Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහම්බෙන් හමු වූ මිළ කළ නොහැකි පුරාවස්තු

විවිධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානවල විශාල මුදලක් සහ ශ්‍රමයක් වැය කරමින් කැණීම් සිදු කරන ආකාරය ඔබ දැක ඇති. ඊට හේතුව එවැනි ස්ථානවලින් හමුවන වටිනා දෑ සංරක්ෂණය කිරීමට ඇති අවශ්‍යතාව යි. එවැනි කැණීම් කිරීමේ දී ඒ පිළිබඳ පුළුල් දැනුමක් ඇති විශේෂඥයන් සහ තාක්ෂණික උපකරණ භාවිතය මෙන් ම විවිධ දීර්ඝකාලීන අධ්‍යයන සහ පරීක්ෂණ ද සිදු වේ.

 එවැනි කිසිදු අධ්‍යයනයක් හෝ පරීක්ෂණයකින් තොර ව, වටිනාකම මෙතෙකැයි කියා නිම නො කළහැකි සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉතා ඉහළ පුරාවස්තු හමු වූ අවස්ථා ද තිබේ. මෙම ලිපිය, කිසිවකුගේ මැදිහත් වීමකින් තොර ව අහම්බෙන් හමු වූ එවැනි පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන කිහිපයක් පිළිබඳව යි.

1. ලැස්කොක්ස් ගුහාව- ප්‍රංශය

1940 සැප්තැම්බර් මස දිනෙක නව යොවුන් වියේ පසු වූ තරුණයන් කිහිප දෙනෙක් ප්‍රංශයේ මොන්ටිග්නැක් ප්‍රදේශයේ පිහිටි වනාන්තරයක සැරිසරමින් සිටියහ. එක්වරම ඔවුන් රැගෙන ගිය සුරතල් බල්ලෙක් පොළොවේ තිබූ කුඩා කුහරයක් අසල ඉව කිරීමට පටන් ගත් අතර එය සෝදිසි කිරීමේ දී ඔවුන්ට විශාල භූගත ගුහාවක් හමු විය.

එහි බිත්ති පුරා සිතුවම් සහ කැටයම් 2,000ක් පමණ දක්නට ලැබිණි. විස්මයට පත් තරුණ පිරිස මුලින් ම මෙම ගුහාව පිළිබඳ ව තනිව ගවේෂණය කිරීමට කතිකා කරගත් නමුත් පසුව ඔවුහු ඒ පිළිබඳ සිය පාසල් ගුරුවරයාට දැනුම් දුන්හ.

ලැස්කොක්ස් ගුහාව ඇතුළත සිතුවම් – Lionel Bonaventure- AFP/ GGetty Images

ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සිදු කළ පර්යේෂණවල ප්‍රතිපලයක් වශයෙන් එහි ඇති සත්ත්ව චිත්‍ර සහ වියුක්ත සංකේත එකතුව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඒවා බව අනාවරණය විය. එහි ඇති සිතුවම් අවුරුදු 15,000-17,000 අතර ප්‍රමාණයක් පැරැණි බව මේ වන සොයා ගෙන තිබේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම ගුහාව අතීතයේ පැලියොලිතික් ජනයා අතර ආගමික හා දඩයම් චාරිත්‍ර ඉටු කිරීම සඳහා ප්‍රසිද්ධව තිබූ ස්ථානයක් බව යි.

2. ටෙරා කොටා හමුදාව- චීනය

1974 දී චීනයේ ගොවීන් පිරිසක් සිය වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා ළිඳක් කණිමින් සිටියහ. එහිදී එම ගොවීන්ගෙන් එක් අයකු සතු ව තිබූ සවලක් වැනි උපකරණයක් තරමක් දැඩි යමක වැදුණු අතර එම ස්ථානය පරික්ෂා කිරීමේ දී ඔවුන්ට හමු වූයේ ජීවමාන මිනිසකුගේ ප්‍රමාණයේ ප්‍රතිමාවකි. ඔවුන් මුලින් ම සිතුවේ එය බුද්ධ ප්‍රතිමාවක් විය හැකි බව යි. කෙසේ වෙතත් එම ස්ථානයේ කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයන්ට හමු වූයේ අදහාගත නොහැකි ආකාරයේ පුරාවස්තු තොගයකි.

ටෙරාකොටා හමුදාව – Zhang Peng/ LightRocket via Getty Images

එහි ජීවමාන ප්‍රමාණයේ සෙබළුන්ගේ ප්‍රතිමා, අශ්ව ප්‍රතිමා සහ අශ්ව කරත්තවල අනුරූ අන්තර්ගත විය. මෙහි තිබී හමු වූ මුළු ප්‍රතිමා සංඛ්‍යාව 8,000කට ආසන්න බව කියැවේ. චීනයේ ක්විං රාජවංශයේ පළමු අධිරාජ්‍යයා ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී මිය ගිය පසු ඔහුගේ දේහය එම ස්ථානයේ තැන්පත් කර ඇති අතර එහි ආරක්ෂාව සඳහා එම ප්‍රතිමා නිර්මාණය කළ බව පැවැසේ. මෙහි ඇති සෙබළුන්ගේ ප්‍රතිමාවල විශේෂත්වය වන්නේ ඒවායේ මුහුණු එකිනෙකට වෙනස් අංග ලක්ෂණ සහිත ව සකස් කර තිබීම යි.

3. ‘Venus de Milo’ ප්‍රතිමාව- ග්‍රීසිය

ලෝකයේ දැනට හමු වී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමා අතරින් ඉතා වැදගත් එකක් ලෙස සැලකෙන ‘Venus de Milo’ ප්‍රතිමාව ග්‍රීසියට අයත් දූපතක පොළොව යට සියවස් ගණනාවක් තිස්සේ සැඟ වී තිබිණි. 1820 වසරේ දිනෙක යෝර්ගෝස් කෙන්ට්‍රොටාස් නම් ගොවියෙක් මෙම දූපතේ තිබූ පැරැණි ගොඩනැඟිල්ලක නටබුන් අතරින් කිරිගරුඬ කොටස් කිහිපයක් ගලවා ගැනීමට උත්සහ කිරීමේ දී අඩක් පොළොවෙන් ඉහළට මතු වී තිබූ මෙම ප්‍රතිමාව හමු විය.

මෙම සොයා ගැනීම ඒ අසල පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි ප්‍රංශ නාවික නිලධාරියෙක් වූ ඔලිවියර් වෝටියර්ගේ අවධානයට ලක් විය. ඔහු කෙන්ට්‍රොටාස්ට මුදල් ගෙවා මෙම ප්‍රතිමාවේ ඉතිරි භාගය ද පොළොවෙන් මතුපිටට ගැනීමට කටයුතු කළේ ය.

‘Venus de Milo’ ප්‍රතිමාව – DEA G- Dagli Orti/ De Agostini- Getty Images

වෝටියර් එය ප්‍රංශයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුට අලෙවි කළ අතර 1821 දී එය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමට 18 වැනි ලුවී රජු කටයුතු කළේ ය. චිත්‍ර පිළිබඳ පර්යේෂණ කරන ඉතිහාසඥයන් පෙන්වා දී ඇත්තේ මෙම ප්‍රතිමාව ග්‍රීක දේවතාවියක වන ඇෆ්‍රොඩයිට් නිරූපණය කිරීම සඳහා නිර්මාණය කර ඇති එකක් බව යි. එය සොයාගන්නා අවස්ථාව වන විට එහි අත් දෙක බිඳී වෙන් වී තිබුණු අතර ඒවාට සිදු වූයේ කුමක්දැයි මේ වන තෙක් සොයාගෙන නැත.

4. රොසෙටා පාෂාණය

18 වන ශතවර්ෂයේ අගභාගයේ දී පමණ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් ඊජිප්තුව ආක්‍රමණය කළ අවස්ථාවේ එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෑ පිළිබඳ සෙවීමට සහ ඊජිප්තු ඉතිහාසය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් පත් කළේ ය.

1799 දී ‘Pierre-François Bouchard’ නම් ජෙනරාල්වරයකු මෙහෙය වූ ප්‍රංශ සොල්දාදුවන් කණ්ඩායමක්, ඉහත කී ඒකකයේ අනුදැනුම මත රොසෙටා නගරයේ පිහිටි බළකොටුවක් නවීකරණය කිරීම සඳහා එහි පුරාණ බිත්ති කඩා දමමින්  සිටියහ.

එම ඉදිකිරීම් අතරතුර යම්කිසි හඳුනා නොගත් භාෂාවකට අයත් අක්ෂරවලින් යමක් සටහන් කර ඇති ගල් පුවරුවක් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.

රොසෙටා පාෂාණය – Juan Naharro Gimenez- Getty Images

එම විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් පිරිස අදාළ පුවරුව පිළිබඳ කඩිනමින් පරීක්ෂණ සිදු කර එය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් එකක් බව අනාවරණය කර ගත්හ. එහි, ග්‍රීක, ඩිමොටික් සහ හයිරොග්ලිෆික්ස් යන පුරාණ භාෂා තුනෙන් ලියා ඇති ආඥාවකින් සටහන් කර ඇති බව සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.

ජීන්-ෆ්රැන්කොයිස් චැම්පොලියන් සහ තෝමස් යං යන අයගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පුවරුවේ සටහන් කර ඇති අක්ෂර පිළිබඳ ව පසුකාලීන ව දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදු කළ අතර එමඟින් එහි අන්තර්ගතය පිළිබඳ ව තරමක අවබෝධයක් ලබාගැනීමට හැකි වූ බව පැවැසේ.

5. ‘මළ මුහුදේ ලියවිලි’

වර්තමාන පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටා ඇති ජෙරිකෝ නගරයේ තිබී හමු වූ මෙම ලියවිලි බයිබලයේ පැරැණිත ම කොටසක් වන අතර ඒවා 20 වැනි සියවසේ සිදු වූ වඩාත් ම වැදගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් ලෙස සැලැකේ. මෙම සොයා ගැනීම 1947 දක්වා අතීතයට දිව යයි. 1947 වසරේ එක්තරා දිනෙක අරාබි ජාතික තරුණයන් කිහිප දෙනෙක් එළුවන් සහ බැටළුවන් රැලක් රැකබලා ගනිමින් සිටියහ.

එම තරුණයන් පිරිසෙන් එක් අයෙක් නැති වූ එළුවකු සොයන අතරතුර අසල තිබූ ගල්ගුහාවක් දෙසට ගල් කැටයක් විසි කළේ ය. එක්වර ම යම්කිසි බඳුනක් බිඳී යන හඬක් ඇසුණු බැවින් ඔහු ඒ දෙසට ඇවිද ගියේ ය. එහිදී ඔහුට දක්නට ලැබුනේ පැරැණි පැපිරස් ලියවිලි කිහිපයක් බහා තිබූ මැටි බඳුන් කිහිපයකි.

මළ මුහුදේ ලියවිලි – ඊශ්‍රායල කෞතුකාගාරයක් ඇතුළත/ Lior Mizrahi- Getty Images

එම ලියවිලිවල පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතරම්දැයි නොදත් මෙම තරුණයන් පිරිස එම ගල්ගුහාවේ තිබී හමු වූ ලියවිලි සියල්ල ඩොලර් 50කටත් අඩු මුදලකට එක්තරා පැරැණි භාණ්ඩ වෙළෙන්දකුට අලෙවි කළ බව කියැවේ. විශේෂඥයන් මෙම ලියවිලිවල ඇති වටිනාකම හෙළි කිරීමත් සමඟ මුලින් ම ඒවා හමු වූ ගල්ගුහාව අසල තිබූ වෙනත් ගල්ගුහාවලට ඇතුළු වූ විවිධ පුද්ගලයෝ තවත් එවැනි ම ලියවිලි දහස් ගණනක් සොයා ගත්හ.

කවරයේ ඡායාරූපය - චීනයේ ටෙරාකොටා හමුදාවට අයත් ප්‍රතිමා කිහිපයක් - www.viator.com

මූලාශ්‍ර:

www.history.com

Evan Andrews

www.bbc.com

Related Articles