“…මල්සරා බැල්ම හෙළා- මගේ හිතට කොඳුරනවා..
රන්මලී දැක්ක ගමන්- මල්වාරම් කියැවෙනවා…”
ප්‍රවීන කලා ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ මියුරු හඬින් අපට ඇසෙන මෙම ගීතයේ කියැවෙන මල්සරා තරම් ප්‍රේමය හා බැඳුණු වෙනත් අයකු නොමැති තරම් ය. උක් දඬුවලින් තැනූ දුන්නකින් මල් හීසර විදින මල්සරා නව යෞවන යෞවනියන් ප්‍රේමයෙන් එකට බඳන බව බොහෝ දෙනකු ගේ විශ්වාසය යි. එහි සත්‍යාසත්‍ය බව කෙසේ වෙතත් මල්සරා පිළිබඳ ව වන විශ්වාසය මීට වසර දහස් ගණනකට පෙර පටන් පැවැත එන්නකි.
මල්සරා පිළිබඳ ව වන විශ්වාසය එක රටක හෝ දෙකක පමණක් තිබෙන එකක් නොව එය දීර්ඝ කාලයක් තිස්සේ රටවල් ගණනාවක ජනතාව විශ්වාස කරන දේව සංකල්පයකි. විශේෂයෙන්ම ග්‍රීක සහ රෝම සාහිත්‍යයේ මල්සරාට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. විවිධ රටවල් සහ සංස්කෘතීන් තුළ එකිනෙකට වෙනස් ආකාරයෙන් නිරූපණය වන මල්සරා පිළිබඳ විශ්වාසයේ ආරම්භය සහ අනිකුත් තොරතුරු මෙම ලිපියෙන් සොයා බලමු.
බටහිර සාහිත්‍යයේ සඳහන් කරුණු
බටහිර සාහිත්‍යයේ සඳහන් වන්නේ මල්සරා ප්‍රේමයට අධිපති වීනස් දෙවඟනගේ සහ යුද්ධයට අධිපති අඟහරු ගේ පුත්‍රයා බව යි. ඔහු ආශාවට, රාගික ප්‍රේමයට, ආකර්ෂණයට සහ සෙනෙහසට අධිපති දෙවියන් ලෙස සැලැකේ. ග්‍රීක සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට මල්සරා, එනම් ‘ඊරෝස්’ යනු අලිංගිකව මෙලොවට බිහි වූ මුල් ම දෙවිවරුන් කිහිප දෙනාගෙන් එක් අයෙකි.
ඊට පසු දෙවිවරුන් ස්ත්‍රී සහ පුරුෂ යනුවෙන් බෙදුණු බව කියැවේ. ග්‍රීක සාහිත්‍යයේ ‘ඊරෝස්’ ලෙස හැඳින්වන මල්සරා නිරූපණය කර ඇත්තේ සිහින් පියාපත් යුගළකින් යුතු තරුණයකු ලෙස ය. කෙසේ නමුත් පසුකාලීන ව ඔහු බොහෝ විට නිරූපණය කර ඇත්තේ තරබාරු පිරිමි දරුවකු ලෙසිනි. කාලයත් සමග මල්සරා නිරූපණය කිරීමේ දී ඔහු දුන්නක් සහ ඊතල දෙකක් ද අතැති ව සිටින අයුරු දැක්වීම ආරම්භ විය.
මල්සරා අතැති ඊතල
මල්සරා නව යොවුන් තරුණ තරුණියන් ප්‍රේමයෙන් බැඳීම සඳහා ඊතල වර්ග දෙකක් භාවිතා කරන බව බටහිර සාහිත්‍යයේ කියැවේ. එහි සඳහන් වන්නේ ඔහු සතුව තියුණු ඊ හිසක් සහිත රන්මුවා (රනින් කරන ලද) ඊතලයක් සහ මොට වූ ඊ හිසක් ඊයම්වලින් තැනූ ඊතලයක් තිබෙන බව ය. රන්මුවා ඊතල පහරට ලක්වන අය තුළ පාලනය කරගත නොහැකි තරම් රාගික ආසා සහ ප්‍රේමයක් ඇති වන බව සඳහන් වේ.
කෙසේ වෙතත් මොට හිසක් සහිත අනික් ඊතල පහරට ලක්වන තැනැත්තා නිරතුරුව ම ප්‍රේමයෙන් පලා යාමට තැත් කරයි. මල්සරා ඊතල භාවිත කරන අයුරු ලතින් කවියකු වූ ‘ඕවිඩ්’ රචිත කෘතියක ද සඳහන් වේ.
මල්සරා සහ මී මැස්සන්
බටහිර සාහිත්‍යයේ එන කතන්දරයක සඳහන් වන්නේ එක්තරා අවස්ථාවක මී වදයකින් මී පැණි සොරකම් කළ කුඩා වියේ සිටි මල්සරාට මී මැස්සන් සමූහයක් දෂ්ට කළ බවයි. එම දෂ්ට කිරීම නිසා ඔහුට තුවාල සිදු වී ශරීරය ඉදිමීම නිසා ඉමහත් වේදනාවට ලක් වූ බවත් සඳහන් වේ.
එම කතන්දරයට අනුව මී මැස්සන් දෂ්ට කිරීමෙන් පසුව සිය මව වන වීනස් දෙවඟන වෙත දිව යන මල්සරා පවසන්නේ මී මැස්සා වැනි කුඩා ජීවියෙකු එතරම් දරුණු වේදනාවක් ඇති කල හැකි සත්ත්වයෙකු නොවිය යුතු බව යි. එසේ වීමට හේතුව කුමක්දැයි ඔහු සිය මව් දෙවඟනගෙන් විමසා සිටී. කෙසේ වෙතත් සිය පුත්‍රයා ඇසූ ප්‍රශ්නයට සිනහමුසු මුහුණින් යුතු ව පිළිතුරු දෙන වීනස් දෙවඟන පවසන්නේ යම්කිසි අයකු ඉතා කුඩා වුවත් ඔවුන් ආදරය සහ වේදනාව යන හැඟීම් පතුරුවන බව ය.
මල්සරා සහ ඩොල්ෆින් මත්ස්‍යයන්
ඉපැරැණි සහ පසුකාලීන සාහිත්‍යයේ මෙන් ම කලා නිර්මාණවල ද මල්සරා ඩොල්ෆින් මත්ස්‍යයකු මත නැගී ගමන් කරන අයුරු දැක්වෙයි. මිනිසා ගේ මිතුරු සත්ත්වයකු වන ඩොල්ෆින් මත්ස්‍යයා විනෝදයට බර සතකු බැවින් මල්සරා ද විනෝදයෙන් කාලය ගත කළ බව ඇඟවීමට ඔහු ඩොල්ෆින් මත්ස්‍යයා මත නැගී ගමන් ගන්නා අයුරු දක්වා ඇතැයි ඇතැම්හු විශ්වාස කරති.
ප්‍රේමය යන හැඟීම, ඩොල්ෆින් මත්ස්‍යයකු පිහිනා යන තරම් වේගයෙන් එකිනෙකා අතර හුවමාරු වන බව නිරූපණය කිරීමේ අරමුණින් මල්සරා ඩොල්ෆින් මසුන් මත නැගී යන අයුරු දක්වා තිබෙන බව ද ඇතැම් අය පවසති. අතීතයේ මෙන් ම වර්තමානයේ දී ද මල්සරා ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමේ දී ඒ අසලට වන්නට ඩොල්ෆින් මසුන් ගේ ප්‍රතිමා ද නිර්මාණය කිරීම දැකිය හැකි ය.
පෙරදිග සාහිත්‍යයේ එන මල්සරා
බටහිර සාහිත්‍යයට අනුව මෙන් ම පෙරදිග සාහිත්‍යයට අනුව ද මල්සරා යනු දෙවියෙකි. කාමයට අධිපති දෙවියන් ලෙස සැලකෙන මල්සරා ගේ කාර්යය වන්නේ ස්ත්‍රීන් සහ පුරුෂයන් ප්‍රේමයෙන් බැඳීම බව පෙරදිග සාහිත්‍යයේ සඳහන් වේ.
බටහිර සාහිත්‍යයේ මල්සරා අත දරන දුන්න කුමන අමුද්‍රව්‍යයක් භාවිත කර සාදන ලද්දක් ද යන්න පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැති වුව ද පෙරදිග සාහිත්‍යයේ සඳහන් වන්නේ එය උක්දඬු (උක්ගස්) යොදා ගෙන සාදා ඇති බව ය. එම දුන්නේ ඇති දුනුදිය, ඊතලය විදීම සඳහා භාවිත කරන කොටස නිර්මාණය වී ඇත්තේ මී මැස්සන් සමුහයකිනි.
බටහිර සාහිත්‍යයේ සඳහන් වන්නේ මල්සරා තියුණු සහ මොට වූ තුඩවල් දෙකක් ඇති ඊතල දෙකකින් විදින බව වන නමුත් පෙරදිග සාහිත්‍යයේ සඳහන් වන්නේ ඊට වෙනස් කරුණකි. එනම්, මල්සරා තමන් අත තිබෙන දුන්නෙන් මල් හීසර (මල් අමුණන ලද ඊතල) විදින බව යි. ඒ සඳහා ඔහු මල් වර්ග පහක් යොදාගන්නා බව කියැවේ. එම මල් වර්ග පහ වනුයේ නෙලුම්, හෝපලු, අඹ, නිලුපුල් සහ දෑ සමන් ය. ඒ මල් වර්ග අමුණන ලද ඊතල හැඳින්වීම සඳහා ‘උන්මාදන’, ‘තාපන’, ‘ශෝභන’, ‘ස්ථම්භන’ සහ ‘සම්මෝහණ’ යනුවෙන් නම් පහක් වේ.
සිය දුන්නෙන් විදින ඊතලවලට මල්සරා මල් වර්ග පහක් අමුණා තිබීම පිළිබඳ ව පුරාණ සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වන්නේ මෙලෙසිනි:
“අරවින්දමශෙකඤ්ච චුතඤ්ච නව මල්ලිකා නීලෝත්පලඤ්ච,”
පෙරදිග සාහිත්‍යයේ මල්සරා
මල්සරා හැඳින්වීම සඳහා බටහිර සාහිත්‍යයේ මෙන් ම පෙරදිග සාහිත්‍යයේ ද නම් රැසක් භාවිත වේ. උක් දණ්ඩෙන් කළ දුන්නක් අත දරා සිටින බැවින් ‘උඟුසැව්’ නමින් ද, ධජයෙහි මත්ස්‍ය රුවක් ඇති හෙයින් ‘මින්දද’ නමින් ද, මල් මකරන්ද ඇති හෙයින් ‘මුවරද’ නමින් ද, ගිරවා රථය ලෙස භාවිත කරන හෙයින් ‘රියහිමි’ නමින් ද, සිතිවිලි තුළ උපදින හෙයින් ‘මන්යොන්’ නමින් ද, සිත් මත් කරන හෙයින් ‘මදනයා’ නමින් ද, මල් අමුණන ලද ඊතල අතැති ව සිටින හෙයින් ‘මලවි’, ‘මල්සරා’ සහ කුසුම්සරා යන නම්වලින් ද, ශෘංගාරයට අධිපති වන හෙයින් සිරිඟරයොත් නමින් ද මල්සරා හඳුන්වයි.
ඊට අමතරව ‘උනඟ’, ‘නඟ’, ‘නරඟ’, ‘මකදෙවජ’, ‘මනෝභාව’, ‘මද’, ‘මන්මථය’, ‘මල්හී’, ‘වසම්සර’, ‘කාමිය’, ‘ආසිරිරූය’, ‘ස්මර’, ‘සමරය’, ‘මරාය’, ‘පියුම්තෙනෙ’, ‘නාරයණතෙනෙ’, ‘අනුහිරු’, ‘තුනුයොන්’, ‘මලඟ’, ‘කුසුම්දුනු’, ‘තුනුඅඟ’ සහ ‘ලියුසැව්’ යන නම් ද මල්සරා හැඳින්වීම සඳහා භාවිත වේ. මේ ආකාරයෙන් මල්සරා හඳුන්වන නම් රාශියක් තිබුණත් ලාංකික ජනවහරේ ඔහු හැඳින්වෙන්නේ ‘අනංගයා’ යනුවෙනි.
පැරණි සාහිත්‍යයේ මල්සරා හැඳින්වීම සඳහා යොදා ගන්නා නම් කවියෙන් දක්වා ඇත්තේ මේ අයුරිනි:
“සමර පන්සැර ද තුනුහිරු මද අනඟ
රිය හිමි මුවරද ද මනයොන් මරු මලඟ
කුසුම් දුනු වසම් සැර ලිය සැව් උනඟ
කඳස් තරඟ මලවිය නම් වේ අනඟ”