ලලිත්ගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල දිවියේ මතක සටහන්

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ බිහිවුණු කීර්තිමත් දේශපාලඥයෙකු වන ලලිත් ඇතුලත්මුදලි කොළඹ රාජකීය විදුහලෙන් පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ අයෙක්. කුඩකල පටන්ම ඉගෙනීමට හපනෙකු වුණු ලලිත් පසුකලෙක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වුණා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයය තුළ ද කැපී පෙනෙන සිසුවෙකු ලෙසින් නමක් දිනාගත් ලලිත්, එහි ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වුණු පළමු ලාංකිකයා ලෙසින් ඉතිහාසගත වුණා.

ලලිත්ගේ ඔක්ස්ෆර්ඩ් ගමනට පාර කැපුණු හැටි 

1953 වසර වන විට ලලිත් සිසුවා පාසලේ ඉහළ පන්තිවල අධ්‍යාපනය ලබමින් සිටියා. එම කාල වකවානුව වන විට ඔහුගේ සිතෙහි ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැනි වාමාංශික නායකයන් කෙරෙහි මහත් කැමැත්තක් ඇතිව තිබුණා. නමුත් ලලිත්ගේ පියා වුණු ඩැනියල් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ නිරත වුණු නිසා ඔවුන්ගේ නිවසේ දක්ෂිණාංශික දේශපාලන වටපිටාවක් පැවතුණා. සිය පුත්‍රයා වාමාංශික අදහස්වලට නැඹුරු වනු ඇති බවට බියක් ඩැනියල් ඇතුලත්මුදලිගේ සිතට ඇතුල් වුණා.

1953 වසරේ අගෝස්තු මාසයේ දිනක වාමාංශික පක්ෂවල නායකයන් හර්තාලයක් ආරම්භ කළා. එම හර්තාලය ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පැවති අවස්ථාවක ලලිත් සිසුවා කොණ්ඩය කපාගැනීම සඳහා කොල්ලුපිටියේ ග්‍රේබියල් බාබර් සාප්පුව වෙත ගියා. කෙටි වේලාවක් ඇතුළත කොණ්ඩය කපාගත් ලලිත්  ආපසු ගෙදර එන්නට සැරසුණු විට විශාල ශබ්දයක් ඇසුණා. ඒ හර්තාලකරුවන් විසින් බෝම්බයක් පුපුරවා හැරීම නිසා ඇතිවුණු ශබ්දය යි. එම ශබ්දය ඇසීමත් සමගම බැටන් පොළු රැගත් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු එතනට පැමිණියා. ඔවුන් එහි සිටි සියළුදෙනාටම බැටන් පොළුවලින් පහරදෙන්නට පටන් ගත්තා. එම අවස්ථාවේ දී ලලිත්ගේ පිටට දරුණු පහරක් එල්ල වුණා.

නගරයේ ඇතිවුණු කලබලය අස්සේ ලලිත් සිසුවා ඉක්මනින්ම නිවසට පැමිණියා. ඉන් අනතුරුව ඇඳුම් මාරු කරමින් සිටි අවස්ථාවේ ඔහුගේ පියා එතනට පැමිණියා. එවිට ලලිත්ගේ පිටේ ඇතිව තිබුණු තුවාලය දුටු පියා කෝපයට පත්වුණා. ඒ වන විටත් නගරයේ ඇතිවුණු කලබලය පිළිබඳව ඔහුට තොරතුරු ලැබී තිබුණා. සිය පුත්‍රයාගේ තුවාලය ද එම කලබලය නිසා ඇතිවුණු එකක් බවට ඔහු අනුමාන කළා. එම නිසා ඒ පිළිබඳව ලලිත්ගෙන් විමසා බැලීමට ඩැනියල් ඇතුලත්මුදලි අමතක කළේ නැහැ. එවිට තමා කලබලයට සම්බන්ධ නොවුණු බව ලලිත් පුන පුනා පවසා සිටියත් ඔහුගේ පියා එය විශ්වාස කළේ නැහැ. එම සිදුවීමෙන් පසුව ඩැනියල් ඇතුලත්මුදලි සිය දරුවාගේ අනාගතය පිළිබඳව තීරණයක් ගත්තා. ඒ ඔහුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් කිරීමට යි. 

1953 හර්තාලයේ දසුනක් (WSWS)

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වෙයි 

1955 වසරේ ජූලි 30 වැනිදා ලලිත් සිසුවා ඔක්ස්ෆර්ඩ් බලා පිටත්වීම සඳහා කොළඹ වරායෙන් නැව් නැගුනා. ඔරාන්ටිස් නෞකාව රටවල් රැසක් පසුකර එංගලන්තයට පැමිණීමට දින 20ක් පමණ ගතවුණා. ලලිත් සවුත්හැම්ප්ටන් සිට ලන්ඩන් බලා බස් රථයෙන් ගමන් ගමන් කළා. ලන්ඩනයට ළඟාවීමෙන් පසුව ලලිත්ට හයිඩ් පාක් අසල පිහිටි ලාංකීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ මාසයක පමණ කාලයක් නවාතැන් ගැනීමට සිදුවුණා. එම ශිෂ්‍ය මධ්‍යස්ථානය භාරව කටයුතු කළේ පී. ද ඇස්. කුලරත්නගේ බිරිඳ වුණු හිල්ඩා කුලරත්න යි. ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ සිටි කෙටි කාලය තුළ ලන්ඩන් නගරය තුළ සැරිසැරූ ලලිත් සිසුවා එහි පරිසරයට හුරු වුණා. 1955 වසරේ ඔක්තෝබර් මාසය ලලිත්ගේ ජීවිතයේ සුවිශේෂී මාසයක් වුණා. ඒ ඔහු සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වීම නිසා යි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයය (ox.ac.uk)

විශ්වවිද්‍යාලයයේ වැඩ කටයුතු ආරම්භ වෙයි 

ඔක්තෝබර් මාසයේ මුල් සතියේ ආරම්භ වුණු පළමු වාරයේ අධ්‍යයන කටයුතු දෙසැම්බර් අවසන් සතිය දක්වා පැවැත්වුණා. එම කාලය තුළ ලලිත් ඔක්ස්ෆර්ඩ් පරිසරයට හැඩ ගැසුණා. සරසවියේ තිබුණු කාර්යබහුල දෛනික සැලැස්මට ද හැඩගැසීමට ඔහුට හැකිවුණා. එම කාල දෛනික කාල සටහනට අනුව උදෑසන 7.45-8.00 අතර කාලය තුළ උදෑසන ආහාරය ගැනීම අනිවාර්ය වුණා. ඉන් පසුව උදෑසන 9.00 සිට දහවල් 1.00 පමණ වන තුරු දේශන පැවැත්වුණා. දේශන අවසන් වීමෙන් පසුව දහවල් ආහාරය ගන්නා සිසුන්ට ක්‍රීඩා කිරීමට සහ විවේක ගැනීමට කාලයක් ලැබුණා. එම කාලය අවසන් වීමෙන් පසුව සවස් වරුවේ පැයක පමණ කාලයක් දේශන පැවැත්වුණා. ඉන් පසුව සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා නිබන්ධන පන්තිවලට සහභාගි වන සිසුන් රාත්‍රී 7.30ට පමණ ආහාර ගෙන සිය නේවාසිකාගාරයට යාම අනිවාර්ය වුණා. 

ඉහත සඳහන් කළ කාල සටහනට අනුව හොඳින් අධ්‍යයන කටයුතුවල නිරත වුණු ලලිත් සිසුවා 1956 වසරේ මාර්තු මාසයේ දී නීති ක්‍රම නම් පළමු පරීක්ෂණය සඳහා පෙනී සිටියා. එහි දී ඔහු රෝම නීතිය, අපරාධ නීතිය, ඉංග්‍රීසි අධිකරණ පද්ධතිය වැනි විෂයයයන් සඳහා පැවති ලිඛිත පරීක්ෂණ සඳහා සහභාගි වුණා. ලලිත් සිසුවා ඉතාමත් හොඳින් විභාගය සඳහා සූදානම් වුණු නිසා සෑම විෂයයකින්ම ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට සමත් වුණා. සිය මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබීම නිසා ඔහු මහත් උද්දාමයට පත්වුණා. එම නිසා ප්‍රතිඵල දන්වා සිය පියාට ලිපියක් ලිවීමට අමතක කළේ නැහැ. 

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් තනතුරට තේරී පත්වෙයි 

1956 වසරේ අප්‍රේල් මාසයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ කණිෂ්ඨ කාරක සභාවට තේරී පත්වුණු ලලිත් සිසුවා එහි වැඩ කටයුතු හොඳින් සිදුකළා. එම කාල සමයේ දී සොලොමන් බණ්ඩාරනායක ලංකාවේ අගමැති තනතුරට තේරී පත්වුණා. ඒ පිළිබඳව ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ සටහනක් පළ වී තිබුණා. එය දුටු ලලිත් අගමැති බණ්ඩාරනායකට සුභ පතා ලියුමක් යැව්වා. එම ලියුමට අගමැතිවරයාගෙන් පිළිතුරු ලිපියක් ලැබුණා. හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යන ලෙසත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක උදව්වක් කිරීමට ඔහු සූදානමින් සිටින බවත් එහි ලියා තිබුණා. සොලමන් බණ්ඩාරනායක අගමැති තනතුරට පත්වීමට පෙර සිටම ලලිත්ව හොඳින් දැනගෙන සිටියා. ඒ, ඩැනියල් ඇතුලත්මුදලි සහ සොලමන් බණ්ඩාරනායක අතර පැවති මිත්‍රත්වය නිසා යි.  

කණිෂ්ඨ කාරක සභාව තුළ කැපී පෙනෙන චරිතයක් වුණු ලලිත් කෙටි කලකින්ම බොහෝ දෙනෙකුගේ හිත දිනාගත්තා. එම නිසා ඔහු ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් තේරීම සඳහා පැවති ඡන්දයට තරග කිරීමට ඔහුට සිදුවුණා. ඒ ඔහුගේ මිතුරන් කළ බලවත් ඉල්ලීම නිසා යි. 1956 වසරේ නොවැම්බර් 26 වැනිදා ඡන්ද විමසීම පැවැත්වුණා. එහි දී කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් ලලිත් වැඩි ඡන්ද 8ක් ලබාගෙන ලේකම් තනතුරට තේරී පත්වුණා. එදිනම ඔහුගේ 20 වැනි උපන්දිනයත් යෙදී තිබීමත් අපූරු සිදුවීමක්.

 ලේකම් තනතුරට පත්වීමෙන් පසුව (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය) 

තවත් තනතුරු කිහිපයක රාජකාරි කරයි 

නව තනතුරට තේරී පත්වීමෙන් පසුව ලලිත් කළ මුල්ම කාර්යය වුණේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයය තුළ බෞද්ධ සංගමයක් ආරම්භ කිරීමට මූලිකත්වය ගැනීම යි. ඉන් පසුව බෞද්ධ සංගමය විසින් සිදුකළ ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, සහ ආරාධිත දේශන සඳහා බෞද්ධ මෙන්ම අබෞද්ධ පිරිස් ද මහත් උද්යෝගයෙන් සහභාගි වුණා. සිය අධ්‍යාපන කටයුතු අතරතුර බාහිර කටයුතුවලට ද සම්බන්ධ වීමට සිදුවුණු නිසා එකල ලලිත්ගේ දෛනික ජීවිතය කාර්යබහුල වුණා. ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය තුළ තිබුණු ප්‍රධාන තනතුරු අතුරින් සිව්වෙනියට උසස් තනතුර බවට පත්ව තිබුණේ ශිෂ්‍ය සංගමයේ ලේකම් තනතුර යි. 

එකල ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ නීතිරීතිවලට අනුව ලේකම් තනතුරේ සිට කෙළින්ම සභාපති තනතුර සඳහා තරග කිරීමට සඳහා විශේෂ අවසරයක් ලබා දී තිබුණා. එම නිසා සභාපති තනතුර සඳහා කෙළින්ම තරග කරන මෙන් බොහෝ දෙනෙකු ලලිත්ගෙන් ඉල්ලා සිටියා. නමුත් ලලිත් එයට කැමැත්ත පළ කළේ නැහැ. ඔහුගේ තීරණය වුණේ පිළිවෙලින් තෙවන සහ දෙවන තනතුරු වුණු භාණ්ඩාගාරික සහ පුස්තාකාලයාධිපති තනතුරු දරමින් ඉදිරියට යාම යි. 

ඒ අනුව 1957 වසරේ ජූනි මාසයේ දී පැවති ඡන්ද විමසීමේ දී ලලිත් භාණ්ඩාගාරික තනතුර සඳහා තරග කළා. එහි දී සෙසු තරගකරුවන් තිදෙනාගේ ඡන්දවල එකතුවටත් වඩා ඡන්ද ලබාගත් ලලිත් පහසුවෙන්ම එම තනතුරට තේරී පත්වුණා. ලලිත් එම තනතුරට තේරී පත්වන විට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය පවත්වාගෙන යමින් සිටි භෝජනාගාරය මසකට පවුම් 300ක පමණ පාඩුවක් ලබමින් සිටියා. ලලිත් නව තනතුරට පත්වුණු විගසම සොයා බැලුවේ ඒ පිළිබඳව යි. එහි දී ඔහුට දැනගන්නට ලැබුණේ භෝජනාගාරයේ ප්‍රධාන අරක්කැමියා එයට අවශ්‍ය බඩු භාණ්ඩ මිල දී ගන්නා බව යි. අරක්කැමියාගේ ක්‍රියා කලාපය පිළිබඳව ඇතිවුණු සැකය නිසා බඩු මිල දී ගැනීම සඳහා අළුතින් කාන්තාවක් පත්කිරීමට ලලිත් තීරණය කළා. එදා ඔහු ගත් නිවැරදි තීරණය නිසා භෝජනාගාරය මසකට පවුම් 600ක ලාභයක් ලබන තත්ත්වයකට පත්වුණා. එමඟින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයය තුළ ඔහු ජනප්‍රිය වුණා. ඉන් පසුව කෙටි කාලයක් පුස්තකාලයාධිපති තනතුර ද හෙබවූ ලලිත් එමඟින් තව තවත් අත්දැකීම් ලබාගත්තා.

භාණ්ඩාගාරික තනතුරට තේරී පත්වීමෙන් පසුව (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)

 

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ මුල්ම ලාංකීය සභාපතිවරයා 

1957 වසරේ නොවැම්බර් මාසය වන විට ලලිත් තරුණයා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර සඳහා තරග වැදීමට තීරණය කළා. ඔහු සමග සටනට පිවිසි අනිකුත් අපේක්ෂකයන් බවට පත්වුණේ ඩි මේලෝ නම් ඉන්දීය ජාතිකයා සහ ඩේවිඩ් ෂපිරෝ නම් ඉංග්‍රීසි ජාතිකයා යි. එදා මෙම මැතිවරණය පිළිබඳව මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණා. ලංකාවේ අගමැතිවරයා සහ  ලලිත්ගේ පියා ද මෙම ඡන්ද විමසීම පිළිබඳව අවධානයෙන් පසුවුණා. බණ්ඩාරනායක අගමැතිවරයා රොයිටර් පුවත් සේවයට දන්වා සිටියේ ඡන්ද විමසීමේ ප්‍රථිඵල ලද විගසම තමාට දන්වන ලෙස යි. ඩැනියල් ඇතුලත්මුදලි ද එංගලන්තයේ සේවය කළ සිය ඥාතිවරයෙකුට දන්වා සිටියේ ප්‍රථිඵල ලැබුණු විගසම තමාට දන්වන ලෙස යි. 

සිය 21 වන උපන්දිනය යෙදී තිබුණු දිනයේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 79ක් ලබාගත් ලලිත් තරුණයා ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වුණු මුල්ම ලාංකිකයා ලෙසින් ඉතිහාසගත වුණා. එදා ඔහුට මුලින්ම සුභ පැතුම් එක් කළ ලාංකිකයා බවට පත්වුණේ අගමැති බණ්ඩාරනායක යි. එසේම ලලිත්ගේ පියා ද ඉතාමත් හැඟීම්බර සුභ පැතුමක් එවා තිබුණා. එහි මෙසේ සඳහන්ව තිබුණා. 

“පෙම්බර පුතණුවෙනි! මා කළ සෑම පරිත්‍යාගයකම ප්‍රතිඵල දැන් ලැබී තිබෙනවා. ඉතින් දැන් මට හිතේ සතුටින් මිය යන්නට වුණත් පුළුවන්”. 

සභාපතිවරයා ලෙස කතාවක් කරමින් (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)

නව තනතුරට පත්වුණු ලලිත් සභාපතිවරයා ඔහුට උදව් කළ බණ්ඩාරනායක අගමැතිවරයාට කළ ගුණ සැලකීමට අමතක කළේ නැහැ. සෑම විටම අගමැතිවරයා ඔහුව දිරිමත් කරමින් ලබාදුන් සහාය නිසා එතුමාගේ චිත්‍රයක් ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගම් ශාලාව තුළ නිර්මාණය කිරීමට කටයුතු කළා. 1958 වසරේ මාර්තු මාසය වන තුරු සිය තනතුරේ වැඩ කටයුතු කළ ලලිත් සමුගැනීමේ විවාදය පැවැත්වීම සඳහා සූදානම් වුණා. එය නැරඹීම සඳහා ඔහුගේ මව සහ පියා එංගලන්තයට පැමිණියා. එදා ලලිත් ඉංග්‍රීසි ජාතිකයන් ගෞරව දැක්වූ ආකාරය දැකීමෙන් ඩැනියල් ඇතුලත්මුදලිගේ සිතෙහි සිය පුත්‍රයා පිළිබඳව මහත් අභිමානයක් ඇති වුණා. සිය පුත්‍රයා සමග දින කිහිපයක් ගතකළ ඩැනියල් ඇතුලත්මුදලි සහ ඔහුගේ බිරිඳ ආපසු ලංකාවට පැමිණියා.

ඔක්ස්ෆර්ඩ්වලට පැමිණි මව සහ පියා (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)

එලෙස ලංකාවට පැමිණි ගමන අතරතුර නේපල්ස් වරාය සේවකයන්ගේ වැඩ වර්ජනයක් පැවති නිසා ඔවුන් දෙපළ අපහසුතාවයකට පත්වුණා. එහි දී විශාල ගමන් මළු ඔසවාගෙන යාම නිසා ඩැනියල් ඇතුලත්මුදලි අසනීප වුණා. සිය මව්බිමට පැමිණීමෙන් පසුව ද දිගින් දිගටම අසනීපය පැවතුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ හෘදයාබාධයක් නිසා ඩැනියල් ඇතුලත්මුදලි අභාවයට පත්වීම යි. 1958 වසරේ නොවැම්බර් 10 වැනිදා සිදුවුණු එම අභාවයත් සමගම ලලිත් ලංකාවට පැමිණියා. සොලමන් බණ්ඩාරනායක සිය මිතුරාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා. එම අවස්ථාවේ දී අගමැතිවරයාව දුටු විට ලලිත්ගේ නෙත් කඳුලින් තෙත් වුණා. එවිට ලලිත් දෙසට හැරුණු අගමැති බණ්ඩාරනායක කාරුණික හඬින් මෙසේ පවසා සිටියා.

“ලලිත්! ඔබගේ පියාගේ හදිසි මරණය පිළිබඳව මට ගොඩක් කණගාටු යි. පියාගේ මරණය නිසා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්න එපා. මම ලංකාවේ අගමැතිවරයා වශයෙන් සිටින තාක් කල් ඔබගේ අනාගතය පිළිබඳව බයවෙන්න එපා. ඔබට උදව් අවශ්‍ය ඕනෑම මොහොතක පැමිණ මාව හමුවන්න.” 

පියාගේ මරණයෙන් පසුව ලලිත්ගේ පවුල ආර්ථික අපහසුකම්වලට මුහුණ දුන්නා. එම නිසා ඔහුට  අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අපහසු වාතාවරණයක් උදා වුණා. එවිට ඔහුගේ සිහියට නැගුණේ අගමැතිවරයා පැවසූ වදන් පෙළ යි. එදා ලලිත් තරුණයා අගමැති බණ්ඩාරනායක හමුවීමට ගියේ ඔහුගෙන් යම් උදව්වක් ලබාගැනීමේ පරමාර්ථය ඇතිව යි. 

අගමැතිවරයාගේ පිහිටෙන් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කරයි 

බණ්ඩාරනායක අගමැතිතුමාව හමු වුණු ලලිත් ඔක්ස්ෆර්ඩ්හි රෝඩ්ස් ශිෂ්‍යත්වයට ඉල්ලුම් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා. එයට ප්‍රතිචාර දක්වමින් බණ්ඩාරනායක අගමැතිවරයා පවසා සිටියේ පහත දැක්වෙන වදන් පෙළ යි.

රෝඩ්ස් ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළොත් ඔබට එය හිමිවනවා සිකුරු යි. එවිට ලංකාවේ පළමු රෝඩ්ස් ශිෂ්‍යත්වලාභියා සහ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ පළමු ලාංකික සභාපතිවරයා වන්නේ ඔබ යි. නමුත් අපි රෝඩ්ස් ශිෂ්‍යත්වය ලබාගන්න වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මන් ඔබට විශේෂ ශිෂ්‍යත්වයක් සකස් කර දෙන්නම්.

බණ්ඩාරනායක අගමැතිවරයා ලලිත්ට ලබාදුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා මූලික පියවර ක්‍රියාත්මක කළේ 1959 වසරේ පෙබරවාරි 24 වැනිදා යි. එවකට අධ්‍යාපන ඇමතිවරයා ලෙසින් කටයුතු කළ විජයානන්ද දහනායක විසින් ලලිත්ගේ දෙවසරක අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 5000ක මුදලක් වෙන් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා. එම යෝජනාව වෙනුවෙන් විවාදය පැවතුණු අවස්ථාවේ සමසමාජ පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යෝජනාවට විරුද්ධ වන විට කොමියුනිස්ට් පක්ෂය නිහඬව සිටියා. නමුත් එවකට ආණ්ඩු පක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සහ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව සිටි නිසා යෝජනාව සම්මත වුණේ වැඩි ඡන්ද 20කින්. 

ලලිත් ඇතුලත්මුදලිට රජයෙන් ලැබුණු ශිෂ්‍යත්වය නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කිරීමට අවස්ථාව ලැබුණා. එම නිසා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ බිහිවුණු කීර්තිමත් පුද්ගලයන් අතරට ලලිත්ගේ නමත් එකතු වුණා.

කවරයේ ඡායාරූපය- උපාධිය ලබාගැනීමෙන් පසුව (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)

මූලාශ්‍රයයන්- ලලිත් ඇතුලත්මුදලි නොනිමි මෙහෙවර 

Related Articles

Exit mobile version