Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්‍රේෂන් සම්මානය නිර්මාණය කළ මයිකල් ඔන්ඩච්චි

ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා දැනට ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පිරිනැමෙන එකම සාහිත්‍ය සම්මානය මෙන්ම, ඒ වෙනුවෙන් මෙරට ප්‍රදානය කෙරෙන විශිෂ්ටතම සම්මානය ලෙස ද ග්‍රේෂන් සම්මානය හැඳින්විය හැකියි. එය සෑම වසරකම මැයි මාසයේ දී ප්‍රදානය කරනවා.

1993 වසරේ දී මෙම සම්මාන උළෙල ආරම්භ වූ අතර එහි නිර්මාතෘ වන්නේ ලංකාවේ උපත ලබා වර්තමානයේ කැනඩාවේ වාසය කරන පිලිප් මයිකල් ඔන්ඩච්චි යි. එම සම්මානය පිරිනැමෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ යෙදෙන ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන් වෙනුවෙන්. සම්මානය ඒ නමින් නම් කර ඇත්තේ මයිකල් ඔන්ඩච්චිගේ මව වන මොරිස් ග්‍රේෂන්ට උපහාරයක් වශයෙනුයි. 

නවකතාකරුවකු, කවියකු, සංස්කාරකවරයකු මෙන්ම සිනමාකරුවකු ද වන මයිකල් ඔන්ඩච්චි නම් විශ්ව කිර්තියට පත් සාහිත්‍යධරයා පිළිබඳව යි මේ ලිපිය ගෙන එන්නේ. 

ලංකාවේ උපත ලැබූ මයිකල් ඔන්ඩච්චි 

මයිකල් ඔන්ඩච්චි (thefamouspeople)

1943 වසරේ ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ උපත ලබන මයිකල් ඔන්ඩච්චි සිංහල, දෙමළ, හා බර්ගර් මිශ්‍ර සම්භවයක් ඇති අයෙක් ලෙස හැඳින්විය හැකියි. කුඩා කාලයේ දී ඔහු අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයයෙන්. 1954 වසරේ දී, ඔහු එකොළොස්වැනි වියෙහි පසුවද්දී තම මව සමග එංගලන්තයේ ස්ථිර පදිංචිය සඳහා මෙරටින් පිටත්ව යනවා.

එංගලන්තයේ දී තම ද්විතික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු කැනඩාව වෙත සංක්‍රමණය වන ඔහු එරට ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නවා. ඉන් පසුව කැනඩාවේ ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගන්නවා. ඒ 1967 වසරේ දී යි. පසුව ඔහු තම ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරනවා. උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු කැනඩාවේ විශ්වවිද්‍යාලයයන් කිහිපයක ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය ඉගැන්වීමේ නිරත වෙනවා.

ඔන්ඩච්චිගේ සාහිත්‍ය දිවිය 

The English Patient කෘතිය (johannesburgreviewofbooks.com)

වයස අවුරුදු 19 දී Social Call නමින් ඔහුගේ පළමු කවි සංග්‍රහය එළි දක්වනවා. නමුත් ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ 1967 වසරේ එළිදක්වන ලද The Dainty Monsters නම් කාව්‍ය සංග්‍රහය හේතුවෙන්.

ඔහුගේ පළමු නවකතාව නිකුත් වන්නේ එයින් වසර නමයකට පසු 1976 වසරේ දී යි. එය Coming Through Slaughter නම් වුණා.  In the Skin of a Lion නමින් තම දෙවන නවකතා පොත එළිදක්වන්නේ 1987 වසරේ දී යි. ඔහුගේ තෙවන නවකතාව වන The English Patient කෘතිය හේතුවෙන් ඔහු ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙක් බවට පත්වෙනවා. ඒ එම කෘතියට බුකර් සම්මානය හිමි වීමත් සමග යි. ඉන්පසු තවත් කෘති හතරක් එළිදක්වන අතර ඒ අතරින් 2018 වසරේ දී එළිදැක්වුණු Warlight කෘතිය මුළු ලෝකයේම පාඨකයන් හා විචාරකයන්ගේ අවධානයට ලක්වෙනවා. ඊට අමතරව කාව්‍ය සංග්‍රහ රැසක්ම ඔහු අතින් නිර්මාණය වෙනවා. 2006 වසරේ රචිත The Story කාව්‍ය සංග්‍රහය ඔහු විසින් දැනට නිර්මාණය කෙරී ඇති අවසන් කාව්‍ය එකතුව යි. 

මේ වන විට ඔන්ඩච්චි කැනේඩියානු පුරවැසියෙක් වන අතර එරට රජය විසින් මේ කෘතහස්ත ලේඛකයාට ගෞරවණිය සම්මාන රැසක් ද පිරිනමා තිබෙනවා.

බුකර් සම්මානය පිරිනැමීම ආරම්භ කර වසර පනහක් පිරීම නිමිත්තෙන් පසුගිය දශක පහේ දී බුකර් සම්මානයන් හිමි කර ගත් කෘති සලකා බලමින් කෘති 52ක් තෝරාගැනීම සිදුවන්නේ පසුගිය 2018 වසරේ දී යි. ඉන් අනතුරුව ඒ අතරින් හොඳම නවකතාව ලෙස 1992 දී බුකර් සම්මානයෙන් පිදුම් ලද ඔන්ඩච්චිගේ ඉංග්ලිෂ් පේෂන්ට් කෘතිය නැවතත් තෝරා ගැනෙනවා. ඒ හේතුවෙන් ඔහුට “ගෝල්ඩන් මෑන් බුකර්” සම්මානය හිමි වෙනවා.

ග්‍රේෂන් සම්මානය හා මයිකල් ඔන්ඩච්චි 

2018 දී ගෝල්ඩන් බුකර් සම්මානය ලබා ගනිමින් (publishingperspectives.com)

දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිර්මාණය වූ කතාවක් වන ඔහුගේ The English Patient කෘතියට බුකර් සම්මානය හිමිවෙන්නේ 1992 වසරේ දී යි. ඔන්ඩච්චි බුකර් සම්මානයෙන් පුද ලද ලංකාවේ උපන් පළමුවැනි පුද්ගලයා මෙන්ම ප්‍රථම කැනේඩියානුවා ද ලෙස සඳහන් කළ හැකියි. 

මයිකල් ඔන්ඩච්චි, බුකර් සම්මානය සමග ලැබූ  සම්පූර්ණ ත්‍යාග මුදල තම උපන් රට වූ ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය කෘති සඳහා සම්මාන ප්‍රදාන උළෙලක් ආරම්භ කිරීමට යොමු කරනවා. එම සාහිත්‍ය සම්මානය තම මව වූ ඩොරිස් ග්‍රේෂන් නමින් නම් කරනවා. ග්‍රේෂන් සම්මානයේ පළමු සම්මානය ප්‍රදානය 1993 වසරේ දී යි. මේ දක්වා එය ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා වාර්ෂිකව නොකඩවා ප්‍රදානය කරෙනවා. 1993 වසරේ දී පළමු ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලබන්නේ කාර්ල් මුලර් හා ලලිතා වන්නිආරච්චි යි. 

ග්‍රේෂන් සම්මානය (cloudfront.net)

බුකර් සම්මානය ලබා ශ්‍රී ලංකාවට අයත් කර දුන් ගෞරවය හා එම මුදල් යොදවා ශ්‍රී ලංකාවේ සාහිත්‍යය නගා සිටුවීමට කළ මෙහෙවර උදෙසා විදේශිකයකුට මෙරටින් හිමිවන ඉහළම සම්මානය ඔන්ඩච්චිට ලබා දෙනවා. ඒ ශ්‍රී ලංකා රත්න සම්මානය යි. ඔන්ඩච්චි මෙම සම්මානයෙන් පිදුම් ලබන්නේ  2005 වසරේ දී යි. ශ්‍රී ලංකාවේ උපත ලබා ලෝක සාහිත්‍යයේ පෙරළියක් කෙරූ , ඊට අමතරව ලංකාවේ සාහිත්‍ය වර්ධනය සඳහා මෙහෙවරක් ඉටුකළ මෙවැනි ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙක් වෙනුවෙන් ඊට වඩා දෙයක් ශ්‍රී ලංකාවෙන් තවම සිදු වී නෑ.

කවරයේ පින්තූරය - cloudfront.net

මූලාශ්‍රයයන් - 

facebook.com/MichaelOndaatje

thebookerprizes.com

Related Articles