ඝාතක පපින් සොහොයුරියෝ

ක්‍රිස්ටීන් සහ ලෙයා පපින් යනු ප්‍රංශයේ ජිවත් වූ සොහොයුරියන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනා ගැන ප්‍රංශයේ පුවත්පත්වල ලිපි අතිශය විශාල ප්‍රමාණයක් ද, පසුකාලීනව වාර්තා චිත්‍රපට කිහිපයක් ද බිහිවන්නේ මෙම සොහොයුරියන් දෙදෙනා කළ ඝාතනයක් නිසාවෙන්. 1930 දශකයේ ප්‍රංශය තුළ සිදුවූ ඝාතන අතුරින් වැඩිපුරම කතා බහකට ලක්වූ ඝාතනය මෙය විය හැකියි.

ජීවිතය සහ ඝාතනය

වැඩිමල් සොහොයුරිය වූ ක්‍රිස්ටීන් පපින් උපන්නේ 1905 මාර්තු මස 05 වන දින යි. කුඩා සොහොයුරිය ලෙයා පපින් 1911 සැප්තැම්බර් මස 11 වන දා උපන්නා. මොවුන් හට ගෙවන්නට සිදු වූයේ ප්‍රසන්න ළමා කාලයක් නොවේ. පියා මත්පැන්වලට ලොල් වූ පුද්ගලයෙක් වූ අතර ඔහු කිහිප වතාවක්ම තම දියණියන්ව ලිංගික අඩත්තේට්ටමට ලක් කර තිබුණා. මොවුන් හට තවත් වැඩිමහල් සොහොයුරියක් ද සිටි අතර ඇය කන්‍යා සොහොයුරියක් ලෙස සේවයට ගියා.

වයසින් වැඩෙත්ම ක්‍රිස්ටීන් සහ ලෙයා පපින් සොහොයුරියන් ප්‍රංශයේ පිහිටි නිවෙස්වල සේවිකාවන් ලෙස සේවයට ගියා. මොවුන් දෙදෙනා සැම විටම උත්සහ කළේ එකට සිටීමට යි. නිවසක සේවයට ගියත් දෙදෙනාම එකම නිවසේ සේවය කිරීමට ඔවුන් වගබලා ගත්තා. 1926 වසරේ සිට මොවුන් දෙදෙනා ප්‍රංශයේ සිටි විශ්‍රාමික නීතිවේදියෙකු වූ ලන්සලින්ගේ නිවසේ සේවයට ගියා. එම නිවසේ සිටියේ පියා, මව, සහ දියණිය යි. ඒ වන විට ඔවුන්ගේ වැඩිමහල් දියණිය විවාහ වී නිවසින් පිටව ගොසින් තිබුනා.

ක්‍රිස්ටින් සහ ලෙයා අත්තඩංගුවට පත්වූ පසු (pinterest.com)

1933 වසරේ පෙබරවාරි මස 02 වන දින ලන්සලින් හට තම පවුලේ මිතුරෙකුගේ නිවසේ රාත්‍රී කෑමකට ආරාධනයක් ලැබී තිබුනා. සවස් යාමයේ දි තම බිරිදව හා දියණියව එම නිවසේ දී මුණ ගැසීමට නියමිතව සිටියත් ඔවුන් නියමිත වෙලාවට නොපැමිණීම නිසාවෙන් ඔවුන් සිටින්නේ කොහේදැ යි සොයා බැලීමට ලාන්සලින් තම නිවාස වෙත ගියා. එසේ ගොස් දොර විවෘත කිරීමට උත්සහ කළත් දොර ඇතුළෙන් අගුළු දමා ඇති බැවින් ඔහුට දොර විවෘත කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. නිවසේ කවුරුන් හෝ සිටිනවාදැ යි සොයා බැලීමට ශබ්ද නගා කතා කළත් ඇතුළතින් ප්‍රතිචාරයක් ද ලැබුනේ නැහැ. නමුත් නිවසේ සේවිකාවන්ගේ කාමරයේ ඉටිපන්දමක් දල්වා තිබුණු නිසාවෙන් ඔහු මේ බව දැන්වීමට පොලිසිය වෙත ගියා.

පොලිසියට ගොස් සිදුවූ දේ පැවසු විට එහි සිටි දෙදෙනෙක් ලාන්සලින් සමග නිවාස වෙත ගියා. වත්තේ පිහිටි තාප්පයෙන් නිවස වෙත පොලිසියට ඇතුළු වීමට හැකියාව ලැබුනා. නිවස තුළට ඇතුළු වූ විට දුටු දෙයින් ඔවුන්ගේ ඇස් අදහාගත නොහැකි වුනා. ඔවුන් දුටුයේ ලාන්සලින්ගේ බිරිදගේ සහ දියණියගේ බිම වැතිරී තිබෙන සිරුරු යි. ඔවුන්ගේ මුහුණු හඳුනාගත නොහැකි ආකාරයට විරූපී වන තරමටම පහර කෑ ලක්ෂණ දක්නට ලැබුනා. එමෙන්ම දියණියගේ සිරුරට මීටර් දෙකහමාරක් පමණ ඇතින්, මුහුණෙන් වෙන් කරන ලද ඇයගේ ඇස දක්නට ලැබුනා. තවත් ඇසක් ඇදුම් පිරිමදින මේසය මත රෙදි කැබැල්ලකින් වසා තිබෙනු දක්නට ලැබුනා.

 

ඝාතනය වූ මව සහ දියණිය (pinterest.com)

 

මේ සියල්ල දුටු පසු නිවසේ පහළ කොටස පරික්ෂා කර බැලූ පොලිසියට එහි දි ඝාතකයන්ව සොයාගැනීමට හැකියාව ලැබුනේ නැහැ. ඉන්පසු ඔවුන් ගියේ නිවසේ ඉහළ කොටස වෙත යි. එක කාමරයක් හැර අනෙක් සියලු කාමර පරික්ෂා කර බැලුවත් ඔවුන්ට කිසිවක් සොයා ගැනීමට නොහැකි වුණා. දැන් ඇත්තේ නිවසේ සේවිකාවන්ගේ කාමරය යි. එක පොලිස් නිලධාරියෙක් එම කාමරයේ දොර විවෘත කිරීමට උත්සහ කළත් එහි ඇතුළින් අගුල් දමා ඇති නිසා විවෘත කරගත නොහැකි වුණා. එම නිසා දොර අගුලු විවෘත කරන අයෙකු පැමිණෙන තුරු පොලිස් නිලධාරීන් කාමරයේ දොර අසල පරීක්ෂාකාරීව සිටියා. අගුල විවෘත කරන්නා පැමිණ අගුල විවෘත කළ පසු සොහොයුරියන් දෙදෙනා නිරුවතින් ඇඳ මත වැතිරී සිටිනු දක්නට ලැබුනා. පුදුමයට කරුණ නම් ඝාතනය සිදු කළේ ඔවුන්දැ යි ඇසූ විට කිසිදු පැකිලිමකින් තොරව ඔවුන් එය පිළිගැනීම යි. ඇඳ අසල ඝාතනය සිදු කිරීමට යොදාගත් ලේ වැගිරෙන මිටියක් දක්නට ලැබුනා. පසුව නිවස පරික්ෂා කළ විට ඝාතනය කිරීමට යොදාගත් අනෙක් ආයුද ලෙස මල් පෝච්චියක් සහ එළවලු කපන පිහියක් සොයාගත්තා.

නඩු තීන්දු සහ ඊට පසු

මෙම ඝාතනය හේතුව සොයා බලු විට ක්‍රිස්ටීන් පවසා සිටියේ තමා හා ලාන්සලින් මහතාගේ බිරිඳ අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා තමන් ඇයව ඝාතනය කළ බව යි. ලාන්සලින් මහත්මිය රාත්‍රී ආහාරය සඳහා නිවසින් පිටව යාමට සැරසෙද්දී ඇඳුම් සූදානම්ව නොතිබීම නිසා ක්‍රිස්ටීන් හට පහර දීමට උත්සහ කළ විට ක්‍රිස්ටීන් ප්‍රතිපහාර දී, තම අතින් ඇයගේ ඇසක් උදුරා දමා තිබුණු බව කියවුණා. මෙම රණ්ඩුවට දියණිය ද සම්බන්ධ වූ නිසා ලෙයා විසින් ඇයගේ ඇස ද තම අතින් උදුරා දමා තිබුණා. ඉන්පසු කුස්සිය වෙත ගොස් පිහියක් රැගෙන මව හා දියණිය හඳුනාගත නොහැකි තරමට පහර දී ඝාතනය කර තිබුණා.

සමහරු පවසන්නේ ක්‍රිස්ටීන් සහ ලෙයා සොහොයුරියන් යහපත් මානසික තත්ත්වයකින් පසු නොවූ බව යි. වර්තමානය වන විට තිබෙන්නේ දිනකට පැය අටක වැඩ මුරයක් නමුත් එකල ඔවුන් දිනකට පැය 14ක් සේවය කර තිබුණා. එපමණක් නොව නිවාඩුවක් ලෙස ලැබී ඇත්තේ සතියකට දින බාගයක් පමණ යි. මේ නිසා අධික වෙහෙස නිසා ඇතුළතින් කැකෑරෙමින් තිබු කෝපය දරුණු ලෙස පිටවූ අවස්ථාවක් ලෙස සමහරු මෙම සිදුවීම විස්තර කරනවා.

නඩු විභාගය අතරතුර (pinterest.com)

අවසානයේ දී ක්‍රිස්ටීන් පපින් හට මරණ දඬුවම නියම වුණා. නමුත් කාන්තාවන් සම්බන්ධ මරණ දඬුවම් එකල ලිහිල්ව සලකා බැලූ නිසා ක්‍රිස්ටීන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වුණා. සිරගෙදර සිටි විට දී ඇය මානසික රෝගී තත්ත්ව ඉස්මතු කළ අතර ඇයව ඒ අනුව මානසික රෝහලකට මාරු කර යැවුණා. ඇය 1937 වසරේ මැයි 17 දින එහිදී ජිවිතක්ෂයට පත්වුණා. ලෙයා පපින් හට ලැබුනේ වසර 10ක සිර දඩුවමක්. නමුත් ඇයගේ යහපත් හැසිරීම හේතුවෙන් වසර 10ක සිර දඩුවම වසර 8 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබුණා. ඇය 1943 වසරේ දී සිර ගෙදරින් නිදහස්ව, තම මව හා එක්ව ව්‍යාජ හැඳුනුම්පතක් සාදාගෙන හෝටල් සේවිකාවක් ලෙස සේවය කිරීමට ගියා. ඈ 1982 දී මියගිය බව පැවසෙන නමුත් එය නිශ්චිත නැහැ. කෙසේ නමුත් පපින් සොහොයිරියන් විසින් සිදුකළ ඝාතනය මුළු ප්‍රංශයම කැළඹීමට ලක් කළ සිදුවීමක් වුණා. සමාජය වෙතින් එකල හොද නමක් දිනාගෙන තිබුණු සේවිකාවන් දෙදෙනෙක් මෙසේ ඝාතනයක් සිදු කළේ මානසික ව්‍යකූලතාවයක් නිසාමදැ යි යන්නට අදටත් හරි හැටි පිළිතුරක් ඇත්තේ නැහැ.

මුලශ්‍රයයන්:

1)Papin Sisters: The Shocking Housemaids’ Crime That Shook France - historicmysteries.com

2)The crimes of Papin sisters (Timeline Documentary) - You Tube

3)Murderous Maids 2000 - You Tube

4)Christine and Léa PAPIN -murderpedia.org

5)The Papin Sisters: France's Crime of the Century - crimemagazine.com

කවරයේ පින්තූරය - පපින් සොහොයුරියෝ (pinterest.com)

Related Articles

Exit mobile version