අස්වාභාවික නම්‍යශීලීතාවක් හිමි නළුවා

Horror movies හෙවත් සන්ත්‍රාසය සහ භීතිය ඇති කරවන ආකාරයේ සිනමාපට නැරඹීමට අප බොහෝ දෙනා තුළ පවතින්නේ විශාල නැඹුරුවක්. සත්‍ය ලෝකයේ නොමැති අන්දමේ භයානක, අද්භූත, විරූපී ජීවින් මේ සිනමා නිර්මාණවලින් අපට හමුවෙනවා. 

බොහෝ ත්‍රාසජනක සිනමා නිර්මාණ ශිල්පීන් සිදුකරන්නේ සාමාන්‍ය ලෝකයේ පවතින විවිධ මිත්‍යා විශ්වාසයන් සහ ජනප්‍රවාදයන් පදනම් කරගනිමින් අපූරු කතාන්දර නිර්මාණය කර පෙන්වීම. මේවායේ දක්නට ලැබෙන අමුතු ජීවින් නිර්මාණය කිරීම සඳහා ත්‍රිමාණ තාක්ෂණය යොදාගන්නා බවට යි නරඹන්නන් බොහෝවිට විශ්වාස කරන්නේ. 

Horror moviesවල පෙන්වන අද්භූත චරිත සැබෑ ලෝකයෙන් සොයාගැනීම.

අද්භුත චරිතයකට සැරසුණු හාවියර් බොතේත් (latinamericanpost.com)

සිනමා නිර්මාණවල ජීවත්වන අද්භූත ජීවින් සත්‍ය ලෝකයේ සිටින බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. මේ ලිපියෙන් කියන්නට යන්නේ එවන් තිගැස්මක් සහ මවිතයක් ඇති කරවන ආකාරයේ විස්මයජනක වෘත්තාන්තයක්. විවිධ නිර්මාණ තුළින් ඉස්මතු වන මේ අද්භූතයා සැබෑ ලොව තුළ ජීවත් වන මිනිසෙක්. ඔහු මිනිසෙක්දැ යි සැක ඉස්මතු වන තරමටම අසාමාන්‍ය සහ අද්භූතජනක හැකියාවක් සහිත පුද්ගලයෙක්. 

හාවියර් බොතේත්

හාවියර් බොතේත් (BBC)

වර්ෂ 1977 ජූලි මස 30 වන ස්පාඤ්ඤයේ උපත ලද හාවියර් බොතේත්ට සාමාන්‍ය පුද්ගලයෙකුට නොමැති ආකාරයේ අතිවිශේෂ හැකියාවක් හිමිවනවා. උතුරු මැඩ්‍රිඩ්හි කුඩා නගරයක සිය ළමා කාලය ගෙවන හාවියර් බොතේත් විද්‍යා ප්‍රබන්ධ සහ අද්භූත දෑ පිළිබඳ දක්වන්නේ විශාල ඇල්මක්. ඔහු කුඩා කාලයේ පටන් අද්භූත ජීවීන් සිතුවමට නැගීමට වැඩි රුචියක් දැක්වූවා. 

මමා චිත්‍රපටයට දායකත්වය සපයමින් (hollywoodreporter.com)

චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීම සඳහා නගරයට සංක්‍රමණය වන හාවියර් බොතේත්ගේ සිතෙහි සිනමා නිර්මාණකරණය පිළිබඳ හදිසියේ විශාල කැමැත්තක් මතුවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු අතින් කෙටි චිත්‍රපට බිහිවීම ආරම්භ වෙනවා. 

හාවියර් අඩි හයයි අඟල් හයක් උස්, ඉතා නම්‍යශීලි තැනැත්තෙක්. ඔහුගේ මේ විශේෂිත පෙනුම සහ හැකියාව දකින ප්‍රවීණයන් යෝජනා කරන්නේ චිත්‍රපටවල අද්භූත ජීවීන්ගේ චරිත රඟපෑමට ඔහු සුදුසු බව යි. 

රූගත කිරීම් අතරතුර (GEBO – Tumblr)

හාවියර් බොතේත්ගේ පෙනුමට පාදක වූ ජීව විද්‍යාත්මක සාධකය

හාවියර් බොතේත්ගේ ඇඟිලි සහ අතපය සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දිගු ස්වභාවයක් දරනවා. ඒ ව‍ගේම ඔහුට ඔහුගේ අතපය සහ ඇඟිලි අස්වාභාවික ආකාරයට සහ අස්වාභාවි හැඩයන්ට චලනය කළ හැකියි. මෙකී විශේෂතාවන් හඳුනාගත් හාවියර් බොතේත්ගේ අධ්‍යක්ෂකවරයා ඔහුට රංගනය සඳහා කුඩා චරිත ලබාදෙනවා. 

හාවියර් පවසා සිටි‍න්නේ ඔහු “මාර්ෆන් සහලක්ෂණය” නමැති රෝගයෙන් පීඩා විඳින්නෙකු බව යි. ඒ රෝගය හේතුවෙන් ඔහුගේ ශරීරය ඉතා කෙසඟ, උස ස්වරූපයක් ගන්නා බවත්, එය සම්බන්ධක පටකවලට සිදුකරන බලපෑම හේතුවෙන් සිය සිරුර ඉතා නම්‍යශීලී වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. 

හාවියර් බොතේත්ගේ සිනමා දිවියේ ආරම්භය

කෙටි චරිත රඟපෑමෙන් මාස කිහිපයකට පසු ස්පාඤ්ඤ සිනමා පටයක කුඩා චරිතයකට රංගන දායකත්වය ලබාදීමට හාවියර් බොතේත්ට අවස්ථාව හිමිවනවා. එය ඔහුගේ සිනමා දිවියට විශාල ආලෝකයක් සහ මඟපෙන්වීමක් ගෙන එනවා.

අද්භූත චරිතයකට සැරසී (Sputnik News)

හාවියර් බොතේත්ගේ වාසනාව උදාවන්නේ “Rec 2” නමැති අද්භූත චිත්‍රපට මාලාවට රංගන දායකත්වය සැපයීම සඳහා ගිවිසුමකට එළඹීමත් සමග. ඒ වර්ෂ 2009 ටෙක්සාස්හි දී යි. අන්ද්‍රේස් මෂියෙටි නම් ආර්ජන්ටිනියානු අධ්‍යක්ෂකවරයා එහිදී ඔහුට මුණගැසෙනවා. Mama නම් චිත්‍රපටයක් සඳහා තමන් තුළ පවතින අදහස ඔහු එහිදී බොතේත් වෙත ඉදිරිපත් කරනවා. අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටින්නේ Mamaහි ප්‍රධාන චරිතයට පණ පෙවීම සඳහා හාවියර් බොතේත් වඩාත් සුදුසු වනු ඇත බව යි. ඒ අනුව ඉන් වසරකට පසුව, Mamaහි ප්‍රධාන චරිතයට පණ පෙවීම සඳහා හාවියර් බොතේත් වෙත නිල වශයෙන් ආරාධනා කෙරෙනවා. 

තිරය පිටුපස සිදුවීම් (BBC)

වර්ෂ 2013 දී එම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ විට බොහෝ දෙනා විශ්වාස කරන්නේ එය තාක්ෂණිකව සැකසූ චරිතයක් බව යි. හාවියර් බොතේත් පවසන ආකාරයට එම චරිතයට රඟපාන්නේ තමන් බව කිසිවෙකුත් හඳුනාගන්නේ නැහැ. 

මේ අතරේ අධ්‍යක්ෂකවරුන් තීරණය කරනවා සිනමාපටය සඳහා හාවියර් බොතේත් යොදාගනිමින් සිදුකළ චලන පරීක්ෂණයන්හි වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැරීමට. එකී වීඩියෝපටවල අන්තර්ගත වූයේ හාවියර් බොතේත් අද්භූත චලන දක්වමින් හැසිරෙන ආකාරය. මෙකී වීඩියෝපටය ඔහුගේ සිනමා ජීවිතයේ ඔහු නොසිතූ විරූ ආකාරයේ පෙරළියක් ඇති කිරීමට සමත් වනවා. වීඩියෝපටය නැරඹූ සිනමාලෝලීන් CGI තාක්ෂණයේ සහයකින් තොරව සිදුකෙරෙන හාවියර්ගේ රංගනය කෙතරම් තාත්වික සහ සාර්ථකදැ යි හඳුනාගන්නවා. 

රූගත කිරීම් අතරතුර (Bored Panda)

මේ අනාවරණයත් සමග හාවියර්ට Insidious, Alien, සහ The Conjuring යන දැවැන්ත සිනමා නිර්මාණවලට දායක වීමට ආරාධනා ලැබෙනවා. ඊ‍ට අමතරව The Mummy, The Revenant යන සිනමා නිර්මාණවලට සහභාගී වීමටත් හාවියර් බොතේත්ට වාසනාව උදාවනවා. වර්ෂ 2017 දී නිර්මාණය කරන ලද It Chapter Two චිත්‍රපටයේ ලාදුරු රෝගියෙකු‍ගේ චරිතයට පණ පෙවූ හාවියර් බොතේත් කාගේත් කතාබහට ලක්වුණා. එසේම ලෝකප්‍රකට Game of Thrones ටෙලිකතා මාලාවට රංගනයෙන් දායකවීමේ වාසනාව ද හාවියර් බොතේත්ට හිමිවුණා. 

වේශ නිරූපණයෙන් පසු තමන්ගේ රුව කැඩපතින් දකින විට තමා කිසිසේත්ම ඉන් බියට පත් නොවන බව හාවියර් බොතේත් පැවසුවත්, හැටවන විය ඉක්මවූ හාවියර්ගේ මව තම පුත්‍රයාගේ සිනමාපට නැරඹීමට යන්නේ ඇගේ මිතුරියන් සමග යි. ඊට හේතුව වන්නේ අද්භූත සිනමා නිර්මාණවලට ඇගේ සිත තුළ පවතින භීතිය යි. 

රූගත කිරීම් අතරතුර විවේක ගනිමින් (no one has ever looked so dead – Tumblr

හාවියර් බොතේත් සිය චරිතය වඩාත් ඔපමට්ටම් කරගැනීම

අද්භූත සිනමාවෙන් ඔබ්බට ගමන් කරන හාවියර් බොතේත් ස්පාඤ්ඤ ප්‍රහසන නිර්මාණ සඳහා ද දායකත්වය දක්වනවා. ඊට අමතරව, ඔහු ඔහුගේම නිර්මාණ අධ්‍යක්ෂණය කිරීමෙහි ද නිරත වනවා. නමුත් හාවියර් පවසන ආකාරයට හොලිවුඩ් සිනමාවේ තමන් දායක වන අද්භූත චරිත විෂයට ඔහු විශාල ආදරයක් දක්වනවා. තමන්ගේ රංගනය වඩා ඔපනැංවීම සඳහා නින්තරයෙන් නව තාක්ෂණික ක්‍රමෝපායන් සහ නර්තන ක්‍රමවේදයන් හදාරන බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. මෙවන් අද්භූත චරිතයන්ට අනුවර්තනය වීම සඳහා බොහෝවිට පැය ගණන් වේශ නිරූපණ අසුන් මත උපේක්ෂාවෙන් සහ දැඩි ඉවසීමෙන් හිඳ සිටීමට හාවියර්ට සිදුවනවා. හාවියර්ව අද්භූතයෙකු බවට පත් කරවාලීමේ වගකීම බොහෝවිට පැවරෙන්නේ ඩේවිඩ් මාටි නමැති ඔස්කාර් සම්මානලාභී වේශ නිරූපණ ශිල්පියාට.

රූගත නිරීම් අතරතුර (BBC)

හාවියර් ඇමරිකාවෙන් ගෙන්වන Fangoria වැනි සඟරා පරිශීලනය කරමින්, බියකරු පෙනුම් සැකසීමේ නම ප්‍රවණතා නිරන්තරයෙන් හදාරන්නෙක්. ඔහු ඩිජිටල් තාක්ෂණයට අභියෝග කරමින් තවදුරටත් සිනමා ක්ෂේත්‍රයේ ඉදිරියටම ගමන් කරන, සිය රෝගී තත්ත්වය ධනාත්මක අයුරින් භාවිතා කළ, ලෝකයටම ආදර්ශයක් සපයන අතිවිශිෂ්ඨ රංගන ශිල්පියෙක් බව කියන්නට පුළුවන්.

වේෂ නිරූපණය අතරතුර (BBC)

 

කවරයේ පින්තූරය (Bloody Disgusting).jpg

මූලාශ්‍රයයන් 

  • Javier Botet: Meet the actor behind Hollywood's monsters, bbc.com
  • Javier Botet, Slender Man and Mara actor, is Hollywood's nightmare fuel, ew.com
  • Javier Botet, gameofthrones.fandom.com
  • Javier Botet, pinterest.com
  • Meet Javier Botet: The Actor Behind Some of Your Favorite Monsters, mentalfloss.com
  • Javier Botet, amazon.com
  • CS Exclusive: Javier Botet’s Five Favorite Roles, comingsoon.net
  • Javier Botet: the Hollywood monster, latinamericanpost.com

Related Articles

Exit mobile version