“මගේ ඒකායන අපේක්ෂාව මව්බිමට සේවය කිරීමට යි. තරුණයෝ යනු අනාගත නායකයෝ ය. ඔවුන්ගේ සිත බියෙන් තොරය. කරදර හිරිහැර වලට ඔවුහු බිය නොවෙති. තරුණකම මගේ දියුණුවේ රහසයි”
මේ, වයස අවුරුදු 22 තරම් තරුණ අවධියක දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ (එවකට මෙය හඳුන්වන ලද්දේ මහනුවර උසස් බෞද්ධ විද්‍යාලය නමින්) විදුහල්පති ධුරයට පත් වීමට සමත් වූ ඩී.බී ජයතිලක හෙවත් දොන් බාරෝන් ජයතිලකයන්ගේ ප්‍රකාශයක්. ලංකාව ඉංග්‍රීසින්ට යටත්ව පැවති සමයක මෙරට බෞද්ධ පුනුරුදය ඇති කරවීමටත් සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවිමටත් ඩී.බී ජයතිලක කැප වී කටයුතු කරනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසත් දේශපාලඥයෙක් ලෙසත් ඔහු මෙරටට විශාල සේවයක් කළ නමුත් ඉතිහාසය තුළ ඔහු පිළිබඳව ලියැවී තිබෙන්නේ ඉතා අඩුවෙන්. තව ද ඔහුට සුදුසු තැන නොලැබුණු බවත් කියවෙන හෙයින් “ඔටුනු නොපලන් කුමාරයෙක්” ලෙස ජයතිලකයන්ව හැඳින්වීම වරදක් නොවේ.
දේශීය අධ්‍යාපනය මෙන්ම බටහිර අධ්‍යාපනය ද ලැබීම
1868 පෙබරවාරි මස 13 වැනි දින කැලණියේ වරාගොඩ විසූ දොන් දානියෙල් ජයතිලක හා එළිසියානා ජයතිලකට දාව උපත ලබන දොන් බාරෝන් ජයතිලක ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ විද්‍යාලංකාර පිරිවෙනෙන්. පසුව විද්‍යාලංකාර පිරිවෙනෙන් ම සිංහල භාෂාව, සංස්‌කෘත භාෂාව , පාලි භාෂාව හා බෞද්ධ සාහිත්‍ය පිළිබඳව ඉතා හොද අවබෝධයක් ලබා ගන්නවා. එවකට කීර්තිමත් පැවදි පඬි රුවනක් වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන්, බාරෝන් ජයතිලකගේ ගුරුවරයා ලෙස ක්‍රියා කරනවා.
කැලණිය බැප්ටිස් මිෂනාරි පාසලට ඇතුලු වෙන ඔහු එහිදී ඉංග්‍රීසි මාධයෙන් ඉගෙනුම ලබන අතර අනතුරුව කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හමාර කරනවා. ඒ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ විභාගවලින් උසස් ලෙස සමත්වීමෙන් අනතුරුව යි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති ලෙස
ඉංජිනේරුවරයෙක් වීමේ අදහසින් පසු වූ ජයතිලක තරුණයා ඒ ඔස්සේ තව දුරටත් අධ්‍යාපනය ලැබීමට තීරණය කරනවා. නමුත් මේ යුගයේ ඇති වූ බෞද්ධ පුනුරුදයත් සමග ඒ අදහස අතහැර අනගාරික ධර්මපාල හා හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි විද්වතුන් විසින් පවත්වාගෙන යන කොළඹ පරම විඥානාර්ථ සමිතියට එකතු වෙනවා.
පරම විඥානාර්ථ සමාගම විසින් මේ වන විට කොළඹ, නුවර හා ගාල්ල යන ප්‍රදේශ වල බෞද්ධ පාසල් නිර්මාණය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නුවර ඉදිවූ උසස් බෞද්ධ විද්‍යාලයේ (පසුව ධර්මරාජ විද්‍යාලය ලෙස නම් වෙනවා) ප්‍රථම විදුහල්පතිවරයා ලෙස වැඩබාර ගන්නවා. ඒ 1890 වසරේ දී යි. එවිට ඔහු වයස අවුරුදු 22ක තරුණයෙක් විය.
එහි සේවය කරන සමයේ දීම කල්කටා විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි හා ලතින් භාෂාව පිළිබඳව බී. ඒ. උපාධිය ලබා ගන්නවා. සත්‍යෝදය නමින් සතිපතා පුවත්පතක් මුද්‍රණය කිරීමටත් ඒ ඔස්සේ බෞද්ධ පුනර්ජීවනය වර්ධනය කිරීමටත් කටයුතු කරනවා.
මහනුවර උසස් බෞද්ධ විද්‍යාලය, ලංකාවේ පළමු පෙළේ පාසලක් බවට පත් කිරීමට කැප වී කටයුතු කළ ඔහුව පරමවිඥානාර්ථ සමිතිය විසින් කොළඹ ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පතිවරයා ලෙස පත් කරනවා. ඒ 1898 දී යි. 1904 වසරේ දී එහි විදුහල්පතිවරයා ලෙස පත් වන්නේත් ඩී.බී ජයතිලක යි.
බෞද්ධ පුනුරුදය උදෙසා කටයුතු කළ ක්‍රියාකාරිකයෙක්
1898 වසරේ දී රටේ බොදු පුනුරුදය වෙනුවෙන් ක්‍රියාකාරීව කැපවෙන බෞද්ධ තරුණයන්ගේ එකමුතුවක් ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ වෙනවා. එහි ආරම්භක නායකයා ලෙස කටයුතු කරන්නනේ ඩී.බී. ජයතිලක යි. එතුමා මිය යනතුරු එනම් නොකඩවා වසර 44 ක් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
1902 දී පරම විඥනාර්ථ බෞද්ධ සංගමයේ සාමාන්‍යාධිකාරී පදවියටත්, වර්ෂ 1908 දී ප්‍රධාන ලේකම් පදවියටත්. රාජකීය ආසියාතික සංගමයේ හා ප්‍රාචීන භාෂෝපකාර පදනමේ සාමාජිකයකු බවටත්, සිංහල ශබ්ද කෝෂ සම්පාදක මණ්‌ඩලයේ සාමාජිකයෙකු බවටත් පත් වෙනවා.
1915 පමණ වන විට පැවැති ජාතිවාදී අර්බුදවල දී ජාතික නායකයන් සිර භාරයට ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කරන අතර එහිදී ඩී. බී. ජයතිලක ද සිරභාරයට පත් වෙනවා.
රටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් දේශපාලනයට පිවිසීම
බටහිර පාලනයෙන් මෙරට ගලවා ගැනීම සදහා ඒ වෙනුවෙන් කටයුතු කළ ජනතා ක්‍රියාකාරිකයන්, ජාතික සංගමය පිහිටුවා ගන්නවා. දේශපාලන නිදහස ලබා ගැනීම පිණිස බොහෝ ස්වදේශ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ජාතික සංගමය වටා අත්වැල් බැඳ ගන්නවා.
ලංකා ජාතික සංගමයේ සභාපති පදවියට පත් වන ඩී.බී ජයතිලක 1931 දී ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය යටතේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට කැලණි ආසනය නියෝජනය කරමින් පත් වෙනවා. මන්ත්‍රණ සභාවේ උප සභාපති මෙන්ම ස්‌වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කරනවා. 1936 වසරේ දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට ද කැලණි ආසනය නියෝජනය කරමින් තේරී පත් වීමට ඔහු සමත් වෙනවා.
1943 දී ඔහුට බ්‍රිතාන්‍ය රජයෙන් නයිට් පදවියක් පිරිනමනවා. ඒ දෙවන ලෝක යුධ සමයේ දී ජපන් ප්‍රහාර හමුවේ මෙරටට කළ සේවය වෙනුවෙනු යි. එතැන් සිට ඩී.බී ජයතිලකයන්ව හඳුන්වන්නේ ශ්‍රීමත් ඩී.බී ජයතිලක හෙවත් සර් ඩී.බී ජයතිලක ලෙස යි.
රාජ්‍ය තාන්ත්‍රික සේවයට
1942 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉවත් වන මේ කීර්තිමත් දේශපාලඥයා ඉන් පසුව ඉන්දියාව වෙත යනවා. ඒ බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජිතයා ලෙස යි ( වර්තමානයේ මේ තනතුර මහා කොමසාරිස් ලෙස හඳුන්වයි).
1944 මැයි මස 31 වැනි දින ඉන්දියාවේ බැංගලෝර් හි දී මේ කීර්තිමත් පුද්ගලයා සදහටම දෙනෙත් පියා ගන්නේ හෘදයාබාධයක් වැළඳීමෙන්.
ලංකාවේ පළමු අගමැතිවරයා වීමට නියමිතව සිටියේ සර් ඩී.බී ජයතිලක ද?
කෙසේ නමුත් ඇතැම් විචාරකයන්ගේ මතය අනුව නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ධුරය ලබා ගැනීමට සිටි වඩා සුදුසුම පුද්ගලයා වන්නේ සර් ඩී.බී ජයතිලක යි. ඩී.එස් සේනානායකගේ ඉල්ලීමක් මත එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ජයතිලකයන් හට ඉන්දියානු තානාපතිකම පිරිනමා ඉන්දියාවට යැවූ බව එම විචාරකයන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.