බොලිවුඩ් සිනමාවේ ‘ඉන්දියානු මාතාව’- නර්ගීස්

සියවසකට වඩා පැරණි බොලිවුඩ් සිනමා වංශකතාව තුළ විශිෂ්ට චිත්‍රපට රාශියක් නිර්මාණය වී තිබෙනවා. මේ අතරින් 1957 වසරේ තිරගත වූ මෙහෙබූබ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මදර් ඉන්ඩියා’ චිත්‍රපටයට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. මේ චිත්‍රපටයේ ‘අම්මා’ගේ චරිතය අතිසුවිශේෂී වූ අතර, ඒ සඳහා වූ සුදුසුකම් සපුරන රංගන ශිල්පිනියක  සොයාගැනීම පහසු නොවුණු අතර, අවසානයේ තෝරාගැන්නේ ‘නර්ගීස්’ නම් රංගන ශිල්පිනිය යි. ඇය, එය ඉතා සාර්ථකව රඟදක්වන්නේ තම සහජ හැකියාව මනාව පිළිබිඹු කරමින්. මේ නිසා චිත්‍රපට්ය මෙන්ම ඇයත් ඉන්දියානු ජනතාව අතර මහත් සේ ප්‍රචලිත වුණා.

නර්ගීස් හින්දි සිනමාව දුටු සාර්ථකම රංගන ශිලිපිනියක ලෙස සැලකෙනවා. ඇය සිනමා නිර්මාණ 50කට වඩා දායක වී ඇති අතර, බොලිවුඩ් හි පුරාවෘතයක් ලෙස සැලකෙනවා. රංගනයට අමතරව ඉන් පරිබාහිර ජීවිතයේ දී ඇය සමාජ සේවිකාවක් ලෙස ද කටයුතු කළා.

මූලික අවධිය

නර්ගීස් උප්පත්තිය ලැබුවේ 1929 වසරේ ජුනි මස පළමු වැනි දා බටහිර බෙංගාලයේ කල්කටා හි දී යි. මුස්ලිම් පවුලක උපන් ඇයට උපතේ දී ෆාතිමා රශීඩ් යන නම තැබෙනවා. කුඩා කල දී ම ඇයගේ පවුල කල්කටාවෙන් නික්මී බටහිර පන්ජාබයේ අලහබාද් නුවරට සංක්‍රමණය වෙනවා.

නර්ගීස්, තුරුණු කල- indiatoday.in

ෆාතිමාට කුඩා කල සිට ම කලා හැකියාව පිහිටා ඇති බැව් පෙනෙන්නට තිබුණා. විශේෂයෙන්ම ඇගේ නිවසෙහි කලා පසුබිමක් තිබීම ඇගේ දක්ෂතා වර්ධනය වන්නට උරදුන්නා. ශාස්ත්‍රීය ගායිකාවක වූ ඇගේ මව කුඩා කල ම ඇගේ දක්ෂතා හඳුනාගෙන ඇයව බොලිවුඩ් සිනමාවේ දීර්ඝ ගමනක් යැවීමට හිතාගන්නවා.

නර්ගීස් මුලින්ම බොලිවුඩ් චිත්‍රපටයක රංගනයෙන් දායක වන්නේ සය වියැතිව සිටිය දී යි. චිත්‍රපට නිෂ්පාදකයින් එහි දී ඇයට පර්සියානු භාෂාවෙන් ‘ඩැෆඩිල් මල’ හඳුන්වන නාමය වන නර්ගීස් යන නම ඇයව හඳුන්වන්නට භාවිතා කරනවා. එතැන් පටන් ඇය හැඳින්වුණේ ‘බේබි නර්ගීස්’ ලෙස යි.

තරුණ තරුවක් ලෙස

නර්ගීස් වැඩිහිටි චරිත මවන්නට පටන් ගත්තේ 14 වියැති වූ දා පටන් වන අතර, ඇය එවැනි චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය වන්නේ 1943 වසරේ තිරගත වූ තක්දීර් චිත්‍රපටය යි. ළමා නිළියක ලෙස සාර්ථකව සිටි ඇයට වැඩිහිටි චරිත ද හොඳින් කළ හැකි බව මින් තහවුරු වුණා. 1940 දශකයේ අග භාගය නර්ගීස්ට් හොඳ කාලයක් වුණා. 1949 වසරේ තිරගත වූ ‘බර්සාත්’ චිත්‍රපටය කා අතරේත් ඇය ජනප්‍රිය වන්නට හේතු වුණා. ඉන් අනතුරුව ඇය කෙරේ චිත්‍රපට ගලා එන්නට පටන් ගත් අතර, අන්දාස් (1949), ජෝගන් (1950), අවාරා (1951), දීදාර් (1951), අන්හොනී (1952), ශ්‍රී 420 (1955), හා චෝරී චෝරී (1956) වැනි චිත්‍රපට අයව ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ළඟා කරලීමට සමත් වුණා. හුරුබුහුටි පෙනුම පමණක් නොව සියුම් රංග වින්‍යාසය ද ඇයට ප්‍රේක්ෂක සිත්සතන් හි නතර වන්නට උපකාරී වුණා.

අවාරා චිත්‍රපටයේ නර්ගීස් හා රාජ් කපූර්- rediff.com

1957 වසරේ දී ‘මදර් ඉන්ඩියා’ චිත්‍රපටයේ රඟපාන්නට ඇයට ආරාධනා ලැබෙන්නේ මෙවැනි පසුබිමක යි. ඇය මෙම චරිතයට තෝරාගන්නා විට විචාරකයින් විවිධ අදහස් පළ කළා. කෙසේ නමුත්, ඒ සියලු සැක සංකා දුරු කරලමින් ඇය එම චිත්‍රපටයේ අද්විතීය රංගනයක් ඉදිරිපත් කරන්නට සමත් වූයේ ජනප්‍රිය තලයේ මෙන්ම චරිතාංග රංගනය සඳහාත් තමන්ට හොඳ හැකියාවක් ඇති බැව් ලොවට ඔප්පු කරමින්. මේ සඳහා ඇයට හොඳම නිළිය වශයෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානය පවා ලැබුණා.

සුනිල් දත් හා නර්ගීස්- vagabomb.com

විවාහය හා සිනමාවෙන් ඈත් වීම

1958 වසරේ දී නර්ගීස් රංගන ශිල්පී සුනිල් දත් හා විවාහ වෙනවා. ඒ සමගාමීව ම සිනමාවෙන් ඈත් වන්නටත් ඇය තීරණය කරනවා. ඒ රංගන ශිල්පිනියක වශයෙන් සිය උපරිම තලයේ සිටිය දී යි. දිගු කලෙක නිහැඬියාවකින් පසු 1967 වසරේ දී ඇය ‘රාත් ඕර් දින්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මෙහි දී මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තියක ලෙස අද්විතීය රන්ගනයක නිරත වූ ඇය, ඒ වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයට පවා නිර්දේශ වෙනවා. එමෙන්ම හොඳම නිළිය වශයෙන් ඇය ජාතික සිනමා සම්මානයට පවා පාත්‍ර වෙනවා.

පෞද්ගලික ජීවිතය

නර්ගීස්ට ප්‍රවීන රංගන ශිල්පී රාජ් කපූර් සමග දීර්ඝ කාලීන ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඇය ඔහු සමග අවාරා හා ශ්‍රී 420 වැනි චිත්‍රපට කිහිපයකම පෙම් යුවළ සේ එක්ව රංගනය සිදුකළ අතර, මේ ප්‍රේම සම්බන්ධය ඇති වන විට රාජ් විවාහ වී දරුවන් පවා සිටි අයෙකු වුණා. මේ සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යන්නට නම් ඔහු සිය බිරිඳ හා දරුවන්ගෙන් වෙන් විය යුතුයැ යි ඇය යෝජනා කළ අතර, ඔහු අවසන එය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා නව වසරක ඔවුන්ගේ ප්‍රේම කථාව අවසන් වෙනවා.

මදර් ඉන්ඩියා චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන අතරතුර ඇය ගින්නකට මැදි වන අතර, එහි දී ඇයගේ ජීවිතය බේරාගන්නේ සුනිල් දත් විසිනුයි. මේ නිසා ඇය ඔහු හා ප්‍රේමයෙන් වෙලී යන ඔවුන් දෙපළ 1958 වසරේ මාර්තු මස 11 වැනි දා විවාහ වෙනවා. ඔවුන්ට දරුවන් තිදෙනෙකු ලැබෙන අතර, ඉන් වැඩිමල් පුතු සංජේ දත් පසුකාලීනව ජනප්‍රිය හින්දි සිනමා තරුවක් වෙනවා. විවාහයෙන් අනතුරුව ඇය සමාජ සේවා කටයුතු රාශියකටත් සිය දායකත්වය සපයනවා.

පුතු සංජය සමග- Pop diaries

1980 වසරේ දී ඇය හදිසියේම අසනීප වෙනවා. වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් වීමෙන් අනතුරුව සොයා ගැනෙන්නේ ඇයට අග්න්‍යාශික පිළිකා තත්ත්වයක් හටගෙන ඇති බව යි. ඇමෙරිකාවට පවා ගොස් ඇය ප්‍රතිකාර ලබාගත්ත ද ඉන් මිදෙනාට හැකි වන්නේ නැහැ. වසර එකහමාරක් තුළ කෙමෙන් කෙමෙන් ඇයගේ තත්ත්වය අයහපත් අතට හැරුණු අතර, අවසානයේ 1981 වසරේ මැයි මස 7 වන දා එම රෝගී තත්ත්වය හේතුවෙන් ඇය සදහටම දෙනෙත් පියායාගන්නවා. ඇයගේ මරණයෙන් අනතුරුව සුනිල් දත් විසින් ‘නර්ගීස් දත් පිළිකා පදනම’ පිහිටුවනවා.

සම්මාන

නර්ගීස් සිය දිවිය තුළ සම්මාන කිහිපයකටම පාත්‍ර වී තිබෙනවා. ඇය හොඳම නිළිය ලෙස 1958 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මානයට හා 1967 ජාතික සිනමා සම්මානයට පාත්‍ර වූ අතර, 1958 වසරේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලබනවා. 2001 වසරේ දී ඇය හීරෝ හොන්ඩා හා ස්ටාර්ඩස්ට් සමාගම වෙසින් ‘සහස්‍රයේ හොඳම රංගන ශිල්පිනිය’ ලෙස බුහුමන් ලබනවා.

මදර් ඉන්ඩියා සිනමාපටයෙන්- filmstillmoment.blogspot.com

හින්දි සිනමාව තුළ නර්ගීස් නොමැකෙන සලකුණක් තබා තිබෙනවා. අදටත් ඇයගේ ආභාසය සහිතව රංගනයේ යෙදෙන රංගන ශිල්පිනියන් කොතෙකුත් බොලිවුඩයේ සිටිනවා.

කවරයේ පින්තූරය- scroll.in

Related Articles

Exit mobile version