Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉංග්‍රීසිවල සමානව ලියන නමුත් වෙනස්ව හඬ නගන වචන

වචන දෙකකට හෝ වැඩි ගණනකට එකම අක්ෂර වින්‍යාසය ඇති නමුත් සමාන උච්චාරණ නොමැති, විවිධ අර්ථයන් හා ප්‍රභවයන් ඇත්නම් ඒවා Homographs ලෙස හඳුන්වයි. මේවා ලේඛනයේ දී එකම ආකාරයට ලියතත්, කියවීමේ දී සහ කතාබහේ දී වෙනස් ආකාරයට හඬ නඟන නිසා සන්දර්භය (context) අවබෝධ කර නොගතහොත් නිවැරදි තේරුම අවබෝධ කරගැනීමට අපහසු වෙනවා.

Live

‘ලයිව්’ යනු සජීවී විකාශයකි (techcrunch.com)

රූපවාහිනී තිරය මත නිතර දකින්නට ලැබෙන වචනයක් වන මෙය පොත්වල කියැවෙන්නේ තවත් ලෙසකට යි. මාධ්‍යයක සජීවී විකාශයක් පිළිබඳ සඳහන් කිරීමේ දී මේ වචනය කියවන්නේ ‘ලයිව්’ ලෙස යි. එසේම, කිසියම් ජීවියකුට/ (අතිශෝක්තියෙන්) වස්තුවකට පණ ඇති බව ද ‘ලයිව්’ ලෙස කියවනවා. ආඛ්‍යාත විශේෂණයකදී එය “අ’ලයිව්” බවට පත් වෙනවා. තමාගේ පදිංචිය ගැන කියනවිට එය කියවන්නේ ‘ලිව්’ කියා යි.

These are live fish. – ලයිව් – මේ මසුන් පණැති එවුන් ය.

These fish are alive – අ’ලයිව් – මේ මසුන් පණපිටිනි.

I live in Matara – ලිව් – මම පදිංචිව සිටින්නේ මාතර ය.

Minute

‘මිනිට්’ යන්නෙන් අදහස් වන්නේ ‘මිනිත්තුව’ යන්න යි (ytimg.com)

“minute” යන වචනය ද යෙදෙන ස්ථානය අනුව ශබ්ද කරන ආකාරය වෙනස් වේ. ‘මිනිට්’ යන්නෙන් අදහස් වන්නේ ‘මිනිත්තුව’ යන්න යි. ‘මයිනියුට්’ යනු ඉතා කුඩා යන බව වන අතර, minuet (මිනුඑට්) නම් වූ නැටුම් වර්ගයක් ද තිබේ. “Minutes” (මිනිට්ස්) යනු සභා වාර්තා යි.

A minute ago – මිනිට් – විනාඩියකට පෙර

Every minute detail matters – මයිනියුට් – සෑම කුඩා තොරතුරක්ම වැදගත් ය.

minutes of last meeting – මිනිට්ස් – පසුගිය සභා වාර්තාව

Wind

ඔරලෝසුවක් ‘වයින්ඩ්’ කරමින් (ytimg.com)

සුළඟ සඳහා භාවිතා වන wind යන්න ‘වින්ඩ්’ ලෙස වර නගන අතර, ඔරලෝසු වැනි උපකරණවල ක්‍රියාකාරීත්වය සඳහා ඒවා කරකවා ‘වයින්ඩ්’ කළ යුතු වෙයි. මෙය අවස්ථානුකූලව කියවන්නට හුරු වුණාම සුළඟින් ඔරලෝසු වැඩ කරවන්නට අවශ්‍ය වන්නේ නැහැ.

The wind is blowing from the south – වින්ඩ් – දකුණු දෙසින් සුළං හමයි.

Give the handle another couple of winds – වයින්ඩ් – (ඔරලෝසුවේ) හැඬලයෙන් තවත් ටිකක් වයින්ඩ් කරන්න.

Desert

‘ඩෙසර්ට්’ යනු කාන්තාරය යි (futurity.org)

‘desert’ යනු කටවහරේ දී නිරන්තරයෙන් භාවිතා වන සහ ලිවීමේ දී වරද්දවා ගන්නා වචනයකි. ‘ඩෙසර්ට්’ ලෙස වහරන්නේ කාන්තාරය යන අදහස යි. ‘ඩිසර්ට්’ ලෙස කියවූ විට ඉන් ‘අතහැර යාම’ යන ක්‍රියා පදය අදහස් වෙයි. එසේම, dessert (s අකුරු දෙකක්) යන නාම පදය කියවිය යුත්තේ ද ‘ඩිසර්ට්’ කියා යි. වාසනාවට, ලංකාවේ කාන්තාර නැති නිසා අතුරුපස වේලාවේ දී කාන්තාරයක අතහැර දමා යෑමක් සිදුවන්නේ නැහැ.

Sahara is a desert – ඩෙසර්ට් – සහරා යනු කාන්තාරයකි.

Do not desert me – ඩිසර්ට් – මා අතහැර නොයන්න

Let’s have ice cream for dessert – ඩිසර්ට් – අතුරුපසට අයිස්ක්‍රීම් කමු

Can

ආහාර අසුරන ‘කෑන්’ නම් වේ (people.com)

can යන වචනයේ වෙනස කියන්න ඔබට ‘පුළුවන්’ ද? ඔව්, ‘කැන්’ යනු පුළුවන් බව යි. (‘කෙසෙල් කැන්’ යනු ‘කෙසෙල්වලට පුළුවන්’ බව නොවේ!) ආහාරපාන දවටනයක් ගැන කියන විට එය ‘කෑන්’ ලෙස කියවනු ලැබේ. 

I can jump – කැන් – මට පනින්න පුළුවන්

Please open this can – කෑන් – මේ බෝතලය විවෘත කරන්න

I can open a can – මට බෝතලයක් විවෘත කරන්න පුළුවන්.

Close

රතු පැහැති close බොත්තම (newdesignfile.com)

close යන්න ශබ්ද නගන ආකාරය ඉතාම සමාන නමුත් භාවිතා වන ස්ථානය අනුව එය පහසුවෙන් වටහාගත හැකියි. දොරක් වසනවා යන අරුත දීම සඳහා මෙය ‘ක්ලෝඋ..zස්’ ලෙස ව් ශබ්දය මඳක් ඇද කිව යුතු යි. අවසන් ‘ස්’ හඬට Z හඬක් දිය යුතු යි. ‘ඉතා ආසන්න’ යන අරුත ලැබෙන්නේ ‘ක්ලෝස්’ ලෙස කෙටිව ශබ්ද කළ විට යි.

Close the door – kləʊz – දොර වසන්න

We are close friends – kləʊs – අපි ළඟම මිතුරෝ ය.

Moped

ගෙබිම පිරිසිදු කිරීමෙහි අතීත කාල පදය (nbcnews.com)

එදිනෙදා භාවිතා වන සහ කියවීමේදී සැලකිලිමත් විය යුතු තවත් වචනයක් වන්නේ mopped/moped යන්නයි. නිවසක පොළොව අපිරිසිදු වූ විට ජලයෙන් පිරිසිදු කිරීම ‘මොප් කිරීම’ ලෙස හඳුන්වන අතර එහි අතීත කාල වචනය mopped (මොප්ඩ්) යන්නයි. ‘මොපෙඩ්’ ලෙස හඳුන්වන්නේ එන්ජින් ධාරිතාව 50ට නොවැඩි සැහැල්ලු මෝටර් බයිසිකල්නුයි.

I mopped the house – මොප්ඩ් – මම ගෙබිම පිරිසිදු කළෙමි.

I ride a moped – මොපෙඩ් – මම මොපෙඩ් බයිසිකලයක් පදින්නෙක්මි.

Read

රීඩ් සහ රෙඩ් (kwiklearningonline.com)

නාම පදයක් ලෙස යමක/පුද්ගලයකුගේ මතුපිට පෙනුම අදහස් කරන ‘රීඩ්’ යන්න විධි ක්‍රියාවක් ලෙස භාවිතා වන විට ‘කියවන්න!’ යන්න අදහස් කරයි. මෙහි වෙනස ඇතිවන්නේ ක්‍රියා පදයක් ලෙස භාවිතා කරද්දී වාක්‍යයේ කාලය අනුව යි. අතීත කාල (past tense) සහ අතීත කෘදන්ත (past participle) යන දෙආකාරයම වර නඟන්නේ ‘රෙඩ්’ කියා යි.

Read the book – රීඩ් – පොත කියවන්න

I have read the book – රෙඩ් – මම පොත කියවූවෙමි.

එසේම, අකුරු වෙනස් වනවිට reed (රීඩ්) යනු ‘බටය’ යන අරුත දෙයි. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ reed switch නමින් හඳුන්වන නලාකාර ස්විචයක් ද වෙයි. එසේම, red (රෙඩ්) යනු රතු වර්ණය ද වෙයි. මේ සියල්ලම එක ලෙස හඬ නගතත්, කථනයේ දී අවස්ථානුකූලව අවබෝධ කටයුතු යි.

Record

අතීත ග්‍රැමෆෝන් තැටි මේ නමින් හැඳින්වූවා (grammy.com)

පටි සහ තැටි තාක්ෂණය අවසන්ව ගියත් තවමත් පටිගත කිරීම හෝ තැටිගත කිරීම යන වචන දෙකම භාවිතා වෙනවා. ඉංග්‍රීසි බසින් මෙම වචනය ‘රෙකෝඩ්’ ලෙස කියවූ විට එය නාම පදයක් බවට පත් වෙනවා. එවිට ඉන් අරුත් ගැන්වෙන්නේ ‘වාර්තාව’ (හෝ පටිගත කළ දේ) යන්න යි.

එහි ක්‍රියා පදය හෙවත් ‘පටිගත කිරීම’ යන්න අදහස් කළ යුතු විට record කියවිය යුත්තේ ‘රිකෝඩ්’ කියා යි.

Check the records – රෙකෝඩ් – වාර්තා පරීක්ෂා කරන්න

Record the conversation – රිකෝඩ් – කතාබහ පටිගත කරන්න

Content

“අන්තර්ගතයක්” “සෑහීමකට පත්වන සේ” සැකසිය යුතුයි (mailmunch.com)

ලතින් බසෙහි continere යන්නෙන් බිඳීවිත් ඉංග්‍රීසි contain යන්න හා මුසුවුණු Content යන යෙදුම අන්තර්ජාලය තුළ නිතර දකින්නට ලැබේ. බහුලව භාවිතා වන එම ‘කන්ටෙන්ට්’ යන නාමපදය කිසියම් දෙයක (පුවත්පත් ලිපියක / වීඩියෝවක) අන්තර්ගතය යන්න යි. 

තවත් නාම පදයක්, නාම විශේෂණයක් මෙන්ම ක්‍රියා පදයක් ලෙස භාවිතා වන අනෙක් ආකාරය “සෑහීමකට පත්වූ බව” යි. එය ‘කොන්ටෙන්ට්’ ලෙස වර නගනවා.

Table of contents – කන්ටෙන්ට් – පොතක අන්තර්ගතය (පටුන)

He seemed more content – කොන්ටෙන්ට් – ඔහු සතුටින් සිටින බව පෙනෙයි.

ලිපිය කියවා අවසන් නිසා ඔබට දැන් මෙලෙස කියන්න පුළුවන්: I was content with this article’s content (මම මේ ලිපියේ අන්තර්ගතයෙන් සෑහීමකට පත් වුණෙමි).

කවරය: webguymarketing.com

Related Articles