ලංකාවේ දේශපාලන වංශකතාව තුළ නොමැකෙන මතක සටහන් ඉතුරු කළ අපූරු චරිතයක් පිළිබඳවයි අද අපි ඔබට ගෙන එන්නට අදහස් කළේ. කෙළින් වැඩකළ කියන්නට ඕන දෙය කෙලින්ම මුහුණට කියූ තරමක් සෙල්ලක්කාර එමෙන්ම මනා පෞරුෂයකින් යුක්ත පාංශූ දේහධාරී පුද්ගලයෙක්, කුකුල් කේන්තිකාරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි නමුත් මහත්මා දේශපාලනයකින් යුත් මෙතුමා අන් කවරෙකුත් නොව ලංකාවේ තෙවන අගමැති සර් ජෝන් කොතලාවලයි. සර් ජෝන් දුප්පත් පොහොසත් භේදයකින් තොරව උදව් කරන කෙනෙක් ලෙසත්, කවුරුත් බොහොම ගරු සරු දක්වපු කෙනෙක් ලෙසත් ප්‍රසිද්ධයි.
අද අපි ලියන්නේ ඔහුගේ දේශපාලනය සම්බන්ධ කරුණු මෙන්ම සර් ජෝන් හා සම්බන්ධ අපූරු රසවත් කතා අතරින් කිහිපයක්. ශ්‍රී ලාංකික දේශපාලනයේ සර් ජෝන් තරම් ආන්දෝලනාත්මක සිදුවීම් වලට හේතු වූ වෙනත් චරිත නැති තරම්. ඉතින් සර් ජෝන් ගැන ඔබ දන්නා අපූරු සිදුවීම් තියනවනම් comment එකකින් කියන්නටත් පුළුවන්.
කොතලාවල – ආටිගල යුවලේ වැඩිමලා, ජෝන් ලයනල් කොතලාවල
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවලටත්, (අපි කවුරුත් දන්නා නෙයිනගේ සූදුව නීතිය හමුවේ කොටු කරගත්තේ මෙතුමායි) එකල මෙරට “මිනිරන් රජ පරම්පරාව” ලෙස හදුන්වනු ලැබූ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වූ ආටිගල පරපුරේ ඇලිස් ආටිගලටත් දාව 1897 අප්‍රේල් මස 04 වන දින පවුලේ වැඩිමහල් දරුවා ලෙස ජෝන් ලයනල් කොතලාවල උපත ලබනවා. ජස්‌ටින් කොතලාවල හා ප්‍රිඩා කොතලාවල ජෝන්ගේ සහෝදරයා හා සහෝදරියයි.
කුඩාකලදී ම පියා මරණයට පත් වීම හේතුවෙන් තම මව් පාර්ශවයෙන් ඥාතියෙක් වූ ඇෆ්. ආර්. සේනානායක විසින් කුඩා ජෝන්ව රැක බලා ගන්නවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන තරුණ ජෝන් උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට පිටත්ව යනවා. කේම්බ්‍රිජ් සරසවියෙන් තම ප්‍රථම උපාධිය ලබා ගන්නා ඔහු 1922 වසරේදී දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් ලංකා පාබල හමුදාවට ඇතුළු වෙනවා.
එවකට පැවති උසස්ම තනතුරවූ කර්නල් ධූරයට පත්වීමෙන් අනතුරුව විශ්‍රාම යාමට ප්‍රථම සර් ජෝන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් ද කටයුතු කරනවා. පසු කාලයේදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජෙනරාල් පදවියක් ද පිරිනමා උපහාර දක්වන අතර එංගලන්තයේ මහ රැජිනගෙන් ශ්‍රීමත් (සර්) යන නයිට් නාමයෙන්ද පිදුම් ලබනවා.
රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් කුරුණෑගලට
යුධ හමුදාවෙන් ඉවත් වන සර් ජෝන් 1937දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කුරුණෑගල අසුනට තරග කර ජයග්‍රහණය කරනවා. පසුව 1939දී නැවතත් එම ආසනය දිනා ගන්නේ කෘෂිකර්මාන්තය හරහා එම ප්‍රදේශයේ ජනතාවට කළ සේවය හේතුවෙන්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඩී.ඇස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘෂිකර්ම සහ ඉඩම් කාරක සභාවේ සාමාජිකයකු සර් ජෝන් ඩී.ඇස්. සේනානායක මහතා විදේශගත වූ විට වැඩ බලන ඇමැතිවරයා වශයෙන්ද ක්‍රියා කරනවා.
ඩී.ඇස්‌ගේ පක්ෂය හා එක් වීම
1947 වසරේ මෙරට පැවැත්වුණු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන සර් ජෝන් ඩී.ඇස්. සේනානායකයන් විසින් පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන හා කර්මාන්ත ඇමතිවරයා ලෙස කටයුතු කරමින් විශාල සේවයක් ඉටු කරනවා.
ගාලු පාරේ විධිමත් ඉදිකිරීම් ආරම්භ කිරීම, කොළඹ වරාය සංවර්ධනය කරමින් ආසියාවේ ප්‍රමුඛ වරායක් බවට පත් කිරීම, රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම මෙන්ම මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් සමඟ එක් වී ගොවි ජනපද ව්‍යාපාර ඇරඹීමත්, පේරාදෙණිය සරසවිය ඉදිකිරීම් අලංකාරව නිම කරන්නෙත් මෙතුමාගේ මග පෙන්වීමෙන්. ජල විදුලි උත්පාදනයට සමාරම්භය තබමින් ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉදි කිරීම, බම්බලපිටිය තට්ටු නිවාස ක්‍රමය ඇති කිරීම. තවද ආසියාතික රාජ්‍ය නායකයන් පිළිබද බැංඩුන් සම්මේලනයට මුල් වන්නේ සර් ජෝන් සංකල්පයක් . 1951 වසරේදී බණ්ඩාරනායකයන් එජාපයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ම නියෝජ්‍ය සභාපති ධූරය හිමිවෙනවා.
ලංකාවේ තෙවන අගමැති
1952දී ඩී.ඇස්. සේනානායක මියගිය පසු සෝල්බරි සාමිවරයා අගමැති ලෙස ඩඩ්ලි සේනානායකව පත් කරනවා. නමුත් සුදුස්සා වුණේ සර් ජෝන් කොතලාවල යි. මෙම තනතුර ඩඩ්ලිට දීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා. මේ කාලෙයේදී ම තමයි “අගමැති පොරය” නමින් කොතලාවල විසින් ඩඩ්ලිට විරුද්ධව ප්‍රචාරයක් පතුරවන්නේ. මේ සිදුවීමෙන් අනතුරුව ජෝන් කොතලාවල ඕස්ට්‍රේලියාවට යන අතර නැවත ටික කාලයකින් ආපසු පැමිණෙනවා.
ඩඩ්ලි සේනානායක රජයට වසරක් ගතවීමෙන් පසුව වාමාංශික පක්‍ෂ විසින් විවිධ හර්තාල් ඇති කළ බැවින් ඩඩ්ලි අගමැති පදවියෙන් ඉල්ලා අස්‌වූ අතර නව අගමැතිවරයා ලෙස පත් වන්නේ සර් ජෝන් කොතලාවලයි.
මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමේ පිළිවෙත හදුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලයි. ඒ 1954 දි ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත්කරමින්. සෑම නිදහස් දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රිසි කොඩිය එසවීමේ පිළිවෙතද ඉවතට දැමූ සර් කොතලාවල ලංකාවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මූලික වෙනවා.
සර් ජෝන් සම්බන්ධ රසවත් කතා
සර් ජෝන් සම්බන්ධ රසවත් කතා වලින් ඔහුගේ දේශපාලන දිවිය පිරී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගැටුම් වලට මුල් වූ කේන්තිකාරයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. වාර්තා වෙන අන්දමට පාර්ලිමේන්තුවේ ප්‍රථම මන්ත්‍රී ගැටුමට මූලික වන්නේත් ඔහු යි.
ඒ පිලිප් ගුණවර්ධන හෙවත් බොරළුගොඩ සිංහයා සමඟයි. සිරගෙට ගිය තමන්ගේ මාමා කෙනෙක් පිළිබඳව සර් ජෝන් මහත් ආඩම්බරයෙන් පැවසීම තමයි ගැටුමට මූලික වෙලා තියෙන්නේ. එය ආඩම්බර වීමට නොව ලජ්ජා වීමට කරුණක් යැයි ගුණවර්ධනයන්ගේ පැවසීම නිමා වෙලා තියෙන්නේ දෙදෙනාම එකිනෙකාට පහරදී ගැනීමෙන් අනතුරුවයි.
තවත් අවස්ථාවක පාර්ලිමේන්තුවට නවකයෙක් ලෙස පැමිණි එම්.එස්. තේමිස්ට සර් ජෝන් මුණ ගැසෙන්නේ රත්මලාන ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීයි. එම අවස්ථාවේ ඔහු සර් ජෝන් අමතන්නේ “හලෝ ජෝන්” ලෙසයි. මොහතකින් ඔහුට සර් ජෝන්ගෙන් ලැබෙන්නේ තියුණු පා පහරක්. වහාම තමන් යන්නට ගිය ගමන නවතා තේමිස් රොස්මිඩ් පෙදෙසේ එවකට අගමැති වූ බණ්ඩාරනායක වෙත ගොස් එය පැමිණිලි කරනවා.” මමත් ඔහුට කතා කරන්නේ සර් ජෝන් කියලයි” අගමැතිවරයා එලෙස කියන්නේ සුපුරුදු පරිදි කොක් හඩලා සිනා සෙමින්.
බණ්ඩාරනායකයන් සිංහල ජාතිය මුල්කරගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂයක් ආරම්භ කිරීමෙන් අනතුරුව පසු කාලයේදී මිය යන්නේ චීවරධාරියෙකු විසින් තැබූ වෙඩි පහරකින්. අවමගුලෙන් අනතුරුව සර් ජෝන් පවසන්නේ “මම බැඳලා දාපු බල්ලන්ව බණ්ඩා ලෙහා දැම්මා”යනුවෙනි. එවකට රත්මලාන අසල පන්සලකට දිනපතාම හීල් දානය කඳවල වලව්වෙන් සැපයූ අතර දිනක් එහි වැඩ වසන ස්වාමින්වහන්සේ නමක් තමන් නොමැති දිනවල දානය නොඑවන ලෙස සර් ජෝන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට සර් ජෝන් පවසන්නේ “හාමුදුරුවො ඇතත් නැතත් පන්සල තියෙන තුරු මම දානෙ එවනවා. ඒක නම් නවත්වන්නෙ නැහැ.” ලෙස ආඩම්බරයෙන්.
1956 වසරේ හේවාහැට මධ්‍ය විද්‍යාලයේ වූ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ සර් ජෝන්ව එහි බාලිකාවන් විසින් පිළිගන්නේ “අගමැති මාමා… අගමැති මාමා… ලොව දස දෙස පූජිත වූ අගමැති මාමා..” නම් පිළිගැනීමේ ගීතය ගායනා කිරීමෙන්. මෙම ගීතය අවසානයේ සර් ජෝන් පවසන්නේ “මගෙ ලේලිලා ඔක්කෝටම බොහොම ස්තූතියි” යනුවෙන්.
1956 මැතිවරණයට පෙර සර් ජෝන් විසින් බාබකියු සාදයක් පවත්වනවා. එහිදී වසු පැටවෙක් පුළුස්සා ආහාරයට ගන්නවා. එවකට දිනමිණේ සිටි ප්‍රවෘත්ති කතෘ හා ඩී.එෆ් කාරියකරවන නම් පුවත්පත් ලේඛකයා එකතුවී වස්සා පුළුස්සන ඡායාරූපය පසුදා පුවත්පතේ පළකරනවා. මෙම සිදුවීම මැතිවරණය පරාජය වීමට පවා බලපෑ බව සඳහන්. නමුත් සර් ජෝන් විසින් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාව තම වලව්වට කැදවා තේ පැන් සංග්‍රහයක් පවත්වනවා. ඔහුට විරුද්ධව පුවත්පත් කාටුන් පළ කළ ශිල්පියෙක්ම ලවාම නිවසේ බිත්ති වල සිතුවම් නිර්මාණය කර ගැනීමද විශේෂ කරුණක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඉතින්, මේ ඔහු සම්බන්ධව ඇති කථා අතරින් කිහිපයක් පමණයි.
මැතිවරණ අන්ත පරාජය
කෙසේ වෙතත් දේශපාලනයේ නිර්ව්‍යාජභාවය නිතරම අගය කළ සර් ජෝන් ජනතාව චාටුවෙන් රැවටීම සඳහා උපක්‍රම ආයාසයෙන් යොදවන්නේ නැතිකම හේතුවෙන් මෙම සිදුවීම් කොතලාවල හිතවතුන්ගේ විනෝදයටත්, විරුද්ධවාදීන්ගේ දෝෂාරෝපණයටත් ලක් වෙනවා. කෙසේ හෝ සර් ජෝන්ගේ නායකත්වයෙන් යුතුව 1956 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් ලැබෙන්නේ මුළු ලංකාවෙන්ම ආසන 8ක් පමණක් ලබා ගනිමින්.
කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨය
පසුව දේශපාලනයෙන් ඉවත් වන සර් ජෝන් තමාගේ කඳවල වලව්ව ඇතුළු දේපල රත්මලාන ආරක්ෂක පීඨය ඉදිකිරීම සදහා පරිත්‍යාග කරනු ලබන අතර එංගලන්තයේ තමන් විසූ නිවස හා දේපලද එහි සේවය කළ පුද්ගලයන්ට පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වෙනවා. 1980 ඔක්තෝම්බර් මස 02 දින තම දිවි ගමනට ආයුබෝවන් කියන මේ හිත හොඳ මිනිසාගේ ප්‍රතිමාක් කොළඹ පැරැණි පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ඉදි කර ඇති අයුරු දකින්නට පුළුවන්.
සර් ජෝන්ට කරන ගරු කිරීමක් ලෙස ආරක්ෂක විද්‍යාපීඨය ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස මෑතකදී රජය විසින් නම් කරනවා.