Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රේෂ්ඨ සිනමාවක ඇරඹුම; ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත්

19 වන සියවසේ අග භාගය සහ 20 වන සියවසේ ආරම්භය කියන්නෙ ලෝක සිනමාව ගැන කතාබහ කරද්දි සෑහෙන්න තීරණාත්මක කාල පරිච්ඡේදයක්. චලන චිත්‍රය සම්බන්ධයෙන් ඒ අවධියේ සිද්ධ වුණු නොයෙක් සොයා ගැනීම් සහ නව නිෂ්පාදන හරහා තමයි පසුකාලීනව සිනමාව ප්‍රබල කලා මාධ්‍යයක් විදියට ගොඩ නැගෙන්නෙ. එඩ්වඩ් ම්‍යුබ්‍රිජ්, ජෝර්ජ් ඊස්ට්මන්, තෝමස් අල්වා එඩිසන් සහ ලුමියර් සහෝදරවරු වගේ තවත් ගොඩක් අය මේ නව සොයා ගැනීම් වෙනුවෙන් දරදිය ඇද්දා. ඒ මහන්සිය හරහා ගොඩනැගුණු ‘චලන චිත්‍රය’ කලා මාධ්‍යයක් බවට පත් කරන්න උත්සාහ කරපු මුල්කාලීන ශිල්පීන් විදියට එඩ්වින් එස්. පෝටර්, ජෝර්ජ් එස්. මෙලියස් සහ ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් වගේ අය හඳුන්වන්න පුළුවනි. ඒ අතරිනුත් කලාත්මක සිනමාවේ පුරෝගාමියා විදියට වැඩි දෙනෙක් පිළිගන්න ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් ගැනයි මේ සටහන.

1875 ජනවාරි මාසෙ 22 වෙනිදා ඇමරිකාවෙ කෙන්ටකි ප්‍රාන්තයේ ඉපදෙන David Wark Griffith ගේ  ළමා කාලය ඒ තරම් සුන්දර එකක් වෙන්නෙ නැහැ. එයාගෙ තාත්තා මැරෙන්නෙ ග්‍රිෆිත්ට අවුරුදු දහයෙදි. එතන ඉඳලා ග්‍රිෆිත්ට සෑහෙන්න මහන්සි වෙන්න සිද්ධ වෙනවා තනියම තමන්ගෙ ජීවිතේ හදාගන්න. ඔය අතරෙ නාට්‍ය කලාව, කවිය වගේ කලා මාධ්‍යයන් එක්ක ටිකක් ළඟ සම්බන්ධයක් පවත්වන එයා සිනමාවට පිවිසෙන්නෙ රංගන ශිල්පියෙක් විදියට. ඒ එඩ්වින් එස්. පෝටර්ගෙ Rescued from an Eagle’s Nest කියන චිත්‍රපටයෙන්. ග්‍රිෆිත් පෝටර් මුණගැහෙන්න යන්නෙ තමන්ගෙ චිත්‍රපට පිටපතකුත් අරගෙන. පිටපත පෝටර් අතින් ප්‍රතික්ෂේප වුණත් එයා ග්‍රිෆිත්ට තමන්ගෙ චිත්‍රපටයේ චරිතයක් ලබා දෙනවා.

අධ්‍යක්ෂණයට පිවිසීම

ග්‍රිෆිත් සිනමාවට පිවිසෙන කාල සීමාව තමයි ලෝක සිනමාවේ ආරම්භක අවධිය. ඒක සිනමාවට අදාළ  නව තාක්ෂණික සොයා ගැනීම්, අත්හදා බැලීම් අඩුවක් නැතුව සිද්ධ වුණු කාලයක්. හැබැයි සිනමාව කලා මාධ්‍යයක් විදියට වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන ගොඩක් දේවල් ගැන ඒ වෙනකොටත් කිසි කෙනෙකුට පැහැදිලි  අදහසක් තිබුණෙ නැහැ. ඔය අතරෙ රංගන ශිල්පියෙක් විදියට සිනමාවට ආව ග්‍රිෆිත් තමන්ගෙ මූලික අභිප්‍රාය වුණු සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඒ කෙටි චිත්‍රපට හරහා.

ග්‍රිෆිත් රූගත කිරීමක් අතරතුර…

සිනමාව හා ග්‍රිෆිත් අතරෙ තිබුණු බැඳීම කොයි තරම් තද එකක් ද කියන කාරණය හොඳින් තේරුම් ගන්න පුළුවන් අවුරුදු කිහිපයක් ඇතුළත ග්‍රිෆිත් නිර්මාණය කරපු කෙටි චිත්‍රපට ප්‍රමාණය දිහා බැලුවොත්. සිය ගාණක් කෙටි චිත්‍රපට හදන ග්‍රිෆිත් ඒ හැම චිත්‍රපටයක් හරහාම තමන්ගෙ සිනමා ජීවිතයේ පදනම තව තවත් ශක්තිමත් කරගන්නවා. තවත් විදියකට කිව්වොත්, ග්‍රිෆිත් තමන්ගෙ කෙටි චිත්‍රපට හරහා ඒ වෙනකොට සිනමාවේ තිබුණු හැම මූලධර්මයක්ම හොඳින් හදාරනවා. The Adventures of Dollie (1908) තමයි එයාගෙ මුල්ම කෙටි චිත්‍රපටය. සිනමා ලේඛනවලට අනුව ග්‍රිෆිත් එතන ඉඳලා ගෙවුණු අවුරුදු හය ඇතුළත නිර්මාණය කරන තනි රීලයේ කෙටි චිත්‍රපට සංඛ්‍යාව 450 කට ආසන්නයි.

ඒ දීර්ඝ හැදෑරීම් වලින් පස්සෙ ග්‍රිෆිත් තීරණය කරනවා තමන්ගෙ නිර්මාණ ජීවිතයේ වැදගත්ම චිත්‍රපට දෙක නිර්මාණය කරන්න. ඒ තමයි The Birth of a Nation (1915) සහ Intolerance (1916). සිනමාවේ මුල් යුගයේ බිහි වුණත් ඒ චිත්‍රපට දෙක එදා මෙදාතුර බිහිවුණු දැවැන්තම චිත්‍රපට දෙකක් බවයි විචාරක මතය. විශේෂයෙන්ම Intolerance චිත්‍රපටයේ එන ‘බැබිලෝනියාව ආක්‍රමණය කිරීම’ වගේ දැවැන්ත දර්ශන වර්තමානයේ පවා අති විශිෂ්ට දර්ශන විදියට සැලකෙනවා. ග්‍රිෆිත්ගේ සිනමා භාවිතාවේ සුවිශේෂීම ලක්ෂණයක් තමයි ඒවා අති දැවැන්ත නිර්මාණ වීම. තාක්ෂණය ඒ තරම් දියුණු නැති 1915-16 වගේ කාලයක එහෙම දේවල් ගැන හිතීම පවා ඇඟ හිරිවැටෙන අත්දැකීමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

Intolerance චිත්‍රපටයේ රූපරාමුවක්…

ප්‍රේක්ෂක හැඟීම් උද්දීපනය කිරීම ඒ චිත්‍රපට පුරාම දකින්න ලැබුණා. ඒ වගේම ග්‍රිෆිත් නිතර විශ්වාස කළ දෙයක් තමයි සාර්ථක අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නම්, කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගෙ ප්‍රේක්ෂකයාගේ හදවත දිනිය යුතුයි කියන කාරණය. Broken Blossoms (1919), Way Down East (1920), Orphans of the Storm (1921), සහ The Struggle (1931) වගේ ග්‍රිෆිත් නිර්මාණය කරපු හැම චිත්‍රපටයකම මේ ලක්ෂණ අඩුවක් නැතිව දකින්න ලැබුණා.

පුරෝගාමී සිනමා මෙහෙවර

ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් ලෝක සිනමාව සම්බන්ධයෙන් හදාරන කෙනෙකුට මග හරින්න බැරි චරිතයක් වෙනවා හේතු ගණනාවක් නිසා. මුල්ම කාරණය තමයි, සිනමාව කලා මාධ්‍යයක් විදියට ස්ථාපිත කරන්න මූලිකත්වය ගැනීම. මුල් කාලීනව සිනමාව කියන්නෙ තාක්ෂණය පමණක් මූලික වුණු විෂයයක් විදියටයි ගොඩක් අය තේරුම් අරගෙන තිබුණෙ. ගොඩක් වෙලාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ කැමරා ශිල්පියා වුණේ එක පුද්ගලයෙක්. හැබැයි ග්‍රිෆිත් තමන්ගෙ අධ්‍යයනයන් හරහා තේරුම් ගන්නවා සිනමාව කියන්නෙ අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍යයක් මිස හුදු තාක්ෂණික මැජික් පෙන්වීමක් නෙමෙයි කියන කාරණය.

ග්‍රිෆිත් තමන්ගෙ නිර්මාණ හරහා සිනමාවට දායාද කරන්නෙ සුළුපටු දේවල් නෙමෙයි. තමන්ගෙ හැදෑරීම් හරහා එයා ඒ වෙනකොට තිබුණු සිනමා මූලධර්මවලට ගොඩක් කරුණු අලුතෙන් එකතු කරනවා. මුල් කාලීනව සිනමා කෘති බිහි වුණේ ස්ථාවර කැමරාවකින් ගත්ත සරල රූපරාමු වලින්. හැබැයි ග්‍රිෆිත් තමන්ගෙ චිත්‍රපටවල ප්‍රේක්ෂක අවධානය තැනින් තැනට අරගෙන යන්න සමීප රූප වගේ දේවල් භාවිතා කරන්න පෙළඹෙනවා. ඒක මුල් අවස්ථාවේ චිත්‍රපට නිෂ්පාදකවරු පවා භීතියට පත් කරපු තීරණයක්. ‘කිසිම ප්‍රේක්ෂකයෙක් නළුවෙකුගේ හෝ නිළියකගේ කොටසක් දකින්න කැමති වෙන එකක් නැහැ’යි කියන අදහස තමයි ඒ වෙනකොට ගොඩක් අය විශ්වාස කළේ. ඒත් ග්‍රිෆිත් ඒ අදහස වෙනස් කරනවා. ‘මට අවශ්‍ය වන්නේ ඔබට දකින්න සැලැස්වීමයි…’ කියන්නෙ ග්‍රිෆිත්ගෙ සුප්‍රකට කියමනක්. එයා ඒ අනුව එයාට අවශ්‍ය දේ අපට දකින්න සලස්වනවා, ඒ සඳහා සුදුසුම රූප රාමුව යොදා ගනිමින්.

සංස්කරණ ක්‍රමවේද සම්බන්ධයෙන් ග්‍රිෆිත් කරපු අත්හදා බැලීම් හරහාත් ලෝක සිනමාවට ගොඩක් දේවල් දායාද වුණා. රූප කිසියම් රටාවකට ගැළපීම හරහා ප්‍රේක්ෂක මනෝභාවයන් තීව්‍ර කිරීම කොයි තරම් සාර්ථකව කරන්න පුළුවන්ද කියන කාරණය එයා ප්‍රායෝගිකවම ඔප්පු කරල පෙන්නපු එක තැනක් තමයි The Birth of a Nation චිත්‍රපටය. ඒ වගේම ඒක රීල් 12 ක සටහන් වුණු, පැය තුනහමාරක අති දැවැන්ත නිර්මාණයක්. තනි රීලයේ චිත්‍රපටවලින් ලෝක සිනමාව මිදෙන්නෙත් ග්‍රිෆිත්ගෙ චිත්‍රපටයක් හරහා වීම විශේෂත්වයක්.

Douglas Fairbanks, Mary Pickford, Charles Chaplin, D.W. Griffith

වඩාත් පැහැදිලිව සඳහන් කළොත්, සරල තාක්ෂණික හරඹයක් ශ්‍රේෂ්ඨ සහ දැවැන්ත කලා මාධ්‍යයක් බවට පත් කරන්න පුරෝගාමී වෙන්නෙ ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් කියන චරිතය. චාලි චැප්ලින් එක වෙලාවක කියනවා ‘ග්‍රිෆිත් තමයි අපි හැමෝගෙම ගුරුවරයා’ කියලා. ඒ වගේම එදා මෙදාතුර බිහිවුණු සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරු, සිනමා විචාරකයො සහ තවත් ගොඩාක් අය ග්‍රිෆිත් සම්බන්ධයෙන් ඒ වගේ අදහස් පළ කරලා තියෙනවා.

1948 ජූලි 23 වෙනිදා ජීවිතක්ෂයට පත්වුණු ග්‍රිෆිත් ලෝක සිනමාවේ බිහිවුණු වැදගත් සහ කීර්තිමත් සිනමාකරුවෙක් විදියට අවිවාදයෙන් පිළිගැනෙන ප්‍රධානම හේතුව තමයි, තනි පුද්ගලයෙක් විදියට තමන්ගෙ සිනමා භාවිතාව හරහා ලෝක සිනමාවට ඔහු කරපු මෙහෙවර. ඒක අතිශය දුර්ලභ වටිනාකමක්. ග්‍රිෆිත් ගියේ කලින් සකස් කරපු සුමට මාර්ගයක නෙමෙයි. තමන් විසින්ම සකසා ගත යුතු, දුෂ්කර මාවතක. පස්සෙ කාලෙක ගොඩක් අයට ඇවිදගෙන යන්න පුළුවන් විදියට ඒ මාර්ගය සකස් කරපු නිසයි ග්‍රිෆිත් ලෝක සිනමාවේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්නෙ.

මූලාශ්‍ර

සිනමාව හා ජන සමාජය – රොජර් මැන්වෙල් (පරිවර්තනය – එම්.ඩී. මහින්දපාල)

www.britannica.com

www.biography.com

http://www.imdb.com

සියලුම ඡායාරූප http://www.imdb.com වෙබ් අඩවියෙනි.

Related Articles