සුරුට්ටුවෙන් එහා ගිය චර්චිල්ගේ ජිවන චරිතය

විශාල සුරුට්ටුවක් මුවඟ රදවාගෙන සිනාමුසු මුහුණින්, හැඩි දැඩි පෙනුමෙන් හා එක් අතක  ඇඟිලි වලින් ඉංග්‍රීසි වී (V) අකුර පෙන්වන ප්‍රතාපවත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් දුටු සැණින් අපට මතකයට නැගෙන්නේ වෙන කිසිවෙකු නොව දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර පාක්ෂිකයන්ගේ නොසැලෙන රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස මුළු ලොවම හඳුනාගෙන සිටි බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ය.

බ්‍රිතාන්‍යය මුහුණ දුන් අඳුරුතම යුඟයකදී තම ජාතියට ජීවය දෙමින් අගමැති චර්චිල්ගේ දේශන හා ක්‍රියා පිළිවෙත මිලියන සංඛ්‍යාත ජනයාට නව අපේක්ෂාවක් එක් කිරීමට සමත් වුණා. දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර්ගේ ආඥාදායකත්වයට එරෙහිව ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙවර උදෙසා වර්තමානයේදී පවා එංගලන්ත වැසියන්ගේ නොමද ගෞරවය ලබන නායකයෙක් ලෙස ඔහුව හැදින්වීම ඉතා නිවැරදි වෙනවා.

ඉතින් අද ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ දෙවන ලෝක යුද්ධය සමයේ ඔහුගේ භාරදූර නායකත්වයෙන් යුධ ජයග්‍රහණ අත්පත් කරගත් ආකාරය නම් නොවේ. චර්චිල් චරිතයේ සාමාන්‍ය පාඨකයා නොදත් සැඟවුණු රසවත් විස්තර ටිකක්.

කියවලා බලන්න. ඔහුගේ දිවියේ අපූරු අවස්ථාත් අප ඔහු පිළිබඳව නොදන්නා දේවලුත් මෙහි අන්තර්ගත වෙනවා. ලියන්නට මඟ හැරුණු තවත් දේවල් තියනවනම් comment එකකින් ඒ බව සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා.

6 වසර අසමත් වූ කොළුගැටයා

කුඩා චර්චිල් (Britain Magazine)

1874 නොවැම්බර් 30 වනදා මහා බ්‍රිතානයේ ධන කුවේරයෙක් මෙන්ම සාමිවරයෙකු වූ රැන්ඩොල්ෆ් චර්චිල්ට දාව ඇමරිකානු ජාතික ජෙනී ජෙරොම්ගේ කුසින් මෙලොව එළිය දුටු ඔහුගේ සම්පුර්ණ නම වන්නේ වින්ස්ටන් ලෙයොනාඩ් ස්පෙන්සර් චර්චිල්.

කුඩා කල පටන්ම වින්ස්ටන් දඟකාරයෙක්. පාසලේදී ගුරුවරුන්ගෙන් ගුටි කෑ අවස්‌ථා අනන්ත බව පසුව ඔහු සදහන් කරනවා. ලතින් භාෂාවට හා ගණිතයට ඔහු  ආශාවක්‌ දැක්‌වූයේ නෑ., රැන්ඩෝල්ෆ් චර්චිල් තම පුතු වූ වින්ස්ටන් ඇතුළත් කළේ හැරෝ (Harrow) නැමැති සුප්‍රසිද්ධ පාසලටයි. 6 වසර අසමත් වන දඟකාර වින්ස්ටන් චර්චිල් පාපන්දු, ක්‍රිකට්‌, රග්බි හා පාපන්දුවලට කැමැත්තක්‌ දැක්‌වූයේ නෑ. එහෙත් අසුන් පිට යෑම හා කඩු සරඹ වැනි ක්‍රීඩාවන්ට ප්‍රියත්වයක් දක්වනවා.

ලතින් ප්‍රගුණ කිරීම සඳහා පහසු ක්‍රමයක් සොයාගත් දඟකාරයා

ලන්ඩන් නගරයේ චර්චිල් කෞතුකාගාරයේ තබා ඇති ඔහුගේ යුධ ඇදුම් (Flickr)

ඉංග්‍රීසි වංශවතුන් එකළ ලතින් බස ඉංග්‍රීසි බසට වඩා වැදගත් ලෙස සලකන ලදී. වයස අවුරුදු 11දී තමන්ට බ්‍රිතාන්‍යයේ අගමැති වීමට අවශ්‍ය බව තම පියාට පැවසීමෙන් අනතුරුව ඔහුට ලැබෙන්නේ මෙවැනි පිළිතුරක්. “ ලතින් බැරි නුඹ අගමැති කමට තබා රදළ වංශික තනතුරකටවත් ඔබින්නේ නෑ, නුඹ ගැලපෙන්නේ යුධ හමුදාවට පමණයි.”

ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කුඩා කලදීම මහත් දැනුමක් ලද ඔහු ලතින් භාෂාව වර්ධනය කරගැනීම උදෙසා අපූරු උපක්‍රමයක් යොදනවා. ඒ ඉංග්‍රීසි බස අපහසු නමුත් ලතින් බසට දස්කම් දක්වන මිත්‍රයෙකු සමඟ හාදවී ඔහුගේ ඉංග්‍රීසි රචනාව තමන් ලියාදී තමාගේ ලතින් රචනාව ඔහු ලවා ලියවා ගැනීමයි. ක්‍රමක්‍රමයෙන් ලතින් රචනා වලට ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගත් බැවින් කුඩා චර්චිල් ලතින් බස පිළිබඳව දස්කම් දක්වන බව ගුරුවරයා පියාට දන්වා යවනවා. නමුත් වසර අවසාන පරීක්ෂණයේදී ලතින් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලෙස ගුරුවරයාට ලැබෙන්නේ වින්ස්ටන් චර්චිල් යන නම හැර කිසිවක් නොලියන ලද හිස් කඩදාසියක් පමණයි.

දියේ ගිලුණු කුඩා චර්චිල් බේරා ගත් අපූරු කොලුගැටයා

දහනවවන සියවසේ අටවන දශකයේ මැද භාගයේදී තම පියාගේ වතු යායකට පියා සමඟ ගමන් කළ කුඩා චර්චිල්ගේ දඟකාරකම් නිමක් නැති විය. එය අවසානයේ කෙළවර වූයේ චර්චිල් අසළ ගලා ගිය ගංගාවට වැටි ගිලෙන්නට වූ විටය. මෙහිදී වතු කම්කරුවෙකුගේ කුඩා පුත්‍රයෙක් හනික පැන චර්චිල්ව මරණයෙන් ගලවා ගන්නවා.

තම පුතා බේරා දුන් මෙම කුඩා කොලුගැටයාට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය සියළුම පහසුකම් චර්චිල්ගේ පියා විසින් සපයනවා. වෛද්‍ය විද්‍යාව තුළින් හිණිපෙත්තටම ගමන් කළ මේ කම්කරු කොලුගැටයා අන් කවරෙක්වත් නොව වෛද්‍ය විද්‍යාව සඳහා වරෙක නොබෙල් ත්‍යාගය ලැබූ පෙනිසිලින් සොයාගත් ඇලක්සන්ඩර් ෆ්ලෙමින්ය. මෙම වෛද්‍යවරයා චර්චිල්ගේ අවසන් කාලයේදීත් ඔහුට ප්‍රතිකාර කරනු ලබනවා.

සැන්ඩර්ස් යුධ හමුදා පාසලට

කැඩෙට් නිලධාරියෙකු ලෙස (Guardian Liberty Voice)

වයස අවුරුදු 11දී පවා ඔහු යුද්ධ අභ්‍යාස කිරීමට හා යුධ තොරතුරු කියවීමට මහත් ආශාවක් දක්වනවා. සුප්‍රසිද්ධ යුධ පාසලක්‌ වූ සැන්ඩර්ස් (Sandhurst) විදුහලට ඇතුළත් වීම දෙවරක්‌ම අසාර්ථක වෙනවා.

කෙසේ වුවද අවසානයේදී වින්ස්ටන් චර්චිල් ඉතා අඩු සාමාර්ථයකින් සැන්ඩර්ස්‌ට විදුහලට ඇතුළත්වී එම විදුහලට ඇතුළත් වුණු සිසුන් 150 දෙනා අතරින් 8 වැන්නා ලෙස ගෞරවනීය සාමාර්ථයක්‌ ලබා ගන්නවා. කෙඩේට්‌ උපාධිය ලබා ගැනීමෙන් පසුව හුසාන් අශ්වාරෝහක බලඇණියට බැදී ඉන්දියාව, සුඩානය, කියුබාව  හා ඊජිප්තුවේ සේවය කරන අතර මලාකන්ද කේෂ්ත්‍ර බලකායේ කතා (The Story of Malakand Field Force) සහ ගංගා යුද්ධය (River War) යන ග්‍රන්ථ දෙකක් රචනා කරනවා.

ගිනස් වාර්තා තැබූ මන්ත්‍රීවරයා

යුද පෙරමුණේ- දකුණු පස සිටින්නේ චර්චිල් (Daily Mail)

1900දී එංගලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වෙන චර්චිල් නවකයෙක් යන හැඟීම ඉවත් කරමින් දවස් හතරක් තුළදී තම මංගල කතාව පවත්වනවා. වසර 63ක් හා දින 260ක් මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු ගිනස් වාර්තා පොතට එකතු වෙනවා. පළමු වන ලෝක යුද්ධයේ නාවික අද්මිරාල් තනතුරක් හොබවන්නට ඔහු සමත් වෙන අතර එංගලන්ත රාජ්‍ය පරම්පරා 5ක කාලයක් තුළ විවිධ තනතුරු දරනවා.

චර්චිල්ගේ අපූරු ගති ලක්ෂණ

ඔහු ජායාරූප වලට පෙනී සිටින අන්දම (BBC)

දෙවන ලෝක යුද්ධයට නායකත්වය දුන්නෙකුට අමතරව ඔහු සොල්දාදුවෙකු, යුධ වාර්තාකරුවෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙක්, මුද්දර හා හිස් වැසුම් එකතු කරන්නෙක් හා ලොව ප්‍රසිද්ධ සුරුට්ටු පානය කරන්නෙක් හා තුරඟ තරඟ වලට අශ්වයන් යොදවන්නෙකු ලෙසද කටයුතු කර ඇති බව වැඩිදෙනෙක් දන්නේ නැහැ.

එමෙන්ම ඉංග්‍රීසි ජාතීන්ට මහත් අඩම්බරයක් එක් කරන වේලාවට වැඩ කිරීමේ ගුණාංගය ඔහු කෙරෙහි පිහිටා තිබුනේ නෑ. ඔටුන්න හිමි වේල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයන් පවතින භෝජන සංග්‍රහ වලට පවා ඔහු සහභාගී වුනේ ප්‍රමාදවයි. කුමාරයා ප්‍රමාද වීමට හේතුව කුමක්දැයි ඔහුගෙන් විමසන විට තමන් නිවසින් පිටත් වන විටත් ප්‍රමාදව තිබු බව පවසන්නේ ප්‍රශ්ණ කිසිවක් මායිම් නොකරමින්. සැමියාගේ මෙම වරද නිවැරදි කරන්නට ආර්යාව ඉතා මහන්සියක් ගත් බව සදහන් වෙනවා.

ස්නානය කිරීමට ඉමහත් ආශාවක් දැක්වූ ඔහු දිය නා අවසන් වී තවත් මිනිත්තු කිහිපයකින් නාන තටාකයට පනින පුද්ගලයෙක්. පිහිනන අතරතුර විස්කි පානය කිරීමත් තමන්ගේ ඉදිරි කතා සඳහා සුදානම් වීමත් ඔහුගේ ගති ලක්ෂණයක්. නාන අවස්ථාවේදී ඔහුගේ හිතට නැගෙන ක්ෂණික සිතුවිලි සටහන් කරගැනීමට ලේකම්වරයාට ඒ අසළ රැදී සිටින්නට සිදුවුණා. එසේම සුහද හමුවකදී විස්කි අධිකව පානය කරමින් සැන්වීච් ගිල දැමීම ඔහුගේ සිරිතක්.

ප්‍රසිද්ධියේ පවා අධික ලෙස ආහාර ගැනීමේ මෙම ක්‍රියාව නතර කරන්නට එම අවස්ථාවන් වලදී ආර්යාව චර්චිල්ගේ කෝට් එකෙන් අදින්නේ කාටවත් නොපෙනෙන ආකාරයටයි.

ජායාරූප වලට සුරුට්ටුව ඉරූ චර්චිල්

පානය කළ මැනිලා සුරුට්ටු (Getty Images)

තමා ජායාරූප වලට පෙනී සිටින සෑම අවස්ථාවකදීම මත්පැන් වීදුරුවක් හා සුරුට්ටුවක් අතේ තබාගෙන සිටින්නේ ඒවාට ඇති දැඩි ඇල්ම නිසා නොව ජනමාධ්‍ය හා ලෝකයා තමාව එලෙස දැකීමට අපේක්ෂා කරන බැවින් යැයි ඔහු එක් වරක් මාධ්‍යවේදියෙකුට ප්‍රකාශ කරනවා. “ඒ හින්ද මම හැමතිස්සෙම නිවපු සුරුට්ටුවක් මගේ කොට් සාක්කුවේ දමාගෙන යනවා. ජායාරූපයක් ගන්නකොට මම ඒක කටේ ගහ ගන්නවා.” ලෙස ඔහු තවදුරටත් කියා සිටිනවා. අවසන් කාලයේදී වැළදී තිබු උග්‍ර කැස්ස හේතුවෙන් ඔහු සුරුට්ටු පානය නොකළ තරම්.

දෙවන ලෝක යුධ සමයේ චර්චිල් පානය කලේ කියුබාවෙන් ගෙන්වන ලද සුප්‍රසිද්ධ මැනිලා සුරුට්ටුයි. සතුරන් සුරුට්ටුවට විෂ කලවම් කර තිබේදැයි යන්න චර්චිල් පානය කිරීමට පෙර පරීක්ෂකයන් විසින් සොයාබලනු ලැබුවා.

උපතින්ම ලැබුණු මුඛරි බව

හමුදා පෙළපාලියක් පිරික්සන චර්චිල් (MrHeaneysClass)

දක්‌ෂ කථිකයකු වූ චර්චිල් පාර්ලිමේන්තු විවාදවලදී තම ප්‍රතිවාදියාට පිළිතුරු දෙන විට ඉතාමත් අපූරුවට මුඛරි ලෙස බස්‌ වහර හසුරවන්නට විය. වරක්‌ විවාදයකදී චර්චිල්ගේ මුඛරි බැවින් යුත් තර්ක ඉවසාගත නොහැකි තැන කම්කරු මන්ත්‍රීවරියක වූ ස්‌පෙන්සර් ඉතාමත් දැඩි ලෙස චර්චිල් විවේචනය කරමින් සිය කතාව අවසන් කළේ මේ ආකාරයටයි.

“ඔබ මාගේ සැමියා වූවානම් උදේ තේ කෝප්පයට මම ආසනික් ටිකක් දාලයි ඔබට දෙන්නේ”

දෙවන ලෝක යුද්ධය අවසන් කරන්නට පුරෝගාමී නායකයෙක් වූවත් ලෝක යුද්ධය අවසාන කර පැවැත්වූ මැතිවරණයෙන් ජනතාව විසින් චර්චිල්ව ගෙදර යැවුවා. ඔහු තම අසුනෙන් පවා පරාජයට පත් වුණා. ඊට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියෙක් ඇසූ විට සුපුරුදු මුඛරීත්වය ප්‍රදර්ශණය කරමින් මෙසේ ප්‍රකාශ කලේ සිනාමුසු මුහුණින්.

“හිතවත් මිත්‍රයා මගේ ඇපෙන්ඩික්‌ස්‌ එක ඉවත් කරන්නට මා රෝහල්ගත වුණා. පසුව මට මගේ ඇපෙන්ඩික්‌ස්‌ එකත් මැතිවරණ අසුනත් දෙකම අහිමිවුණා.”

එදා පරාජය කෙසේ වූවත් BBC මගින් 2002දී මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම බ්‍රිතාන්‍ය ජාතිකයන් 100 දෙනා තේරීමේ සමීක්ෂණයකදී වින්ස්ටන් චර්චිල් ප්‍රථම ස්ථානයට පත් වුණා. ජනතාව විසින් බ්‍රිතාන්‍යයේ මෙතෙක් පහළ වූ ඉතාම වැදගත් නායකයෙකු ලෙස වින්ස්ටන් චර්චිල්ට තවමත් ගරුකිරීම මෙයින් තහවුරු වන බව BBC ය විසින් ප්‍රකාශ කරනවා.

මුලාශ්‍ර: Wikipedia, Tales of the Unknown

Related Articles

Exit mobile version