මීට සියවසකට, දෙකකට පෙර ලෝකයාට රෝගාබාධ සහ ඒවාට ප්‍රතිකාර කරන ක්‍රම පිළිබඳ ව තිබුණේ ඉතාමත් සීමිත දැනුමක්. රෝග පරීක්ෂා කර, රෝග මූලය සොයා ගැනීම සඳහා එවකට ඔවුන් සතු වූ විද්‍යාත්මක දැනුමෙහි මඳකම මීට හේතු වුණා. මේ හේතුව නිසා ම, සමහර රෝගාබාධ පිළිබඳ ව ඒ යුගයේ වෙදැදුරන් සතු ව තිබුණේ ඉතාමත් වැරදි චිත්‍රයක්.
එනයින් ඒ රෝගාබාධ සඳහා කිසිසේත් ම නොගැළපෙන ප්‍රතිකාර කරන්නටත් ඔවුන් යොමු වී තිබුණා. මේ එලෙස රෝග මූල පිළිබඳ ව වැරදි වැටහීම් තිබූ රෝගාබාධ පිළිබඳ ඔබ වෙත අප ලිපියක් ගෙන ආවා. මේ ඒ සම්බන්ධයෙන් ගෙන එන ලිපි පෙළෙහි දෙවන කොටස යි.
අපස්මාරය
පිළිකාව සේ ම වලිප්පුව ඇතිවීමත් සියවස් ගණනාවක් තිස්සේ මිනිස් සමාජයේ කතාබහට ලක් වූ මාතෘකාවක් වුණා. වලිප්පුව ඇතිවීම ඕනෑම අයකුට හේතු ගණනාවක් නිසා සිදුවිය හැකි යි.
අපස්මාරය නම් රෝගී තත්ත්වය ඇති අයට වලිප්පු තත්ත්වයන් නිතර ම පාහේ ඇති වෙනවා. මෙය කීප ආකාරයකින් ඇති විය හැකි අතර, වඩාත් බහුල ව සිදුවන්නේ සිහි මඳ ගතිය ඇති වී, අත්පා සහ හිසෙහි වේගවත් වෙවුළුම් සහගත තත්ත්වයක් ඇති වීමයි, කටෙන් සෙම සහ කෙළ පෙරීම ද මෙහි දී සිදුවනු දැකගත හැකි යි.
යක්ෂ හෝ අමනුෂ්‍ය බැල්ම වැටීම
මේ ආකාර වලිප්පු තත්ත්වයන් අර්ථකථනය කිරීමේ දී පැරැණි වෛද්‍යවරුන් සහ සාමාන්‍ය ජනතාවත්, එය සිදුවන්නේ යක්ෂ හෝ අමනුෂ්‍ය බැල්ම වැටීම නිසා බවට විශ්වාස කළා. මෙය බයිබලය ලිවීමටත් පෙර පැරණි බැබිලෝනියාවේ පවා පැවති විශ්වාසයක් වුණා. ග්‍රීකයන් සහ රෝමයන් ද මෙම වලිප්පු තත්ත්වයන්ගේ වූ ආගමික බැඳියාවක් පිළිබඳ විශ්වාස කර තිබෙනවා. ඔවුනට අනුව මෙලෙස වලිප්පු ඇතිවන්නේ දෙවියන් යම් කිසිවකුගේ ශරීරයට අරක් ගෙන ඇති අමනුෂ්‍ය ආත්මයට දඬුවම් පැමිණවීමේදී යි.
මෙලෙස අපස්මාරය හා වලිප්පුව සෑදෙන රෝගීන්ට යක්ෂ බැල්ම වැටී ඇති බවට වූ දැඩි විශ්වාසය නිසා, පැරැන්නන් එම රෝගීන් තනි කර, සිර කර දමා, ඔවුනට නොසලකා හරින්නට කටයුතු කළා. එය ඉතා අමානුෂික සැලකීමක් ලෙස ලෝකයා අද වන විට හඳුනා ගෙන තිබෙනවා.
පැරැන්නන් මෙම අපස්මාර තත්ත්වයට ප්‍රතිකාර ලෙස, තුවාල ලැබූ යුද විරුවන්ගේ රුධිරය සහ මියගිය අයගේ මාංශ ද බීමට හා කෑමට ලබා දී තිබෙනවා. එයින් එම රෝගියාට අරක් ගත් ‘භූතාත්ම’ දමනය වනු ඇතැයි ඔවුන් විශ්වාස කළා.
ක්ෂය රෝගය
මීට සියවස් ගණනකට පෙර සිටි වෙදැදුරන් සිතා සිටියේ යමකුට ක්ෂය රෝගය ඇතිවන්නේ, ඒ පුද්ගලයාගේ ශරීරයේ තරලවල සිදුවන අසාමන්‍යතාවක් නිසා බව යි. මිනිසුන් එදිනෙදා ගන්නා ආහාර ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී, එහි සමතුලිතතාව බිඳවැටීම නිසා මෙම රෝගය ඇතිවීම වැඩිවෙමින් පවතින බවත් ඔවුන් අනුමාන කර තිබුණා.
ක්ෂය රෝගය පැතිර යාමට බැක්ටීරියාවක් හේතු වන බැව් සොයා ගන්නා තුරු බොහෝ දෙනෙක් සිතා සිටියේ, ජනාකීර්ණ ස්ථානවල දිගින් දිගට රැඳී සිටීඑම නිසා ‘පිරිසුදු වාතය’ ආඝ්‍රාණය කිරීමට නොලැබීමෙන් ද මෙම රෝගය ඇති වන බව යි. ජනාකීර්ණ පෙදෙස්වල ජනයා අතර මෙය වේගයෙන් පැතිරී යාම ඊට හේතුව වුණා.
19 වන සියවසෙහි අග භාගය වන විට ලොව බොහෝ ජන කොට්ඨාස බැක්ටීරියා ඇතුළු විෂබීජ පිළිබඳත්, ඒවායින් ඇතිවන රෝග පිළිබඳත් දැනුම්වත් වී සිටියා. ඒ අනුව ක්ෂය රෝගය ඇතිවන්නේ ‘මයික්‍රොබැක්ටීරියම් ටියුබර්කියුලොසිස්’ නම් බැක්ටීරියාව නිසා බැව් ඔවුන් දැනුම්වත් වුණා. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වන ආකාරයත්, ජනාකීර්ණ සහ අපිරිසුදු පෙදෙස්වලදී එහි පැතිරීම වැඩි ඇයි ද යන්නත් හෙළි වුණා. මේ අනුව පිරිසුදු දිවි පෙවෙතක් ගත කිරීමත්, පෙනිසිලීන් වැනි ප්‍රතිජීවකවල ආගමනයත් නිසා, වර්තමානය වන විට ක්ෂය රෝගය මාරාන්තික තත්ත්වයට පත් වන්නේ නැති තරම්.
ලාදුරු
ලොව ඉතා අවාසනාවන්ත ලෙස වරදවා වටහා ගත් රෝගාබාධයක් ලෙස ‘ලාදුරු’ හඳුනා ගන්නට පිළිවන්. එකල වූ අනෙකුත් දරුණු රෝගාබාධ මෙන් ම මෙම රෝගයත් දේව හෝ යක්ෂ උදහසට ලක් වීම නිසා ඇතිවන්නක් බැව් පැරැන්නන් විශ්වාස කළා. එසේ නැතිනම් පරම්පරාවේ අවාසනාව නිසා සිදුවන්නක් බැව් විශ්වාස කළා.
මෙම අවස්ථා දෙකෙහි දී ම, ලාදුරු රෝගීන් වෙන් කිරීම, නිරෝධායනය කිරීම, මෙන් ම ලාදුරු කොලනිවලට යැවීම ද සිදු කෙරුණා. මෙවැන්නක් හවායි දූපතක් වන මොලොකායි හි පිහිටා තිබුණා. එකල ලාදුරු රෝගයට ස්ථිර ප්‍රතිකර්මයක් නොවුණු නිසා, මෙම රෝගයට බඳුන් වූ රෝගීන් ඒවාට වී සිය දිවියේ ඉතිරි කාලය ඉතා දුක්ඛිත සේ ගත කළා.
ලාදුරු සම්බන්ධ දුර්මත
වර්තමානය වන විට ලාදුරු සම්බන්ධව වූ දුර්මත බොහෝ සෙයින් බැහැර වුව ද, එහි රෝග නිධානය හඳුනා ගෙන, නිට්ටාවට ම සුව කිරීම සඳහා ප්‍රතිකාර තිබුණ ද, ලොව සමහර පෙදෙස්වල මේ සම්බන්ධව තවමත් යම් යම් දුර්මත පැවතීම අවාසනාවන්ත තත්ත්වයක් වෙනවා.
එකල ලාදුරු සම්බන්ධව යුරෝපීයන්ගේ පැවතියේ විශාල බියක්. ඔවුන් ලාදුරු රෝගියෙක් සිය ග්‍රාමය ආසන්න ව සිටී නම්, සීනුවක් නාද කොට ඒපිළිබඳ ව ගම් වැසියන් දැනුම්වත් කරන්නට කටයුතු කළා. රෝගියා ද, තමන් අත වූ සීනුවක් නාද කරමින්, තමන් ලාදුරු රෝගියෙක් බැව් හැඟවිය යුතු වුණා. ඒ අනුව කිසිවෙක් ඔහු අසලටවත් ගියේ නැහැ.
‘හැන්සන්ගේ රෝගය’
ලාදුරු රෝගීන් වෙන් කොට, ලාදුරු කොලනි වෙත යැවීම, එම රෝගයට ස්ථිර ප්‍රතිකර්ම සොයා ගත් පසු ද සිදුවුණා. සමහර රෝගීන් ගේ රෝගය නිට්ටවට සුව වූ පසු ද, ඔහුගේ සමීපතමයන් ඔහු නැවත භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුනට එම කොලනිවලට ම වී මිය යන තුරු සිටින්නට සිදුවුණා.
1960 දශකයේ දී මොලොකායි දූපතට යැවූ, වර්තමානය වන විට රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදුණු මිනිසුන් කිහිප දෙනෙක් ම තවමත් ජීවතුන් අතර සිටිනවා. මින් බහුතරය හවායි ජාතිකයන් වෙනවා. 1980 දශකයේ දී ලාදුරු රෝගයට එරෙහි ව ඔවුනට පැනවුණු නිරෝධායන බැමි ඉහිල් කළ ද ඔවුන් තවමත් එහි වූ ‘කලෞපාපා’ කොලනියට වී සිටිනවා. 1860 වසරේදී මෙය ආරම්භ කරන විට එහි රෝගීන් 8,000 ක් පමණ සිටින්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා.
වර්තමානය වන විට මේ සඳහා ජනතාවගේ වූ භීතිය අවම කිරීමට විද්‍යාඥගන් මෙම රෝගයට ලාදුරු වෙනුවට ‘හැන්සන්ගේ රෝගය’ යන යෙදුම භාවිත කරනවා. වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් 95% ක් පමණ මෙම රෝගයට ප්‍රතිරෝධී විය හැකි බවට අනුමාන කොට තිබෙනවා.
නිසි කල දී ප්‍රතිකාර නොගත් අය
ලාදුරු රෝගය තවමත් ලෝකයෙන් සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ. අදටත් වසරකට 250,000 ක පමණ පිරිසක් මීට ගොදුරු වන අතර, නිසි කල දී ප්‍රතිකාර නොගත් අයගේ අත්, පා ඇඟිලි අහිමි වීම, අන්ධ වීම අදටත් සිදු වෙනවා. මේ සිද්ධි බොහොමයක් අප්‍රිකාව වැනි පෙදෙස්වලින් වාර්තා වෙනවා.
අද වන විටත් ලොව වූ සමහර රෝගවලට ස්ථිර ප්‍රතිකර්ම සොයා ගන්නට විද්‍යාඥයන් සමත් ව නැහැ. පුරාතණ ජනතාව සමහර රෝගාබාධ සම්බන්ධයෙන් දැක්වූ ආකල්ප සහ ප්‍රතිචාර පිළිබඳ ව වර්තමානයේ අප දුකට හා සංතාපයට පත්ව සාකච්ඡා කළ ද, මීට සියවස් කිහිපයකට පසු, වර්තමානයේ අපට පිළිතුරු සොයා ගත නොහැකිව තිබෙන රෝගාබාධ පිළිබඳත්, මේ ආකාරයෙන් ම සාකච්ඡාවක් නිර්මාණය වනු ඇති.