වසර අසූ අටක් ආයු වළඳමින් තමන් හය හතර දත් දා පටන් සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්නට තමන්ගේ සංගීතමය, සාහිත්‍යමය හැකියාවන් හා දක්‍ෂතාවන් භාවිතා කරමින් ඉන් ඔබ්බට යමින් හැම කෙනෙකුගේම ආදරයද දිනාගන්නට සමත්වූ ‘හෙළයේ මහා ගාන්ධර්වයා’ යන ඉහළම ගෞරවණීය නමින් හඳුන්වන පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් කිසිම දිනක අපේ සිතින් ඈත්ව යන චරිතයක් නොවෙයි. ඒත් සමාජ ජාල අඩවි පුරා එතුමන්ට අයිතිය කියමින්, හතර වටා ඇති සංගීත විලාසයන්ට බැණ වදිමින් කාලය නාස්ති කරනවාට වඩා එතුමාට කළ හැකි ඉහළම උපහාරය වන්නේ එතුමාගෙන් අපට උරුමවූ දේවල් අනාගත පරපුරට කියා දෙමින් එතුමන්ගෙන් උගත හැකි සියළුම දේ අපේ ජීවිතවලට ද එකතු පහදු කරගැනීමයි.
ලෝකයේ ඕනෑතරම් ප්‍රසිද්ධියට පත්වූ අය සිටිනවා. හොඳ දේවල් වලින් පමණක් නොව, නරක දේවලින්ද ලබාගත හැකි ‘ප්‍රසිද්ධිය’ යන දෙයට කිසිදු වටිනාකමක් නැහැ. මන්ද, සමාජයේ දන්නා පුද්ගලයෙක් බවට පත්වූ පමණින්ම එයින් සමාජයට හෝ අපට ලැබෙන කිසිම ප්‍රයෝජනයක් නැති නිසායි. එපමණක්ද නොවෙයි, අපේ ගතිගුණ යහපත් නැතිනම්, අපේ ක්‍රියාකලාපය හොඳ නැතිනම් අපි ලබා ඇති උගත්කම, උපාධි ගණන හෝ නමට පෙර හා පසු අළුතින් එකතුවන ඉංග්‍රීසි කෙටි කළ අකුරු කිසිවකටවත් වටිනාමක් ලැබෙන්නේත් නැහැ. ඒ නිසා සමාජයේ හදට කා වැදෙන්නට නම් හුදෙක් මුදල් හෝ බොරු පොරොන්දු, ආටෝප විසි කොට ලබාගන්නා ප්‍රසිද්ධිය තුට්ටුවකටවත් වටින්නේ නැහැ.
ඇයි හැමෝම අමරදේවට ආදරේ? පෞද්ගලිකව අමරදේවයන්ගේ ගීතවලට ඇළුම් කරන කෙනෙක් නමුත්, මෙයට පෙර අමරණීය අමරදේවයන් වෙනුවෙන් ලියූ ලිපිය ලියන අතරතුරදීත් මට පෙනී ගිය දෙයක් තමයි එතුමන්ගේ තිබෙන දක්‍ෂකම දැනුම හෝ කටහඬ පමණක් නොවයි, ඉන් ඔබ්බට ගිය මහා පෞරුෂයක් එතුමන් පසුපස නැගී සිටිනවා. අන්න ඒ දේවල් වලින් බිඳක් හෝ අපේ ජීවිතවලටත් එකතු කරගත්තොත් අපිට ඊට වඩා අමරදේවයන්ට දිය හැකි ප්‍රණාමයක් නැහැ.
නිහතමානී වෙන්න
ප්‍රසිද්ධියට පත්වීම නූතන තාක්‍ෂණික සමාජයේ අපහසු දෙයක් නොවෙයි. නන්දා මාලිනී මහත්මියගේ ගීතයක එන පරිදි “බුදුහිමියන්ටත් කලියුගයේ – දෙවියන්ගේ පිහිටයි” කියන්නාක් වගේ සල්ලි ටිකක් විසි කළාම ඕනෑම දෙයක් දැන් කාලයේ මාර්කට් කරන්න පුළුවන්. හැබැයි මල් වෙඩි කෙතරම් උඩට ගිහින් පිපිරී නානාප්‍රකාර රටා මැවුවත් මඳ වේලාවකින් එහි අළු කැබලිත්තක් වත් සොයන්නට නොහැකි වෙනවා. එය සොයන්නට කිසිවකු මහන්සි වෙන්නේවත්, තවත් එකක් උඩ යනකම් බලාගෙන ඉන්නවා මිස ඒ ගැන වැඩි වේලා කථා කරන්නට පෙළඹෙන්නේවත් නැහැ. ඉතින් තරුවක් වෙන්නට කලින් වරුවක් සිතන්නට ඕනෑ දේ තමයි, ඊට පස්සේ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සහ හැසිරෙන්නේ කොහොමද කියන එක.
ඔබ ප්‍රසිද්ධියට පත් නොවූ සිහින දකින කෙනෙක් වෙන්නට පුළුවන්. ප්‍රසිද්ධියට පත්වීමට අකමැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගුණාංගය හැම කෙනෙක්ටම වටිනා දෙයක්. අපි හැම කෙනෙක්ට ම කුඩා කාලයේ පටන්ම දැනට ඉන්නා තැනට එන්න අතදීපු අය ඕනෑ තරම් ඉන්නවා. කවුරුන් හෝ නැහැයි කියනවා නම් මුලින් ම තමන් ඕපපාතික නොවන බව සිහි කරන්න ඕන. මේ විධියට මව්තුමියගෙන් ඇරඹුණා ම පියා, ඥාතීන්, ගුරුවරු, අසල්වාසීන්, මිත්‍රයන් ආදීවූ මහා සමුදායක් අතර ඔබේ අභිවෘද්ධිය ගැන සිතන අය අනිවාර්යයෙන්ම ඉන්නවා.
අමරදේවයන් හැම සාකච්ඡාවකදීම තමන්ගේ සංගීත ගමනට අතදුන් පියා, මව, වැඩිමහල් සහෝදරයා, සමීපව සැලකූ සහෝදරියක්, හෙළ හවුලට තමාව හඳුන්වා දුන් ගුරුතුමා, මොහොමඩ් ගවුස් ශූරීන්ට අශෝකමාලා චිත්‍රපටය සඳහා තමාව හඳුන්වා දුන් අය, තමාට ලක්නව් විශ්ව විද්‍යාලයට යන්නට උපකාර කළ සහ නම දැමූ සරච්චන්ද්‍රයන් ආදී වශයෙන් මහා ලැයිස්තුවක් සිහිපත් කරන්නට කිසි විටෙකත් අමතක කරන්නේ නැහැ.
අනෙක, සංගීත ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු වෙමින් ඉතා දුර්ලභ පදවියක් වන පණ්ඩිත් මට්ටමටද හිමිකම් කියන එතුමන්ට ඕනෑ තරම් කිසිවකුත් ගණන් නොගෙන ඉහළ වැටුපක්ද ලබමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නට තිබුණා. ඒත් එතුමා හැමවිටම නූතනයන්ට අත දුන්නා. වේදිකාවට නැඟුණාම හැම කෙනෙක්ට ම ආචාර කළා. තමන්ගේ හැම රසිකයකුගේ ම පොත්වල සමරු සටහන් තැබුවා. කවදාවත් අත රිදෙනවා, මට අසවල් ප්‍රසංගයට ඊළඟට යන්න තිබෙනවා ආදිය කියමින් මඟ හැරියේ නැහැ. එතුමා හැම කෙනෙක්වම ඉහළින් තබමින් ගෞරව කරමින් ඔවුන්ට නිසි තැන ලබාදුන්නා.
ගෞරව ලබන්නට නම් ගෞරව දෙන්න ඕනෑ කියලා කියමනක් ද තිබෙනවානේ.
විවිධ ක්‍ෂේත්‍රයන් අධ්‍යයනය කරන්න
පණ්ඩිත් අමරදේවයන් කුඩා කාලයේ පියාගෙන් හා සහෝදරයාගෙන් මෙන්ම ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලය හරහා සංගීතය හැදෑරුවා. ඉතින් මම ඉගෙන ගත්තේ සංගීතය නිසා තියෙන සින්දුවක් කියාගෙන ඉන්නවා කියලා හිතන්නේ නැතිව එතුමා හෙළ හවුලේද ආභාෂය ලබමින් තමන්ගේ සිංහල සාහිත්‍යය හැකියාවන් වර්ධනය කරගත්තා. ඒ වගේ ම එතුමා ඉන්දීය රාගධාරී සංගීතය හැදෑරුවත් එයටම සීමා නොවී තමන්ගේ ප්‍රේමවන්තියගේ හෙළ කවි ගායනා අසමින් ඒ අනුව සිංහල සංගීතයටද යොමු වුණා.
එසේම ගායනා සහ වයලීන් වාදනයන්ට මුලින් දක්‍ෂතා දැක්වූවත් මේ පසුකාලීනව ලබාගත් සාහිත්‍යමය දැනුම නිසා එතුමා ගීත රචනයට ද යොමු වුණා. එමඟින් අමරදේවයන්ම රචනා කොට, එතුමාම සංගීතය එක් කොට තමාම ගායනා කරන ලද තුන්කොන් දක්‍ෂතාවයන්ගෙන් හෙබි මහා නිර්මාණ බිහිවුණා. ඉතින් ඇයි අපිත් එක දේකටම කොටු වෙන්නේ?
ඔබ සමහරවිට ඉංජිනේරුවෙක්, දොස්තර කෙනෙක් හෝ වෙනත් ඕනෑම දෙයක් වෙනුවෙන් ඉගෙන ගන්නා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් ඔබ කළ යුත්තේ ඔබ ඉගෙන ගන්නා දේ මා මෙහි සඳහන් කර නැතිබව සිතීම නොව ඔබ සතු අනෙකුත් හැකියාවන්ද වර්ධනය කරගැනීමට ඒ හැකියාවන් හඳුනා ගැනීමට කටයුතු කිරීමයි. ඔබේ මූලික අධ්‍යාපන රටාවට අමතරව ඔබ තුළ චිත්‍ර ශිල්පියෙක්, දාර්ශනිකයෙක්, පරිගණක ක්‍රමලේඛකයෙක්, නව නිපැයුම් කරුවෙක් හෝ සාහිත්‍ය කරුවෙක් නොසිටිතැයි කාට නම් කිව හැකිද!
කරන්නට සිදුවූ දේ පමණක් නොවෙයි, කළ හැකි දේත් හඳුනාගෙන එය අවධි කරගැනීමයි හොඳ.
විවෘත මනසක් ඇති කරගන්න
අපේ තිබෙන බොහොම දුර්වලකමක් තමයි අපි කරන දේට, දකින දේට සහ දන්නා දේට පමණක් සීමා වෙමින් දන්නා දෙයින් නොදන්නා දේවල් මනින්ට උත්සාහ කරන එක. මෙන්න මේ පටු අදහස් නම් පව්වෙන් ලෝකය කැබලිවලට බෙදීම නවතා ගන්න නම් අමරදේවයන් මෙන්ම එතුමන්ගේ ගීතයේද කියැවෙන පරිදි ඥානය නිවහල් කරගැනීම අත්‍යාවශ්‍යයි.
ජාති, ආගම්, කුල, අධ්‍යාපන මට්ටම් ආදීවූ නානාප්‍රකාර පවුරු බැඳගෙන අපි ළිඳේ ඉන්න මැඬියෙන් වගේ කොටු වෙලා ඉන්නවාට වඩා හඳ පෑව්වා ම පවුරු බිඳගෙන වෙසක් සඳ එළිය පැතිරුණායි මහගමසේකරයන් ලිව්වා වගේ අපි මේ පටු අදහස් ඉවත් කරගෙන හැම කෙනෙක් සමඟ ම අදහස් හුවමාරු කරගනිමින්, හැම කෙනෙක්ගේ ම අදහස්වලට ගෞරව කරමින් ඒවායෙන් සමාජයේ අභිවෘද්ධිය සඳහා ලබාගත හැකි කොටස් මුසු කරමින් හොඳ පරිච්ඡේදයකට මුල පිරීම ඉතාම අගෙයි.
අමරදේවයන්ගේ පියා බෞද්ධයි, මව කතෝලිකයි. ඒත් එතුමාම ජාතික රූපවාහිනියේ විකාශයවූ වැඩසටහනකදී සිනහ මුසු මුහුණින් පවසන්නේ “මම පන්සලේ වෙසක් බැති ගී එකෙත් හිටියා, පල්ලියේ නත්තල් කැරොල් එකේත් හිටියා” කියායි. ඉතින් ඒ පැත්තක් නොගෙන තමන්ගෙන් විය යුතු දේ, විය යුතු තැනට ඉටු කරමින් තමාගේ විශ්වාසයන් තමා සතුව පවත්වා ගැනීම සුවිශේෂී ගුණාංගයක්.
අමරදේවයන් මහත්මා ගාන්ධිතුමාගේ කියමනක් උපුටා දක්වමින් පවසන්නේ:
“මගේ නිවසට සතර දෙසින් එන සංස්කෘතික සුළඟට ඉඩහැර මම ඉන් නොසැලී දෙපයින් ඉන්නවා.”
ඡායාරූප හිමිකම් අමරදේව පදනම සතුයි.
කවරයේ පින්තූරය:lakjanahanda.com