ජාතික ඇඳුමින් සැරසී නිතර සිනහ පිරි මුහුණින් සිටි, බස්රථයේ ගමන්බිමන් ගිය සරල මිනිසෙක් තමයි මහාචාර්ය විනී විතාරණ කියන්නේ. සිංහල භාෂාවට, පුරාවිද්‍යාවට සහ ඉතිහාසයට ඉමහත් සේවයක් කළ මහාචාර්ය විනී විතාරණ රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු සිංහල මහාචාර්වරයායි. ඔහු විශ්වවිද්‍යාල කාලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයත් දැරූ නමගිය ක්‍රීඩකයෙක්. කෙනකුගේ සිරුරට ඇටසැකිල්ල කොතරම් වැදගත් වන්නේ ද භාෂාවට ද ව්‍යාකරණය එතරම් වැදගත් බව විනී විතාරණ නිතර ප්‍රකාශ කළ කියමනක්. බොහෝ දෙනකු තුළ අවබෝධයක් නැති මේ විශිෂ්ට උගතා ගැන දැනුවත් වීමට මෙම ලිපිය ඔබට අවස්ථාව ලබාදේවි.
දිවි තොරතුරු
1928 ජූනි 02 දා විනී විතාරණ ළදරුවා උපත ලද්දේ තංගල්ල පල්ලික්කුඩාව නම් ගමේදීයි. තංගල්ල ක්‍රිස්තියානි සිංහල පාසල සහ ක්‍රිස්තියානි මහා විද්‍යාලයේ ඔහු මූලික අධ්‍යාපනය ලබනවා. විනී පසු ව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළු වුණා. මහින්ද විදුහලේදී ඔහු හා සමකාලීන ව ආචාර්ය එඩ්වින් ආරියදාස, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැනි උගතුන් ද අධ්‍යාපනය ලැබුවා. ඔවුන් සිංහල පවා ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
මහින්දයේ අධ්‍යාපනය 1945 දී නිම කළ විනී උසස් අධ්‍යාපනයට ඇතුළු වුණේ කොළඹ ලංකා විශ්වවිද්‍යාලයටයි. එහිදී ඔහුට මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය රත්නසූරිය, මහාචාර්ය ජෝතිය ධීරසේකර වැනි වියතුන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් ලැබුණු බව සඳහන්. මේ අතර විනී තරුණයා 1940 දශකයේ සිට ම කුමාරතුංග මුනිදාසගේ හෙළ හවුලටත් සම්බන්ධ වී සිටියා. යටත් විජිත කාලෙ භාෂා ප්‍රේමී හැඟීම් ඉස්මතු වීම එයට හේතුවයි. එහෙත් හෙළ හවුල බදාගෙන අන්තවාදී ලෙස ඔහු කටයුතු කළ බව නම් පෙනෙන්නෙ නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඔහු පළමු වෘත්තිය ලෙස ගුරුකම තෝරාගන්නවා.
ගුරුකමෙන් සරසවියට
විනී විතාරණ තමා ඉගෙන ගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ද උප ගුරුවරයකු ලෙස සේවය කරනවා. ඒ අතර ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ ව පළමු පෙළ ගෞරව (BA) උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ද ඔහු හිමි කර ගන්නවා. පසුව ගුරුකමෙන් ඉවත් වී 1957-59 කාලයේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘවරයකු වශයෙන් සේවයට බැඳෙනවා.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහකාර කථිකාචාර්යවරයකු ලෙස බැඳෙන්නේ 1960 දීයි. එහි වසර 22ක් විනී සේවය කළා. ඒ අතර ම 1960 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල, පුරාවිද්‍යාව ආදී අන්තර් ශික්ෂණයන් පිළිබඳව ආචාර්ය උපාධියක් ද හිමිකර ගන්නවා.
පරණවිතානගේ අවසන් ගෝලයා
“මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අවසන් ගෝලයා මමයි. මම හිතන්නේ මට පසුව එතුමට තවත් ශිෂ්‍යයකු නොසිටියා වගෙයි. මා එතුමාගේ ආශ්‍රයේ සිට අවුරුද්දකින් දෙකකින් එතුමා අභාවප්‍රාප්ත වුණා. ඒ තරම් කනගාටුදායක දිනයක් මට තිබුණේ නෑ. ලංකාවේ බොහෝ විද්වතුන් අපි ආශ්‍රය කළා. නමුත් එතුමාගේ චරිත ලක්ෂණ මුල සිට අග තෙක් බැලුවත් ඒ සියල්ල විද්වතකු හා සම්බන්ධයි.
පරණවිතාන අපට ඉගැන්වූයේ පර්යේෂණ විධි පිළිබඳව. එතුමා පර්යේෂණ කළා. අද වගේ මෙන්න මෙහෙම කරන්න කියල අපට කියල දුන්නෙ නෑ. පරණවිතානගේ ලිපි නූතන අය විශේෂයෙන් කියවල නෑ. ඒ මොකෝ? වාසනාවකට හෝ අවාසනාවකට ඉංග්‍රීසි දන්නෙ නැති නිසා. පරණවිතාන සියලු පොතපත ලිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්. විශ්ව මට්ටමේ ඉංග්‍රීසි භාෂාවකින්.”
විනී විතාරණ එසේ පැවසුවේ පරණවිතාන අනුස්මරණ දේශනයක දී( archaeology.lk).
ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ද ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් වුණා. ඒ කුමාරතුංගගේ භාෂා සාහිත්‍ය සේවය පිළිබඳ ව අධ්‍යයනය කරමින්. රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ පළමු මහාචාර්යවරයා ලෙස සේවයට එක්වුණේ 1981 දීයි. ඔහු 1993 දී විශ්‍රාම යනතුරුම එහි සේවය කළා. මහාචාර්ය විතාරණට රුහුණු විශ්වවිද්‍යාලය මගින් සම්මානිත මහාචාර්ය පදවිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් D.Lit ආචාර්ය උපාධිය ද පිරිනැමුවේ ඔහුගෙන් ලැබුණු සේවයට කෘතගුණ සැලකීමක් විදිහටයි.
පර්යේෂණ රැසක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පර්යේෂණවල නිරත නොවීම ගැන මහාචාර්ය විනී නිතරම විවේචනය කළා. ඔවුන්ට ආදර්ශ සපයමින් නොයෙක් විෂය ක්ෂේත්‍ර ගැන පර්යේෂණ ලිපි හා පොත්පත් රාශියක් ඔහු ඉංග්‍රීසියෙන් ලියා පළ කර තිබෙනවා ඒ අතරින් ඔරු හා යාත්‍රා පිළිබඳ ව ලියූ කෘතිය The Oru and the Yatra (1992), මාලදිවයින පිළිබඳ ව ලියූ කෘතිය Sri Lanka – Maldivian Cultural Affinities (1997) හා ඉර හා සඳ ගැන කළ පර්යේෂණය (Sun and Moon in Sinhala Cultural 1997) ඉහළ ඇගැයුමකට පාත්‍ර වී තිබෙනවා.
සිංහල භාෂාව පිළිබඳ ව දිවයිනේ සිටි ඉහළම ගණයේ පඬිවරයකු වශයෙන් සැලකෙන විනී විතාරණ වර්තමානයේ සිංහල බසේ වියරණ බිඳීම ගැන සිටියේ ලොකු කනගාටුවකින්.
“ක්‍රියාවට නැංවිය හැකි සම්මත සිංහලය හදන්න එදා වගේ දැන් පඬිවරු නෑ. ඊනියා පඬිවරුන්ගේ රැස්වීම් නම් තිබෙනවා. ඒත් ඒ අයට මේක කරන්න බෑ. සිංහල ව්‍යාකරණ උගන්වන අයටත් ව්‍යාකරණ බැරි බව ඒ අයගේ ලිපි ලේඛන කියවන විට පෙනෙනවා. අද සිංහල ආචාර්ය, මහාචාර්යවරුන් ව්‍යාකරණ ගැන ලියන දේවලින් වැඩිහරිය බොරු.” ඔහු වරෙක ප්‍රකාශ කර සිටියා.
දක්ෂ ක්‍රීඩකයා ලැබූ සාහිත්‍ය සම්මාන
ඔහු ක්‍රිකට් ගැසීමට දක්ෂයෙක්. කොළඹ විශ්වවිද්‍යාල ආචාර්ය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු වරෙක කටයුතු කර තිබෙනවා. වොලිබෝල් ජාතික ක්‍රීඩාව ලෙස 1991 දී නම්කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් ද ඔහු කටයුතු කළා. එහිදී ඔහුගේ ක්‍රීඩා දැනුම ඔහු පෙන්නුම් කර තිබෙනවා. 1962 දී සාහිත්‍ය පිළිබඳ යුනෙස්කෝ ත්‍යාගය, කලාකීර්ති රාජ්‍ය සාහිත්‍ය සම්මානය, සර්වෝදය සම්මානය, කලා මණ්ඩල සම්මානය, රෝහණ රන්සිළු සම්මානය, සාහිත්‍ය රත්න සම්මානය ආදිය ඔහුට ලැබුණු සම්මාන කිහිපයක්.
සිංහල භාෂාවට ආචාර්ය උපාධි දෙකක්
සිංහල භාෂාව හා සාහිත්‍යය ගැන කළ පර්යේෂණ වෙනුවෙන් ආචාර්ය උපාධි දෙකක් ම දිනා ඇති මහාචාර්ය විනී විතාරණ, “Light of Asia ” “ගීතාංජලී “රුබය්යාට්” වැනි ලෝක සම්භාවනාවට ප්‍රාත්‍ර වූ ග්‍රන්ථ රැසක් සිංහලයට පරිවර්තනය කළා. ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස ද, සිංහල බස ද හසුරුවමින් , සිංහල භාෂාව හා සාහිත්‍යය ගැන පර්යේෂණ කළා. මතු පරපුරට ඒ දැනුම නොමසුරුව බෙදා දුන්නා. අවසන් කාලයේ ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පළ වන සිංහල සාහිත්‍ය කෘති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියකට දායක වී සිටියා.
ගත්කතුවරයකු, පරිවර්තකයකු, විචාරකයකු මෙන් ම භාෂා සාහිත්‍යධරයකු ද වන මහාචාර්ය විනී අතින් සිංහල කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමත් ඉංග්‍රීසි පොත් සිංහලට පරිවර්තනය කිරීමත් සිදුවුණා. ඔහු මේඝරාගය නමින් කවි පොතක් ද ලියා තිබෙනවා. කව්සිළුමිණ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම වෙනුවෙන් ඔහුට ග්‍රේෂන් සම්මානයක් ද හිමි වුණා.
තනතුරු රාශියක්
මහාචාර්ය විනී විතාරණ, 1991- 1994 කාලය තුළ ලංකා කලා මණ්ඩලයෙහි සභාපති ධූරය දැරුවා. 2001-2004 කාලයේ සිංහල ශබ්ද කෝෂයෙහි ප්‍රධාන සංස්කාරක වුණෙත් ඔහුයි. 1970 -1977 හි සිංහල සාහිත්‍ය මණ්ඩලයෙහි සභාපති ධූරයත්, 2007 සිට ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයෙහි සභාපති ධූරයත් මේ විද්වතාට හිමිව තිබුණා.
මහාචාර්ය විනී විතාරණ දක්ෂ දේශකයකු ලෙසත් ප්‍රකටව සිටියා. මෙරට පමණක් නොව, ප්‍රංශය, එංගලන්තය, ජපානය, හොංකොං, ඉන්දියාව, රුසියාව, මාලදිවයින ආදී රටවල ද, 1992 සාක් උලෙළ වෙනුවෙන් ඉන්දියාවේ දිල්ලි, ජායිපූර්, බැංගලෝර්, කල්කටා,අලහබාද් ආදී නගරවල ද ඔහු දේශන පවත්වා තිබෙනවා.
මහාචාර්ය විනී විතාරණ මෙලොවින් සමුගත්තේ 2019 දෙසැම්බර් 2 දායි. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 91ක් වුණා. මියයන කාලයේ ඔහු වාසය කළේ ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේ, නිවසේයි.
අවසන් කාලෙත් වැඩ
ජීවිතයේ අවසන් කාලයේ දී පවා මහාචාර්ය විනී නිකරුණේ ගත කළේ නැහැ. අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති වන සසදාව, මුවදෙව්දාව, කව්සිළුමිණ, ගිරා සන්දේශය, සැලලිහිණි සන්දේශය, මයූර සන්දේශය ආදි සිංහල පද්‍ය සාහිත්‍ය කෘති රාශියක් ඔහු ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරුවා. මෙරට විශිෂ්ට ගද්‍ය සාහිත්‍ය කෘතියක් වන සද්ධර්මරත්නාවලියත් ඔහුගේ අතින් ඉංග්‍රීසියට පෙරළුණා.
වරක් ගාල්ලේ පැවති විද්වත් බුහුමන් සම්මාන උළෙලකදී මහාචාර්ය විනී විතාරණ ද සම්මානයට පාත්‍ර වුණා. එම උළෙල සංවිධානය කර තිබුණේ ජී.ඇම්. අජිත් කවියා ඇතුළු පිරිසක්. එහිදී මහාචාර්ය විනි සම්මානය ලබාගන්නා විට අජිත් කවියාට තරමක් නැවී ආචාර කර තිබෙනවා. අජිත් කවියා එහිදී මහාචාර්ය විනී විතාරණට ගෞරවය පළ කළේ මේ විදිහටයි:
‘යුතුකම පරිදි ඉටුකළ මුත් පුළුවන් දේ
මහ පඬිරුවන මොන එකටද මට වැන්දේ
මම මේ තුඹස අඩියක් පමණයි බැන්දේ
ගෑවෙන්නවත් බෑ ඔය සමනළ කන්දේ’