මීට වසර 350කට පෙර බටහිර අප්‍රිකාව ආශ්‍රිත ව මාලි නමින් විශාල අධිරාජ්‍යයක් පැවතුණා. එම අධිරාජ්‍යය සෙනෙගාලය, මාලි, දකුණු මොරිටේනියාව, ගිනියාව, අයිවරි කෝස්ට්, ගිනියා-බිසවු, උතුරු බුර්කිනා ෆාසෝ, බටහිර නයිජර්, සහ උතුරු ඝානාව යන ප්‍රදේශ දක්වා පැතිරී තිබුණා.
සියවස් 4කට අධික කාලයක් පැවති මාලි අධිරාජ්‍ය පාලනය කළ පාලකයන් අතුරින් වඩාත් කැපී පෙනුණේ මුසා නම් අධිරාජ්‍යයා යි. ඒ ඔහු රත්තරන් කැණීම් කටයුතු හරහා විශාල ධනකුවේරයෙක් බවට පත් වුණු නිසා යි. සමහර වාර්තාවල දැක්වෙන්නේ එදා මෙදාතුර බිහිවුණු ලොව ලොකු ම ධනවතා සුල්තාන් මුසා බව යි.
මේ කියන්නට යන්නේ මාලි අධිරාජ්‍යයේ පාලනය භාර ගැනීමෙන් පසුව මහා ධනවතෙක් වුණු සුල්තාන් මුසාගේ කතාව යි.
මාලි අධිරාජ්‍යයේ පාලකයා බවට පත්වීම
සුල්තාන් මුසාගේ පියා වුණු ෆාගා ලේයි මාලි අධිරාජ්‍යයේ රාජකීය පරපුරට අයත් වුණු පුද්ගලයෙක්. ෆාගා ලේයි යනු මාලි අධිරාජ්‍යයේ පළමු පාලක සුන්ඩියාටා කීටාගේ සහෝදරයෙක් වුණු අබු බකර්ගේ පුත්‍රයා යි. අබු බකර් 14 වන සියවස ආරම්භ වෙද්දී මාලි අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් කටයුතු කරමින් සිටියා. ඔහු රජකමට පත් වුණේ දෙවන අබු බකර් යන නමින්. දෙවන අබු බකර් අධිරාජ්‍යයා සිය මුණුබුරු වුණු මුසා පිළිබඳ ව දැඩි පැහැදීමකින් සිටියා. ඒ ඔහු නිර්භීත, ඥානවන්ත පුද්ගලයෙක් වුණු නිසා යි. එනිසා අබු බකර් අධිරාජ්‍යයා සිය මුණුබුරාට තම රාජ්‍යයේ යුව රජ තනතුර ලබා දුන්නා.
එම අවධියේ දී අබු බකර් අධිරාජ්‍යයා සිය බලය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අත්ලාන්තික් සාගර ගවේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළා. නැව් 200ක් යොදා ගෙන සිදු කළ එහි පළමු ගවේෂණයෙන් සාර්ථක ප්‍රතිඵල අත් වුණා. එනිසා නැව් 2000ක් යොදා ගෙන තවත් පුළුල් ගවේෂණයක් සිදු කිරීමට අබු බකර් තීරණය කළා. ඔහු එම ගවේෂණ කටයුතු සඳහා පිටත්ව ගියේ මුසාට තාවකාලිකව රාජ්‍ය පාලන කටයුතු භාරදීමෙන් අනතුරුව යි. එසේ අත්ලාන්තික් සාගර ගවේෂණය සඳහා ගිය අබු බකර් අධිරාජ්‍යයා ඇතුළු පිරිස යළිත් සිය රටට පැමිණියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 1312 දී මුසා මාලි අධිරාජ්‍යයේ පාලකයා බවට පත් වුණා.
රාජ්‍ය පාලනයේ මුල් යුගය
සුල්තාන් මුසා බලයට පත් වන විට මාලි අධිරාජ්‍ය අප්‍රිකාවේ ප්‍රබලත ම රාජ්‍ය අතුරින් එකක් වුණා. එනිසා සිය රාජ්‍යයේ බලය තව තවත් වැඩි කිරීම මුසාගේ අරමුණ වුණා. ඒ සඳහා අසල්වැසි රටවල් තම අධිරාජ්‍යයට ඈඳා ගත යුතු බව මුසාට ඒත්තු ගියා. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔහු සිය හමුදාවල ශක්තිය තවත් වැඩි කළා. සිය හමුදාවල ශක්තිය වැඩි කර ගත් මුසා අසල්වැසි රටවල් ආක්‍රමණය කරමින් එම රටවල් ද සිය අධිරාජ්‍යයට ඈඳා ගත්තා.
ඉන් නොනැවතුණු මුසා එම රටවල්වලින් අල්ලා ගත් ශක්තිමත් පුද්ගලයන් වහලුන් ලෙස තම රටට රැගෙන ආවා. ඒ තම රටේ සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ ශ්‍රමය ලබා ගැනීම සඳහා යි. එසේ දිගින් දිගට ම යුද කටයුතුවලට මුදල් වියදම් කිරීම හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය ක්‍රම ක්‍රමයෙන් හිස් වන්නට පටන් ගත්තා. එතෙක් කරගෙන ගිය රත්තරන් කැණීම් කටයුතු වැඩි දියුණු කරමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට මුසා එනිසා සැලසුම් කළා.
රත්තරන් කැණීම් කටයුතු පුළුල් කිරීම
එකල මාලි අධිරාජ්‍ය පිහිටා තිබුණේ රත්තරන් ඉල්ලම් විශාල ලෙස පැතිරී තිබුණු ප්‍රදේශයක යි. සුල්තාන් මුසා රාජ්‍ය පාලනය භාර ගනිද්දීත් රත්තරන් කැණීම් කටයුතු හරහා මාලි අධිරාජ්‍යයට සැලකිය යුතු තරම් ආදායමක් ලැබෙමින් තිබුණා. මුසාට අවශ්‍ය වුණේ වැඩි බිම් ප්‍රදේශයක රත්තරන් කැණීම් සිදු කර සිය ආදායම වැඩි කර ගැනීම යි. ඒ සඳහා යෙදවීමට ඇති තරම් වහල් ශ්‍රමිකයන් මුසා සතු ව සිටියා.
එහි දී මුලින් ම ඔවුන් සිදු කළේ රත්තරන් ඉල්ලම් තිබුණු ප්‍රදේශ හඳුනා ගැනීම යි. ඒ පිළිබඳ ව මනා දැනුමක් තිබුණු උදවිය මුසා යටතේ සේවය කළා. ඔවුන් රත්තරන් ඉල්ලම් තිබුණු ප්‍රදේශ හඳුනා ගැනීමෙන් පසුව ඒ ගැන මුසාට දැනුම් දුන්නා. ඉන් අනතුරු ව මුසාගේ අවසරය ලැබීමෙන් පසුව අදාළ ප්‍රදේශවල රත්තරන් කැණීම් කටයුතු සිදු වුණා.
එම ක්‍රියාවලිය දිගින් දිගට ම සිදු වෙද්දී මාලි අධිරාජ්‍ය සතු රත්තරන් සංචිත ප්‍රමාණය විශාල ලෙස වැඩි වුණා. එරට පැවති නීතියට අනුව රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබුණු ධනය රටේ පාලකයාට අයිති වුණා. එනිසා වැඩි කලක් යන්නට පෙර සුල්තාන් මුසා ධනකුවේරයෙක් බවට පත් වුණා
සුල්තාන් මුසාට ආදායම ලැබුණු වෙනත් මාර්ග
සුල්තාන් මුසාට ධනය ලැබුණේ රත්තරන් නිධි කැණීමෙන් පමණක් ම නොවෙ යි. මාලි අධිරාජ්‍යයට අයත් භූමියේ තිබුණු ලුණු නිධි කැණීමෙන් ද මුසාට විශාල ආදායමක් ලැබුණා. එදා අප්‍රිකාවේ බොහෝ රටවල්වල ජනතාව මාලි අධිරාජ්‍යයේ ලුණු නිධිවලින් ලබා ගත් ලුණු පරිභෝජනය කළා.
එනිසා ලුණු වෙළෙඳාම හරහා ද සුල්තාන් මුසාට සැලකිය යුතු තරම් ආදායමක් ලැබුණා. ඊට අමතර ව ඇත් දළ වෙළෙඳාම මඟින් ද ඔහුට හොඳ ආදායමක් ලැබුණා. එකල මාලි අධිරාජ්‍යයේ ඇතැම් ප්‍රදේශවල විශාල වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවා තිබුණා. ඒවායේ වෙළෙදාම් කිරීමට විදෙස් වෙළෙඳුන් පවා පැමිණියා. එලෙස සිදු වුණු වෙළෙඳ කටයුතු හරහා මුසාට වැඩි ආදායමක් ලැබුණා.
සුල්තාන් මුසාට ප්‍රසිද්ධියක් ලැබුණු මක්කම වන්දනා ගමන
ක්‍රිස්තු වර්ෂ 1324 වන විට සුල්තාන් මුසා ඉස්ලාම් ආගම කෙරෙහි දැඩි පැහැදීමක් ඇති කර ගෙන තිබුණා. එනිසා ඔහු සිය පිරිවර සමඟින් මක්කම වන්දනාවේ යාමට තීරණය කළා. එම කාල වකවානුව වෙද්දී සුල්තාන්වරයා සතු ව අසීමිත ධනයක් තිබුණු නිසා ඔහු වන්දනා ගමනට හොඳින් වියදම් කළා.
එම වන්දනා ගමන සඳහා හැට දහසක (60000) පිරිවරක් එකතු වුණු බව පැරණි මූලාශ්‍රවල ලියැ වී තිබෙනවා. මක්කම බලා ගිය පිරිස කාන්තාර පසු කරමින් ඊජිප්තුව වෙත ගොස් එහි මාස 3ක කාලයක් රැඳී සිටියා. එම කාලයේ දී සුල්තාන් මුසා ඊජිප්තුවේ වඩාත් ජනප්‍රිය වුණා. ඒ ඔහු එරට වැසියන් අතරේ රත්තරන් විශාල ප්‍රමාණයක් බෙදා දුන් නිසා යි.
ඊජිප්තුවේ ගත කළ කෙටි කාලය තුළ රට පුරා සංචාරය කරන්නට සුල්තාන් මුසා අමතක කළේ නැහැ. එම සංචාරවල දී ඊජිප්තුවේ තිබුණු දියුණු නගර දැක බලා ගන්නට ඔහුට අවස්ථාව හිමි වුණා. එවැනි නගරවල පිහිටා තිබුණු ගොඩනැඟිලි අතුරින් සුල්තාන් මුසාගේ වැඩි අවධානය යොමු වුණේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන මධ්‍යස්ථාන වෙතට යි.
ඒ වන විට අධ්‍යාපනයේ තිබුණු වැදගත්කම තේරුම් ගෙන සිටි මුසා සිය රට තුළ ද එවැනි විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවීමට සිතා ගත්තා. ඊජිප්තුවේ මාස 3ක කාලයක් රැඳී සිටි සුල්තාන් ඇතුළු පිරිස ඉන් අනතුරු ව මක්කම බලා පිටත්ව ගියා.
මාස කිහිපයක් සංචාරයේ යෙදීමෙන් පසු ව මක්කම වෙත ළඟා වුණු මුසා ඇතුළු පිරිස දින කිහිපයක් එහි ගත කරමින් වන්දනාමාන කළා. එහි අසිරිය දැක සතුටට පත් වුණු මුසා එම ස්ථානය දියුණු කිරීම සඳහා විශාල ධනයක් පරිත්‍යාග කළා. මක්කම පිහිටි දැවැන්ත ආගමික ගොඩනැඟිලි දැක පුදුමයට පත් වුණු සුල්තාන් මුසා සිය ධනය වැය කරමින් තම අධිරාජ්‍ය තුළ ද එවැනි ආගමික සිද්ධස්ථාන ඉදි කළ යුතු බවට අධිෂ්ඨාන කර ගත්තා.
එලෙස මක්කම වැඳ පුදා ගත් මුසා ඇතුළු පිරිස මාස කිහිපයකින් යළි සිය රටට පැමිණියා. සුල්තාන් මුසාගේ එම මක්කම සංචාරය පිළිබඳ පුවත අප්‍රිකාව පමණක් නොව යුරෝපය සහ ආසියාව පුරා ද පැතිරී ගියා. එනිසා සුල්තාන් මුසාගේ ප්‍රසිද්ධිය තව තවත් වැඩි වුණා.
මාලි අධිරාජ්‍යය තුළ ඉස්ලාම් ආගමික නගර ගොඩනැගීම
මක්කම සංචාරයෙන් පසුව යළි මාලි අධිරාජ්‍යය වෙත පැමිණි සුල්තාන් මුසා ලොව දක්ෂත ම ගෘහ නිර්මාණ ශිල්පීන් සිය රටට ගෙන්වා ගත්තා. ඒ සිය අධිරාජ්‍ය තුළ ඉස්ලාම් ආගමික නගර නිර්මාණය කිරීම සඳහා යි. එවැනි නගරවල දැවැන්ත පල්ලි ද ඉදි කර වූ සුල්තාන්වරයා ඒවා වැඳ පුදා ගැනීමට පැමිණෙන ජනතාවට නවාතැන් ගැනීම සඳහා නවාතැන්පොළවල් ද ස්ථාපිත කළා.
ටිම්බක්ටු සහ ගාඕ එකල මාලි අධිරාජ්‍ය ආශ්‍රිත ව නිර්මාණය වුණු ඉස්ලාම් ආගමික නගරවලට උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්. එලෙස නිර්මාණය වුණු ඉස්ලාම් ආගමික නගර දැක බලා ගැනීම සඳහා වෙනත් රටවල මුස්ලිම් ජනතාව ද පැමිණියා. ඉන් මාලි අධිරාජ්‍යය තව තවත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා.
මාලි අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘවරයා
තරුණ වියේ දී මාලි අධිරාජ්‍යයේ පාලනය භාර ගත් සුල්තාන් මුසා සිය අධිරාජ්‍යයට තවත් ප්‍රදේශ ඈඳා ගත්තා. ආර්ථිකය දියුණු කරමින් මාලි අධිරාජ්‍යය ධනවත් බවට පත් කළා. දැවැන්ත ආගමික සිද්ධස්ථාන ඉදි කරමින් අධිරාජ්‍යය තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කළා.මාලි අධිරාජ්‍යය තුළ ඉස්ලාම් අධ්‍යාපනික විශ්වවිද්‍යාල පිහිටුවමින් උගතුන් බිහි කිරීමට මූලිකත්වය ගත්තා.
සුවිසල් නගර නිර්මාණය කරමින් මාලි අධිරාජ්‍යය තුළ ආර්ථික මෙන්ම සාමාජීය දියුණුවක් ද ඔහු ඇති කළා. මාලි අධිරාජ්‍යය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වන අයුරින් එහි පාලනය ගෙන ගියා. එම හේතු නිසා මාලි අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ සුල්තාන් මුසාගේ පාලන සමය යි.
එදා මෙදාතුර ලොව ජීවත් වුණු ලොකුම ධනවතා?
එකල සුල්තාන් මුසා සතු වුණු වත්කම්වල වටිනාකම අදටත් හරි හැටි තක්සේරු කර නැහැ. ඒ එම අවධියේ දී ඔහු සතු ව තිබුණු මුළු වත්කම් පිළිබඳ ව සම්පූර්ණ තොරතුරු පැරණි මූලාශ්‍රවල ලියැ වී නැති නිසා යි. සුල්තාන් මුසාගේ වත්කම් පිළිබඳව ලියැවී ඇති සමහර වාර්තාවල දක්වා ඇත්තේ එදා ඔහු සතු ව තිබුණු වත්කම්වල අද වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 400ක් බව යි. ලොව බිහි වුණු ධනවත්ම මිනිසා සුල්තාන් මුසා බව සමහර මූලාශ්‍රවල සඳහන් වුණත් තවමත් එය ඔප්පු කිරීමට හැකි වී නැහැ.