‘1974 ජනවාරි මාසේ 23 වැනිදා තමයි අහස් ගව්ව තිරගත වුණේ. ඒ වෙද්දී මම පාසැල් ශිෂ්‍යයෙක්. ඒ චිත්‍රපටිියේ දකින තෙක් මම අපේ චිත්‍රපටියක ඒ තරම් ජීවිත සමූහයක් දැකලා නැහැ. ජීවිතය මම ඒ තරම් ළංවෙලා දැකලා නැහැ ඒ වෙනතෙක්. අහස් ගව්ව තමයි මට සිනමාකරුවෙක් වීමට ලැබුණු මුල් උත්තේජනය.’ පසුගිය සතියේ අභාවප්‍රාප්ත වුණ ආචාර්ය ධර්මසේන පතිරාජයන් ගැන චිත්‍රපටි අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අප වෙත අදහස් පළකරමින් පැවසුවා.
‘මුල් නැති වුනත් දළුලන මිනිසුන්ගේ ජීවිතය සිනමාවට නැගූ ඔබට සුබ ගමන්.’යැයි අශෝක හඳගම මහතා ෆේස්බුක් අඩවියේ සටහනක් තබා තිබුණා. මේ පතිරාජයන් පිළිබඳව ඔහුගෙන් පසුව බිහිවූ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු දැක්වූ අදහස්.
ලංකාවේ සිනමාව තුළ හැත්තෑව දශකයෙන් පසු විශාල වෙනස්කම් කළ අධ්‍යක්ෂවරයෙකු ලෙස ධර්මසේන පතිරාජයන් ප්‍රකට වී සිටිනවා. ඔහු පසුගිය 28 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ අවසාන කැමැත්ත අනුව 28 වැනිදාම ඔහුගේ අවසන් කටයුතු සිදු කළා. බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු පතිරාජයන්ගේ අවසාන කැමැත්තෙහි සඳහන්ව ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අප සමඟ අදහස් දක්වමින් පතිරාජයන්ගේ අවසාන කැමැත්ත ලියූ මොහොතේ පතිරාජයන් සමඟ සිටි තරුණ සිනමා අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය මෙසේ කියනවා.
‘ ඔහු ඉල්ලා තිබුණේ පැය හයක් තුළ අවසන් කටයුතු කරන්න කියලයි. ඇත්තටම ඔහු අවසාන කැමැත්තෙන් ඉල්ලුවේ තමන්ගේ දේහය ශික්ෂණ රෝහලකට බාරදෙන්න කියලයි. එහෙත් ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳි නිසා ඔහුගේ දේහය අධ්‍යන කටයුතුවලට හෝ වෙනත් විද්‍යාත්මක කටයුතුවලට පාවිච්චි කළ නොහැකියි. ඒ නිසා ඔහුගේ දේහය ආදාහනයට ලක් කළා. ඔහු අවසාන කැමැත්තෙන් ඉල්ලුවා තමන්ගේ දේහය තබාගෙන කිසිදු ආගමික කටයුත්තක් නොකරන ලෙස. එමෙන්ම කිසිදු දේශපාලඥයන්ට හෝ වෙනත් කිසිවෙකුට දේහය තබාගෙන කතා පවත්වන්නට ඉඩ නොදෙන ලෙස අවසාන කැමැත්තෙන් ඔහු ඉල්ලුවා. ඔහු මාක්ස්වාදී, භෞතිකවාදී අදහස් විශ්වාස කිරිම එයට හේතුවයි.’
සිනමා ජීවිතය
ධර්මසේන පතිරාජයන් විසින් වෘත්තාන්ත සිනමා ජීවිතය ආරම්භ කරන්නේ 1974 දී. ඒ අහස් ගව්ව චිත්‍රපටියෙන්. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලාව ගැන අවබෝධය ලබා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී කොරා සහ අන්ධයා, පුටු වැනි වේදිකා නාට්‍ය නිර්මාණය කළ පතිරාජයන් සතුරෝ නමින් කෙටි චිත්‍රපටියක්ද නිර්මාණය කිරීමෙන් පසුවයි සිනමාවට පිවිස ඇත්තේ.
පතිරාජයන් විසින් 1974 දී අහස් ගව්ව චිත්‍රපටිය නිර්මාණය කළා. ඉන්පසුව එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහේ සිංහල චිත්‍රපටි නිර්මාණය කළ ඔහු පොන්මනී නම් ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපටිය නිර්මාණය කළා. අසූව දශකයෙන් පසු කාලයක් ටෙලිනාට්‍ය කලාවේ කටයුතු කළ ඔහු 2001 වසරේදී මතුයම් දවස නම් චිත්‍රපටිය නිෂ්පාදනය කළා.
ටෙලිනාට්‍ය කලාව තුළ ඔහු ‘ගඟුලෙන් එගොඩට’, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, කඩුල්ල, සුබ අනාගතයක්, නාඳුදන පුත්තු, දුර්ගාන්තය, කම්පිත විල්තෙර වැනි ටෙලිනාට්‍ය නිර්මාණය කළා. ‘වන්නි හාමිලාගේ කතාව’, සහ ‘සුදු බණ්ඩෙලාගේ කතාව’ වැනි ටෙලිනාට්‍ය ඔහු නිර්මාණය කළා. ඔහු ජීවිතයෙන් සමුගන්නට ළංව සිටියදී සක්කාරං සහ ස්වරූප නම් චිත්‍රපටි දෙක තිරගත වුණා. ඔහුගේ සිනමාවලිය මෙතැනින් කියවන්න.
‘ලංකාවට 1948 දී නිදහස ලැබුණා. හැබැයි නිදහස ලැබෙද්දී ශ්‍රී ලාංකිික ජාතියක් ලෙස තිබුනු සිහින බිඳවැටුණා. 1971 වෙද්දී රටේ විරැකියාව, ආර්ථික ගැටලු එක්ක මිනිස්සු අතරන් කැරැල්ලක් පවා පැනනැඟුණා. මේ සිහිනය බිඳවැටීම නිරූපණය කළ පළවැනි චිත්‍රපටිය තමයි අහස් ගව්ව.’ ප්‍රසන්න විතානගේ මහතා පවසන්නේ එසේයි. ඔහුගේ සිනමා ජීවිතයට පතිරාජයන්ගේ සිනමාව බලපෑ බව ඔහු කියනවා. එපමණක් නෙවෙයි, අප සමඟ අදහස් දක්වමින් දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂ කේසවරාජන් නවරත්නම් පැවසුවේ තමන්ට දකුණු ඉන්දීය සිනමාවේ අනුකරණ වෙනුවට දේශීය ආරයක් ගත් දෙමළ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පතිරාජයන්ගේ පොන්මනී චිත්‍රපටිය උත්තේජකයක් වූ බවයි.
සම්පූර්ණ නොකළ වැඩ
‘පතිරාජ සර් හැත්තෑවිය පසුකිරීමෙන් පසුව ජීවිතයෙන් සමුගත්තාට ඔහු ඉතාම තරුණ ආකල්ප සමඟ ජීවත්වුණා. ඔහු ජීවිතයෙන් සමුගන්නට සති කිහිපයකට පෙරත් කෙටිකතාවක් ලීවා ‘පොත එළිදැක්වීම’ කියලා. එපමණක් නෙවෙයි, පතිරාජයන් විසින් මාස කිහිපයකට කලින් ලියා රාවය පුවත්පතේ පළ කරපු කෙටිකතාවක් වන ‘හොඳ මිනිහා’ කියන කෙටිකතාව ඇසුරෙන් චිත්‍රපටියක් කරන්නත් සැලසුම් කරමින් හිටියේ. ඔහු මට මූලික වැඩ පටන්ගන්නැයි යෝජනා කරලා තිබුණා. මේ දෙකට අමතරව ඔහුගේ මැදිහත්වීමෙන් සම්පූර්ණ කරලා නිර්මාණය අවසන් නොකළ චිත්‍රපටි පිටපත් හයක් තිබුණා. එකක් 70 කොලණිය කියන පිටපත. එය සම්පූර්ණ කළ නොහැකිවුණ නිසයි නවකතාවක් ලෙස එළිදැක්වුනේ. ඊට අමතරව බෙස්ට් රිහසල් නමින් පිටපතක් සම්පූර්ණ කරලා තිබුණා සුගතපාල ද සිල්වා මහතා විසින්. ඒක විජය කුමාරණතුංගයන් සමඟ නිර්මාණය කිරීමේ අදහසෙන් ලියා තිබුණේ. එහෙත් විජය කුමාරණතුංගව ඝාතනය කිරීම නිසා ඒ චරිතයට සුදුසු කෙනෙක් මුණගැහෙනතුරු චිත්‍රපටිය කල්ගියා. අජිත් තිලකසේන මහතා විසින් ලියූ සිරිපා ඉම සහ ගමනාන්තයක් නමින් පිටපත් දෙකක් තිබුණා. තවත් පිටපතක් දෙනම නමින් ලියා තිබුණේ සරත් කැල්ලපත විසින්. 2000 ඉඳන් ක්‍රොකඩයිල් නමින් චිත්‍රපටියක් කිරීමේ බලාපොරොත්තුවෙන් හිටියා. ඔහුට අවසානය දක්වා නිර්මාණ කිරීමේ සැලසුම් තිබුණා.’ ධර්මසේන පතිරාජ මහතා විසින් සම්පූර්ණ කිරීමට සිටි නිර්මාණ ගැන මාලක දේවප්‍රිය එසේ විස්තර කළා.
තරුණයන් සමඟ
තරුණ සිනමාකරු මාලක දේවප්‍රිය, ධර්මසේන පතිරාජයන්ගේ ජීවිතයේ අවසාන කාලයේ ඔහු සමඟම සිටි පතිරාජයන්ගේ සිසුවෙක්. මාලක දේවප්‍රිය සහ ධර්මසේන පතිරාජයන්ගේ ආශ්‍රය වසර දහසයකට වැඩි කාලයක් දක්වා දිවෙනවා.
‘මට පතී සර්ව මුණගැහුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙක්ව ඉන්නකොටයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණියා. ඒ 2002 දී. ඔහු විශ්වවිද්‍යාලයට ඇතුල්වෙලා ජනමාධ්‍ය අංශ්‍ය තියෙන තැන ඇහුවා. මම ඔහුව එක්කාගෙන ගියා. යන අතරේ කිව්වා සර් මම ඔබේ චිත්‍රපටි සියල්ලම බලලා තියෙනවා කියලා. ඔහු සමඟ කතාබහ කිරීමෙන් පස්සේ ඒ වෙද්දී මම නිර්මාණය කරලා තිබුණු ලයිෆ් සර්කල් නම් චිත්‍රපටිය ගැන කිව්වා. ඔහු පහුවදා ඒ චිත්‍රපටියේ වී.එච්.එස්. පිටපත බැලුවා.’
මාලක දේවප්‍රිය පවසන අන්දමට ඔහුගේ චිත්‍රපටිය නැරඹූ පතිරාජයන් එදිනම මාලක දේවප්‍රිය සමඟ ගොස් ඔහු අතට රුපියල් තුන්දහසක් දී චිත්‍රපටියේ බිටා පිටපතක් ලබාගන්නා ලෙස උපදෙස් දි තියෙනවා.
‘පසුදිනම ඒ බීටා පිටපත ඊශ්‍රායලයේ ද ටෙල් ඇවිව් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ෆිල්ම් ෆෙස්ටිවල් කියන සිනමා උළෙලට යැව්වේ පතී සර්ගේම ගිණුමෙන්. ඉන් මාසයකට විතර පස්සේ ටෙල් ඇවිව් සිනමා උළෙලෙන් ලියුමක් ආවා චිත්‍රපටිය තෝරාගත් බව දන්වමින්. එතැන් පටන් විශ්වවිද්‍යාලයේ සිටි වසර කිහිපය තුළ මම අන්තර්ජාතික සිනමා උළෙලවල් 14කට විතර මගේ කෙටි චිත්‍රපටි රැගෙන ගියා. පතී සර් මුණ නොගැහුණානම් මගේ සිනමා ජීවිතය මීට වඩා බොහෝ වෙනස් වෙන්නට ඉඩ තිබුණා.’
ධර්මසේන පතිරාජයන් මාලක දේවප්‍රිය ඇතුළු තරුණයන් බොහෝ දෙනෙකු සමඟ එකට වැඩකටයුතු කරලා තියෙනවා. මුල්ම චිත්‍රපටිවලදී විජේ කුමාරණතුංග වැනි තරුණයන් සමඟ වැඩකටයුතු කළ පතිරාජයන් පසුකාලීනව විවිධ අවස්ථාවලදී සෞම්‍ය ලියනගේ, බිමල් ජයකොඩි, තුසිත ලක්නාත් වැනි සමකාලීන තරුණයන් සමඟ එකට වැඩ කටයුතු කර ඇති බව පතිරාජයන්ගේ චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය එකතුව දෙස බැලීමේදී පෙනෙනවා.
‘‘පතී සර්ට යාපනය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලබාදෙන්න සූදානම් වෙලා තිබුණා. එහෙත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඔහු කියලා තිබුණා ආචාර්ය උපාධියක් ලබාගන්නවානම් එය ලබාගන්නේ ඔහු විසින්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරලා නිබන්ධනයක් කිරීමෙන් පස්සේ කියලා. ඒ විතරක් නෙවෙයි, මහාචාර්ය පදවිය වුණත් ඉක්මනින්ම ලබාගන්න හැකියාව සර්ට තිබුණා. මොකද ඒ සඳහා කළයුතුව තිබුණේ විශ්වවිද්‍යාලයට ඉල්ලුම්පත්‍රයක් දැමීම පමණයි. මම වරක් ඇහුවා ඉල්ලුම්පත්‍රයක් දාන්නේ නැත්තේ ඇයි කියලා. පතිරාජයන් කීවේ ‘මට ඒ වගේ ඉල්ලුම් කරන්න කම්මැලියි කියලා.’ ඒ විදියේ දැක්මක් ඔහුට තිබුණේ. කිසිම දෙයක් පසුපස හඹා ගියේ නැහැ.’’ මාලක වැඩිදුරටත් එසේ පවසනවා.
Cover – Shehan Gunasekara