මිනිස් සිරුර සොබාදහමේ අසිරිමත් නිර්මාණයක් වෙනවා. එය ඉතා සංකීර්ණ පද්ධති කිහිපයකින්ම සෑදී තිබෙනවා. මේ අතරින් ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රධානම තැනක් උසුලනවා. ශරීරයේ ක්‍රියාකාරීත්වයට අදාල පෝෂක ශරීරයට උරාගන්නේ ඒ මඟිනුයි.
ආමාශය, අප ගන්නා ආහාර, ආහාර මාර්ගයෙහි මුලින්ම සැලකිය යුතු වේලාවක් රැඳී පවතින ස්ථානය යි. මුඛයේ දීම ආහාර ජීර්ණයට අදාල මූලික කටයුතු ආරම්භ වූවත්, සැලකිය යුතු අන්දමින් ආහාර ජීර්ණයට අදාල කර්තව්‍යයන් සිදුවන පළමු ස්ථානය වන්නේ ආමාශය යි. මේ සඳහා එය අපූර්ව ලෙස විකසනය වී තිබෙනවා.
ආමාශය හා ගුරුත්වය
යම් අයෙක් විසින් යම් ආහාරයක් ගත් විට එය අන්නශ්‍රෝතය හරහා ඔහේ පහළට වැටීම සිදුවන්නේ නැහැ. කොටින්ම ආහාරය ආමාශය කරා ළඟා වීමට ගුරුත්වයෙන් බලපෑමක් නැහැ. අන්නශ්‍රෝතයෙහි ඇති පේෂි ක්‍රියාත්මක වී ආහාර ගුලිය ආමාශයේ දිශාවට තල්ලු කරනවා. මේ නිසා යමෙකුට උඩුබැලි අතට වැතිරී හෝ හිස පහළට සිටින පරිදි හිඳ වුවත් ආහාර ගන්නට පුළුවන්.
ආමාශයේ අඩංගු අම්ල
මිනිස් ආමාශයක් තුළ ආහාර ජීර්ණයට අවශ්‍ය හයිඩ්‍රොක්ලෝරික් අම්ල තිබෙන අතර එහි ප්‍රබලතාවය අනුව සාමාන්‍ය මිනිස් පටකයක් හානි විය හැකියි. කෙසේ නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී උක්ත අම්ලය නිසා ආමාශ බිත්තියේ පටකවලට හානි සිදුවන්නේ නැහැ. ඒ එලෙස සිදුවීම වැලැක්වීම සඳහා වූ යාන්ත්‍රණ එහි ක්‍රියාත්මක වීම නිසා යි.
විශේෂයෙන් ආමාශය හා ආමාශ බිත්තිය තුළ ඇති පොටෑසියම් වැනි අයන මඟින් නිරතුරුව ආමාශයේ හා ආමාශ බිත්තියේ පී.එච් අගය යාමනය කරන අතර, නිරතුරුව නිපදවෙන ශ්ලේෂ්මල, ආමාශ බිත්තිය හා ආමාශ කුහරය අතර පරිවාරක ස්ථරයක් ලෙස ක්‍රියා කරනවා. මේ නිසා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හේතුවෙන් ආමාශ බිත්තිය ජීර්ණය වීම වැලකෙනවා.
ආමාශය හා ආහාර ජීර්ණය
බොහෝ දෙනා සිතා සිටින්නේ ආහාර ජීර්ණය කිරීමේ ප්‍රධානතම මෙහෙය සිදුකරන්නේ ආමාශය පමණක් බව යි. සත්‍යය වන්නේ ආමාශය මෙන්ම කුඩා අන්ත්‍රය වැනි ඉන්ද්‍රියයන් ද ආහාර ජීර්ණයට වැදගත් ක්‍රියාවලීන් රාශියක් සිදු කිරීම යි. සැබවින්ම ආමාශයෙන් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ ආහාරයේ යාන්ත්‍රික ජීර්ණය යි. මෙහි බිත්තිය ආහාරයක් යාන්ත්‍රිකව ජීර්ණය කිරීම සඳහා චලන ඇතිකිරීම වෙනුවෙන් හැඩගැසී ඇති අතර, නිකුත් වන ආමාශයික යුෂයන් මඟින් ආහාරයේ අඩංගු සංකීර්ණ පෝෂක ද්‍රව්‍ය වඩාත් සරල පෝෂක බවට බිඳ හෙළීම ද සිදුකරනවා. මේ හේතුව නිසා ආහාරය උකු තරලයක් බවට පත් වන අතර, කුඩා අන්ත්‍රයේ දී සිදුවන පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය වඩාත් පහසු එකක් බවට පත් කරනවා.
ආමාශය හා පෝෂක අවශෝෂණය
බොහෝ කොටම ආහාරය යාන්ත්‍රික ජීර්ණයට ලක් කළ ද සමහරක් පෝෂක අන්ත්‍ර බිත්ති ඔස්සේ ශරීරයට අවශෝෂණය වීම සඳහා අවශ්‍ය රසායනික ජීර්ණ සැකසුම් සිදුවන්නේත් ආමාශයෙනුයි. විශේෂයෙන් විටමින් බී12 ශරීරයට අවශෝෂණය කරගැනීම සඳහා ඒවා සංකීර්ණ අණුවලින් වෙන් කර ගැනීම සිදුකරන පෙප්සීන් එන්සයිමය ස්‍රාවය වන්නේ ආමාශ බිත්තිය ඔස්සේ යි.
බී විටමින්වල ජීර්ණය හා අවශෝෂණ ක්‍රියාවලියට ආමාශයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් උපකාරී වෙනවා. බී විටමින් පරිවෘත්තීය ක්‍රියාවලට මෙන්ම ශක්ති ජනනයටත් වැදගත් වෙනවා.
ආමාශය හා හෝමෝන ජනනය
ආහාර ගැනීමෙන් පසු, ඒවා ජීර්ණය වන ක්‍රියාවලිය ස්වයංසිද්ධව සිදු වන්නක්. එමෙන්ම යමෙකුගේ ආමාශය හිස් වත්ම ‘කුසගින්න’ දැනීමත් ඉබේම සිදුවනවා. මේ සංවේදන හා ක්‍රියාවලීන් සිදුවන්නේ කුඩා අන්ත්‍රයේ හා ආමාශයේ බිත්තියෙන් ස්‍රාවය වන විවිධ හෝමෝන නිසා යි. මේ හෝමෝන මඟින් කුසගින්න ඇතිකිරීම, ආමාශයික යුෂයන් ස්‍රාවය කිරීම, පිත්තාශයේ ක්‍රියාවලිය යාමනය කිරීම වැනි ක්‍රියාවන් උත්තේජනය කරනවා.
උක්ත හෝමෝනයන් කෙලින්ම රුධිරය හා මුසු වී ආහාර මාර්ගයේ අනෙකුත් කොටස් වන අක්මාව, අග්න්‍යාශය වැනි ඉන්ද්‍රීයනන්වල ක්‍රියාවන් ද යාමනය කරන අතර, මස්තිෂ්කයට ද යම් යම් සංවේදන ලබා දෙනවා.
ආහාර ජීර්ණ පද්ධතිය හා ප්‍රතිශක්තීකරණ පද්ධතිය
ආහාර ජීර්ණය කිරීමට අමතරව ආමාශය ඇතුළු මානව ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ ශරීරයේ ප්‍රතිශක්තිය සඳහාත් දායක වෙනවා. විශේෂයෙන් ආමාශයෙහි අම්ලමය වටපිටාව ආහාර මඟින් ශරීරයට ඇතුළු වන බොහෝ විෂබීජ විනාශ කර දැමීමෙහි සමත්. මීට බැක්ටීරියා හා ආහාර හරහා ශරීරගත විය හැකි සමහර ධූලක වර්ග අයත්. එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතියෙ බිත්තිවල වසා සෛල අන්තර්ගත නිසා ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ගමන් කරන වෛරස හා බැක්ටීරියා භක්ෂණය කොට ශරීරයෙන් ඉවත් කිරීමට සමත්.
ආමාශය පිළිබඳ අධ්‍යයනය
වර්තමානය වන විට ආමාශයේ අතුළත අධ්‍යයනය කිරීම සඳහා වූ දියුණු යන්ත්‍රෝපකරණ ලොව පවතිනවා. 19 වන සියවසේ මිල භාගයේ පටන් ආමාශයේ කොටස් අධ්‍යයනය කරන්නට විද්‍යාඥයින් උනන්දු වූවත්, මුල්ම වරට සජීවී අයෙකුගේ ආමාශය අධ්‍යයනය කරන්නට යමෙක් සමත් වූයේ 1868 වසරේ දී යි. ජර්මානු වෛද්‍යවරයෙකු වන ඇඩොල්ෆ් කුස්මෝල් විසින් ඊට මඳ කලකට පෙර මේ සඳහා ආහාර මාර්ගය ඔස්සේ ඇතුළු කළ හැකි උපකරණයක් නිර්මානය කළත් එය එතරම් නම්‍යශීලී වුණේ නැහැ. අවසානයේ ඔහුගේ සහායට පැමිණියේ, ත්‍රාසජනක ක්‍රියාකාරකම් සිදුකරන අයෙකු යි. ඔහු හට ආහාර මාර්ගය ඔස්සේ කඩුවක් යැවීමේ හැකියාව තිබූ අතර, ඒ ආකාරයෙන්ම කුස්මෝල්ගේ උපකරණයත් ‘ගිලීමට’ ඔහුට හැකි වූ නිසා අවසානයේ ඔහුගේ ආමාශය සජීවීව අධ්‍යයනය කරන්නට ලැබුණා.
ආමාශය හා හැඟීම් ජනනය
මානව ආමාශය යම්තාක් දුරකට හැඟීම් ජනනය හා පාලනය කිරීම උදෙසාත් දායක වන බවට සොයාගෙන තිබෙනවා. විශේෂයෙන් නවතම පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ ආහාර මාර්ගයේ වෙසෙන ක්ෂුද්‍රජීවීන් හා මානසික සෞඛ්‍යය අතර යම් සබඳකමක් ඇති බව යි.
පසුගියදා සිදුකරන ලද අධ්‍යනයකින් පෙනී ගොස් ඇත්තේ මානසික ආතතියෙන් පෙළෙන මිනිසුන් කිහිප දෙනෙකුගේ ආහාර මාර්ගයෙන් ලබාගත් ක්ෂුද්‍රජීවීන් මීයන්ගේ ආහාර මාර්ගයේ තැන්පත් කළ පසු ඔවුනට ද මානසික ආතතිමය ලක්ෂණ පහළ වූ බව යි.