සිංහල නොවූ, පරම සිංහල දේශානුරාගිකයාණෝ

හෙතෙම, හිම මිදෙන ශීතල හිමාල කඳුවැටියේ ඉහළ භූමි භාගයක පිහිටි ලෝකයේ පියස්ස නම් විරුදාවලි ලත් ටිබැට් දේශයට යාබද සිකිම් ප්‍රදේශයේ දී ක්‍රිස්තුවර්ෂ 1901 දී උපත ලබා එහිම හැදී වැඩුනු එස්.කේ. ටෂිනම්ගල් (එස්.කේ.ටයිෂිංගල්) නම් දරුවෙකි. එවක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම දේශයේ මුතුන්මිත්තන් යටත්විජිත මානසිකත්වයට පත්කොට පීඩා කළ හැටි ඇසු දුටු මෙම දරුවා, කුඩා වියේ සිටම විදේශ ආක්‍රමණිකයාගේ සහ අධිරාජ්‍යවාදයේ අනිටු විපාක සහ සැහැසිකම් සියැසින් දැක, වයසට සාපේක්ෂව එහි අත්දැකීම් ලැබ සිටියේ ය.

ලංකාවට පැමිණීම

උපතින් වසර 13ක් සිකිම්වල කාලය ගෙවී ගිය පසුව, 1914 දී ටෂිනම්ගල් දරුවා, ඥාණාතිලෝක නමින් හැඳින්වූ ජර්මන් ජාතික බෞද්ධ භික්ෂු හිමිනමක්‌ සමග ලක්‌දිවට පැමිණියේ ය. ඔහු මහාබෝධි සමාගමට අයත් විද්‍යාලයකට ඇතුළු වී, ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව විවිධ විෂයයන් ඉගෙන ගනිමින් ක්‍රමවත් අධ්‍යාපනයකට මුල පිරීය. එම අධ්‍යාපන කටයුතුවල නිරත වෙද්දීම කෙමෙන් කෙමෙන් ලංකාවේ බුද්ධ ශාසනය ගැන ද, මෙරට පරිසරය සහ සිරිත් විරිත් ආදී සංකෘතික සමාජීය වටපිටාව කෙරෙහි ද, විශේෂයෙන් පැවිදි ජීවිතයකට ඇතුළුවීම කෙරෙහි ද ඔහු කැමැත්තක් හා උනන්දුවක් දැක්වීය. එහි ප්‍රතිඵලය වූයේ ටෂිනම්ගල් දරුවා ගෞරවණීය රයිගම සිරි චූලසුමන ස්වාමිපාදයන් වහන්සේ වෙතින්, ගිහි ජීවිතයේ ලබා පැමිණි කුලගොත් නාම අතහැර පැවිදි දිවියට පත්ව මෙරට සසුනට ඇතුළු වීම යි. ඉන්පසුව ඒ සාමනේරයන් වහන්සේ හැඳින්වූ ප්‍රකට නාමය වූයේ “ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි” යන්න යි.

ඇස් මහින්ද හිමි -
ටිබැට් ජාතික මහින්ද හිමි/mylifelk.com

පැවිදි දිවිය 

ක්‍රමයෙන් මෙරට අධ්‍යාපනයෙන් පෝෂණය ලබමින්, මෙරට සඟ සසුන තුළ හැදී වැඩුනු මෙම සාමනේරයන් වහන්සේ සිය රටේ මෙන්ම ලංකාව තුළ ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙනගිය යටත්විජිත පාලනයත්, එහි අනිටු විපාකත්, ස්වදේශීය ජනයාට වන විනාශයත් සියැසින් දුටුවේ ය. එවකට සුදු අධිරාජ්‍යවාදීන්ගේ කූට උපක්‍රම තුළ මුලාවී සිටි සිංහල ප්‍රභූ සමාජය, තාන්නමාන්න සහ වෙනත් වරදාන උදෙසා ජාතියත් ආගමත් පාවාදෙන ආකාරයත්, එකිනෙකා භේදභින්න වී ගිය අයුරුත්, එමෙන්ම නිසි හව්හරණක්, මඟපෙන්වීමක් නැති අහිංසක රටවැසියා අධිරාජ්‍යවාදීන් හමුවේ පීඩාවට පත්වන ආකාරයත් මනාව දුටුවේ ය.

පැවිදිවීමෙන් ඉක්බිති එස්. මහින්ද හිමි නතර වී සිටියේ දොඩන්දූවේ ශෛලබිම්බාරාම සරස්වතී මණ්ඩප පිරිවෙන් පරිශ්‍රයේ ය. එහි සිටිය දී උන්වහන්සේ අලුත්ගම ශ්‍රී ශීලක්ඛන්ධ නායක හිමිපාණන් වහන්සේ වෙතින් තවදුරටත් ගැඹුරින් බුද්ධ ධර්මය මෙන්ම සංස්‌කෘත සිංහල, පාලි, වැනි භාෂාවන් ද හැදෑරීය. ඒ ලබාගත් දැනුම සහ පරිචය නිසා එස්. මහින්ද හිමියන් සාමනේර අවධියේම ව්‍යක්ත ධර්ම කථිකයෙකු ලෙස පතල විය.

කලක් දොඩන්දූව ශෛලබිම්බාරාම පිරිවෙනේ වැඩසිටි උන්වහන්සේ පසුව රත්මලානට පැමිණ, රත්මලාන පුරාණ රජමහා විහාරයේ ශ්‍රී ධර්මාරාමාභිධානව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ ශිෂ්‍යයකු බවට පත්ව මහණ උපසම්පදාව ලබාගෙන ශ්‍රී ධර්මාරාම පිරිවෙනට ඇතුළු වූයේ ය. අනතුරුව ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, යන විභාගවලින් ද උසස්‌ ලෙස සමත්වූ උන්වහන්සේ, ප්‍රකට බෞද්ධ පාසැලක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආචාර්ය ධුරයකට පත්වන්නේ ය. උන්වහන්සේ ප්‍රථමයෙන් අමරපුර නිකායෙහි පැවිදිව සිට, ඉන් අනතුරුව සියම් නිකායට ඇතුළුවී මහණ උපසම්පදාව ලබාගත් බවට තවත් මතයක් විද්වතුන් අතර පවතී.

නිදහස් සටන

ඒ වන විට සිංහල ජාතික විමුක්තිකාමි සටනෙහි රණහඬ රටේ විවිධ ප්‍රදේශවලින්, විවිධ ක්ෂේත්‍රයන් හරහා මතුවෙමින් පැමිණි යුගය යි. රට පුරා හැම දෙසින්ම අධිරජ්‍ය විරෝධය සමග බෞද්ධ පුනරුදය ද යලි ඇරඹෙමින් තිබින. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ වාග් සංග්‍රාමයන් සිංහලයන්ගේ හඬ අවදි කරද්දී, ටිබෙට් ජාතික මහින්ද හිමියන්ගේ සිත තුළ සිංහල දේශය පිළිබඳ දේශපේ‍්‍රමය, ජාතිකානුරාගය ලියලන්නට විය.

එස්. මහින්ද හිමි/Wikimedia

එස්. මහින්ද හිමියන් ලක්දිවටත්, සිංහල ජනතාවටත් පුදුමාකාර අන්දමේ ඇල්මක්, බැඳීමක්, ආදරයක්, ගෞරවයක් දැක්වීය. ඒ, තමාට ධර්මඥානය, භාෂා ඥානය ලබාගැනීමට, සහ රැකවරණය සලසා ගැනීමට ලංකාවත්, ජනතාවත්, මෙරට සඟ සසුනත් දුන් අනුග්‍රහයට කෘතගුණයක් වශයෙන් විය හැකිය. එනිසාම උන්වහන්සේ වරෙක ස්වකීය කෘතියක් වූ “ලංකාමාතා” හි හැඳින්වීමට මෙසේ සඳහන් කොට තිබුණි.

ජාතික සිඞ් විෂයෙහි සිංහලයා අදත් නිදා සිටින්නෙකි. අතීත සෞභාග්‍යය ගැන උදම් අනන්නෙකි. එහෙත් වර්තමාන දුර්වලත්වය නොදන්නෙකි. නැත්නම් නොසලකන්නෙකි. එය අන් කෙනෙකුන් කියනවා අසන්නට ද නොකැමැත්තෙකි. කවිකාරයකු විසින්, ඔව්, සිංහල රටට, සිංහල ජාතියට, සිංහල ආගමට, සිංහල සිරිතට හරසර දක්වන ජාතික කවිකාරයකු විසින් කළයුතු කෝටිප්‍රාප්ත යුතුකම නම් මේ දුර්වලත්වය ඔවුනට කියාපෑම යි. නිර්භයව කියාපෑම යි.”

-ලංකාමාතා (1935) හැඳින්වීම

(1990 මාර්තු/ නුවණ සඟරාව/ අධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකයේ ප්‍රකාශනයක්)

දොඩන්දුවේ ශ්‍රී ජිනරතන හිමියන්ගේ කළ්‍යාණ ඇසුර නිසා කාව්‍ය නිර්මාණය පිළිබඳව කිසියම් පෙළඹවීමක් සහ පරිචයක් ලද ටිබෙට් ජාතික මහින්ද හිමියෝ භාෂාව ද හරිහැටි ප්‍රගුණ කිරීමෙන් අනතුරුව දේශවාත්සල්‍යය දනවන කවි ලියන්නට පෙළඹුනහ.

වන්නි හතේ වැදිලත් අර ඉංග්‍රිසියෙන්ම කතාව කරන්                  නේ

ගොන්කම ඒ මඳිවාට තවත් සිය බාසේ ගැන යි මතුරන්               නේ

ඉන්නෙ හිටින්නෙ හිතෙන්නෙ කියන්නෙ ද අන්තිම හුස්ම හෙලන්නේ

දැන් බැරිනම් මතුවත් මම ඉංග්‍රිසියෙක් වෙමි යයි පතමින්            නේ

-ලංකා මාතා (1935)

(1990 මාර්තු/ නුවණ සඟරාව/ අධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකයේ ප්‍රකාශනයක්)

සාහිත්‍යයට කළ සේවා

වර්ෂ 1936 දී උන්වහන්සේ පානදුර අළුබෝමුල්ල වීරගහවත්තේ මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාමයේ විහාරාධිපති බවට පත්ව, එය නිත්‍ය සංඝාවාසය කොට ගත්තේ ය. එතැන් පටන් උන්වහන්සේ චතුර කථිකයෙකු, විචක්ෂණ කවියෙකු, ජාතික වීර චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ නිතැතිනි.

එදා අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට යටත්ව තුබූ මෙරට හා මෙරට ස්වදේශීය ලාංකීය රටවැසියාට උරුම වී තිබුණු හීන දීන මානසිකත්වය සහ ඛේදවාචකය දුටු උන්වහන්සේ, සිංහල නුවූවත් හදවතින් ලක්වැසියකු වී, දණින් වැටුනු ජාතිය නැවත දෙපයින් නගා සිටුවන්නට පෑනෙන්, කවියෙන්, සහ වචනයෙන් පෑ පෙළහර විශිෂ්ඨ මෙහෙවරක් විය. උන්වහන්සේ ජාතික වීරයෙකු වන්නේ ද ඒ නිසාම ය. ව්‍යාක්ත කථිකයකු සහ කවියකු වූ උන්වහන්සේ විටෙක සොඳුරු සාහිත්‍යමය සන්නිවේදකයකු ද විය. කවිය උන්වහන්සේගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයවලින් එකකි. උන්වහන්සේගේ කාව්‍ය නිර්මාණයන් ප්‍රධාන වශයෙන් අංශ තුනක් යටතේ පෙළගැස්විය හැකිය.

  1. බුද්ධාභිවන්දනා කවි
  2. දරුවන් සඳහා ලියූ කවි
  3. ජාතිකාභිමානී, දේශානුරාග කවි

“දරු නැලැවිල්ල හෙවත් ජාතික තොටිල්ල” නම් දීර්ඝ කවි පන්තිය උන්වහන්සේ විසින් රචිත ඉතාම සුන්දර නිර්මාණයක් වන අතර, එය පසු කලෙක පණ්ඩිත් අමරදේවයන් විසින් ගීතයකට පෙරලීමෙන් විශාරද නන්දා මාලිනිය සමග ගායනා කරන ලදී.

මුණි සිරිපා සිඹිමින්නේ

සමනොළ ගිරි පෙදෙසින්නේ

මඳ සුළඟ යි මේ එන්නේ

මගේ පුතා නැලැවෙන්නේ

 

ජාතික රණ දෙරණ මතේ 

ගැටී වැටී මළ මොහොතේ

සුන්දර සුරඹුන්ගෙ අතේ

නැළවෙන බව සිතනු පුතේ

 

නිදහස් හිරු පායනවා 

දෑබැති මල් පිබිදෙනවා

සිරිලක් මව හිනැහෙනවා

මගේ පුතා නැළවෙනවා

 

කැප්පෙටිපොළ සෙනවිසුරු

කළ රුපුසෙන් මන් දැදුරු

අවිරු විකුම් පෑ අයුරු

නුඹට පුතේ වෙයි මියුරු

 

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹවේ

 

ඉතාම සෞන්දරායාත්මක, ළමා මනස පරිකල්පනය කරා ගෙන යන ළමා කවි සාහිත්‍යයක් උන්වහන්සේ අතින් බිහිවිය.

සමන් පිච්ච මල් ඉහිරුනු

නිල් තණකොළ පිට්ටනියක්

වගෙයි අහස අන්න බලනු

කොච්චර ලස්සන ද රෑට

(ළමා කවි කළඹ-ඇස් මහින්ද හිමි)

සිකිම් මහින්ද හිමියන් රචනා කළ පොත් අතර ප්‍රසිද්ධ පොත් කීපයකි පහත දැක්වෙන්නේ:

  1. නිදහසේ දැහැන
  2. නිදහසේ මන්ත්‍රය
  3. ජාතික තොටිල්ල
  4. අද ලක් මවගේ පුත්තු
  5. විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
  6. සිංහල ජාතිය
  7. ලංකා මාතා
  8. නිදහස

තවත් හරවත්, රසවත් ගීතයක් බවට පසුකලෙක පෙරලුනු, ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීය ද ඇස්. මහින්ද හිමියන්ගේ සොඳුරු කාව්‍ය නිර්මානයක් ය. “දරු නැළැවිල්ල හෙවත් ජාතික තොටිල්ල” පද්‍ය සංග්‍රහයෙන් තෝරාගත් පද්‍ය අටක් එම ගීයට ඇතුළත් වේ.

ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එමී

 

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය ‍රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

 

මෙබඳු උතුම් ලංකාවේ

දසතින් දුසිරිත් බෝවේ

මේ ගැන වැඩ කළොත් ලොවේ

නුඹෙත් මගෙත් නම කියැවේ

 

ඉටුකොට කළ යුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවන් නම්

නුඹ යි මගේ පුතා උතුම්

 

තමන් ලැබූ දිවි පෙවෙතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් නුඹෙන් පුතේ

මෙලොවට කිසි පලක් නැතේ

 

මේ ගැන වැඩ කොට ඉමහත්

ලැබෙන දුකක් හිරිහැරයක්

නිවනට සරිකොට සිතතොත්

නුඹ යි මගේ පුතා සමත්

 

කාටත් හිමි පොදු දේ නම්

නැති බැරි හිඟ අවහිරකම්

මේ දේ මැඩගෙන දස්කම්

පෑම තමයි සුරුවිරු කම්

 

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

1935 දී “ලංකා මාතා” නම් වූ සුන්දර, විශිෂ්ට කවි පොත ලියමින් තමන් වහන්සේගේ ප්‍රතිභාව මැනවින් ඉස්‌මතු කළ ටිබැට් මහින්ද හිමියෝ අඛණ්‌ඩව ලියූ කවි, අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් සහ වහල් මානසිකත්වයෙන් මිදී නැඟී සිටීමට සහ නිදහසේ සිතන්නට සිංහලයාට මහත් පිටිවහලක් වූවාට සැකයක් නැත.

ඔවා මුතු දම කවි පොත රචනයෙන් ග්‍රන්ථ සාහිත්‍යයට පිවිසි උන්වහන්සේ කවි පොත් 29ක්‌ සහ ගද්‍ය පොත් 11ක්‌ ලියා පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට දුන් දායකත්වයට ලාංකිකයින් හදවතින්ම ණයගැති විය යුතු ය.

මහින්ද හිමියන්ගේ විශිෂ්ඨ කවි පොතක්/online.buddhistcc.com

අපවත් වීම

එස්. මහින්ද හිමියෝ ක්‍රිස්තුවර්ෂ 1951 මාර්තු 16 වැනිදා කොළඹ පැවති බෞද්ධ සමිතියක සංවත්සර උත්සවයකට සහභාගි වී හරවත් දේශනයක් ද සිදුකොට නැවත උන්වහන්සේගේ සිය කුටියට වැඩම කළෝ ය. ඒ උන්වහන්සේගේ අවසාන කථාව යි. එදිනම සවස හදිසියෙන්ම අසනීප වූ, ජාතියේ සෞන්දර්යාත්මක අසිපත මෙන් වූ උන්වහන්සේගේ හදවත නතර විය. 1901 දී ටිබැට් දේශයේ සිකිම්වල උපත ලබා, ළමා වයසේ දීම ලක්දිවට පැමිණ පැවිදි උපසම්පදාව ලබා, ජාතියක් පණගැන්වීමට අභීතව සිය නිර්මාණ දායකත්වය ලබා දී, මෙරට ජිවත් වූ වසර 38ක කාලය නිමාකළ උන්වහන්සේ පහන්සිළුව නිවී ගියා වැනි සේ නිහඬවූවෝ ය. උන්වහන්සේ විසින්ම රචිත කවියකින් ලිපියේ සමාප්තිය සනිටුහන් කිරීම උචිත වන්නේ ය. 

තණකොළ මැරෙති මිනිහා පා තබන තැන

යන එක බසකි මහ කවියන් අතර එන

එනමුත් සමිඳ ඔබ වැනියන් සිටින තැන

රන් මිණිමුතු ද එයි පොළොවෙන් උඩට පැන

-ඇස් මහින්ද හිමි-

 

මූලාශ්‍ර සම්පාදනය: silumina.lk

budusarana.lk

divaina.com

youtu.be/fxxZxHInKy4

youtu.be/jhftvaykwoc

1990 මාර්තු නුවණ සඟරාව - අධ්‍යාපන සංස්කෘතික කටයුතු හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකයේ ප්‍රකාශනයක් 

Related Articles

Exit mobile version