බහු මාධ්‍යයන්ට අරක්‌ගත් නිලධාරීහු ජෝතිගේ මේ අවස්‌ථා දෙකක් යා කිරීමට ඇති හැකියාව හඳුනාගත්තේ නැත. රූපවාහිනියට හා කලකට පෙර ගුවන්විදුලියට ඔහු වැද්ද නොගැනීමෙන් ජෝතිව “කැසට්” ගායකයෙකු කළේ මේ බලපෑම යි.
රියැලිටි ජෝති
අදටත් බොහෝ නැගී එන ගායකයින්, රියැලිටි තරගවලට සහභාගී වන ගායකයින් විතරක් නෙමෙයි, වීදි ගායකයින් පවා තමන්ගේ දිවි ගමන ජයගන්න අත්වැලක් කරගන්නේ ජෝතිගේ ගීත යි. එදා පටන් අද දක්වා සිංහල සිනමාවේ පෙම්වතුන්ගේ පෞරුෂය ඔප් නංවන්නට දැවැන්ත සෙවනැල්ලක් වුණේ ඔහුගේ හඬ යි. සෑම පැයකට වරක්වත් ඔහුගේ ගීතයක් ලංකාවේ කුමක් හෝ නාලිකාවක වාදනය වෙනවා.
ජෝතිපාලට තිබුණෙ ක්‍රීම් වොයිස් එකක්. ඒ වගෙ අය ඉන්දියාවෙත් ඉන්නේ කිහිප දෙන යි. ඒක යි ජෝතිගෙ අභාවයෙන් පස්සේ ඒ තැන පුරවන්න කෙනෙක් නැත්තේ. මිනිසත් බව උතුරා ගිය පුදුම මිනිහෙක්. මේ මනුස්සයා මේ පරිචය ලබාගත්තේ කොහොම ද යන්න වෙනම සොයාබැලිය යුතු යි.
ජෝති 8 වන ගුණ සැමරුමේ දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පවසා ඇත්තේ එහෙම යි.