අපේ රටෙත් පාලකයන්ගේ දූෂණ වංචා ගැන ඕනැතරම් අහන්නට ලැබෙනවා. දුන් දඬුවමක් නම් නෑ. හැබැයි රට බංකොලොත් වී අවසන්. එවැනි රටක දියුණුවක් වෙනුවට දැකගත හැක්කේ තව තවත් පල්ලම් බැසීම පමණ යි.
ලෝකයේ කණකොකා හැඬූ තවත් එවැනි අප්‍රිකානු රටක් වන්නේ කොංගෝව යි. කොංගෝව අවුරුදු 18ක් පාලනය කළ ජනාධිපති ජෝසප් කබීලා ජනතා මුදලින් ඥාතී සංග්‍රහය කරමින් රට වළපල්ලට ඇද දැමීමට කටයුතු කළ පාලකයෙක් බව ලෝකයට මෑතක දී හෙළි වුණා. ඒ කොංගෝවේ බැංකු ගිණුම් දත්ත කාන්දුව හරහා යි.
කොංගෝ ජනරජය
කොංගෝව පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේ යි. දකුණු සුඩානය, උගන්ඩාව, රුවන්ඩා, බුරුන්ඩි, ටැන්සානියාව, සැම්බියාව යන රටවල් රාශියකට මැදි ව මේ රට පිහිටා තිබෙනවා. විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර 2,345,409 ක් වන කොංගෝවට ලොව විශාලත ම රටවලින් 11 වැනි ස්ථානය හිමි වී තිබෙනවා. රටේ අද ජනගහනය හත් කෝටි අසූ ලක්ෂයකට අධික යි.
ඛනිජ සම්පත්වලින් අනූන ව පැවති කොංගෝව දුප්පත්කමේ පතුලට ම වැටී ඇත්තේ ජරාජීර්ණ වූ දේශපාලනය නිසා යි. වර්ෂ 1960 දී බෙල්ජියම් රජයෙන් නිදහස ලැබූ කොංගෝව, අසල්වැසි රුවන්ඩාව සහ උගන්ඩාව සමඟ පැවති යුද්ධ සහ රට අභ්‍යන්තරයේ පවතින සටන්කාමී ව්‍යාපාර හේතුවෙන්ගැටුම්වලට නිතර මැදි වූ රටක් වශයෙන් සැලකෙනවා.
1970 වසරේ සිට 1991 දක්වා වූ කාලයේ දී ‘කොංගෝ මහජන සමුහාන්ඩුව’ මාක්ස් ලෙනින්වාදී ඒක පාක්ෂික රාජ්‍යයක් වුණා. 1997 වසරේ පැවතුණු සිවිල් යුද්ධයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගත් රජය නෙරපා දමන ලද නමුත් බහු පාක්ෂික මැතිවරණ ක්‍රමය 1992 වසරේ සිට පවත්වාගෙන යනවා.
ජනපති ජෝසප් කබීලා
හමුදා නිලධාරියෙක් වන ජෝසප් කබීලා කොංගෝවේ ජනාධිපති ලෙස බලයට පත්වන්නේ 2001 දි යි. ඒ ඔහුගේ පියා වන ලෝරන්ට් කබීලා ඔහුගේ ආරක්ෂකයෙක් වෙඩි තබා ඝාතනය කළ පසු ව යි. ජෝසප් කබීලාගේ පාලනයෙන් දශක දෙකකට ආසන්න කාලයක් ගතවන විට මේ විශාල රාජ්‍යය දූෂණය, දුප්පත්කම, රටේ සම්පත් දේශපාලනඥයන් කොල්ල කෑම ආදී කරුණුවලින් පිරි රටක් ලෙස ලෝකයේ ප්‍රකට වුණා.
ඔහු ජනපති වශයෙන් සිටිය දී ජනාධිපතිවරණය කල්දමමින් සිටීම නිසාත් රටේ කැරලි කෝලාහාල ඇතිවුණා. විශාල ජන විරෝධය නිසා ඔහුට 2019 දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවුණා. එම ජනාධිපතිවරණයෙන් ජනපති ජෝසප් කබීලා පරාජයට පත් කර, හිටපු විපක්ෂ නායක 55 හැවිරිදි ෆීලික්ස් ට්සිසේකෙඩි ජයග්‍රහණය කළා.
කබීලාගේ වැඩ
ජනාධීපති ධුරයෙන් සමු ගෙන වසර දෙකකින් පසුව ජෝසෆ් කබීලාගේ ඥාතීන් සහ හිතමිතුරන් තමන් සතු සමාගම්වල බැංකු ගිණුම් හරහා එම සමාගම්වලට ඩොලර් මිලියන ගණනක මහජන මුදල් බැර කරගෙන ඇති බව 2021 නොවැම්බරයේ දී හෙළි වුණා. ඒ අප්‍රිකාවේ මෙතෙක් සිදුවූ විශාලත ම දත්ත “කාන්දුවට” පිංසිදු වන්නටයි.
එසේ මහජන මුදල් තම ගිණුම්වලට මාරුකර ඇත්තේ BGFI බැංකුවේ කොංගෝ ශාඛාව හරහා යි. එම බැංකු ගිණුම්වලට බැර කර ගත් මුදල් ඩොලර් මිලියන ගණනින් පසුව ඔවුන් ආපසු ලබා ගෙන තිබෙනවා. නමුත් අප්‍රිකාව ම කැලැඹූ මෙම හෙළිදරව්ව ගැන හිටපු ජනපති කබීලා සඳහන් කර ඇත්තේ සෑම රටක ම දූෂිත දේශපාලනඥයන් දෙන උත්තරය ම යි. එනම් මේ සම්බන්ධ වාර්තා පදනම් විරහිත චෝදනා බවත්, ඒවා තමන්ට මඩ ගැනීමට ගත් උත්සාහ බවත් කියා යි.
අප්‍රිකාවේ විශාලත ම දත්ත කාන්දුව
අප්‍රිකානු රටවල් කිහිපයක සහ ප්‍රංශයේ ක්‍රියාත්මක BGFI නම් බැංකුව හරහා සිදු කළ ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවලට අදාළ දත්තයි මෙසේ රහසිගතව පිට වී ඇත්තේ. එම දත්ත කාන්දුවට ගනුදෙනු පිළිබඳ තොරතුරු සහ ලේඛන මිලියන 3.5 කට වඩා ඇතුළත් ව තිබුණා.
මෙම රහසිගත ගනුදෙනු හෙළි කර ගැනීමට මුල්වුණේ ප්‍රංශයේ ගවේශණාත්මක අන්තර්ජාල සඟරාවක් වන ‘මීඩියාපාට්’, සහ අප්‍රිකාවේ දූෂණ පිළිබඳ රහස් හෙළි කරන්නන් ආරක්ෂා කිරීමේ රාජ්‍ය නොවන වැඩසටහන (PPLAAF) මගින්.
කාන්දු වූ දත්ත විශ්ලේෂණය සඳහා ලොව පුරා රටවල් 18ක 100කට අධික මාධ්‍යවේදින් සහ රාජ්‍ය නොවන සංවිධන නියෝජිතයන් එක් වී තිබෙනවා. එම හෙළිදරව් කිරීම ගැන බීබීසී පුවත් සේවය වාර්තා වැඩසටහන් ද නිෂ්පාදනය කළ අතර එය ලොව පුරා අවධානයට ලක් වුණා.
මෙම දූෂිත ගනුදෙනු නිසා දුප්පත්කමේ ගැලී සිටින කොංගෝව තව තවත් දුප්පත්කමට පත්වූ බව පේනවා. ජනතාවට පහසුකම් ලබාදෙනු වෙනුවට රටේ ධනය තමන්ගේ පෞද්ගලික සමාගම්වල බැංකු ගිණූම්වලට විවිධ කරුණු සඳහන් කරමින් මාරු කර ඇති බව පැහැදිලි වී තිබෙනවා.
බැංකුවත් අයිති කබීලාගේ ඥාතීන්ට
BGFI කියන්නේ ජාත්‍යන්තර බැංකුවක්. අප්‍රිකානු රටවල් රාශියක පැතිර තිබෙන එහී මූලස්ථානය පිහිටා ඇත්තේ ගැබොන් රටෙ යි. එහි කොංගෝ ශාඛාව වන්නේ BGFI Banque RDC නම් ආයතනය යි. එය ආරම්භ කර ඇත්තේ 2010 දි යි. එහි 2012 සිට 2018 දක්වා කළමනාකාර අධ්‍යක්ෂ තනතුර දරා ඇත්තේ ජෝසෆ් කබීලාගේ කැපකරු සොහොයුරා වන ෆ්‍රැන්සිස් සෙලෙමානි යි. එම ආයතනයේ හිමිකාරිත්වයෙන් 40%ක් අයිති වුණේ කබීලාගේ සොයුරිය වන ග්ලෝරියා ම්ටේයුටයි.
තෙල් නැති තෙල් සමාගම
‘සුඩ් ඔයිල්’ නම් පුද්ගලික සමාගමකට, 2013 නොවැම්බරයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා රාජ්‍ය අරමුදල්වලින් ඩොලර් මිලියන 86කට ආසන්න මුදලක් ලබා දී තිබෙන බව බැංකු ලේඛනවල සඳහන්.
එම ගනුදෙනුවට කොංගෝවේ රජයේ බැංකු නියාමකයා වන BCC වෙතින් අවම වශයෙන් ඩොලර් මිලියන 46ක් ද, රාජ්‍ය පතල් සමාගමක් වන ‘ජිකැමින්ස්’ වෙතින් ඩොලර් මිලියන 15ක් ද, එරට මැතිවරණ ආයතනය වන CENI වෙතින් ඩොලර් මිලියන 1.3ක් ද බැර කළ බව හෙළි වී තිබෙනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා කොංගෝ මැතිවරණ ආයතනය, සුඩ් ඔයිල් සමාගමට ඩොලර් මිලියනයකට වැඩි ගෙවීමක් කළ බවට වන ගෙවීම් ලදුපතක් ද හමු වී තිබෙනවා. නමුත් පුදුමය නම් අදාළ කාලය වන විට සුඩ් ඔයිල් සමාගම ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු අලෙවි කළ බවට කිසිදු සාක්ෂ්‍යයක් හමු නොවීම යි.
2013 සිට 2018 දක්වා සූඩ් තෙල් සමාගමේ කොටස්වලින් සියයට 80ක් හිමිවූයේ ෆ්‍රැන්සිස් සෙලෙමානිගේ බිරිය ඇනෙත් ලුටාලේට යි. ඉතිරි 20% කබිලාගේ සොයුරිය වන ම්ටේයුට හිමි ව තිබුණා. BGFI බැංකුවේ තිබූ සුඩ් ඔයිල් ගිණුම්වලින් ඩොලර් මිලියන ගණනක් වෙනත් පුද්ගලික සමාගම්වල BGFI ගිණුම් වෙත මාරුකර යවා තිබෙනවා. මේ ගිණුම් සමහරක් අයිති ව තිබුණේ ජනාධිපති කබීලාගේ ඥාතීන් හෝ ව්‍යාපාරික හිතවතුන්ට යි.
තෙල් ගිණුම්වලින් මුදල් වංචා
බැංකුව සුඩ් ඔයිල් ගිණුම්වලින් බොහෝ ඉහළ වටිනාකම්වලින් යුත් මුදල් (ඩොලර් මිලියන හයක් තරම් ඉහළ වටිනාකම් ද ඇතුළුව) ආපසු ගැනීමට ඉඩ දී ඇති බව තහවුරු වී තිබෙනවා. බැංකුවලට අදාළ නීතියට අනුව දිනකට උපරිම වශයෙන් ආපසු ලබාගත හැක්කේ ඩොලර් 10,000ක මුදලක් පමණ යි. මෙම සීමාව ඉක්මවා යාමට හැක්කේ ජාතික හදිසි අවස්ථා හෝ ආරක්ෂක හේතූන් වැනි කරුණක් සඳහා පමණ යි.
සුඩ් ඔයිල් සමාගමේ හිමිකාරිත්වය 2018 දී වෙනස් වුණා. ඒ අතර ම කබීලාගේ සොයුරියට තමාට හිමි ව තිබූ කොංගෝ BGFI බැංකුවේ 40%ක කොටස්වල හිමිකාරීත්වය අත්හැර දමන්නට සිදු ව තිබෙනවා. නමුත් බොහෝ රටවල්වල වගේම මේ අතිවිශාල මුදල් වංචාව ගැන හිටපු ජනපතිට දඬුවම් කිරීමක් ගැන නම් තවමත් අහන්නට ලැබෙන්නේ නැහැ.
BBC Africa Eye මේ පිළිබඳව සිදුකළ විමර්ශනය සහිත වාර්තා වැඩසටහන මෙම සබැඳිය ඔස්සේ ඔබට නරඹන්නට පුළුවන්: