හිට්ලර්ගේ නායකත්වයෙන් හර්මන් ගෝරිංගේ අණදීම පරිදි නිර්මාණය වූ නාසි ගුවන් හමුදාවේ ප්‍රබල ප්‍රහාරක ගුවන් නියමුවන් කිහිපදෙනෙක් පිළිබඳව මිට පෙර ඔබ වෙත ගෙන ආවා. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ නාසි ගුවන් හමුදාවේ සිටි දක්ෂ ගුවන් නියමුවරියක් පිළිබඳවයි. නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වී ඇද වැටෙන තුරු සටන අත් නොහළ ඇය හදුන්වන්නේ හැනා රයිච් (Hanna Reitsch) යන නමින්.
ගුවන් යානා පුහුණු උපදේශිකාවක් ලෙසද, නාසි ජර්මනියේ පළමු හෙලිකොප්ටර් ගුවන් නියමුවරියද, නව ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා අත්හදා බැලීම සදහා පියාසර කළ ප්‍රථම ගුවන් නියමුවරියද වන්නේ හැනා යි. තවද නාසි විශිෂ්ටයන්ට පමණක් පිරිනැමෙන යකඩ කුරුසය දිනාගත් ප්‍රථම කාන්තාව වන්නේද ඇයයි.
පියෑඹීමට අශාවෙන් සදළුතලයෙන් බිමට පැන්න කුඩා කෙල්ල
එවකට ජර්මනියට අයත් වූ සිලේසියා (Silesia) හි ඉහළ මධ්‍යම ප්‍රාන්තික පවුලක එකම ගැහැණු දරුවා ලෙස 1912 මාර්තු 29 වනදා උපත ලබන හැනා කුඩා කළ පටන් පියෑඹීමට මහත් ආශාවක් දැක්වූ අතර ආශාව කොතෙක්ද යන්න පවසනවානම් වයස අවුරුදු 4දී හැනා නම් සිගිත්තිය තම නිවසේ සදළුතලයේ සිට පහතට පැනීම සිදු කරනවා. තරුණ වයසට පත් වූ හැනාව වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා යොමු කිරීම, ශල්‍ය අක්ෂි වෛද්‍යවරයෙක් වූ හැනාගේ පියාගේ එකම අරමුණ විය. ඒ අනුව පියා විසින් ඇයව බර්ලින් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරන අතර පියාසර කිරීමේ උන්මාදයෙන් පෙළුණු ඇය වෛද්‍ය විද්‍යාව හදාරන අතර තුරම staaken හි ගුවන් නියමු පුහුණු පාඨමාලාවකට සහභාගී වීම සදහා තම පියාගෙන් අවසර ලබා ගන්නවා.
ක්‍රමක්‍රමයෙන් ඇයගේ පියාසර ආශාව වැඩි වූ අතර ඇය පුහුණු පාසලේ ගුවන් යානා කාර්මික ශිල්පින් හා එක්ව හරි හරියට ගුවන් යානා එන්ජින් හා යාන්ත්‍රික කොටස් පිළිබඳව උපරිම දැනුමක් ලබා ගන්නවා. තමන් කොපමණ ආශාවකින් ගුවන් යානා යාන්ත්‍රික කොටස් අලුත් වැඩියාව සිදු කලාද යන්න ඇය පසු කාලයේදී මෙලෙස සදහන් කරනවා.
“මගේ ප්‍රධාන යාන්ත්‍රික කාර්මික ශිල්පියා විනාශ වූ එන්ජිමක් සිකුරාදා දිනයදී පෙන්වා එය සඳුදා වන විට අලුත්වැඩියා කරන ලෙස උපදෙස් දුන්නා. සඳුදා උදය වරුවේ මුළු අගපුරාම තවරාගත් ග්‍රීස් හා ලේ ගලන තුවාල වූ අත් සහිත මා යථා තත්වයට පත්කරන ලද එන්ජිම ඔහුට භාර දුන්නා”
වෛද්‍ය විද්‍යාවට ආයුබෝවන් කියූ ගුවන් නියමුවරිය
1934 වසරේදී බ්‍රසීලයේ හා ආර්ජන්ටිනාවේ ගුවන් යානා පර්යේෂණ කිහිපයකට සහභාගී වූ ඇයගේ ගුවන් යානා සම්බන්ධ දැනුම මේ වන විට ඉහළ මට්ටමක පැවතුනු බැවින්, එම වසරේදීම වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත්වන ඇය පුර්ණ කාලීනව ගුවන් යානා නිපැදවීමේ හා අත්හදා බැලීමේ පර්යේෂිකාවක් ලෙස ඩාර්ම්ස්ටාඩ් (Darmstadt) හි ගුවන් යානා පර්යේෂණ ආයතනයේ සේවය කිරීම සදහා ඇතුලත් වෙනවා.
1937 වසරේදී නාසි ගුවන් හමුදාව විසින් ඇයට ගුවන් හමුදා නියමු තනතුරක් පිරිනමන අතර එවැනි පිරිනැමීමක් කළ නාසි ජර්මනියේ පළමු කාන්තාව වන්නේ ඇයයි. තවද ගුවන් හමුදාවේ නව ගුවන් යානා පරික්ෂා කිරීමේ හා අත්හදා බැලීම සඳහා පියාසර කරවන සිවිල් ගුවන් නිලධාරිණියක් ලෙස ඇය සේවයට එකතු වෙනවා. ඇය ජර්මානු ගුවන් අමාත්‍යංශයේ කාර්මික අංශයේ ප්‍රධානියා වූ අර්නස්ට් උඩෙට් (Ernst Udet) සමඟ එකතු වී මේ සම්බන්ධව බොහෝ පර්යේෂණ ප්‍රමාණයක් සිදු කරනවා.
ගුවන් යානා නිර්මාණයේ පර්යේෂිකාවක් ලෙස
1937 වසරේදී ඇල්ප්ස් කදුවැටිය හරහා ගුවන් යානයක් පැදවූ ප්‍රථම ජර්මානු ජාතික කාන්තාව බවට ඇය පත්වෙනවා. එම වසරේම ලෝකයේ වැඩිම දුරක් ගමන් කළ ගුවන් නියමුවරිය ලෙසද වාර්තාවක් පිහිටුවනවා. 1938 වසරේදී Focke-Achgelis Fa 61 නම් ජර්මානු ප්‍රථම හෙලිකොප්ටරය පදවා වාර්තාවක් තබන්නේද හැනායි. ඒ බර්ලිනයේ පිහිටි විශාල ගොඩනැගිල්ලක් තුළයි. මේ හේතුවෙන් නාසි ජර්මානු රජය විසින් ‘හමුදා පියාසර පදක්කම’ (Military Flying Medal) ඇයට පිරිනමන අතර එය ලබා ගත් ප්‍රථම ජර්මානු කාන්තාව වන්නේද ඇයයි.
1939 වසරේදී භාණ්ඩ ප්‍රවාහනය හා ඉන්ධන ප්‍රවාහනය සදහා උචිත විශාල ප්‍රමාණයේ ගුවන් යානා නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ පවත්වන අතර ඒ හා සමගාමිව ඉතා පහතින් ගමන් කරන ජර්මානු බෝම්බ හෙලන යානාවන්ගේ ආරක්ෂාව පිණිස වායු බැලුන් හා කේබල් නිෂ්පාදනය පිළිබඳවද පර්යේෂණ පවත්වනවා.
1942 වසරේ නිෂ්පාදනය වූ ME 163 නමින් ජර්මානුවන් විසින් නිපදවන ලද පැයට කිලෝමීටර් 1000 ඉක්මවා යන ප්‍රථම ජර්මානු ප්‍රහාරක යානයේ පියාසර අත්හදා බැලීම සිදු කරන්නේද හැනා විසින්. පසුව, සතුරු ප්‍රහාරක ගුවන් යානා විනාශ කිරීම සඳහා මෙම යානය බොහෝ අවස්ථාවලදී ජර්මානු ගුවන් හමුදාව විසින් යොදා ගන්නවා.
ඇය මෙම ගුවන් යානයේ නැගී මුල්වරට අත්හදා බැලීම සදහා පියාසර කිරීමේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් හදීසි ගොඩබෑමකදී දරුණු ලෙස තුවාල ලබන අතර ඇයගේ හිස්කබල ස්ථාන හතරකින් පුපුරා යනවා. මෙම අනතුරෙන් දවස් හතරකට පසු “හදිසි අවස්ථාවකදී නිර්භීතව කටයුතු කිරීම වෙනුවෙන්” ඇයට පියාසර කිරීම උදෙසා පිරිනැමෙන රන් පදක්කම හර්මන් ගෝරිං විසින් පිරිනමනවා.
අනතුර සිදු වී මාස 10කට පසුව ඇය නැවතත් ගුවන් හමුදා පර්යේෂණ සදහා එකතුවෙන අතර V1 හා V2 නමින් ජර්මනිය විසින් නිෂ්පාදනය කරන ලද මිසයිල ව්‍යාපෘතිය සඳහා තම දායකත්වයද ලබා දෙනවා.
සටන් කරුවන් දිරිමත් කිරීම සදහා සටන් පෙරමුණට
තිටර් ෆොන් ග්‍රයිම් (Ritter von Greim) නම් ඉදිරි පෙරමුණේ නාසි ගුවන් හමුදා ප්‍රබල නායකයෙක්ගේ ආරාධනාවක් මත සටන් පෙරමුණේ ගුවන් ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට 1943දි ඇය විසින් තීරණය කරන අතර එම වසරේදීම ඇයට හිට්ලර් විසින් ජර්මනියේ විශිෂ්ටයන්ට හිමිවෙන යකඩ කුරුසය සම්මානය ප්‍රධානය කරනවා (Iron Cross – 1st class). ඉන් පසු දිගින් දිගටම ඉදිරි පෙරමුණේ සටන් වලට තම දායකත්වය ලබා දෙමින් ඇය ෆොන් ග්‍රයිම් සමග රැදී සිටිනවා.
1945 වසරේ අප්‍රේල් මාසය වන විට මිත්‍ර ජාතින් විසින් බර්ලිනය වට කර පහර දීම ආරම්භ කර තිබු අතර එම මාසයේ 25 වනදා Von Greimට බර්ලිනයට පැමිණෙන ලෙස හිට්ලර්ගෙන් විශේෂ නියෝගයක් ලැබෙනවා. සතුරු ගුවන් ප්‍රහාර මධ්‍යයේ වුවත් බර්ලිනය වෙත සාර්ථකව Von Greimව රැගෙන යන්නේ මෙම නිර්භීත ගුවන් නියමුවරියයි. ඉන්පසු නැවතත් දින දෙකකින් සටන් පෙරමුණට පැමිණෙන ඇය මැයි 9 වනදා ඇමරිකානු භට පිරිසකගේ අත් අඩංගුවට පත්වෙනවා.
ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමත් සමඟ මාස 15ක සිරදඩුවමක් ඇයට හිමිවෙනවා. 1954 පසු නැවතත් ගුවන් යානා පැදවීම සදහා ඇයට නිත්‍යානුකුලව අවසර හිමිවෙන අතර 1962 වසරේ ඇය ඝානාවේ පියාසර පුහුණු පාසලක් ආරම්භ කරනවා.
ගුවන් ලෝක වාර්තා 40ක් පමණ පිහිටුවා ඇති එමෙන්ම හිට්ලර්ගේ අවසන් දින කිහිපය ඇසින් දුටු කිහිපදෙනාගෙන් ප්‍රධාන සාක්ෂිකාරිය වූ ඇය 1979 වසරේ මිය යන්නේ හෘදයාබාධයක් හේතුවෙන්.
කවරයේ ජායාරූපය – ici.radio-canada.ca