රුසියාවේ ඇති පැට්‍රිස් ලුමුම්බා සරසවිය පිළිබඳ ව බොහෝ විට ඔබ අසා තිබෙනවා ඇති. සෝවියට් රුසියාව බිඳ වැටීමට ප්‍රථම ඉන් බොහෝ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලංකාවට ලැබුණු අතර, රෝහණ විජේවීර ද එලෙස ලුමුම්බා සරසවියේ අධ්‍යාපනය ලැබූ අයෙක්.
සෝවියට් රුසියාව පැට්‍රිස් ලුමුම්බාට ගරු කිරීම සඳහා ඔවුන්ගේ සරසවියක් එලෙස නම් කරන අතර, ලොව ප්‍රකට විප්ලවවාදියෙකු වූ කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා පිළිබඳ ව යි අද ලිපිය වෙන්වන්නේ.
කොංගෝව යටත් කරගෙන සිටි බෙල්ජියානු පාලනය අවසන් කිරීමට තම ජනතාව මෙහෙය වූ ඔහු කිහිපවිටෙක ම බෙල්ජියානු රජය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරනවා. පසු ව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ප්‍රථම අගමැතිවරයා ලෙස මහජන ඡන්දයෙන් බලයට පත් වීමට මෙම තරුණ විප්ලවකරුවා සමත් වෙනවා.
බලයට පත් වී නොබෝ දිනකින් හමුදා කුමන්ත්‍රණයක් හේතුවෙන් ලුමුම්බා ව අත්අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනවා. ඔහුගේ ඝාතනය සිදු වූ ක්‍රියා පිළිවෙල පිළිබඳ ව අදටත් පවතින්නේ අබිරහසක්.
බෙල්ජියානු රාජ්‍ය පාලනයට විරුද්ධ වූ තරුණ විප්ලවවාදියා
බෙල්ජියම විසින් අප්‍රිකානු රාජ්‍යක් වන කොංගෝව යටත් කරගෙන සිටින සමයේ 1925 ජූලි මාසයේ දී දිළිඳු ස්වදේශික පවුලක පැට්‍රිස් ලුමුම්බා උපත ලබනවා. මේ කාලයේ බෙල්ජියානු රාජ්‍ය ආණ්ඩුව විසින් කොංගෝ ස්වදේශිකයන්ට තම මව්බිම තුළ දී කිසිදු වරප්‍රසාදයක් භුක්ති විදීමට ඉඩ ලබා දෙන්නේ නෑ.
රටේ සියලුම ස්වභාවික සම්පත්වල හා ව්‍යාපාර සියල්ලේ ම අයිතිය සුදු ජාතිකයන් සතු වූ අතර, ඛනිජ පාරාදීසයක් වූ කොංගෝවෙන් ඔවුන් ලද ලාභය සුළුපටු නොවී ය. කොංගෝ ජාතිකයන් සියලු දෙනා පාහේ අධිරාජ්‍යවාදීන්ගේ සුළු සේවකයන් පමණක් විය.
මේ කාලය වන විට කොංගෝවේ උසස් අධ්‍යාපනය ලැබීම ස්වදේශිකයන්ට අවස්ථාවක් හිමි නොවූ බැවින්, දිළිඳු පවුලක ඉපදුණු පැට්‍රිස් ලුමුම්බා තැපැල් කාර්යාලයක ලිපිකරුවෙක් ලෙස කටයුතු කරනවා.
මේ වන විට බෙල්ජියමෙන් කොංගෝව මුදා ගත යුතුයැ යි සමාජ මතයක් ගොඩනැගුණු අතර ඒ ඔස්සේ දේශපාලනයට පිවිසෙන ලුමුම්බා බෙල්ජියානු අධිරාජයාට එරෙහිව තම දේශපාලනික සටන් මෙහෙයවීම ආරම්භ කරනවා.
බෙල්ජියානු ලිබරල් පක්ෂයට එකතු වෙන ඔහු වෘත්තීය සංවිධාන ක්‍රියාමාර්ග ඔස්සේ ආණ්ඩුවට බලපෑම් කළ හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. 1956 දී ඔහු ව අත්අඩංගුවට ගන්නා බෙල්ජියානු රජය ලුමුම්බා ව සිරගත කරනවා.
කොංගෝව මුදාගැනීමේ සටනේ නායකයා
නිදහස් වූ පසු ව කොංගෝ ජාතික පෙරමුණ (Congolese National Movement) නම් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නා අතර, ඉතා කෙටි කාලයකින් එහි නායකත්වයට පත් වීමට හැකියාව ලැබෙනවා. දිගින් දිගටම කොන්ගෝව මුදාගැනීමේ සටනේ මුලිකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් 1959 දී ඔහු ව නැවතත් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කරනවා.
දිගින් දිගටම කොංගෝවේ සිදුවෙන ස්වදේශික නැගිටීම් පිළිබඳ ව අධ්‍යයනය කරන බෙල්ජියම කොංගෝවට නිදහස ප්‍රදානය කිරීමටත් අත්අඩංගුවට ගත් පැට්‍රිස් ලුමුම්බාව නිදහස් කිරීමටත් කටයුතු කරනවා. ඒ 1960 වසරේ දී යි. එය නිවේදනය කිරීමේ සාකච්ඡාවට ලුමුම්බා ව ද සහභාගී කරගැනීමට බෙල්ජියානු රජය තීරණය කරනවා.
නිදහස් කොංගෝවේ ප්‍රථම ආණ්ඩුව ලුමුම්බාගේ නායකත්වයෙන්
1960 දී කොංගෝවට නිදහස ප්‍රදානය කරන අතර, එම වසරේ ම මැයි මාසයේ දී නිදහස් කොංගෝවේ ප්‍රථම මැතිවරණය පැවැත්වෙනවා. මැතිවරණය සඳහා තරග කිරීමට ලුමුම්බාගේ නායකත්වයෙන් කොංගෝ ජාතික පෙරමුණ ඉදිරිපත් වෙන අතර, මැතිවරණයෙන් බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට ඔවුන් සමත් වෙනවා.
1960 ජූනි මාසයේ දී බහුතර බලය හිමිකරගත් ලුමුම්බා එරට ප්‍රථම අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අතර, තම පළමු කතාවේ දී පවා බෙල්ජියම ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන් නිර්දය ලෙස විවේචනය කිරීමට ඔහු කටයුතු කරනවා.
ලුමුම්බාගේ රජය පෙරළා දැමේ
ලුමුම්බා විසින් නව ආණ්ඩුව පිහිට වූ නමුත්, විවිධ ගෝත්‍රවලින් සැදුම්ලත් කුඩා කණ්ඩායම් ලුමුම්බාගේ පක්ෂයෙන් ඉවත් වීමට සැරසෙන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවන්ට ලුමුම්බා එකඟ නොවීම හේතුවෙන්.
රජය පිහිටුවා සති දෙකකින් පසු ව ආණ්ඩුව පෙරළා දැමීමට කොංගෝවේ සිටි තවත් දේශපාලඥයන් පිරිසක් කටයුතු කරනවා. ඒ සඳහා ඇමෙරිකාවේ මෙන්ම බෙල්ජියමේ දායකත්වය ද ඔවුන්ට ලැබුණු බව සඳහන්. ආණ්ඩුවේ බලය බිඳවැටී හමුදා කැරැල්ලක් ආරම්භ වීමට ප්‍රධානතම හේතුව වන්නේ කොංගෝවේ ස්භාවික ඛනිජ ද්‍රව්‍යවලින් වැඩි ම ප්‍රාන්තය වූ කටන්ගා, ස්වදේශික කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක් වීම යි.
මේ පිටුපස මොයිස් ෂොම්බේ නම් කොංගෝ දේශපාලඥයා සිටි බව සඳහන් වෙනවා. මෙම ප්‍රදේශයේ පැවති අධික වටිනාකමකින් යුක්ත ඛනිජ ආකාර පිළිබඳ ව බටහිර රාජ්‍යයන් දැඩි අවධානයෙන් සිටිනවා. ඔවුන්ට ද අවශ්‍යව තිබුණේ ලුමුම්බාගේ ආණ්ඩුව ඉවත්කර, තමන්ගේ ව්‍යාපාර මෙහෙයවා ගත හැකි නම්‍යශීලි ආණ්ඩුවක් කොංගෝව තුළ පිහිටුවීම යි.
මෙම ප්‍රදේශය නැවත මුදාගැනීම සඳහා සෝවියට් රුසියාවේ සහය ලබාගැනීමට ලුමුම්බා ප්‍රමුඛ රජයේ අදහස වූ අතර, එය ඉටුකර ගැනීමට ඉඩ ලබා නොදෙන කොංගෝ හි ජනාධිපතිවරයා හා හමුදාපතිවරයා එක් වී 1960 දෙසැම්බර් 1 වෙනි දා ලුමුම්බාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා.
ඝාතනය කිරීම හා ඇසිඩ් දමා සිරුර දිය කරවීම
තමාව අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට තමන් මහජන බලයෙන් පත් වූ නායකයා බැවින් බලයෙන් පහ කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින්, මේ සඳහා සාධාරණයක් ඉටු කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ඒ සඳහා යහපත් පිළිතුරක් ඔහුට ලැබෙන්නේ නෑ.
අත්අඩංගුවට ගන්නා ඔහු හා ඔහුගේ පක්ෂයේ තවත් දෙදෙනෙක් කොංගෝවෙන් වෙන ම ප්‍රදේශයක් ලෙස පාලනය වූ කටන්ගා වෙත රැගෙන යන අතර, එහි දී ඔවුන් ව දැඩි වධ හිංසාවලට ලක්වෙනවා.
තිදෙනාව අධික ලෙස පහරදීම්වලට ලක්කෙරෙන අතර, 1961 ජනවාරි 17 වන දා රාත්‍රියේ ලුමුම්බා නම් විප්ලවවාදියාව වෙඩි තබා මරා දමනවා.
කටන්ගා පාලන බලධාරීන් හා කොංගෝ දේශපාලන නායකයන් මේ ඝාතනය වසන් කිරීම සඳහා මේ සම්බන්ධ ව කිසිදු ප්‍රවෘත්තියක් නිකුත් නොකරන අතර, ඔහුගේ මළසිරුර සල්ෆියුරික් අම්ලයේ දමා දිය කළ බව ද සඳහන් වෙනවා.
නිවාස අඩස්සියේ සිටිය දී පැන යාම හේතුවෙන් සිවිල් වැසියන් විසින් ලුමුම්බා ව මරා දැමූ බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් කොංගෝව විසින් නිකුත් කරන නමුත්, ටික කාලයකින් පසු ව ඝාතනයේ සැබෑ තොරතුරු හෙළි වෙනවා. බෙල්ජියම, ඇමෙරිකාව, හා තවත් ලෝක බලවතුන්ට අවශ්‍ය පරිදි කොංගෝවේ විප්ලවකරුවා මෙලෙස ඝාතනය වූ අතර, එම චෝදනාවන්ගෙන් මිදීමට අද වන තුරු ලෝක බලවතුන්ට හැකියාවක් ලැබී නෑ.