ලලිත්ගේ විශ්වවිද්‍යාල දිවිය හා බැඳුණු අපූරු කතා 4ක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවුණු කීර්තිමත් දේශපාලනඥයන් අතුරින් ලලිත් ඇතුළත්මුදලිට විශේෂ ස්ථානයක් හිමි වනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ලලිත්, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පසු ව  ඇතුළත් වී සිය උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගත කළ අවදියේ වඩාත් ජනප්‍රිය චරිතයක් වුණු ලලිත්, ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම්, භාණ්ඩාගාරික, පුස්තකාලයාධිපති, සභාපති යන තනතුරු ද දුරුවා.

එහි දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වුණු මුල් ම ලාංකිකයා ලෙසින් ලලිත්ගේ නම  ඉතිහාසගත වුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  සිටි කාලය තුළ දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරයට තේරීපත් වීමට ලංකාවේ අගමැතිවරයකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකටත් එයට පෙරාතුව හැකියාව ලැබී තිබෙනවා. 

ඒ අයුරින් ඔහු  ඔක්ස්ෆර්ඩ් සරසවියේ ගත කළ කාලය තුළ ඔහුට අමතක නොවන සිදුවීම් රැසකට මුහුණ දීමට සිදුවුණා. මේ කියන්නට යන්නේ ඒවායින් 4ක් පිළිබඳව යි.

ලලිත් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍යසංගමයේ සභාපතිවරයා ලෙස කතාවක් කරමින් – ලලිත් ඇතුලත්මුදලි නොනිමි මෙහෙවර – රංජිත් අමරකීර්ති පලිහපිටිය

 1). හිර මැදිරියෙන් අවසන් වුණු ස්පාඤ්ඤ විනෝද චාරිකාව 

1956 මාර්තු මාසයේ දී ලලිත් සිය නීතිවේදී උපාධියේ පළමු වසරේ ප්‍රථම පරීක්ෂණය සඳහා සහභාගි වුණා. එම විභාගය අවසන් වීමෙන් පසු ලලිත්ට කෙටි නිවාඩුවක් ලැබුණා. එනිසා ලලිත් සිය මිතුරන් කිහිපදෙනකු සමඟින් විනෝද චාරිකාවක් යාමට තීරණය කළා. එහි දී ඔවුන්ගේ ගමනාන්තය වුණේ ස්පාඤ්ඤයේ වන්සිලා විලෝ හොයොසා නම් සුන්දර ගම්මානය යි. එම විනෝද ගමන සඳහා කමල් හුසේන්, ධර්ම් ගායි සහ පීටර් ස්ටෞරාලාකිස් යන මිතුරන් ද එකතු වුණා. කුලියට ගත් මෝටර් රථයකින් වන්සිලා ගම්මානය වෙත ගිය මිතුරන් සිව්දෙනා මුහුදු වෙරළේ අසිරිය විඳිමින් සිටියා.

ඒ මොහොතේ එතැනට පැමිණි නොහික්මුණු ස්පාඤ්ඤ කොලු රංචුවක් ලලිත් ඇතුළු පිරිසට නිකරුණේ ගල් මුගුරුවලින් පහර දෙන්නට පටන් ගත්තා. ඉන් කෝපයට පත්වුණු ලලිත් සහ මිතුරන් එක් වර ම ඉදිරියට පැන කොලු ගැටයකු අල්ලාගෙන මුහුදේ ඔබා පහර දී අත්හැර දැමුවා. ඒ අයුරින් සිදු කළ පහර දීමෙන් පසුව මට්ටු වුණු කොලු රංචුව එම ස්ථානයෙන් යන්නට ගියා. නොහික්මුණු කොලු රංචුවට හොඳ පාඩමක් ඉගැන්වූ බව සිතමින් ලලිත් ඇතුළු පිරිස ප්‍රීතියට පත්වෙමින් සිටිය දී බලාපොරොත්තු නොවුණු ආකාරයේ දෙයක් සිදුවුණා. ඒ පහර කෑ කොලු රංචුව පොලිස් නිලධාරියකු සහ තවත් පිරිස සමඟින් එම ස්ථානයට පැමිණීම යි. 

බංග්ලාදේශයේ විදේශ ඇමතිවරයා වුණු කමල් හුසේන් – flickr.com 

 

ස්පාඤ්ඤ භාෂාව නොදැන සිටීම නිසා වැටුණු කරදරේ 

එලෙස පැමිණි පිරිස උස් හඬින් කෑගසමින් පොලිස් නිලධාරියා හමුවේ කරුණු දක්වා සිටියා. වරින් වර ඔවුන් ලලිත් ඇතුළු මිතුරන් දෙසට ඇඟිල්ල දිගු කළා. එහි දී ඔවුන් ස්පාඤ්ඤ භාෂාවෙන් පැවසූ කිසිම දෙයක් ලලිත් ඇතුළු පිරිසට වැටහුණේ නැහැ. ඒ ඔවුන් කිසිවකු ස්පාඤ්ඤ භාෂාව දැනගෙන නොසිටි නිසා යි.

එනිසා එල්ල වුණු චෝදනාවට කිසිදු පිළිතුරක් ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. එසේ ම පරීක්ෂණයට පැමිණි පොලිස් නිලධාරියාට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාවක් නොතිබුණු නිසා තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලලිත් ඇතුළු පිරිස ස්පාඤ්ඤ පොලිස් අත්අඩංගුවට ගැනුණා. 

ලලිත්ගේ පිහිටට ආ රාජකීයයේ ප්‍රංශ පාඩම 

ලලිත් රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ දී තරමක් දුරට ප්‍රංශ භාෂාව ඉගෙන ගෙන තිබුණා. එනිසා ඔහු කැඩිච්ච ප්‍රංශ භාෂාවෙන් පොලිස් නිලධාරියා සමඟින් කතා කළා. පොලිස් නිලධාරියාට ද ප්‍රංශ භාෂාව පිළිබඳ ව එතරම් දැනීමක් තිබුණේ නැහැ. එම සංවාදයේ දී ලලිත් පැවසූ සමහර කරුණු පිළිබඳව තරමක් දුරට වටහාගත් පොලිස් නිලධාරියා ලලිත්ගෙන් විදේශ ගමන් බලපත්‍රය ඉල්ලා සිටියා.

එය පරීක්ෂා කිරීමෙන් පසු ව පොලිස් නිලධාරියා විමතියට පත්වුණා. ඒ අදාළ විදේශ ගමන් බලපත්‍රයේ රට ඉදිරියේ සඳහන් ව තිබුණු සිලෝන් යන වචනය දැකීම නිසා යි. පොලිස් නිලධාරියා ඊට පෙර සිලෝන් නම් රට පිළිබඳ අසා නොතිබුණු නිසා ඔහු ප්‍රශ්නාර්ථයක් රැගත් මුහුණකින් ලලිත් දෙස බලමින් ඉතිරි අයගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කළා.

පැරණි ලාංකීය විදේශ ගමන් බලපත්‍රයක් – Amazon.com

 

එහි දී කමල් හුසේන්ගේ පාකිස්තාන විදේශ ගමන් බලපත්‍රය දැකීමෙන් සෑහීමකට පත්වුණු පොලිස් නිලධාරියා ධර්ම් ගායි ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය රාජ්‍යය ලාංඡනය සහිත විදේශ ගමන් බලපත්‍රය දැකීමෙන් කෝපයට පත් වුණා. ඒ එම කාල සමය වන විට ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍ය අතර අර්බුදයක් හටගෙන තිබුණු නිසා යි.

ඉන් පසුව පීටර් සිය අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරියාගේ සැර බාල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ලලිත් සමඟ යළිත් වරක් කැඩුණු ප්‍රංශ භාෂාවෙන් කතා කරමින් මුහුදු වෙරළේ දී සිදුවුණු දේවල් පිළිබඳව බොහොම සුහද ව විමසා සිටියා.

නිරුපද්‍රිත ව යළි එංගලන්තයට 

ඉන් දිරිමත් වුණු ලලිත් දන්නා අයුරින් ප්‍රංශ භාෂාව හසුරවමින් අවශ්‍ය ස්ථානවල දී හස්ත මුද්‍රාව භාවිත කරමින් සිද්ධිය පිළිබඳ විස්තර කළා. එය අසා සෑහීමකට පත්වුණු පොලිස් නිලධාරියා පවසා සිටියේ “ඔය කට්ටිය හරි හොඳ වැඩක්නෙ කරල තියෙන්නෙ. ඔය කොල්ලො රංචුවෙන් අපටත් හරිම කරදරයි. අපරාදෙ තවත් එකෙක් අල්ල ගෙන දඬුවම් කරන්න තිබුණෙ” යන වචන පෙළ යි. ඒ සමඟ ම උද්දාමයට පත්වුණු ලලිත් යළි බ්‍රිතාන්‍ය බලා යාමට අවසර ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ පොලිස් නිලධාරියා ඔවුන් ස්පාඤ්ඤයට පැමිණි ආකාරය විමසා සිටියා. ඉන් අනතුරුව ලලිත් ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳ විස්තර ලබාදීමෙන් පසුව එය පොලිසියට රැගෙන එන ලෙස අණ ලැබුණා. 

ලලිත් ඇතුලත්මුදලි ඔක්ස්ෆර්ඩ් සරසවියේ දී –  lalithathulathmudali.com 

 

මෝටර් රථය පොලිසියට රැගෙන ඒමෙන් පසු සිර මැදිරියේ සිටි ලලිත් සහ මිතුරන් නිදහස් කළ පොලිසිය ඔවුන්ට නියෝග කළේ රථය අතරමග නවත්වන්නේ නැති ව බාසිලෝනා නගරය දක්වා රැගෙන යන ලෙස යි. එදා ස්පාඤ්ඤ පොලිස් නිලධාරියා ලබාදුන් නියෝගය අකුරට ම පිළිපැද්ද ලලිත් සහ මිතුරන් පිරිස නිරුපද්‍රිතව යළිත් එංගලන්තයට පැමිණියා.

එලෙස ඔවුන්ට ස්පාඤ්ඤ පොලිසියෙන් බේරීමට හැකි වුණේ ලලිත්ගේ ප්‍රංශ භාෂා දැනුම නිසා යි. එසේ නොවුණා නම් තත්ත්වය වඩාත් දරුණු වන්නට ඉඩ තිබුණා. එදා ලලිත් සමඟින් ස්පාඤ්ඤයට ගිය කමල් හුසේන් පසු කලෙක බංග්ලාදේශයේ විදේශ අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ බව ද සිහිපත් කළ යුතුයි.

2). ඔක්ස්ෆර්ඩ් භෝජනාගාරයට ලැබුණු පවුම් 600ක ලාබය 

1957 ජූනි මාසයේ පැවති ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් නිලවරණයෙන් පසුව ලලිත් ඇතුලත්මුදලි භාණ්ඩාගාරික තනතුර සඳහා තේරී පත්වුණා. ඒ වන විට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය පවත්වාගෙන ගිය භෝජනාගාරය මසකට පවුම් 300ක පමණ පාඩුවක් ලැබූ බව වාර්තාවල සටහන් වුණා.

එලෙස භෝජනාගාරය පාඩු ලබන තත්ත්වයට පත්වීමට හේතු විමසා බැලීමේ දී ලලිත්ට දැනගන්නට ලැබුණේ භෝජනාගාරයේ ප්‍රධාන අරක්කැමියාගේ මැදිහත්වීමෙන් ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නා බව යි. එම ප්‍රධාන අරක්කැමියා භෝජනාගාරයේ සේවයට පැමිණීමෙන් පසුව සුඛෝපභෝගි මෝටර් රථයක් ද මිල දී ගෙන තිබුණා. ඒ අනුව ප්‍රධාන අරක්කැමියා භෝජනාගාරය හරහා අයථා ලෙස මුදල් සොයන බව ලලිත්ට ඒත්තු ගියා. 

ලලිත් එනිසා සිය භාණ්ඩාගාරික තනතුරේ බලතල භාවිත කරමින් භෝජනාගාරයේ ඉවුම් පිහුම් කටයුතු සඳහා අවශ්‍ය දේවල් මිල දී ගැනීමේ කාර්යය වෙනුවෙන් කාන්තාවකගේ සේවය ලබා ගත්තා.  වැඩි කලක් යන්නට පෙර ලලිත්ගේ එම උපක්‍රමයේ ප්‍රතිඵල දකින්නට ලැබුණා. ඒ අනුව පාඩු ලබමින් තිබුණු භෝජනාගාරය ලාබ ලබන තත්ත්වයකට පත්වුණා.

අවසානයේ දී භෝජනාගාරය මාසික ව පවුම් 600ක ලාබයක් ලබන ස්ථානයක් බවට පත්වුණා. ඉන් අනතුරුව ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් ලලිත්ට බෙහෙවින් ප්‍රශංසා කළේ අකාර්යක්ෂම ව පැවති ස්ථානයක් වඩාත් කාර්යක්ෂම ස්ථානයක් බවට පත්කිරීමට මූලිකත්වය ගත් නිසා යි. 

 

3). ඔක්ස්ෆර්ඩ් සරසවියට බණ්ඩාරනායකගේ සිතුවමක් 

1957 නොවැම්බර් මාසයේ දී ලලිත් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසින් තේරී පත්වුණා. ඒ වන විට ලංකාවේ අගමැති තනතුර දරමින් සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ද ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් ධූරය දරා තිබුණා. එනිසා ඔහුගේ උඩුකය ප්‍රතිමාවක් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් ශාලාවේ තැන්පත් කළ යුතු බව ලලිත්ගේ අදහස වුණා. ඔහු ඒ සඳහා කළ යෝජනාව පිළිබඳ සලකා බැලූ විශ්වවිද්‍යාල බලධාරීන් අගමැති බණ්ඩාරනායකගේ ඡායාරූපයක් තැන්පත් කිරීම සඳහා අවසර ලබාදුන්නා.

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් ශාලාවේ තැන්පත් කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රුව දැක්වෙන ඡායාරූපය – artuk.org 

එහි දී අදාළ බලධාරීන් තැන්පත් කරන ඡායාරූපයේ විශාලත්වය පිළිබඳව විශේෂ සඳහනක් කළේ නැහැ. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ලලිත්, ප්‍රසිද්ධ නිර්මාණ ශිල්පියකු වුණු ස්ටැන්ලි අබේසිංහ ලවා බණ්ඩාරනායක අගමැතිවරයාගේ රුව දැක්වෙන  ප්‍රමාණයෙන් විශාල ඡායාරූපයක් නිර්මාණය කළා. එය එහි තැන්පත් කර තිබුණු සෙසු ඡායාරූපවලට වඩා ප්‍රමාණයෙන් විශාල වුණා. එලෙස නිර්මාණය කළ ඡායාරූපය 1957 දෙසැම්බරයේ මුල් සතියේ දී ශිෂ්‍ය සංගම් ශාලාවේ තැන්පත් කළා. එය අගමැති බණ්ඩාරනායකට ලැබුණු විශාල ගෞරවයක් වුණා. 

 

4). එංගලන්තයේ දී අමතර ආදායමක් උපයාගත් හැටි 

ලලිත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ අතරින් පතර කෙටි නිවාඩු ලැබුණා. ඒ අයුරින් ලැබුණු කෙටි නිවාඩුවලින් උපරිම ප්‍රයෝජන ගත් ලලිත් විවිධ රැකියාවල නිරත වෙමින් අමතර ආදායමක් උපයා ගත්තා. එක් වරක් නත්තල් සමයේ නිවාඩු ලැබුණු අවස්ථාවක ඔහු තැපැල් කාර්යාලයක ලියුම් තේරීමේ රැකියාවකට ගියා. පළමු දින දිනයේ දී ඔහුට උපයා ගැනීමට හැකිවුණේ පවුම් කිහිපයක් පමණ යි. එම දිනයේ වැඩ කිරීමෙන් පසුව ලලිත්ට වැටහී ගියේ එක් දිනකට වැඩි ලියුම් ප්‍රමාණයක් තේරීමෙන් සැලකිය යුතු තරම් ලාබයක් ලබාගත හැකි බවයි. 

ඒ පිළිබඳ අවධානය යොමු කළ ලලිත් ඊළඟ දිනයේ දී ලියුම් තේරීම සඳහා මිතුරන් කිහිප දෙනකු එහි යැව්වා. දවස අවසන් වෙද්දී ඔවුන් විශාල ලියුම් ප්‍රමාණයක් තෝරා තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  ලලිත්ට සැලකිය යුතු තරම් මුදලක් ලැබුණා. ඉන් අනතුරුව මිතුරන්ගේ දවස් කුලිය ගෙවා අවසන් කිරීමෙන් පසුවත් ලලිත් සන්තකයේ  පවුම් 15ක මුදලක් ඉතිරි වුණා. එම කෙටි නිවාඩුවේ කුලී ක්‍රමයට ලියුම් තේරීම මඟින් ලලිත්ට සැලකිය යුතු තරම් ආදායමක් ලැබුණා. තවත් කෙටි නිවාඩුවක ලියොන් නම් අවන්හලේ පවිත්‍රතා අංශයේ සේවය කළ කළ ලලිත්, එවැනි ම වෙනත් කෙටි නිවාඩුවක ඇපල් වත්තක ඇපල් ඇහිඳීම සඳහා ගියා. ඒ අයුරින් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් ලලිත්ගේ චරිතයෙන් අපටත් ආදර්ශ ලබාගන්නට පුළුවන්. 

කවරයේ ඡායාරූපය- ලලිත් ඇතුලත්මුදලි - Dailynews.lk 

මූලාශ්‍ර:

ලලිත් ඇතුලත්මුදලි නොනිමි මෙහෙවර - රංජිත් අමරකීර්ති පලිහපිටිය

dailynews.lk

onlanka.com

e-thaksalawa.moe.gov.lk

ceylonananda.com

 lalithathulathmudali.com 

Related Articles

Exit mobile version