අදින් දශක දෙක තුනකට පෙර පාසල් වියේ දරු දැරියන් අතර ජනප්‍රිය වූ කවි කතාවක් විදියට ‘සුදෝසුදු’ පොත් පිංච හැඳින්විය හැකි යි. ඉතාමත් මෑතක් වන තුරු ම එහි ඇතුළත් වූ ‘අන්ධ ළමයා’ කවි පෙළ පාසල් පෙළපොත්වල පවා ඇතුළත් කර තිබුණා. කවියට පෙම් බැඳි ලොකු කුඩා බොහෝ දෙනෙකුගේ නොමද ආදරයට පාත්‍ර වූ එය ටෙනිසන් නම් ඉංග්‍රීසි කවියාගේ Enoch Arden නම් කාව්‍ය සංග්‍රහය ඇසුරෙන් රචනා කරන්නට යෙදුණේ කේයස් නමින් සාහිත්‍ය ලෝකයේ ප්‍රකට වූ සාගර පලන්සූරිය කවියා යි.
සිංහල කාව්‍ය සාහිත්‍යයට ආලෝකයක් ගෙන දුන් කවීන් අතර කේයස්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. කොළඹ යුගයේ දෙවැනි පරපුරේ සිංහල කාව්‍ය සාම්ප්‍රදායට නව මුහුණුවරක් ලබා දීම සඳහා සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් ලබා දුන් ඔහුගේ කවි සඳහා බොහෝ විට පාදක වූයේ පරිසරයට ඔහු දැක් වූ ආදරය සහ ගෞරවය යි. එසේ ම ඔහු විසූ ගම්මානයේ නිර්ව්‍යාජ ගැමියන්ගෙන් අසා දැන ගත් ජන කතා, ඔහුගේ දෙමව්පියන් ඔහුට කියා දුන් බණ කතා මෙන් ම මිතුරන් සමග ගමේ ඇවිදිමින් කෙළිදෙළින් ගත කළ ළමා වියේ සොඳුරු අත්දැකීම් ද ඔහුගේ කවි ලොව එළිය කළා.
රත්නපුර කළල්ඇල්ල නම් ග්‍රාමයේ පලන්සූරිය මොහොට්ටාළලාගේ ගොරකහාමි පියාණන්ට දාව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් සාගර පලන්සූරිය මෙලොව එළිය දුටුවේ 1908 මාර්තු 11 වැනි දින යි. කේයස් නම් සිංහල කවි රසිකයන් අතර ජනප්‍රිය වුව ද උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ පලන්සූරිය මොහොට්ටාළලාගේ ඩිංගිරි මහත්තයා ලෙස යි.
දිළිඳු පවුලකට උපන් කුඩා ඩිංගිරි මහත්තයාගේ පසුබිම දුකින් පිරී ගිය එකක්. නමුත් කුලීන පවුලකට උපන් බැවින් ඔහුට මාදම්පාගම සිංහල පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නට අවස්ථාවක් ලැබුණා. ඔහු තුළ විප්ලලවාදී ගති පැවතුම් මතු වූයේ පාසලේ දී මුහුණ දීමට සිදු වූ ප්‍රබල සිදුවීමක් නිසා බව පැවසෙනවා. කුල භේදය තදින් ම පැවතුණ ඒ යුගයේ දී පාසලට පැමිණෙන කුලහීන දරුවන්ට කුලීන දරුවන් සමග බංකුවල වාඩි වී තහනම් වූ අතර ඔවුන් අකුරු කරන්නට යෙදුණේ බිම හිඳගෙන යි. පාසල තුළ ක්‍රියාත්මක වූ මෙවැනි අසාධාරණ ක්‍රියා තදින් ම නොරිස්සූ ඩිංගිරි මහත්තයා තමන්ගේ මිතුරන් සමග බිම හිඳ ගත්තේ සමාජ සාධාරණත්වය සඳහා කුඩා වියේ දී මුල් පියවර තබමින්.
මේ නිසා ම මිතුරන් රැසකගේ ආදරය හිමි කර ගත් ඩිංගිරි මහත්තයා බඩ වැටි, ඕවිටි, වෙල් දෙණි, ළඳු කැලෑ, කඳු ගැට, දිය ඇලි ආදියේ දැවටෙමින් ද කළු ගඟේ ශාඛාවක් වූ කුඩා නදියේ කිමිදෙමින් ද ගත කළේ සුන්දර ළමා වියක්. නමුත් වැඩි කල් නොගොස් ම අවාසනාව ඔහු සොයා ආවේ ඔහුගේ දෙමව්පියන්ට අයත් වූ එක ම ඉඩම් කැබැල්ල උකසකට සින්න වීමත් සමග යි. වතුයායක කෙළවරේ කුඩා පැලක් තනාගෙන ජීවත් වූ ඔවුන් තව තවත් අසරණ කරමින් පියාණන් ද ලෙඩ ඇඳට වැටුණේ මේ කාලයේ දී ම යි.
මේ නිසා ම තව දුරටත් දෙමව්පියන්ට බරක් වීමට අකැමැති වූ ඩිංගිරි මහත්තයා දුරස්ථ ඥාතිවරයෙකු වූ මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් යටතේ පැවදි වීමට තීරණය කළේ මව්පිය විරෝධතා මධ්‍යයේ යි. පැවිදි දිවියට පිවිසීමෙන් පසු ව ඔහු ව හැඳින් වූයේ කළල්ඇල්ලේ පේමානන්ද නමින්. ඇත්ඔය පැණනිස්ස හිමිගේ මග පෙන්වීම යටතේ සිංහල භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය, දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාව හැදෑරු කළල්ඇල්ලේ පේමානන්ද හිමියන්ට විද්‍යාලංකාර පිරිවෙනේ (වත්මන් කැළණිය සරසවිය) උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාවක්ද හිමි වුණා.
පැවිදි දිවියෙන් ටික කලකට පසු ව උසස් අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණි කළල්ඇල්ලේ පේමානන්ද හිමි උපැවිදි වුවත් අධ්‍යාපනය කටයුතු නතර කළේ නැහැ. දිගින් දිගට ම පිරිවෙන් සහ රාත්‍රී ඉංග්‍රීසි පන්ති සඳහා සහභාගී වූ ඔහුට ඉංග්‍රීසි ගුරු පුහුණු විදුහලට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. පෙරදිග භාෂා පිළිබඳ ව හදාරමින් සිටි ඩිංගිරි මහත්තයාට ඉන්දියාවේ ශාන්ති නිකේතනයට සංචාරය කිරීම සඳහා අවස්ථාවක් හිමි වූයේ ද මේ කාලයේ යි. කොළඹ යුගයේ ප්‍රකට කවීන් වූ ආනන්ද රාජකාරුණා, එස්. මහින්ද හිමි සහ ජී. එච්. පෙරේරා වැන්නවුන් ඔහුට මුණ ගැසුණේ එහි දී යි.
උසස් අධ්‍යාපනය හදාරා යළිත් ශ්‍රී ලංකාවට පැමිණි ඔහු නැවතත් කෙටි කලක් කළල්ඇල්ලේ ආනන්ද සාගර යන නමින් සිවුරු දැරූ අතර පසු කාලීන ව එතුමා අතින් බිහි වූ බොහෝ නිර්මාණ සදහා එම නමේ මුලකුරු යොදා කේ. ඒ. එස්. ලෙස අත්සන් කිරීමට පුරුදු වුණා. ඒ හේතුවෙන් ම ඔහුගේ කවි රසිකයන් අතර ඔහු ජනප්‍රිය වූ කේයස් යන නමින්. කේයස් නමින් දිගින් දිගට ම නිර්මාණකරණයේ යෙදෙන අතර ම ඔහු කොළඹ විද්‍යෝදය පිරිවෙන, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කළා. මේ කාලයේ දී ම දිනමිණ, සිළුමිණ, සිංහල බෞද්ධයා සහ සිංහල ජාතිය වැනි පුවත්පත්වලට කවි ලියූ කේයස්, මීමන ප්‍රේමතිලක, යූ. ඒ. එස්. පෙරේරා සහ බඹරකොටුවේ සුධර්ම හිමි වැනි ප්‍රවීණ කවීන්ගේ අභාසය ද තම කුසලතා ඔප් නැංවීමට සඳහා යොදා ගත්තා.
වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ කේයස්ට නිරන්තරයෙන් ම ඉංග්‍රීසි විචිත්‍රවාදී කවීන්ගේ නිර්මාණයන් රස විඳීමට අවස්ථාව ලැබුණු අතර ඒ අනුව යමින් ස්වභාවික පරිසරය සහ ස්වභාවික වස්තූන් ගැන වැඩි වැඩියෙන් කවි රචනා කරන්නට ඔහු පෙළඹුනා. ඔහු විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු ප්‍රථම කවි පොත වූ ‘සුදෝසුදු’ කාව්‍ය සංග්‍රහය ද එසේ ඉංග්‍රීසි කවියේ ආභාෂය ලද්දක්. නමුත් ඔහුගේ කවි සෑම එකක් ම පාහේ දේශීයත්වය මුල් කරගෙන ලියැවුණු ඒවා යි.
කොළඹ යුගයේ විසූ බොහෝ කවීන් මෙන් ම කේයස් ද ආසාධාරණය හෙළා දුටු අයෙක්. විශේෂයෙන් ම අහිංසක ගැමියන් ව රවටමින් ඔවුන්ගේ අයුතු ප්‍රයෝජන ලබා ගන්නට උත්සාහ කළ උදවිය ව ඔහු තදින් ම විචේචනය කළා. ඔහු විසින් රචනා කළ ‘කණ උන්දෑ’ කවි පෙළ එයට හොඳ ම නිදසුනක්.
එසේ ම ළමා වියේ ලද අත්දැකීම් ද සමාජය නිරීක්ෂණයෙන් ඔහු එළැඹුණු නිගමන ද කේයස්ගේ කවි තුළින් මනා ව හඳුනා ගත හැකි යි. එයට මනා උදාහරණයක් ලෙස ඔහුගේ ‘කාලකන්නියා’ කවි පෙළ සැලකෙනවා. එයට අමතර ව කේයස් ‘මල්හාමි’, ‘කැළණි විත්ති’, ‘විසිවුණු තරු’, ‘අපේ ඇත්තන්ගේ විත්ති’, ‘ගංගාවේ ගීතය’, ‘පිටිසර සිරියාව’ වැනි කවි පන්ති ද ‘දම්පද සුගතවාණී’ වැනි ගද්‍ය කෘති ද රචනා කර තිබෙනවා.
කවි ලියන අතරේ ම සාගර පලන්සූරිය යන නාමය යටතේ කේයස් දේශපාලනයට පිවිසෙන්නේ 1947 දී ෆිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය යටතේ යි. ඔහු විවාහ වූයේ ද මේ කාලයේ දී යි. ගල්කිස්සේ වාසය කළ ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා සමග සාර්ථක යුග දිවියක් ගත කළ ඔහු පුතුන් තිදෙනෙකුගේ පියෙකු වීමට තරම් වාසනාවන්ත වුණා.
පසු ව එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ යටතේ තරඟ වැදුණු ඔහු 1956 දී හොරණ ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ජයග්‍රහණය කළා. වාමාංෂික දේශපාලන කෙරෙහි ඔහු තුළ පැවති කැමැත්ත නිසා ම ඔහු සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග සමීප සම්බන්ධා පැවැත් වූ අතර දේශපාලන දිවියේ ඔහුගේ සමීපතමයන් වූයේ ටිකිරි බණ්ඩා සුබසිංහ, ටී. බී. ඉලංගරත්න, කේ. එම්. පී. රාජරත්න සහ නිමල් කරුණාතිලක වැනි අය යි. දුප්පත් ගොවීන්ගේ මතු යහපත සහ මධ්‍යම පාන්තිකයන්ගේ ශුභසාධනය කෙරෙහි උනන්දුවක් දැක් වූ සාගර පලන්සූරිය බොහෝ විට කටයුතු කළේ ඔවුන්ගේ යහපත සඳහා යි.
නමුත් සාගර පලන්සූරියට දිගු කලක් දේශපාලනයේ රැදී සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ. 1960 දී උගුරේ ආබාධයක් හේතුවෙන් දේශපාලන දිවියට සමු දුන් ඔහු ඉන්දියාවට ගොස් ද ප්‍රතිකාර ලබා ගත්තා. නමුත් ඒ කිසිවකින් එතරම් සුවයක් නොලද ඔහුගේ හඬ ක්‍රමයෙන් වියැකී යාම ඇරඹී තිබුණා. 1961 ජූනි මස 21 වැනි දින දැඩි ලෙස රෝගාතුර වූ කේයස් ව රෝහල් ගත කළ අතර පස්වරු 5.55 ට ඔහු ජීවිතයෙන් සදහට ම සමු ගත්තේ බිරිඳ සමග කතාබහ කරමින් සිටින විට යි. ඔහුගේ වියෝවෙන් කම්පාවට පත් වූ දහස් ගණනක් ජනතාව අතරේ සිරිල් ඒ. සීලවිමල කවියා කේයස්ගේ මරණය දැක තිබුණේ මේ ලෙස යි.
අපේ සාගර පලන්සූරිය – අපේ කේයස් අනේ මැරුණා
අපේ කවියා උගත් මිතුරා – අපේ ඇසුරින් ඉවත ඇදුණා
අපේ ඇස් ඉදිරියේ සොහොනින් – නැඟුණු දුම් රැළි ඉහළ නැඟුණා
අපේ රටට ම පාඩුවකි, ඔහු – සොහොන මැද අළු බවට හැරුණා
කවරයේ පින්තූරය : 8 (minisilu.com)
මූලාශ්‍ර :
- rasawindhana.blogspot.com
- en.wikipedia.org
- rivira.lk
- edulanka.info
- danuma.lk
- zoom.lk
- rupavahini.lk
- divaina.com