යටත්විජිත ලංකාවේ වනගත ශල්‍ය වෛද්‍යයා: ස්පිට්ල්

1760 දී, එකල ඕලන්දයේ කොලනියක් වූ ලංකාවට එක්තරා ස්පිටල් කෙනෙකු පැමිණියා. වෙළඳුන්ගේ පවුලකට අයත් වූ ඔහුගෙන් පැවත එන බර්ගර්වරුන් අතර එක්තරා ශල්‍ය වෛද්‍යවරයෙකුට දාව, 1881 දෙසැම්බරයේ දිනෙක තංගල්ලේ දී තවත් කුඩා ස්පිටල්වරයෙකු උපන්නා. පසු කලෙක තමාම පුරෝගාමී ශල්‍ය වෛද්‍යවරයෙකු, රචකයෙකු, සරසවි ඇදුරෙකු, මානව විශේෂඥයෙකු, හා පරිසරවේදියෙකු ද වුණු, අඳුරු කැලෑබද ඌවේ වැද්දන්ට “සුදු හූරා” වුණු ඔහු, ශිෂ්ට සමාජයේ හැඳිවුණේ රිචර්ඩ් ලයනල් ස්පිටල් නමින්.

ස්පිටල් වැදගත් වන්නේ ඇයි? ඔහු කළ දේ එකලට මෙන්ම අදටත් වැදගත් වන්නේ ඇයි? මේ, මින් බොහෝ කලකට පෙර, ජීවිතය දුෂ්කර වූ අවධියක මහත් දේ කළ ඒ වනගත වෛද්‍යවරයා ගැන යි.

වෛද්‍ය රිචර්ඩ් ලයනල් ස්පිටල් (amomentinsrilanka.blogspot.com)

ජාතික රෝහලේ තෙවැනි ශල්‍ය වෛද්‍යයා

1905 දී කොළඹ වෛද්‍ය පීඨයෙන් උපාධි ලැබූ ස්පිටල්, 1909 වන විට එංගලන්තයේ කින්ග්’ස් කොලෙජ්හිත්, ලන්ඩන් ආරෝග්‍යශාලාවෙහිත් සේවය කළා. රාජකීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සමාජයේ සාමාජිකත්වය ද ලැබ මෙරටට පැමිණි ඔහු, එම සුදුසුකම් නිසා 1910 දී ජාතික රෝහලේ තෙවැනි ශල්‍ය වෛද්‍යවරයා ලෙස පත්වීම් ලැබුවා.

ස්පිට්ල් කුඩා කල සිදු වූ අනතුරකින් ඇති වූ අස්ථි භග්නයක් හේතුවෙන් ඔහුගේ වම් වැළමිටෙහි ක්‍රියාකාරීත්වය අවමව තිබුණා. 1910 දී තත්ත්වය තවත් දරුණු වූයේ ශල්‍ය වෛද්‍යයකු වශයෙන් පත්ව සිව්වන මස, රෝගියෙකුගේ එරිසිපැලස තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේ දී කුඩා සීරුමක් හරහා ඇතුල්වූ බැක්ටීරියාවක් නිසා ලේ විෂ වීමක් ඇතිවීමෙනු යි. ඉතාමත්ම දරුණු වේදනාවක් විඳිමින් මාස 10ක් ගත කිරීමෙන් පසු ස්පිට්ල් නැවතත් සේවයට වාර්තා කළේ ආබාධය නිසා තවදුරටත් හරියාකාරව හැසිරවිය නොහැකි වම් උරහිසකුත් සමඟ යි.

ශල්‍ය වෛද්‍යවරයෙකුට දෑත්හි මනා ක්‍රියාකාරීත්වයක් තිබීම වැදගත්. එය යම්තාක් දුරකට අහිමි වීමෙන් වෙනකෙකු නම් අධෛර්යය හා අසාර්ථක වන්නට ඉඩ තිබුණත්, ස්පිට්ල්-සිදුවීම එයට හාත්පසින්ම වෙනස් බව ඔහු 1911 පෙබරවාරියේ දී අභිරුචියෙන් යුතුව සේවයට වාර්තා කිරීමෙනුත්, ඔහුගේ වෘත්තීය විශිෂ්ටත්වයෙනුත් පැහැදිලි යි.

පරංගි සහ මැසි පිළව්

ස්පිටල් බිංගොඩ වැද්දන් සමග (Sunday Observer)

ස්පිට්ල් වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිභාවන්තයෙක්. මහ රෝහලේ, ඔඩු සහිත වණයන් සඳහා වූ වාට්‍ටුවේ රෝගීන්ගේ පැසවූ තුවාල පිරිසිදු කිරීමට සාර්ථකව මැසි පිළවුන් (ඉහඳ පණුවන්) යොදාගැනීම ඔහු විසින් සිදු කළේ වෛද්‍ය ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි ඒ ගැන සඳහන් වන්නටත් බොහෝ කලකට පෙර යි.

ස්පිට්ල්ගේ මේ වාට්‍ටුවේ විවිධ හේතූන් නිසා විවිධාකාරයේ වණ, සහ පිළිකා සහිත වූ රෝගීන් ප්‍රතිකාර ලැබුවා. “පරංගි” නමින් හැඳින්වූ රෝගය වැළඳීමෙන් සිරුරේ ගඩු ඇති වූ ලෙඩුන් ද එහි සිටි නිසා එම රෝගය පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්නට ඔහුට අවස්ථාව සැලසුනා. එම අධ්‍යයනයන් භාවිතයෙන් ඔහු විසින් රචිත පොත අදටත් වෛද්‍ය පාඨග්‍රන්ථයක් ලෙස භාවිත වෙනවා.

ස්පිට්ල් පරංගි වැළඳුනු රෝගියෙකු පරීක්ෂා කරමින් (Three Blind Men)

ලංකාවේ ප්‍රථම රුධිර පාරවිලයනය

ලංකාවේ එතෙක් අත්හදා නොබැලූ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර සහ සැත්කම් ක්‍රමයන් ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියෙක් වෛද්‍ය ස්පිට්ල්. ලංකාවේ එතෙක් සිදුකළ ප්‍රථම රුධිර පාරවිලයන සිදුකළේත් ඔහු විසින්.

දිනක් දරුණු ලෙස රුධිරය වහනය වෙමින් පැවැති රෝගියෙකු රෝහලට ගෙන එනු ලැබූ අතර, රුධිරය ඉවත්වන ඉක්මනින් රුධිරය සැපයීම ඔහු බේරාගැනීමට තිබූ එකම මග බව ස්පිට්ල් තීරණය කරනවා. මෙම තීරණය වෛද්‍ය විද්‍යාලයේ කායික විද්‍යාඥයාට දැන්වූ කල එය ඉතා අවදානම් ප්‍රතිකර්මයක් බව ප්‍රකාශ වෙනවා. ප්‍රතිකර්මය සාර්ථක වීමට ඇති දහසකින් එකක් වන අවස්ථාවක් වුව ද අපතේ නොහැරිය යුතු බවට ස්පිට්ල් තීරණය කරන අතර, රුධිර සාම්පල කීපයක් මතට රෝගියාගේ රුධිර බිඳු දමා, ඒවා කැටි ගැසෙන්නේදැ යි පරීක්ෂා කෙරෙනවා. එක් සාම්පලයක් කැටි නොගැසෙන නිසා එම රුධිරය රෝගියාට පාරවිලයනය කෙරෙනවා.

ක්‍ෂණිකව සිදුවන්නේ නොසිතූ දෙයම යි. රුධිරයේ වූ සුළු සාධකයක් නොගැලපීම නිසා රෝගියාට හටගන්නේ අධික උණක්. තමා දන්නා සියළු ක්‍රමයන් යොදාගනිමින්, උපරිම උත්සාහය යෙදීමෙන් සිය රෝගියා ගලවාගැනීමට ස්පිට්ල් සමත්වෙනවා.

ඉතින්, ඒ ලංකාවේ එතෙක් සිදු වූ ප්‍රථම රුධිර පාරවිලයනය. ස්පිට්ල් එයට යොදාගත්තේ තමාගේම රුධිරය යි.

ස්පිට්ල් සමරමින් 2014 දී නිකුත් කළ මුල්දින කවරය (Sri Lanka Stamps)

ප්‍රථම අස්ථි බද්ධය, බුලත් සැපීම, සහ උපදංශය

වර්තමානයේ නම් ලංකාවේ දිනපතා විවිධාකාරයේ පටක බද්ධයන් සිදුවෙනවා නේ. මේවායින් අස්ථි බද්ධකිරීම ලංකාවට හඳුන්වාදුන්නේ ස්පිට්ල් බව කිව යුතු යි.

1912 වසරේ ඔක්තෝබරයේ දී 17 හැවිරිදි තරුණයෙකු රෝහලට එන්නේ දකුණු අතේ අරාස්ථියේ ආසාදනයක් සමග යි. අස්ථියේ සිට සම මතුපිටට විහිදුනු කුඩා සිදුරු කීපයක් හරහා දුර්ගන්ධයක් සහිත සැරව ගලමින් තිබුණා. අස්ථිය දිරා ගොස්, සිදුරු සහිතව තිබූ බව පරීක්ෂාවේ දී පැහැදිලි වූ නිසා මතුපිටට විහිදි කුඩා සිදුරු හරහා අස්ථියේ දිරාගිය කොටස් සූරා ඉවත් කර කාබොලික් අම්ලයෙන් පිරිසිදු කිරීමෙන් අනතුරුව රෝගියා පිටත් කර හරිනවා. නමුත් මාස කීපයකට පසු නැවතත් ඔහු එහි පැමිණෙන්නේ මුල් රෝගී තත්ත්වයම සහිතව යි. පෙර කී සිදුරු විශාල වී දුගඳ සැරව ගලමින් තිබුණු අතර, රෝගියාට උණ ද මතුව තිබුණා.

එහි දී සැත්කමක් සිදු කළ ස්පිට්ල්ට පෙනී යන්නේ රෝගියාගේ අරාස්ථියේ පහතම කෙළවර අඟල් 1 1/2ක පමණ කොටසක් අතිශ්‍යය දිරාගොස් ඇති බව යි. රෝගියා තවමත් වැඩෙන තරුණයෙකු වූ නිසා ඔහුට අස්ථි බද්ධයක් සිදු කළ යුතු බව තීරණය කරන ස්පිට්ල්, සුදුසු දායකයෙකු හමුවන තෙක් රෝගියා රෝහලේ නවතාගන්නවා. ඉන් මසකට පමණ පසු එක් රෝගියෙකුගේ හානි වූ අතක් ඡේදනය කර ඉවත් කෙරෙන අවස්ථාවක් උදාවන අතර, එම අතේ අරාස්ථියෙන් ලබාගත් අඟල් 2ක පමණ කොටස පළමු රෝගියාට බද්ධ කෙරෙනවා. මාස 5කට පමණ පසු රෝගියා සිය ගම්බලා යන්නේ සාපේක්ෂව හොඳින් ක්‍රියා කරන, නීරෝගී දකුණු අතකුත් සහිතව යි.

ස්පිට්ල් කැමරාවක් ද සමග (Three Blind Men)

මේ අස්ථි බද්ධය, පෙර කී පණුවන් මගින් තුවාල පිරිසිදු කිරිම, හා රුධිර පාරවිලයනය පමණක් ද නොව, හුණු බුලත් විට සැපීම මුඛ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ දැමීමට සාධක විය හැකි බවට කල්පිතයක් ඉදිරිපත් කළ පළමුවැන්නා ද ස්පිට්ල් බව අපගේ අදහස වෙයි. “බුලත් සැපීම සහ පිළිකා” යන මැයෙන් ඔහු විසින් ලිපි කීපයක්ම ලියූ අතර මේවා බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ කීප විටක දී ම පළ වුණේ 1923 – ’24 අතර කාලයේ දී යි.

එසේම, උපදංශය සඳහා එකල ලබාදුන් ප්‍රතිකාරය වූ සැල්වාර්සන් වල ක්‍රියාකාරීත්වය වඩාත් ඉහළ දැමීමේ හැකියාවක් මර්කියුරික් අයඩයිඩ් වලට ඇති බවට ස්පිට්ල් යෝජනා කරනවා. පළමු ලෝක යුධ සමයේ උපදංශ රෝගීන්ට ලබාදුන් සැල්වාර්සන් වල හිඟකම නිසා පාසානම්, රසදිය, සහ අයඩීන් භාවිතයෙන් මෙයට විකල්පයක් සෙවීමට අත්හදාබැලීම් කළ ස්පිට්ල්, සැල්වාර්සන් ද සමග අන්තශ්ශෛරිකව මර්කියුරික් අයඩයිඩ් ලබාදීම උපදංශය රෝගයට වඩාත් සාර්ථක ප්‍රතිකාරයක් බවට ප්‍රකාශ කළා. මෙම පත්‍රිකාව එකල ලැන්සෙට් සඟරාවේ ද පළ වුණා.

ඔහු විසින් ලංකාවටත්, මෙහි වෛද්‍ය විද්‍යාවටත් ලබාදුන් දේ එපමණක් නොවෙයි.  ලංකාවට රබර් අත්වැසුම් භාවිතය හඳුන්වාදුන්නේ ඔහු යි. එසේම ශල්‍යාගාරයන්ට සෙවනැලි නොසාදන ලාම්පු සහ පෙඩෙස්ටල් සැත්කම් ඇඳ ලබාදෙන ලෙසට ශල්‍ය වෛද්‍ය සේවාවන් පාලනය කළ අධ්‍යක්ෂක පෙළඹවූ තැනැත්තා ද ඔහු වෙනවා. විවිධ තුවාල මැසුම් ක්‍රම හඳුන්වා දුන් ඔහු, ප්ලාස්ටික් සැත්කම් ද, ඇල්බී කශේරු සැත්කම් ක්‍රමය හඳුන්වාදීමට පෙර ද කශේරුකා එක්කිරීමට අස්ථි කැබලි භාවිතා කර සැත්කම් සිදු කළා.

වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු අඩියක නොවූ, පහසුකම් හා සම්පත් සීමිත වූ ඈත කලෙක, ජීවිතය දුෂ්කරව තිබිය දී මේ කෙසඟ බර්ගර් ජාතිකයා සිය මවුරට වෙනුවෙන් දිනාගෙන ඇති දේ අපමණ යි. නමුත් ලංකාව ඔහු හඳුනන්නේ, ඔහුගේ “සුදු ගෝනා”, “සුදු වැද්දා”, “වන සරණ” ආදී කෘති හා ඔහු විසින් වැද්දන් ගැන කළ ගවේෂණයන්ගෙන් පමණ මිස, ඔහු විසින් වෛද්‍ය විද්‍යාවට කළ සේවයෙන් නොවෙයි. වයස 53ක් ව තිබිය දී සේවයෙන් විශ්‍රාම ගත් වෛද්‍ය රිචර්ඩ් ලයනල් ස්පිටල්, 1969 සැප්තැම්බර් 3 වන දා වයස 87ක්ව සිටිය දී කාලක්‍රියා කරනවා.

ස්පිට්ල් (Three Blind Men)

මූලාශ්‍රයයන්:

Island.lk

Royal College of Surgeons: Online Library

Jstor.org

The Lancet

Journal of Ceylon Branch of B.M.A.

විශේෂ ස්තුතිය විශේෂඥ වෛද්‍ය රංග වීරක්කොඩිට හිමි විය යුතු.

කවරයේ ඡායාරූපය: සිටගෙන සිටින්නන්ගෙන් දකුණේ සිට පළමුවැන්නා ස්පිට්ල් වේ.  (Three Blind Men)

Related Articles

Exit mobile version