සෙනට් සභාවට අභියෝග කළ ජුලියස් සීසර්

මානව ඉතිහාසයේ ඉතාමත් පෙරළිකාර චරිතයක් ලෙස ජුලියස් සීසර් හැඳින්විය හැකියි. මොහු රෝමයේ ජීවත් වූ තීක්ෂණ බුද්ධියකින් යුත් ජෙනරාල්වරයෙකු, රාජ්‍ය නායකයෙකු, තනපතියෙකු මෙන්ම ලතින් ගද්‍ය සාහිත්‍ය නිර්මාණය සඳහාද නමක් දිනාගත් අයකු වෙනවා.

ළමා අවධිය

සීසර් උපත ලබන්නේ ක්‍රි. පූ 100 දී ජූලි මස 12  වන දින ය . මොහුගේ පියා ගයියස් සීසර් (Gaius).  එමෙන්ම මව අවුරේලියා (Aurelia) නම් වුණා. මෙම දෙමාපියන් එවකට රෝමයේ සිටි විශේෂ ධනවතුන් නොවූවා. සීසර් 16 හැවිරිදි වියේදී පමණ ඔහුගේ පියා මියගියා. ඒ අනුව පවුලේ මූලිකයා බවට ඔහු පත් වුණා.

පවුල් ජීවිතය

ජුලියස් සීසර් හා ක්ලියෝපැට්‍රා – ශෝන් ලියෝන් ජෙරෝම්ගේ චිත්‍රයක් (Public Domain)

ක්‍රි. පූ. 84 දී පමණ සීසර් කොර්නේලියා සමඟ විවාහ වනවා. ඔවුන් හට ජූලියා යනුවෙන් දියණියක්ද උපත ලැබූ අතරම ක්‍රි. පූ. 69 දී පමණ කොර්නේලියා මිය යනවා. අනතුරුව ක්‍රි. පූ 67 දී පමණ පොම්පියා (Pompeia) සමඟ විවාහ වන නමුත් ක්‍රි. පූ 62 දී පමණ ඔවුන් දික්කසාද වෙනු ලබනවා. පසුව ඔහු විවාහ වන්නේ කැල්පුර්නියා නම් කාන්තාව සමඟයි. පසු කාලීනව ඊජිප්තුවේ රැජින වූ ක්ලියෝපැට්‍රා සමඟද සම්බන්ධතාවයක් තිබූ අතරම එහි ප්‍රතිඵලයක් ලෙස සිසේරියන් නමැති පුත්‍රයාගේ බිහි වීම සිදු වුණා

හමුදා සෙබළෙක් වූ සීසර්

ක්‍රි. පූ 80-78 වකවානු වලදී සීසර් හමුදා සෙබළෙකු ලෙස සේවයේ නියුතු වුණා. මෙහි දී සීසර් එවකට රෝමානු හමුදාව යෙදී සිටි ආසියාවේ යුධ කටයුතු වලට දායක සම්බන්ධ වුණා. සිසර්ගේ යුධ හමුදා භූමිකාවේ දී සිදු වූ වැදගත්ම සිදුවීමක් ලෙස “ කොරෝනා සිවියා’’ නමැති රෝමය විසින් පිරිනමන ලද ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම දැක්විය හැකියි.

ක්‍රි. පූ 65 දී පමණ සීසර් රෝම මහේස්ත්‍රාත් වරයෙකු ලෙස ද පත් කෙරුණා. අනතුරුව බටහිර, මධ්‍යම හා දකුණු දිග ස්පාඤ්ඤයේ ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත වීමට සීසර් හට හැකියාව ලැබුණා. ඒ ක්‍රි. පු 61 දී පමණය. එවකට මෙම ප්‍රදේශවල වාසය කළේ ගෝත්‍රික ජන කණ්ඩායම් ය. මෙහි දී තියුණු බුද්ධිය හා පාලනමය හැකියාවන් උපයෝගී කර ගනිමින් සීසර් සිය පාලන කටයුතු සිදු කර ගෙන යනු ලැබුවා.

ස්පාඤ්ඤයේ සිට ආපසු පැමිණි සීසර් පොම්පේයි (Pompey) හා ක්‍රාසුස් (Crassus)‌ යන අය සමඟ සහයෝගීතා ගිවිසුමකටද එළඹෙනු ලැබුවා. මොවුන් තිදෙනා එවකට සිටි සතුරන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ “ඔළු තුනේ මෘගයා” ලෙසිනුයි. ඇති වූ යම් යම් ගැටළුකාරී තත්ත්වයන් හමුවේ සීසර් මොවුන් දෙදෙනාට වරෙක පවසා ඇත්තේ “සමාදානයෙන් කටයුතු කරන ලෙසිනුයි”. එමෙන්ම කොන්සල් (consul) පදවිය ලබා ගැනීමට අවශ්‍ය උපකාර කරන ලෙසටත් ඉල්ලීමක් සිදු කර තිබු අතරම කෙසේ නමුත් එවකට සිටි උග්‍ර දේශපාලන බලවතුන්ගේ විරෝධය හමුවේ වුවද කවුන්සිල පදවිය ලබා ගැනීමට සීසර්ට හැකි වුණා.

ගෝල් දේශය​

සීසර් රෝමය අත්හැර දමා ගෝල් දේශය​ට​ යනු ලැබූ අතරම එහි වසර නවයක් පමණ ගත කරනු ලැබුවා. ඔහු එහි වාසය කළ වකවානු වලදී එඩිතර බවින් යුත් සීසර් හට යුරෝපයේ රටවල් කීපයක්ම ජය ගැනීමට හැකියාව ලැබුණා. එමෙන්ම ඔහුගේ පාලනය යටතට පත් වුණු ප්‍රදේශ මධ්‍යධරණී ශිෂ්ටාචාරය උදෙසා යොදා ගනු ලැබුවා. සීසර් විසින් සිදු කරන ලද මෙම ක්‍රියාවලිය ලෝක ඉතිහාසයේ නොමැකෙන සිදුවීමක් ලෙස සනිටුහන් වී තිබෙනවා.

සීසර් ඉතිහාස පොතට එක් වූ තවත් සුවිශේෂී මංසලකුණක් වන්නේ ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ රෝමයේ ප්‍රථම පුරවැසියා සීසර් වීමයි.

පොම්පේයි සමඟ සටන් වැදීම

පාර්සලුස් හි පැවති සටන (Pinterest.com)

ක්‍රි.පූ 50 දී පමණ සීසර් හා පොම්පේයි අතර තිබූ සුහදතාවය අවසන් වූ අතරම සීසර් ගේ හමුදාව සමඟ යුධ වැදීම සිදු වුණා. හමුදාවේ සියලු දෙනාම ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කරන්නා වූ යාත්‍රා සීසර් සතුව නොතිබූ අතරම සීසර්ගේ හමුදාවේ භටයින් 20,000 සිටි අතර පොම්පේයිගේ හමුදා භටයින් ඊට වැඩි විය. එනම් ඔහු සතුව භටයින් 46,000 ක් පමණ සිටියා. පාර්සලුස් (Pharsalus) නමැති තැනිතලාවේ සිදු කළ අවසන් යුද්ධයේදී යුද්ධයට සීසර් හට ජය අත් වුණා.

යුධ ජයග්‍රහණ කිහිපයක්

ක්‍රි. පූ. 47 දී Pharnaces නමැති රජු පරාජය කොට සීසර් ප්‍රකාශ කළේ ‘ මම පැමිණියෙමි, මම දුටුවෙමි, මම ජයගතිමි” යනුවෙනි. සීසර් මුන්ඩාන නමැති සටනින් ජය ගනු ලැබුවේ ඉතාමත් දුෂ්කරවය. මෙම සටන ඇති වූයේ පොම්පේයි ගේ පුතුන් දෙදෙනා වූ Gnaeus, Sextus හා සීසර් අතරය.  මෙම සටනේදී Gnaeus මරණයට පත් වූ අතරම, Sextus පැන යනු ලැබුවා.

සීසර්ගේ පාලන කටයුතු වල ස්වභාවය

ජුලියස් සීසර් (biography.com)

සීසර් ඔහුගේ තීරණය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට නිවේදනය කිරීම සිදු කරනවා පමණි. ඔහු මන්ත්‍රීවරුන්ගේ ජන්දය හෝ විවාදය බලාපොරොත්තු වීමක් නොවුණා. සීසර්ගේ තීරණය අවසන් තීරණය වූ අතරම, එය ලේඛනගත කිරීම ද සිදු කරනු ලැබුවා.

සීසර් තමන් වෙත දේවත්වය ආරෝපණය කරගැනීමට කැමැත්ත දැක්වූවා. ග්‍රීක රාජ්‍ය තන්ත්‍රයට අයත් වන්නා වූ තමාගේ ස්වරූපයට සමාන ලාංජන සහිත කාසි නිකුත් කිරීම, ඒවා දේවරූප සැරසීම සඳහා යොදා ගැනීම ආදී චාරිත්‍ර වල නිරත වූවා.

සීසර් නිරන්තරයෙන්ම ගෞරව නාම හා සම්මාන වලින් සිදුම් ලැබුවා. සියලුම රාජ්‍ය නිල උත්සව වලදී රත්තරන් ආලේපිත පුටුවක වැජඹෙනු ලැබුවා. දම් හා රන්වන් පැහැති රෝම ඇඳුමින් සැරසී සිටියා. ඔහුගේ ආසනය අසල සඳහන් වූයේ ‘පරාජය කළ නොහැකි දෙවියෙක්’ යන වැකියයි. ආරක්ෂක භටයෙකුගේ සේවයක් ලබා ගැනීම සිදු කළේ නැහැ.

ඝාතනය​

ක්‍රි. පූ. 44 මාර්තු මස 15 දින සීසර්ගේ ඝාතනය සිදු වුණේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ රැස්වීමක් අතර තුරයි. එදින රැස්වීම පැවැත්වුණේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩල ගොඩනැගිල්ලේ නොව පොම්පෙයි නාට්‍ය ශාලාවේදීයි. මාක්ස් බෲටස්, ගායියස් නමැති කුමන්ත්‍රණ කාරීන් ඇතුළු හැටදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එහි ඇතුළු වී පොම්පේයිගේ ප්‍රතිමාවේ පාදම අසල සිටි සීසර්හට විසිතුන් වාරයක් ප්‍රහාර එල්ල කොට ඝාතනය කරනු ලැබුවා.

කවරයේ පින්තූරය: ජුලියස් සීසර් ප්‍රතිමාවක් (history.com)

Related Articles

Exit mobile version