අද පොඩි දරුවන් පවා පාසලේ පාඩම් ඉගෙනගන්නේ අන්තර්ජාලය හරහා යි. එනමුත් මේ දක්වා අපි පැමිණි තොරතුරු තාක්ෂණ ගමන්මඟේ මුල් පුරෝගාමියා ගැන නම් ඒ කවුරුත් දන්නෙ නැහැ. ඒ පුද්ගලයා මහාචාර්ය වී. කේ. සමරනායක යි. අවම පහසුකම් යටතේ ලංකාවට පරිගණක තාක්ෂණය හුරුකළේ ඔහු යි. හුඟ දෙනෙකුට ඇණයක් වන ගණිතයෙන් කප්ගහපු මහාචාර්ය සමරනායකගේ නම අදටත් කොළඹ විශ්වවිද්‍යාලයයේ දී නිතරම කියවෙනවා.
දිවි තොරතුරු
වර්ෂ 1939 මැයි 22 දා උපන් වනිගආරච්චිගේ කිත්සිරි සමරනායක තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමට ඇතුළත් කළේ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයයට යි. ඔහුගේ පියා එම විදුහලේ විදුහල්පති ලෙස ද මව ගුරුවරියක් ලෙස ද කටයුතු කළා. සමරනායක සිසුවා පදිංචි වෙලා හිටියෙත් පාසලේම යි. ඒ, විදුහල්පති ගුරු නිවාසයේ. පසුව ඔහු 1948 දී කොළඹ ආනන්ද විද්‍යාලයයට ඇතුළත් කළා. ආනන්දයේ දක්ෂ සිසුවකු වූ ඔහු පසුව කොළඹ රාජකීය විද්‍යාලයයට ඇතුළත් කිරීමට දෙමාපියන් තීරණය කරනවා. එම විද්‍යාලය පැවැත්වූ ඇතුළත්වීමේ විභාගයෙන් සමත් ඔහු රාජකීය විදුහලේ සිසුවෙක් වෙනවා. ඒ 1950 අවුරුද්දේ. සමරනායක තම සිසු දිවිය පුරාම පදිංචි වී සිටියේ දෙමාපියන් සිටි විදුහල්පති නිවාසයේ යි.
ඔහු උසස් පෙළ විභාගයට තෝරාගත්තේ ගණිත විෂයයන්. ඔහු ගණන්වලට දැක්වූයේ පුදුම දස්කමක්. මේ නිසා විශිෂ්ට ලෙස උසස් පෙළ විභාගය සමත්වන සමරනායක 1956 දී කොළඹ විශ්වවිද්‍යාලයයට ඇතුළත් වෙනවා. ඔහු එහිදී කෙතරම් දක්ෂකම් දැක්වූවා ද කිවහොත් පළමු පන්ති ගෞරව සාමාර්ථයකින් ගණිත අංශයෙන් උපාධිය සමත් වෙනවා. ඒ වර්ෂ 1961 දී යි. ඒ අවුරුද්දෙ දීම ඔහු ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාලයට බඳවා ගන්නවා. පසුව 1963 දී රජයේ ශිෂ්‍යත්වයකට ඉල්ලුම් කළ ඔහු ඉන් සමත් වී, ගණිතය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා එංගලන්තයට යනවා. එහිදී ඉම්පීරියල් විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගන්නා ඔහු එහි විශ්වවිද්‍යාල කොලිජියෙන් භෞතික විද්‍යාව පිළිබඳ ගණිත අංශයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගන්නවා.
පශ්චාත් උපාධි අධ්‍යාපනය නිමකර සමරනායක නැවත මව්බිමට පැමිණෙන්කේ 1966 දී යි. ඔහු යළිත් කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයට එක් වෙනවා. ඔහුගේ සරල ඉගැන්වීමේ විලාසය නිසා සිසුන් අතර මේ ගුරුවරයා ජනප්‍රිය වෙනවා. කථිකාචාර්ය සමරනායකගේ නිහතමානී මිනිසත්කම පිරි ගුණයත් කවුරුත් ඔහු ප්‍රිය කිරීමට තවත් හේතුවක් වුණා.
ගණිතයෙන්ම වෘත්තීය ජිවිතය අරඹයි
වර්ෂ 1974 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට සමරනායක පත් කෙරෙනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 35ක් පමණ යි. වර්ෂ 1961 දී තම ප්‍රථම උපාධිය ලබා ගැනීමත් සමගම ඇරඹි වසර 43ක අඛණ්ඩ විශ්වවිද්‍යාල සේවයෙන් වර්ෂ 2004 සැප්තැම්බර් මස 30වැනි දා විශ්‍රාම ගිය අතර, ඒ වන විටත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරය හෙබවුවා. පසුව කොළඹ විශ්වවිද්‍යාලය විසින් පිරිනැමූ පරිගණක විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය ධුරයෙන් ද ඔහු පිදුම් ලැබුවා.
ගණිතඥයකු හා ශාස්ත්‍රඥයකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූ මහාචාර්ය සමරනායක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාර්යක්ෂම කිරීමට ඇප කැප වී කටයුතු කළ විද්වතෙක්. එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍ර පුරා විහිදෙන ඔහුගේ සේවය අතර සංඛ්‍යාන අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යාපනය, සේවක අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ යන විෂය ක්ෂේත්‍රවල පුරෝගාමී දායකත්වයක් ලැබෙනවා. කොම්පියුටර භාවිතයට පැමිණීමත් සමගම විශ්වවිද්‍යාලවලට, පාසල්වලට සහ අනෙකුත් පුහුණු කිරීමේ ආයතනවලට මහ පරිමාණයෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට ඔහු තම විශේෂඥ දැනුම යෙදෙව්වා. පරිගණක ගැන ජනතාව දැනුවත් කිරීමට පුවත්පත් හරහාත් තම දැනුම බෙදාදුන්නා. “මූලික තාරකා විද්‍යාව” නම් පොතක් ද ඔහු පාසල් සිසුන් වෙනුවෙන් ලියා තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය එස්. ටී. නන්දසාර තම ගුරුවරයා ගැන මෙසේ සඳහන් කර සිටිනවා:
අපි 1975 පළමු වසරෙ විශ්වවිද්‍යාලයයේ ඉගනෙ ගන්න කාලෙ තමයි එතුමාව දැනගත්තේ. ඒ කාලෙ ශිෂ්‍ය නිලවරණයේ දී ඇතිවුණු ගැටුම් නිසා එක් ශිෂ්‍යයෙක්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න තීරණය වුණා. ඒ සභාවෙ සභාපති වුණේ මහාචාර්ය සමරනායක. නමුත් එතුමා කළේ සති දෙකකට ශිෂ්‍යභාවය අහෝසි කිරීම පමණ යි. එයත් නිවාඩු දිනවල ගෙවී යන ලෙස ලබාදෙන්න නිර්දේශ කරලා තිබුණා. අවසානයේ ඒ ශිෂ්‍යයා අවුරුද්දේ වැඩිම ලකුණු ගත් කෙනා වුණා. මහාචාර්ය තුමා යමක් හිතුවොත් කරලම තමයි පස්ස බලන්නේ. 1982 ජනාධිපතිවරණය සම්පූර්ණයෙන් පරිගණකගත කරලා ඒක රූපවාහිනියෙන් විකාශය කිරීමට එතුමාට අවශ්‍ය වුණා. ඒ කාලෙ අපට තිබුණේ කුඩා පරිගණයක් පමණ යි. ඒකෙ ධාරිතාවය කිලෝබයිට් 32යි. මැතිවරණ කොමසාරිස් පවා ඒ වැඩේ කළ නොහැකි බව කියමින් විරුද්ධ වුණා. නමුත් එතුමා ඒක කළා. හැමෝම පුදුම වුණා. මම හිතන්නේ ඒක තමයි ලෝකයේම පරිගණක ආශ්‍රයෙන් මැතිවරණ ප්‍රතිඵල විකාශය කළ මුල්ම අවස්ථාව.
(Partner In Progress. Pro. V. K. Samaranayake felicitation Volume)
විද්‍යාව ප්‍රචලිත කිරීමට කැපවෙයි
ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ ස්වර්ණ ජයන්ති වර්ෂයේ දී, එනම් 1994 වර්ෂයේ දී, එහි ප්‍රධාන සභාපතිධුරයට පත් කෙරුණේ මහාචාර්ය සමරනායක යි. 1990-2000 කාලපරිච්ජේදයේ දී ජාතික විද්‍යා ඇකඩමියේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළා. 2004 මැයි මස දක්වාම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේත් (UCSC) සහ ඊට පෙර පැවති පරිගණක තාක්ෂණ ආයතනයේත් (ICT) සමාරම්භක අධ්‍යක්ෂ වූයේ ද මහාචාර්ය සමරනායක යි.
කොළඹ සරසවියට පරිගණක
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය පිහිටුවීමට මුල්වුණේ මහාචාර්ය සමරනායක යි. එහි මුලින්ම පිහිටවුයේ පරිගණක තාක්ෂණ ආයතනය යි. ඒ සඳහා බ්‍රිතාන්‍ය ආධාර ලබාගත්තා. මුලින්ම එය ආරම්භ වුණේ මයික්‍රො කොම්පියුටර විද්‍යාගාරයක් ලෙස යි. ශ්‍රී ලංකා රජයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ අනෙකුත් දායකයන්ගේ ආධාර ඒකාබද්ධ කරමින් එය වැඩිදියුණු කළා. එය ශ්‍රී ලංකාවේ පරිගණක අධ්‍යාපනයේ පුරෝගාමි කේන්ද්‍රස්ථානය බවට එතැන පත් වුණා. අද එය විශ්වවිද්‍යාලයට අයත් පරිගණක පාසලක් (School of Computing) ලෙස වැඩිදියුණු වෙලා.
පරිගණකයට සිංහල
ඒ කාලෙ පරිගණකවලට විධාන දුන්නේ ඉංග්‍රීසියෙන් විතරයි. සිංහල මෙහෙයුම් පද්ධති පරිගණකවලට දැමීම සිහිනයක් පමණක් වුණා. නමුත් මහාචාර්ය සමරනායක ඒ සිහිනය ජයගත්තා. ඒ ගැන සඳහන් කරන මහාචාර්ය නන්දසාර:
මහාචාර්ය සමරනායක මහත්තයට අවශ්‍ය වුණා පරිගණකයට සිංහල යොදන්න. ඒක සාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ITN රූපවාහිනි වැඩසටහන්වල සිංහලෙන් සකස් කිරීමට හැකි වුණා. ඒ කාලෙ තායි භාෂාව IBM පරිගණකවලට මෙහෙයුම් පද්ධතියක් විදිහට ඇතුළත් කරලා තිබුණේ. මාව තායිලන්තයට යැව්වා ඒ ගැන අධ්‍යයනය කර සිංහල මෙහෙයුම් පද්ධතියක් IBM පරිගණකවලට යොදන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒ අනුව අපට සිංහල මෙහෙයුම් පද්ධතිය යොදා වින්ඩෝස් සැකසුම් පද්ධතිය හසුරුවන්න පුළුවන් වුණා. ඊට පසු මයික්‍රා සොෆ්ට් ආයතනය සමගත් සාකච්ඡා කළා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සිංහල යොදාගැනීම සම්බන්ධව.
(Partner In Progress. Pro. V. K. Samaranayake felicitation Volume).
ලැබුණු සම්මාන
වර්ෂ 1995 දී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපතිගේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන සම්මානය මහාචාර්ය සමරනායකට හිමිවුණා. 1997 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය ඔහුට උපහාර පුද කළේ පරිගණක විද්‍යාවේ සංවර්ධනයට කළ සම්ප්‍රදානය සඳහා “විශ්ව ප්‍රසාදිනී” සම්මානය පිරිනැමීමෙන්. 1998 වර්ෂයේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කරනු ලැබූ දායකත්වය අගය කිරීමට සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග “විද්‍යාජෝති” නමැති රාජ්‍ය සම්මානයෙන් ද ඔහු පුදනු ලැබුවා.
තොරතුරු තාක්ෂණණවේද සභාව
එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළම රජයේ ආයතනය වුණේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) යි. ආරම්භයේ සිටම එහි කටයුතු කළ මහාචාර්ය සමරනායක එම ආයතනයේ සභාපතිවරයා ලෙස වසර 12ක් සේවය කළා. තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිමය යටිතලපහසුකම් සැකසීම, රාජ්‍ය පාලනයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම, ඊ-වාණිජ්‍යය, පරිගණක ආරක්ෂාව, අන්තර්ජාල තාක්ෂණය, පරිගණක පිළිබඳ දැනුවත් කිරීම් හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වැනි අංශ ඔහුගේ පුරෝගාමිත්වයෙන් බිහිවුණා. ඔහු මෑතක දී ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් බහුකාර්ය ටෙලි-මධ්‍යස්ථාන (“නැණසල”) බිහි කිරීමේ වෑයමක නිරත වුණා. එය මේ වන විටත් බහුතරයක් ග්‍රාමීය ජනතාවට විශාල සේවයක් සලසනවා. ඔහු සිටියා නම් අද ඔන්ලයින් ඉගෙන ගන්නා පිටිසර ගම්වල සිසුනට සිග්නල් සොයා වතුර ටැංකි, ගල්පර්වත උඩ නැගීමට සිදු නොවෙන්නත් ඉඩ තිබුණා.
වසර 2000 නව සහස්‍ර වර්ෂය ආරම්භයේ දී අතිවීමට ගිය පරිගණක ව්‍යසනයට සාර්ථකව මුහුණ දී එය ජය ගැනීමට ඔහුගේ සභාපතිත්වයෙන් කටයුතු කළ Y2K විශේෂ කාර්ය බලකායට හැකියාව ලැබුණා. 1998 සිට 2000 දක්වා එම බලකායේ ඔහු කටයුතු කළා. www.lk ජාතික අන්තර්ජාල බිහිදොරේ නිර්මාතෘවරයා වුණේත් මහාචාර්ය සමරනායක යි. කොළඹ විශ්වවිද්‍යාලය මඟින් ඇරඹුණු තොරතුරු තාක්ෂණවේදී බාහිර උපාධි පාඨමාලාව ද ඔහුගේ සංකල්පයක්. විශ්වවිද්‍යාල වරම් නොලැබූ සිසුන් අතර එය ඉතා ජනප්‍රිය වුණා. ආරම්භයේ දීම එම පාඨමාලාවට සිසුන් 5000ක් පමණ ලියාපදිංචි වුණා.
විදෙස් තනතුරු
ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු හෙබවූ මහාචාර්ය වී. කේ. සමරනායකට පිටරට විශ්වවිද්‍යාලවලින් ද විවිධ තනතුරු ප්‍රදානය කළා. වර්ෂ 2002 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර තොරතුරු යටිත ලපහසුකම් පිළිබඳ ව්‍යාපෘතියේ ආගන්තුක විද්‍යාර්ථියකු ලෙස ඔහු කටයුතු කළා. 2003 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ රාජ්‍ය පාලනය පිළිබඳ කෙනඩි අධ්‍යයනායතයේ ඩිජිටල් රාජ්‍ය පාලනය සඳහා වූ ජාතික කේන්ද්‍රයෙහි ආගන්තුක විද්‍යාර්ථියකු ලෙසත් කටයුතු කළා. ස්ටැන්‍ෆර්ඩ් සරසවියේ ඩිජිටල‍් දර්ශන වැඩසටහනේ ආගන්තුක විද්‍යාර්ථියකු ලෙස 2004-2005 අවුරුදුවල දී කටයුතු කර තිබෙනවා.
මෙම අද්වීතීය විද්වතා 2007 ජූනි 6 දා ජීවිතයෙන් සමුගන්නා විට වයස අවුරුදු 68 යි. ස්වීඩනයේ ස්ටොක්හොම් නගරයේ, ස්වීඩන රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිය දී යි ඔහු හදිසියේ මියගියේ. ඔහුගේ දේහය ලංකාවට රැගෙනවිත් කොළඹ විශ්වවිද්‍යාලයයේ වී. කේ. සමරනායක ශ්‍රවණාගාරයේ තැන්පත් කර තිබී පසුව බොරැල්ල කනත්තේ දී 13 දා අවසන් කටයුතු කළා.