පළමු ලෝක යුද්ධයේ දී සතුරු සොල්දාදුවන් ඉලක්ක කරන වෙඩික්කරුවන් හෙවත් ස්නයිපර්කරුවන් වැදගත් යුධමය කාර්යයක් ඉටු කළා. එකල මේ සඳහා විශේෂයෙන් අවි නිපදවනු නොලැබුණත් තිබුණ අවි වැඩිදියුණු කරගෙන භාවිතා කරනු ලැබුණා. ඇතැම් විට, සටන් බිම නිහඬව තිබෙන අවස්ථාවක වුව ද, බලාපොරොත්තු නොවන ලෙස එන එක් වෙඩිල්ලකින් යම් සෙබළකු ඇද වැටෙන අවස්ථා තිබුණ අතර එය යුද්ධයේ භයංකරත්වය ඉහළ නැංවූවා.
පළමු ලෝක යුද්ධයේ සාර්ථකම ස්නයිපර්කරුවා ලෙස හඳුන්වනු ලබන්නේ කැනේඩියානුවකු වන ෆ්‍රැන්සිස් පෙගමගාබොව්. ඔහු කැනේඩියානුවකු මෙන්ම ස්වදේශික කැනේඩියානුවකු හෙවත් “පළමු ජනතාව”ට (First Nations) අයත් අයෙක්. යුද්ධයේදී ඔහු ප්‍රතිවාදීන් 378 දෙනෙකු මරා දමන ලද්දේයැ යි විශ්වාස කෙරෙනවා. එමෙන්ම ඔහු තවත් ජර්මානුන් 300ක් පමණ අල්ලා ගැනීමට සමත් වූයේයැ යි ද කියනු ලබනවා.
පළමු ලෝක යුද්ධයෙන් පසුව ස්වදේශික කැනේඩියානු ජනතා ව්‍යාපාරයෙහි වැදගත් සාමාජිකයකු ලෙස පෙගමගාබොව් කටයුතු කළා.
මුල් කාලය
පෙගමගාබොව් 1891 මාර්තු 9 වනදා උපත ලබන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා. ඔහු යුධ සේවයට බැඳීමේ දී ද ඔහුගේ උපන් දිනය ලෙස එම දිනය ලබා දී තිබෙනවා. නමුත් ඔහු උපන්නේ 1889 මාර්තු 9යැ යි ද මතයක් වනවා.
කුඩා කලම දෙමාපියන් අහිමි වීම නිසා ගෝත්‍රයේ වැඩිහිටියන් විසින් රැකබලා ගන්නා ලද පෙගමගාබොව් කුඩා කාලයේ එතරම් යහපත් ශරීර සෞඛ්‍යයෙන් නොවූ බවට විශ්වාස කෙරෙනවා. එහෙත් වැඩිමහල් වියට එළඹීමේ දී මේ තත්ත්වය වෙනස් වූ බවයි පෙනී යන්නේ. එමෙන්ම ඔහු වයස අවුරුදු 21 දී පමණ ඉංග්‍රීසි ලිවීමට සහ කියවීමට ඉගෙනගෙන තිබෙනවා. එකල ස්වදේශික කැනේඩියානුවන් අතර මෙය විරල කරුණක් වුණා.
යුධ සේවය
1914 දී යුද්ධය ඇරඹෙන විට ඔහු හමුදාවට බැඳුණා. එකල සාමාන්‍යයෙන් ස්වදේශික කැනේඩියානුවන් හමුදා සේවයෙන් නිදහස් කෙරුණත් ඔහු හමුදා සේවයට බැඳුණා. ඔහු පළමු කැනේඩියානු පාබල බැටෑලියනයේ ආරම්භක සාමාජිකයකු වූ අතර 1914 ඔක්තෝබරයේ දී යුරෝපයට පැමිණියා. ස්වල්ප කලක් එංගලන්තයේ දී පුහුණුව ලද ඔහුගේ රෙජිමේන්තුව පළමු කැනේඩියානු ඩිවිෂනයේ කොටසක් ලෙස 1915 පෙබරවාරියේ ප්‍රංශයට යවනු ලැබුණා.
පෙගමගබොව් සගයින් අතර ප්‍රකට වූයේ “පෙගී” යන නමින්. ඔහු 1915 අප්‍රේල් මාසයේ ඊප්‍ර හි දෙවන සටනේ දී සටන් බිමෙහි සිටියා. මෙහිදී ජර්මානුවන් විෂ වායු යොදාගත් අතර ඔහුගේ බැටෑලියනයේ පිරිස් ශක්තියෙන් අඩක් පමණ පළමු දින තුනේ දී ඔවුනට හිමි වුණා. ඊප්‍ර හි සටන්වලින් පසු පෙගමගබොව් ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස උසස් කරනු ලැබුණා.
කියවන්න: යුද්ධයක දී සිදුකෙරුණ පළමු විෂ වායු ප්‍රහාරය
මේ කාලයේ ඔහු සාර්ථක වෙඩික්කරුවකු ලෙස නමක් දිනාගත්තා. ඔහු දෙපාර්ශවයේ යුධ අගල් අතර වූ කිසිවකුට අයත් නොවූ ප්‍රදේශය (No Man’s Land) කරා ගමන් කර ප්‍රතිවාදී අගල් පේළිවල වූ සෙබළුන් සොයා ඉලක්ක කරන්නට වුණා. මෙය භයානක ක්‍රියාවක් වුණත් ඔහු එය මනා සේ ප්‍රගුණ කළා.
1916 දී මවුන්ට් සොරෙල් සටනට සහභාගී වූ පෙගමගාබොව් 300කට ආසන්න පිරිසක් අල්ලාගත් බව සඳහන් වන්නේ එම සටන අතරතුර යි. ඉන් අනතුරුව සෝම් නදී සංග්‍රාමයට ද සහභාගී වූ ඔහු එහිදී 1916 සැප්තැම්බර් 26 වන දා පාදයට වෙඩි වැදීමෙන් පසු සටන් බිමෙන් ඉවත් කෙරුණා. එහෙත් සති කිහිපයකින් ඔහු යළි සටන් බිමට පැමිණියා.
කියවන්න: බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ විනාශකාරී ම දිනය: 1916 ජූලි 1
නැවතත් ඔහුගේ සටන්කාමීත්වය ඉස්මතු වූයේ පැෂන්ඩේල් සංග්‍රාමයේ දී යි. එහි අවසන් සති කිහිපයේ දී කැනේඩියානුවන් පැෂන්‍ඩේල් කඳු ගැටය අල්ලාගන්නා තෙක් සටනට සහභාගී වුණා. නැවත පෙගමගබොව්ගේ ස්නයිපර් ක්‍රියා එහිදී ඔවුනට උපකාරී වුණා.
විෂ වායු ප්‍රහාර හේතුවෙන් වූ සංකූලතා සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඔහු කලක් රෝගීව සිටි අතර 1918 දී නැවත සටන් බිමට පැමිණියා. යුද්ධයේ අවසන් මාසවල ඔහු අමියොන් සහ වෙනත් සටන්වලට දායක වුණා.
යුද්ධයෙන් පසු
යුද්ධයෙන් පසු යුධ විරුවකු ලෙස ඔහු යළි කැනඩාවට ගියත් එහිදී ඔහු දුටුවේ ඔහුටත් ඔහුගේ සහෝදර ස්වදේශික ජනතාවටත් දුක්ඛිත ජීවිතම උරුම වන බව යි. ඔහු එම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට වූයේ ඒ අනුව යි. පෙගමගාබොව් එම කාලයේ දේශපාලන නායකයින්ට ලිපි ලියමින්, ස්වදේශික ජනයාගේ දේශපාලන සංවිධානවල වැඩ කරමින් කල් ගතකළා.
දෙවන ලෝක යුධ සමයේ ඔහු ස්වදේශික මිලීෂියා භටයකු ලෙස කටයුතු කළා. ඊට අමතරව දිගටම ස්වදේශික ජනයා වෙනුවෙන් පෙනී සිටියා. ඔහු 1945 දී ජාතික ඉන්දියානු ආණ්ඩුව නම් වූ සංවිධානය පිහිටුවා ගැනීමට දායක වුණා මෙන්ම එහි ප්‍රධානියා ලෙස ද කලක් කටයුතු කළා. මෙය මුල් කාලීන ස්වදේශික දේශපාලන සංගමයක් වුණා. තව ද, පෙගමගාබොව් ජාතික ඉන්දියානු සහෝදරත්වයේ ද සාමාජිකයකු වුණා. වර්තමානයේ එය පළමු ජනතාවගේ සභාව ලෙස හඳුන්වනු ලබනවා.
පෙගමගාබොව් 1962 අගෝස්තු 5 වන දා මියගියා. යුධ සේවයේ සිටිය දී පෙනහළුවලට වූ හානිය හේතුවෙන් ඔහු වසර ගණනක් පීඩා විඳි අතර ඔහුගේ මරණය සිදු වූයේ හෘදයාබාධයකින්.