ස්මාට්ෆෝනයේ එල්ලීගෙන ගමනේ යෙදෙන ස්මාට්ෆෝන් සොම්බි

අද කාලේ තරුණයන් අතර ජනප්‍රියම උපාංගය කුමක්ද කියා ඇසුවොත් ස්මාට්ෆෝනයට ලැබෙන තැන වෙනත් කිසිම උපාංගයකට  ලබාගන්නට බැහැ. ස්මාට්ෆෝනය නැතිවුනොත් “ඉරපායන්නේ නෑ, ගෙදර බත් ඉදෙන්නේ නෑ, වැඩක් කරන්න හිතෙන් නෑ, ඇදෙන් නැගිටින්න හිතෙන් නෑ “ වගේ රෝග ලක්ෂණ ගොඩකට අපේ නූතන තාරුණ්‍යය මුහුණ දෙනවා.  ස්මාට්ෆෝනයේ මූණ ඔබාගත් තරුණයෙක් පාරට ගියාම කොහොම ද? ඒත් ඉතිං එහෙමම තමයි. එයාලගේ මුහුණ ෆෝන් එකෙන් එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ ෆෝන් එක තුළ ලෝකයට වශී කරලා වගේ, ඒකෙම මුහුණ තබාගෙන තමයි මේ ස්මාට්ෆෝන් පාවිච්චි කරන අය පාරේ යද්දිත්. පාරේ සිද්ද වෙන වෙනත් කිසිම දෙයක් ගැන කිසිම වග විභාගයක් නැතුව පාරේ යන මේ පිරිස, ඒ රටවල රථවාහන පාලන අංශ වලට වදයක් වෙලා.

බටහිර සොම්බි චිත්‍රපටයක් businessinsider.com

කවුද මේ සොම්බි කියන්නේ

පිල්ලියක් හෝ නැවත ජීවය ලැබූ මළ පරාණයක් ලෙස හැදින්විය හැකි වුව ද, සොම්බින් යනු කවරෙක්දැයි වඩාත් සාධාරනව දැකගත හැකිවන්නේ සිනමාපට වලදී ය. එහි දී යම් ව්‍යාධියකින් මරණයෙන් කෘතිම ලෙස ජීවය ලබාගත් අයෙකු, වෙනත් මනුෂ්‍යයින් ද මරණයකට පත්කර එම සොම්බි තත්ත්වය ඔවුනට ආරෝපනය කරති. Smombie හෝ Smartphone Zombie යනු ඉංග්‍රීසි බසට අලුතින් එකතු වූ වදනකි. ෆෝන් එකට දැඩිව ඇබ්බැහි වූ අයෙකු පිටතින් හොදින් නිරික්ෂණය කර බැලූ විට, ඔහේ ෆෝන් එක දෙස බලාගෙන සිනාසෙන, දුක්වෙන, වැලපෙන, සහ ඇවිදින චරිතයක් බව පෙනේ. ඒ අනුව ජර්මානු බසින් බිදිවිත් ස්මාට්ෆෝන් සොම්බි ඉංග්‍රීසි බසට ද එකතු වී තිබේ.

සොම්බින්ගෙන් විය හැකි හිරිහැර

medium.com

මාර්ගයේ ගමන් කරන විට ෆෝන් එකේ එල්ලීගෙන යන අය නිසා කරදර හිරිහැර වලට මුහුණ පාන්නේ ඔවුන් විතරක්ම නෙමෙයි. පාර පනින විටත් ෆෝන් එක සාක්කුවට දාගන්නේ නැතිව, එහිම ඇලුන අය නිසා රියදුරන් ද අනතුරුවලට මුහුණපානවා. මගියෙක් ලෙස පාරේ යනවිට ඔහුත් අයිති පාරට. ඔහු වෙනමම සිහියකින් යනවා කියන්නේ අනතුරු වලට අත වැනීමක්. එහෙම අනතුරු වලින් හානියට පත් වන්නේ ඒ අය විතරක්ම නෙමෙයි. ලංකාවේ වුනත් ඇතැම් වෙලාවට බස් රිය දුම්රියක ගොඩ වුනත් මේ ෆෝන් එක අතේම තියෙන අයගෙන් අනික් අයට වෙන්නේ කරදරයක්, බාධාවක්. වෙලාවකට අනෙකාගේ ඇඟට හේත්තුවෙලා, බර දීගෙන තරුණයින් ෆෝන් එකේ බරටම වැඩ.

හොනලුලු තහනම

ඇමරිකා එ. ජ.හි හොනලුලු කියන්නේ හවායි ජනපදයේ ප්‍රධාන නගරය. මෙම නගරයටත් ස්මාට්ෆෝන් සොම්බින් කරදරයක් වුණා. ඒ නිසා ඒ අය තීරණය කළා ස්මාට්ෆෝනය රැගෙන යන සොම්බින් අල්ලා දඩුවම් කරන්නට. ඒ අනුව ඩොලර් 15 සිට 99 දක්වා දඩයකට යටත් වන්නට ස්මාට්ෆෝන් සොම්බින්ට හොනොලුලු වේ දී සිදුවෙනවා ඇති.  පසුකලෙක ට්‍රැෆික් ලයිට් හි දී ෆෝන් එකට එබෙමින් සිට, ලයිට් වෙනස් වීම් ග්‍රහණය කර නොගැනීම ආදී දේ බහුල වීම නිසා හොංකොන් නගරයේ ද ස්මාට්ෆෝන් සොම්බින්ට තහනමක් නියම වුණා.

ibtimes.co.uk

දරුවන්ට අවධානය අවම වීම.

“බබාගේ බර්ත්ඩේ එකට මොනා ද ඕන ඇහුවම එයා කිව්වා අපි ස්විමින් යමු කියලා. ඉතිං මම ලෑස්ති වෙලා ස්විමින් පූල් එකට යද්දි ෆෝන් එක ගෙදර දාල ගිහින්. එතනදි මට පෙනුණ දෙයක්, එතැන හිටි අය අතුරින් ඇත්තටම දරුවාගේ පිහිනීම ගැන අවදානයෙන් දරුවා සමග සන්තෝසයෙන් කාලය ගත කළ එකම කෙනා මම බව. අනික් දෙමාපියෝ  ෆෝන් එකේ. මට ෆෝන් එක අරං යන්න බැරිවුණු නිසා දරුවාගේ පිහිනීම සහ විනෝදවීමේ පොටෝ ටිකක් ගන්නට බැරි වුණා. ඒත් මට ෆෝන් එක අමතක වීමෙන් ළමයා එක්ක විනෝද වෙන්නට අවස්ථාව යහමින් ලැබුනා”,  විදෙස් මවක් සිය දරුවා සමග ගිය ගමනට ෆෝන් එක දමා යෑමෙන් වූ වාසිය එලෙස විස්තර කර තිබුනා.

දුව පනින දරුවන් සිටින දෙමාපියන් මහමඟ යන විට මෙන්ම, වෙනත් අවස්ථා වලදීත් දරුවන් කෙරේ අවදානය යොමු නොකර, ෆෝන් එකට ඇබ්බැහි වි සිටින්නට හුරු වෙලා. එම ස්මාට්ෆෝන් සොම්බි දෙමාපියන් නිසා දෙමාපිය-දරු සම්බන්ධතාවයන්ට වන්නේ හානියක්.

පදික වේදිකාවේ අනතුරු ඇඟවීම්

මොබයිල් ෆෝන් එකේම සිට පාර පැනීමේ දී, යන එන වාහන ගැන අවධානය නොමැතිවීම සහ ආලෝක සංඥා ගැන අවධානය යොමු නොවීම ගැටළුවක්. තහනමකින් එහාට ගොස්, එයට විසඳුමක් සෙවීමට ඇතැම් රටවල් ක්‍රියාකළා. නෙදර්ලන්තයේ මාර්ගය හරහා පැනීමට ඇති තැන්වල දී බිම සිට උඩට විහිදෙන අනතුරු ඇඟවිම් ආලෝක සංඥා නිකුත් කිරීමක් ආරම්භ වී තිබේ. ස්මාට්ෆෝනය දෙස බලාගෙන හිස බිමට හරවාගෙන යන අයට මෙම සංඥා දැකිමෙන් ඒ අනතුරුදායක තත්ත්වය කලින් හඳුනාගත හැකියැයි බලධාරීන් විශ්වාස කරනවා.

www.t-online.de

ලොව පුරා ස්මාට්ෆෝන් සොම්බි වෙනුවෙන් ගෙන ඇති පියවර

දකුණු කොරියාවේ සෝල් නුවර ස්මාට්ෆෝන් භාවිතා කරන අය අතුරින් 15%ක්ම ඒවාට ඇබ්බැහි වී තිබේ. එනිසා යන එන මඟතොට ස්මාට්ෆෝන් නිසා සිදුවන අනතුරු වැඩි වී තිබේ. එනිසා පදික වේදිකාවේ අනතුරු ඇඟවීමේ දැන්වීම් සළකුණු කොට තිබේ.

ජර්මනියේ ද නෙදර්ලන්තයේ මෙන් පහළ සිට ඉහළට අනතුරු ඇඟවීම් දැක්වෙන රතු එළි පදිකමාරු අසල සවිකර තිබෙන්නේ මේ ස්මාට්ෆෝන් සොම්බින්ගෙන් වන මාර්ග අනතුරු අවම කිරීමට ය. චීනයේ ශැංහයි හි ඇතැම් පදික වේදිකා වල ස්මාට්ෆෝන් පාවිච්චි කරන සහ නොකරන අයට, වෙන වෙනම පදික වේදිකා මං තීරු සළකුණු කර දී තිබේ. ශැංහයි ඇතැම් පදික මාරු වල අනතුරු ඇඟවීම් තිබියදීත් අවසිහියෙන් පාර පැනීමට තැත් කළොත් වතුර ඉසින දැඩි ශබ්ද නිකුත් කරන අනතුරු ඇඟවීම් පද්ධති ද කරලියට විත් තිබේ.

forbes.com

විසඳුම්

අද වන විට ස්මාට්ෆෝන් යනු සාමාන්‍ය උපාංගයකි. ලංකාවේ ද ස්මාට්ෆෝන් එකක් නැති අයෙක් නැති තරම්. ලංකාවේ රථවාහන පොලිසිය විසින් ස්මාට්ෆෝන්හි එල්ලීගෙන පාර පැනීම සහ වාහන පැදවීම දැඩි ලෙස අවවාද කරන වැරදි වේ. කෙසේ වෙතත් අපට උවමනා විට තාක්ෂණය භාවිතයට ගැනීම විනා තාක්ෂණයේම වහලෙක් වී ස්මාට්ෆෝනය සමඟම මඟතොට ඇවිදීම නම් එතරම් හොද පුරුද්දක් නොවේ.

Cover image: indianexpress.com

Related Articles

Exit mobile version