සිම්බාබ්වේ නායක රොබර්ට් මුගාබේ පිළිබඳ කලින් ලිපි දෙකෙන් අප ඔහුගේ ජීවිතයේ මුල් කාලය, සහ නිදහස් සටනට සම්බන්ධ වීමත්, එහි ජයග්‍රහණයත් පිළිබඳ සාකච්ඡා කළා.
එම පළමු කොටස සහ දෙවන කොටස ඔබට පහත සබැඳිවලින් කියවිය හැකියි.
අද අප ඔබ වෙත ගෙන එන්නේ රොබර්ට් මුගාබේගේ ආන්දෝලනාත්මක පාලන සමය පිළිබඳවයි.
ජාතික ආණ්ඩුවේ සිට මර්ධනය දක්වා
නිදහස් සටන සමයේදී මාක්ස්වාදියකු වුවද බලයට පත්වූ පසු මුගාබේ සමාජවාදී ක්‍රමයේ පාලනයක් සිම්බාබ්වේහි පිහිටවූයේ නැහැ. එමෙන්ම රටක් පරිපාලනය කිරීමේ අභියෝගය මනාව තේරුම්ගෙන සිටි ඔහු සිය නිලධාරීන් ඒ සඳහා පුහුණු වනතුරු ඊට බ්‍රිතාන්‍යයේ සහය ලැබේ යයි අපේක්ෂා කළා. කෙසේ නමුත් එය සිදු වූයේ නැහැ. එමෙන්ම තමන්ට තනිව රාජ්‍ය පාලනය කිරීම සඳහා බහුතර බලයක් ලැබුණද මුගාබේ න්කෝමෝට ද රජයට එක් වීමට ආරාධනා කළා.
කෙසේ වෙතත් කෙටි කලක් යනවිට ZANU සහ ZAPU පක්ෂ අතර ගැටුම් යළිත් වර්ධනය වුණා. මෙම සංවිධාන දෙකටම අයත් සන්නද්ධ සාමාජිකයන් නව සිම්බාබ්වේ යුධ හමුදාවට ඇතුළත් වනු ඇතැයි බලාපොරොත්තු පළ වී තිබුණද ZAPU පාක්ෂිකයන් ඊට ඇතුලත් කරගැනීම කෙරෙහි ZANU පාක්ෂිකයන් සමහරෙක් සැක සංකා පළ කළා. ඔවුන් බලය ලබාගන්නට උත්සාහ කරනු ඇතැයි යන සැකය වර්ධනය වෙමින් පැවතුණා.
1981 පෙබරවාරියේදී බුලවායෝ අසළ වූ ZAPU සන්නද්ධ අංශයේ සාමාජිකයන් පිරිසක් කැරළි ගැසූ අතර දින කිහිපයකින් එය මර්ධනය කෙරුණා. මෙයට ආසන්න හේතුව වූයේ එතෙක් අභ්‍යන්තර කටයුතු ඇමති වූ ජෝෂුවා න්කෝමෝ 1981 ජනවාරියේදී කාර්යභාරයක් නොමැති ඇමති ලෙස පත්කරනු ලැබීමයි.
මුගාබේ, න්කෝමෝගේ ආධාරකරුවන් මර්ධනය කිරීමට තීරණය කළා. මෙය ඔහු පැවරූයේ පස්වන බ්‍රිගේඩය නම් හමුදා ඛණ්ඩයටයි. හිටපු ZANLA සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මෙය 1982 දී පිහිටවූ අතර එහි සාමාජිකයන් පුහුණු කරන ලද්දේ උතුරු කොරියානු හමුදා නිලධාරීන් විසින්. 1983 පටන් ඔවුන් බටහිර සිම්බාබ්වේහි මටබෙලේලන්තයේ න්ඩෙබෙලේ ගෝත්‍රයට අයත් වූ න්කෝමෝගේ ආධාරකරුවන් මර්ධනය ආරම්භ කළා. මෙම මර්දනය 1987 දක්වා දියත් වූ අතර එහිදී ජීවිත අහිමි වූවන් සංඛ්‍යාව පිළිබඳ විවිධ මත පවතිනවා. ඇතැම් ඇස්තමේන්තු අනුව මෙසේ ඝාතනය කෙරුණ පිරිස 30,000 ක් පමණ වනවා.
මිශ්‍ර ආර්ථික ක්‍රමය
රොබර්ට් මුගාබේ බලයට පත්වූ පසු සමාජවාදී ආර්ථික ක්‍රමයක් අනුගමනය කළේ හැහැ. සිම්බාබ්වේ රාජ්‍යයට එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවලින් පවා ආධාර ගලාගෙන ආවා.
කෙසේ වෙතත් අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරෙහි රජය විසින් කෙරෙන වියදම් මුගාබේ විසින් සැළකියයුතු ප්‍රමාණයකින් වැඩි කළා. එමෙන්ම රාජ්‍ය ව්‍යවසායයන් ද ශක්තිමත් කරනු ලැබුණා.
ව්‍යවස්ථාව වෙනස් කිරීම
මේ අතර 1987 දෙසැම්බරයේදී සිම්බාබ්වේ ව්‍යවස්ථාව වෙනස් කරනු ලැබුණා. මේ අනුව පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ධූරයක් ඇති කරන ලද අතර 1987 දෙසැම්බර් 30 වනදා මුගාබේ එම ධූරයට පත් වුණා. පාර්ලිමේන්තුවේ විශේෂ ආසන 20 අහෝසි කරනු ලැබුණා.
මේ අතර ඔහු ජෝෂුවා න්කෝමෝට නැවතත් රජයට එක්වීමට ආරාධනා කළ අතර ඔහුට උප ජනාධිපති ධූරය ලබාදෙනු ලැබුණා. මේ අනුව ZANU සහ ZAPU පක්ෂ එක්ව සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව – දේශප්‍රේමී පෙරමුණ (Zimbabwe African National Union – Patriotic Front) පක්ෂය පිහිටුවා ගත්තා. මේ සමඟම ZANU පක්ෂයට තිබුණු ප්‍රධානම විපක්ෂය රජය තුළට ගැනීමට මුගාබේ සමත් වුණා. මීළඟ වසර දහයකට මඳක් වැඩි කාළයක් තුළ සිම්බාබ්වේහි ප්‍රබල විපක්ෂයක් වූයේ නැහැ.
1990 මහමැතිවරණයට පෙර සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කෙරුණා. ඒ අනුව ආසන සංඛ්‍යාව 150 දක්වා ඉහළ නැංවූ අතර ඉන් 30 දෙනකු පත්කළ මන්ත්‍රීන් වුණා. මේ අනුව විපක්ෂයකට බහුතර බලයක් පිහිටුවා ගැනීම ඉතා අසීරු කාර්යයක් බවට පත් වුණා.
දෙවැනි විවාහය
කලක් තිස්සේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙලුණ සැලී මුගාබේ 1992 ජනවාරි 27 වනදා මියගියා. ඇයගේ මරණින් කලකට පසු හෙළි වූයේ මුගාබේ සිය ලේකම්වරිය වූ ග්‍රේස් මුරුෆු සමඟ සබඳතාවක් පවත්වාගන යන බවයි. මුරුෆු ද කළින් විවාහ වී සිටි අයකු වූ අතර මෙම දෙදෙනාගේ සම්බන්ධය ඇතිව තිබුණේ දෙදෙනාම විවාහකව සිටියදී බවද කියැවුණා. 1996 දී මෙම දෙපළ විවාහ වුණ අතර එයට සිම්බාබ්වේහි රාජ්‍ය පාක්ෂික මාධ්‍ය විසින් නම් තබන ලද්දේ සියවසේ විවාහය ලෙසින්. ග්‍රේස් ඒ වනවිට ද මුගාබේගෙන් දරුවන් දෙදෙනකු ලබා තිබුණා. 1997 දී ඔවුනගේ තුන්වන දරුවා ද උපන්නා.
ඉඩම් කොල්ලය
1990 දශකයේ දෙවන භාගය වනවිට සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථිකය පහළ වැටීමට පටන් ගත්තා. ඊට රජයේ වියදම් අධික වීම ද බලපෑවා. නිදහස් සටනට සහභාගී වූවන්ට විශ්‍රාම වැටුපක් ගෙවීමට විශාල මුදලක් වැය කිරීම ඊට එක් උදාහරණයක් වුණා. මේ අතර රජයට නව ආදායම් මාර්ග නිර්මාණය කරගැනීමට නොහැකි වුණා. ආර්ථිකය කඩා වැටෙද්දී විරැකියාව සැළකිය යුතු වේගයකින් ඉහළ ගියා.
මුගාබේ සිය රටේ ආර්ථික අපහසුතා කෙරෙහි වරද පැටවූයේ බටහිර රටවලට සහ සිම්බාබ්වේ හි සුදු ජාතිකයන්ටයි. මේ වනවිටත් සුදු ජාතිකයන් එරට ඉඩම්, ආකර, සහ කර්මාන්ත වැඩි ප්‍රමාණයක් පාලනය කළා. ඔහු එම පිරිස විවේචනය කළා පමණක් නොව සිය පාලනයට විරුද්ධ කලු ජාතිකයන් ද ඔවුන් විසින් මෙහෙයවන්නන් බව චෝදනා කළා.
මේ වනවිට මුගාබේට එරෙහිව පිරිස් එක් රොක් වෙමින් සිටියා. 1987 දී ZAPU පක්ෂය ZANU සමඟ සන්ධානගත වීමෙන් පසු මුගාබේට ප්‍රජාතාන්ත්‍රිකව අභියෝග කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් බිහි වූයේ නැහැ. එවන් ව්‍යාපාරයක් මතු වූයේ 1999 අගභාගයේදීයි. ඒ නව ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින සමයේදී.
ලැන්කැස්ටර් හවුස් එකඟතාවය අනුව නව සිම්බාබ්වේ රජයට රටේ ඉඩම් වන්දි නොගෙවා පවරාගැනීම තහනම් වූවා සේම රජයට පවරා ගැනීමට හැකියාව තිබුණේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් පමණයි. මෙම රෙගුලාසි ඊට ඇතුලත් කළේ රටේ ඉඩම් විශාල ප්‍රමාණයක් සුදු ජාතික ගොවීන් අත තිබීම හේතුවෙන්. විශේෂයෙන්ම ඒ වනවිට රටේ ප්‍රධාන නිදහස් ව්‍යාපාර දෙකම මාක්ස්වාදී සංවිධාන වීම නිසාවෙන්, නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයක් තුළ ඉඩම් රජයට පවරා ගැනීම කෙරෙනු ඇතැයි සැක පළවී තිබුණා.
මුගාබේ විසින් හඳුන්වා දීමට උත්සාහ කළ නව ව්‍යවස්ථාවේ එම සීමා ඉවත් කිරීමට යෝජනා වුණා.
මේ පිළිබඳ ජනමත විචාරණයක් 2000 පෙබරවාරියේ පවත්වනු ලැබුණා. ඊට එරෙහි සිවිල් සංවිධාන සහ විපක්ෂ කණ්ඩායම් එක්ව ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සඳහා වන ව්‍යාපාරය (Movement for Democratic Change – MDC) බිහි කළේ 1999 දී.
බොහෝ දෙනා මවිත කරමින් ජනමත විචාරණයෙන් මුගාබේ හඳුන්වා දුන් ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප වුණා.
මේ අවස්ථාවේදී නිදහස් සටනට සහභාගී වූ සෙබලුන් යයි කියාගන්නා පිරිස් සුදු ජාතිකයන් සතු ඉඩම්වලට බලෙන් කඩා වදින්නට පටන් ගත්තා. මෙම ආක්‍රමණිකයන් අතුරින් වැඩි පිරිසක් සත්‍ය වශයෙන්ම නිදහස් සටනට සහභාගී වූවන් නොව ඊට වඩා තරුණ, විරැකියාවෙන් පෙළෙන්නන් වුණා.
සිම්බාබ්වේ මහාධිකරණය සහ ඉන් පසු එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ඉඩම් මංකොල්ලය නීතිවිරෝධී බව ප්‍රකාශ කළ අවස්ථාවේ මුගාබේ කළේ අධිකරණය තමන්ට නතු කරගැනීමයි. අගවිනිසුරුට ඉල්ලා අස් වීමට බල කළ මුගාබේ සිය පාක්ෂිකයකු එම ධූරයට පත් කර තවත් විනිසුරන් තිදෙනෙකුද පත් කළා. අගවිනිසුරු ඉල්ලා අස් වූයේ 2001 මාර්තු මාසයේදී. මෙයින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළින් දුන් තීන්දුව අහෝසි කරනු ලැබුණා.
2000 ජූනි මස පවත්වන ලද මැතිවරණයේදී ZANU-PF පක්ෂයට MDC පක්ෂයෙන් පැහැදිලි අභියෝගයක් එල්ල වුණා. මැතිවරණය පවත්වන ලද්දේ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ. එමෙන්ම මැතිවරණ අක්‍රමිකතා පිළිබඳවද චෝදනා මුගාබේ දෙසට එල්ල වුණා. නිල ප්‍රතිඵල අනුව ZANU-PF පක්ෂය ඡන්දයෙන් පත්වන මන්ත්‍රී ධූර 120 න් 62 ක් දිනාගනිද්දී MDC පක්ෂය ආසන 57 ක් දිනාගත්තා. නම්කළ ආසන 30 සමඟ මුගාබේට පාර්ලිමේන්තුවේ බහුතර බලය පහසුවෙන් ලැබුණ නමුත් තුනෙන් දෙකේ බලය ඔහුගේ පක්ෂයෙන් ගිලිහී ගියා.
උද්ධමනය අහස උසට
රටේ ආර්ථිකය අඩපණ වනවිට ඉඩම් අල්ලාගැනීමට පෙළඹුණත්, එම ඉඩම් පාලනය කිරීම පිළිබඳ රජයට හෝ ඒවා අල්ලාගත් අයට හෝ අවබෝධයක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ විශාල ගොවිපලවල්වල වගාවන් කඩාකප්පල් වීම සහ ඒවායේ සේවකයන්ටත් රැකියා නොමැති වීම. ඒ සමඟම රටේ ආහාර නිශ්පාදනය කඩා වැටුණා.
(මෙවැනිම සිද්ධියක් 1972 දී උගන්ඩාවේ සිදු වුණා. ඒ ඉඩි අමීන් විසින් ඉන්දියානුවන් එළවා දමා ඔවුනගේ ව්‍යාපාර සිය ආධාරකරුවන්ට පවරා දීමෙන්. නමුත් සිම්බාබ්වේ හි සිදුවීම ඊටත් වඩා දරුණු විනාශයක් ගෙන ආවා. ඊට එක් හේතුවක් වූයේ උගන්ඩාවේ සිටි ඉන්දියානුවන් බොහෝ කොටම සේවාවන් හි නිරත වීමයි. සිම්බාබ්වේ රටේදී නිශ්පාදන ආර්ථිකය කඩා වැටීම සිදු වුණා.).
රටේ ජනතාවට රැකියා නොමැතිව මුදල් නොමැති වෙද්දී රජය කළේ මුදල් අච්චු ගැසීමයි. මේ අතර නිශ්පාදනය කඩා වැටීමෙන් භාණ්ඩ හිඟයක් ඇති වූ විට ඒ සුළු භාණ්ඩ ප්‍රමාණය සඳහා තරඟයක් ඇති වුණා. එවිට බඩු මිල ඉහළ ගියා. එවිට ජනතාවට යළි මුදල් හිඟ වුණා. රජය තව තවත් මුදල් අච්චු ගැසුවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිශ්පාදන අඩපණ වීමෙන් භාණ්ඩ හිඟයට ප්‍රතිකර්මයක් නොවූ හෙයින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ ඇදී ගියා. රජය ද තමන් සතු එකම උපක්‍රමය වූ මුදල් අච්චු ගැසීම දිගටම කරගෙන ගියා.
සිම්බාබ්වේ ඩොලරය තුන් වතාවක් අව ප්‍රමාණය කිරීමෙන් පසුවත් මෙම කඩා වැටීම පාලනය කරන්න රජයට නොහැකි වුණා. අවසානයේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් පවා අච්චු ගසනු ලැබුවා. මෙම නෝට්ටුව සත්‍ය වශයෙන්ම මුලින්ම තිබූ ඩොලරයට වඩා දහයේ 27 බලයකින් අගය අඩු මුදල් නෝට්ටුවක් වුණා. (කිහිපවිටක් මුදල් අවප්‍රමාණ කර තිබූ නිසා)
විකල්පයක් නොමැති තැන රජය 2009 අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ ඩොලර් භාවිතයෙන් ඉවත් කළා. ඉන්පසු ඇමරිකන් ඩොලර්, යූරෝ, දකුණු අප්‍රිකානු රෑන්ඩ්, චීන යුවාන් ආදී මුදල් ඒකක එරට භාවිතා වනවා.
2008 දූෂිත මැතිවරණය
මෙම අවසන් පියවර ගන්නා ලද්දේ සිම්බාබ්වේ හි එවකට බිහිව තිබූ සභාග රජයක් විසින්. මෙම සභාගය නිර්මාණය වූයේ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ අක්‍රමිකතාවලින් පසුවයි.
2008 ජනවාරියේදී රොබර්ට් මුගාබේ ප්‍රකාශ කළේ එම වසරේ මාර්තු 29 වනදා ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවයි. ජනාධිපති ධූර කාළය වසර 6 සිට 5 දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 210 දක්වා වැඩි කිරීමටත් පියවර ගෙන තිබුණා. එමෙන්ම නව මැතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගත යුතු වූ අතර කිසිදු අපේක්ෂකයකු එම ප්‍රමාණය ලබා නොගතහොත්, වැඩිම ඡන්ද ලබාගන්නා දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වුණා.
MDC පක්ෂය මේ වනවිට දෙකඩ වී තිබුණා. නායක මෝර්ගන් ට්ස්වන්ගිරායි වඩා විශාල කණ්ඩායම මෙහෙයවූ අතර ආතර් මුටම්බරා එයින් වෙන්ව කටයුතු කළා. ජනාධිපතිවරණයේදී මුටම්බරා සහය දුන්නේ ස්වාධීනව තරඟ කළ සිම්බා මකෝනිටයි.
මහමැතිවරණය සහ ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ප්‍රචණ්ඩ ක්‍රියා මැදයි. මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ඉතා සෙමින් සිදු වූ අතර MDC-ට්ස්වන්ගිරායි පක්ෂය (MDC-T) විසින් ZANU-PF පක්ෂය පරාජය කරන ලකුණු එහිදී පළ වුණා. අවසන් ප්‍රතිඵල අනුව (ජූනි මාසයේ පැවති අතුරු මැතිවරණවලින් ද පසු) ආසන 100 ක් MDC-T පක්ෂයට ලැබෙද්දී ZANU-PF පක්ෂය ආසන 99 ක් දිනාගත්තා. MDC-මුටම්බරා (MDC-M) පක්ෂය ආසන 10 ක් ද ස්වාධීන අපේක්ෂකයකු එක් අසුනක් ද දිනා ගත්තා.
කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මැතිවරණ කොමිසම විසින් දිගින් දිගටම කල් දමනු ලැබුණා. අවසානයේ ප්‍රතිඵල නිකුත් වූයේ මැයි 2 වනදායි. ඒ අනුව මෝර්ගන් ට්ස්වන්ගිරායි සියයට 47.9 ක් ඡන්ද ලබාගන තිබුණ අතර මුගාබේ ලබාගන තිබුණේ ඡන්ද සියයට 43.2 ක් පමණයි. මේ අනුව කිසිදු අපේක්ෂකයකු සියයට 50 සීමාව ඉක්මවීමට අසමත් වීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වුණා.
කෙසේ වෙතත් MDC-T පක්ෂය මෙම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ට්ස්වන්ගිරායි ජනාධිපතිවරණය ජයගත් බවයි.
මුගාබේගේ ආධාරකරුවන් MDC-T පාක්ෂිකයන්ට පහර දීමට පටන් ගත් අතර අවම වශයෙන් 153 දෙනකු මේ ප්‍රහාරවලින් මිය ගියා. ට්ස්වන්ගිරායි ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් ඉවත් වුණා. මේ අනුව එම වටයේදී ප්‍රකාශිත ඡන් ද සංඛ්‍යාවෙන් සියයට 85 ක් ලබාගත් මුගාබේ ජනාධිපති ලෙස පත් වුණා. නමුත් මෙම මැතිවරණය සහ ඔහුගේ ජයග්‍රහණය බටහිර රටවල් විසින් පිළි ගැනුණේ නැහැ.
මින් ස්වල්ප කලකට පසු ZANU-PF සහ MDC අතර බලය බෙදා ගැනීමට එකඟතාවයක් ඇතිකර ගනු ලැබුණා. ඒ අනුව ට්ස්වන්ගිරායි අගමැති ධූරයට පත් වුණා.
මීළඟ වසර කිහිපය සාපේක්ෂව ප්‍රචණ්ඩ ක්‍රියා අඩු සමයක් වුණා. මේ අතර MDC-T පක්ෂයේ ජනප්‍රියත්වයද ඔවුන් රජයට එක්වූ පසු පහළ වැටුණා. එහෙයින් 2013 ජනාධිපතිවරණයට යළි තරඟ කළ මුගාබේ එයින් පහසුවෙන් ජයගත්තා. බෙහෙවින් වයස්ගතව සිටියද ඔහු 2018 ජනාධිපතිවරණයටද තරඟ කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
මුගාබේගෙන් පසු
රොබර්ට් මුගාබේ තමන් ගෙන් පසු නායකත්වයට පත්වන අයකු පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයක් කර නැහැ. පක්ෂය තුළ ද බෙදීම් තිබෙන අතර බලයට පත්වීම පිළිබඳ බලාපොරොත්තු සහිතව සිටින්නන් එක් අයකුට වඩා සිටිනවා.
වසර කිහිපයක් තිස්සේ මුගාබේගේ අනුප්‍රාප්තිකයා වනු ඇතැයි විශ්වාස කරන ලද්දේ හිටපු උප ජනාධිපති ජොයිස් මුජුරු යි. ඇය 2004 සිට 2014 තෙක් සිම්බාබ්වේහි උප ජනාධිපති වශයෙන් කටයුතු කළ අතර තමන්ගෙන් බලය ඩැහැ ගැනීමට උත්සාහ කළ බව චෝදනා කරමින් මුගාබේ ඇයව ඉවත් කළා. නමුත් බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ ඇයව ඉවත් කිරීම සිදු වූයේ මුගාබේගේ බිරිඳ ග්‍රේස් මුගාබේගේ අවශ්‍යතාව අනුව බවයි.
වර්තමාන උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා මීළඟ ජනාධිපති ලෙස පත් වීමට බලාපොරොත්තු වන එක් අයකු වනවා. ඔහු පක්ෂයේ සභාපති ද වන අතර 75 වන වියේ පසුවනවා.
මේ අතර මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ ද ජනාධිපති ධූරය කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙනවා.
මුගාබේට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලීම මතුවන නමුත් එම ඉල්ලීම් ඔහු සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම ප්‍රතික්ෂේප කරනවා. 2017 පෙබරවාරියේදී පක්ෂ සාමාජිකයන් අමතමින් ග්‍රේස් මුගාබේ ප්‍රකාශ කළේ සිය සැමියාට ජනතාව තුළ විශාල ගෞරවයක් තිබෙන බවත් ඔහු මියගිය පසුව වුවද මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් එවිට ද ජනතාව ඔහුට මනාපය ප්‍රකාශ කරනු ඇති බවත්.
එමෙන්ම කිසියම් අයකු මුගාබේගෙන් පසු පක්ෂයේ නායකත්වය ගන්නේ නම් එම තැනැත්තාට මුගාබේගේ ප්‍රසාදය අනිවාර්යයෙන්ම හිමිව තිබිය යුතු බවත් ඇය ප්‍රකාශ කළා.
මේ අනුව මුගාබේගේ මරණයට පෙර ඔහු අනුප්‍රාප්තිකයකු පත් නොකළහොත් සහ ඔහු ජනාධිපති ධූරය දරද්දීම මිය ගියහොත් ZANU-PF පක්ෂය තුළ බල අරගලයක් ඇතිවීමේ ඉඩක් තිබෙනවා.
Cover Image: මුගාබේ 2010 දී (Public Domain)