ආර්ථිකය කඩා වැටීම නිසා පත්තර අලෙවිය 60%කින් අඩු වෙලා

රවිචන්ද්‍රන් (56) කොටගල ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන්නේ ‘පත්තර කඩේ රවී’ යන නමිනි. ඔහු පුවත්පත්, සඟරා සහ පලතුරු අලෙවි කරන වෙළෙඳසලක් පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.

රවිචන්ද්‍රන්ගේ පුවත්පත් අලෙවිසලට වසර 30කි. “මං පටන් ගත්තේ වෙනත් අයකුගෙන් පුවත්පත් මිලදී ගෙන කුඩා කොමිස් මුදලකට ඒවා විකිණීමෙන්” ඔහු අප සමඟ පැවසී ය. “නමුත් දැන් ජනප්‍රිය පුවත්පත් නියෝජිතයන් මා සමඟ කෙළින් ම වැඩ කරනවා.”

“අපි කොවිඩ්-19 වසංගතයෙන් බේරුණේ අපි ඉතිරි කර ගෙන තිබුණු දේවලින්” ඔහු පැවසීය. “මේ මොහොතේ, වර්තමාන ආර්ථික ගැටලුවලට මුහුණ දෙන විට පවා, අප උපයන දෙයින් ටිකක් වෙන් කිරීමට මං උත්සාහ කරනවා. මගේ දුවගේ මඟුල් ගෙදරටත් වියදම් කළේ එහෙමයි’ ඔහු සිනාසෙමින් පැවසී ය.

“අවුරුදු හතරකට පහකට කලින් මට හෘදයාබාධයක් ඇති වුණා. මං තාම ඒකට බෙහෙත් ගන්නවා. ඒකට ඔපරේෂන් එකක් කරන්න වෙනවා. නමුත් අපි තවමත් මූල්‍යමය වශයෙන් ස්ථාවර නැති නිසා ඒක දිගින් දිගට ම කල් යනවා. ආර්ථිකය කඩා වැටීමෙන් පස්සෙ පත්තර අලෙවිය අවම වශයෙන් සියයට 60 කින්වත් අඩු වුණා. මේ ඉතිරි සියයට 40 ක අලෙවියෙන් අපි අපේ එදිනෙදා ජීවිතය කළමනාකරණය කර ගන්නවා” ඔහු පැවසීය.

“පත්තර අලෙවිය අඩුවීමට එකම හේතුව  ආර්ථිකය කඩා වැටීම යැයි ඔබ සිතනවාද?”

“නෑ, ගොඩක් අය පත්තර කියවීම නවත්වලා අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති ලබා ගන්නවා. තවමත් පත්තර කියවන්නේ සුළු පිරිසක් පමණයි. ඔබගේ දුරකථනයට ලැබෙන ප්‍රවෘත්තිවලින් රටේ සිදුවන දේ ගැන ඔබට දැනුවත් විය හැකියි. නමුත් පුවත්පත් කියවීමෙන් ඔබට සම්පූර්ණ කතාව ම දැක ගන්න පුළුවන්. අනාගත පරපුරට කියවීම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් මේ දවස්වල ළමයි වැඩිපුර ඉන්නේ ෆෝන් එකේ.” රවිචන්ද්‍රන් කියයි.

කතාව හා ඡායාරූප : මනෝජ්නාත් සතාසිවම්ගෙනි

Related Articles

Exit mobile version