Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉහළ – පහළ ගිය ලොව සුපිරි ධනවතුන්ගේ අලුත් ම ලැයිස්තුව

ව්‍යාපාර ලොව දැවැන්තයන් ගණනාවකගේ නම් සඳහන් වන ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුව පසුගිය දා නිකුත් විය. ඒ අනුව එම ලැයිස්තුවේ ඇති ව තිබෙන විවිධ වෙනස්කම් අනුව එහි ලැයිස්තුගත පුද්ගලයන්ගේ නම් ද ඉහළ පහළ ගොස් තිබේ.

පළමු ස්ථානයේ සිටි ඉලෝන් මස්ක් ලැයිස්තුවේ දෙවැනි තැනට

ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි ඉලෝන් මස්ක් 2022 දෙසැම්බර් මස දී එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් විය. ඉන් අනතුරු ව ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක් වන බර්නාඩ් ආනොල්ට්, මස්ක් අභිබවා ලොව ධනවත් ම පුද්ගලයා බවට පත් වීම පිළිබඳ ව විශාල කතාබහක් නිර්මාණය වී තිබිණි.

ඔවුන් දෙදෙනාට අමතර ව ව්‍යාපාර ලොව තවත් දැවැන්තයන් ගණනාවකගේ නම් සඳහන් වන ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම පසු වන, සිතාගත නොහැකි තරම් ධනස්කන්ධයකට හිමිකම් කියන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් පිළිබඳව මෙම ලිපියෙන් සොයා බලමු.

01. බර්නාඩ් ආනොල්ට්

ලොව විශාලත ම සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදන ජාලයේ හිමිකරු වන 73 හැවිරිදි බර්නාඩ් සතු ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 172.9 කි. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන බර්නාඩ් ගේ පියා ඉදිකිරීම් සමාගමක හිමිකරු විය. 1971 දී එම සමාගමේ ප්‍රධානියා ලෙස පත් වෙමින් බර්නාඩ් ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

1979 දී ඔහු එම සමාගම දේපළ වෙළෙඳාම් සමාගමක් බවට පත් කළේ ය. එතැන් පටන් ව්‍යපාර ගණනාවක් ආරම්භ කළ ඔහු තවත් සුප්‍රසිද්ධ ව්‍යාපාර කිහිපයකට කොටස්කරුවෙක් ද වශයෙන් සම්බන්ධ විය.

බර්නාඩ් ආනොල්ට් – www.wikipedia.org

ඔහු 1987 දී “Christian Dior” නම් සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමේ කොටස්කරුවෙක් ලෙස සම්බන්ධ විය. මේ වන විට ඔහු එම සමාගමේ කොටස්වලින් 97%ක හිමිකාරිත්වය දරන අතර, ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 132 කි. එම සමාගම නිෂ්පාදනය කරන භාණ්ඩ “Louis Vuitton”, “Hennessey”, “Marc Jacobs”, සහ “Sephora” යන සන්නාම යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. “Moelis & Company” නම් සමාගමේ ඩොලර් බිලියන 25ක් වටිනා කොටස් ද ඔහු මිල දී ගෙන තිබේ. ඔහු සතු අත්පිට මුදල් ප්‍රමාණය අමෙරිකා ඩොලර් බිලියන 15කි.

02. ඉලෝන් මස්ක්

මස්ක් මෑතක් වන තුරු ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු විය. එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත් වන ව්‍යාපාරිකයෙක් වන ඔහු සතු ශුද්ධ වත්කම ඩොලර් බිලියන 168.5කි. ඔහු කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයට ඇතුළු විය. ඔහු එම විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියක් ලබා ගත්තේ ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අතරතුර විවිධ මෘදුකාංග සංවර්ධනය කිරීමේ කටයුතුවලට මස්ක් සම්බන්ධ විය. 2003 දී ආරම්භ වූ ටෙස්ලා මෝටර් රථ සමාගමේ ආරම්භකයකු වන ඔහු සතු ටෙස්ලා සමාගමේ කොටස්වල වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 63.6කි. වාහන අමතර කොටස් නිෂ්පාදනය, සූර්ය බලශක්තිය සහ අභ්‍යවකාශ ගවේෂණය වැනි තවත් ක්ෂේත්‍ර හා සම්බන්ධ සමාගම් කිහිපයක හිමිකාරිත්වය දරන මස්ක් සතු එම සමාගම්වලට අදාළ වත්කම් අමෙරිකා ඩොලර් බිලියන 50ක් පමණ වේ.

ඉලෝන් මස්ක් – www.britanica.com

2020 දී ටෙස්ලා සමාගමේ කොටස්වල වටිනාකම 740%කින් ඉහළ යාමත් සමඟ මස්ක් ලොව ධනවතුන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියේ ය. 2021 ජනවාරි මස ලොව ධනවත් ම පුද්ගලයා බවට පත් වූ ඔහු 2022 දෙසැම්බර් දක්වා එම ස්ථානයේ රැඳී සිටියේ ය. 2022 අප්‍රේල් සිට ඔහු ට්විටර් සමාගම මිල දී ගැනීම සඳහා උත්සහ කළේය. ඒ සඳහා ඔහුට අවශ්‍ය වූ මුදල අමෙරිකා ඩොලර් බිලියන 44කි.

ඉන් ඩොලර් බිලියන 21ක් සිය පුද්ගලික ධනයෙන් වැය කළ ඔහු තවත් අමෙරිකා ඩොලර් බිලියන 8.5ක් උපයා ගැනීම සඳහා ටෙස්ලා සමාගමේ කොටස් මිලියන 9.6ක් අලෙවි කළේ ය. 2022 ජූලි ට්විටර් සමාගම මිල දී ගැනීම අත්හැරීමට ඔහු උත්සාහ කළ අවස්ථාවේ ට්විටර් සමාගම ඔහුට එරෙහි ව නඩු පැවරීමට කටයුතු කළේ ය. ඔහු ට්විටර් සමාගමට විරුද්ධ ව පෙරළා නඩුවක් ගොනු කළේ ය. අවසානයේ සිය තීරණය වෙනස් කළ ඔහු 2022 ඔක්තෝබර් අමෙරිකා ඩොලර් බිලියන 44ක් ගෙවා ට්විටර් සමාගම මිල දී ගැනීමත් සමඟ එහි කොටස්වලින් 80%ක හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරී බවට පත් විය.

03. ගෞතම් අදානි

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන 60 හැවිරිදි අදානි සතු වත්කම අමෙරිකා ඩොලර් බිලියන 125කි. ඔහු අධ්‍යාපනය අතරමඟ නවතා දියමන්ති අලෙවි කිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙමින් ව්‍යාපාර ලෝකයට පිවිසියේ ය. ඔහු 1988 දී භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීමේ විශාල ව්‍යාපාරයක් ආරම්භ කළේ ය.

ඔහුට 1994 දී ඉන්දියාවේ මුන්ද්‍රා වරාය සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබිණි. ඔහු කෙටි කලක් තුළ එහි සංවර්ධන කටයුතු අවසන් කළ අතර, මේ වන විට එය ඉන්දියාවේ විශාලත ම පුද්ගලික වරාය ලෙස ක්‍රියාත්මක වේ.

ගෞතම් අදානි – www.forbes.com

මේ වන විට අදානි එන්ටර්ප්‍රයිසස්, අදානි බලශක්ති, අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපය, අදානි හරිත බලශක්ති සහ අදානි ගෑස් වැනි සමාගම් ගණනාවක හිමිකාරිත්වය දරන අදානි ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ද ආයෝජනය කර ඇත. 2020 දී ඔහු මුම්බායි චාත්‍රපති ශිවාජි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කොටස්වලින් 74%ක් මිල දී ගත්තේ ය. ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානි අභිබවා ගිය අදානි 2022 මාර්තු මස ආසියාවේ ධනවත් ම පුද්ගලයා බවට පත් විය. ඔහු තවත් රටවල් ගණනාවක ද ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

04. බිල් ගේට්ස්

එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ජීවත් වන ගේට්ස් සතු ශුද්ධ වත්කම අමෙරිකා ඩොලර් බිලියන 115කි. ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අවධියේ සිය පාසල් මිතුරෙක් වූ පෝල් ඇලන් සමග මෘදුකාංග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය ඉතා කෙටි කාලයක දී බොහෝ සෙයින් සාර්ථක වූ බැවින් ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමඟ නවත්වා දීර්ඝකාලීන ව මෘදුකාංග නිෂ්පාදනය කිරීමට තීරණය කළේ ය. 1975 දී ඔහු ඇලන් සමඟ එක්ව, මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කළේ ය.

බිල් ගේට්ස් – www.businessinsider.com

ලොව විශාලත ම මෘදුකාංග සමාගම වන මයික්‍රොසොෆ්ට්, පුද්ගලික පරිගණක නිෂ්පාදනය, විද්‍යුත් තැපැල් සේවා සැපයීම, වීඩියෝ ක්‍රීඩා පද්ධති නිෂ්පාදනය සහ උපාංග අලෙවි කිරීම සිදු කරයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඔහු 2008 දී එම තනතුරින් ඉවත් විය. ඉන් අනතුරු ව මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු 2020 දී එම තනතුරින් ද ඉවත් විය. ඔහු සතු වත්කම්වලින් වැඩි කොටසක් කැස්කැඩ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමට අදාළ ඒවා වේ. එය දුම්රිය සේවා සැපයීම සහ දේපල වෙළෙඳාම පදනම් කරගත් ව්‍යාපාරයකි.

05. ජෙෆ් බෙසෝස්

සුප්‍රසිද්ධ “Amazon” සමාගමේ ආරම්භකයා වන බෙසෝස් වොෂින්ටන් නගරයේ ජීවත් වේ. ඔහු සතු ශුද්ධ වත්කම අමෙරිකා ඩොලර් බිලියන 114ක් ලෙස ගණන් බලා තිබේ. 1994 දී ඔහු රැකියාවෙන් ඉල්ලා අස් වී සියැටල්හි ගරාජයක Amazon.com ආරම්භ කළේ ය. ඔහු මාර්ගගත ක්‍රමය ඔස්සේ පොත් අලෙවි කළ හැකි වේදිකාවක් සකස් කිරීම පිළිබඳ ව පෙර සේවය කළ සමාගමේ ප්‍රධානියාට යෝජනා කළ නමුත් ඔහු (ප්‍රධානියා) ඒ පිළිබඳව උනන්දුවක් දක්වා නැත.

බෙසෝස් “Amazon” සමාගමේ කොටස්වලින් 16%ක හිමිකාරිත්වය දැරුවේ ය. ඔහු හිටපු බිරියගෙන් දික්කසාද වන අවස්ථාවේ ඉන් 4%ක් ඇයට පැවරීමට සිදු විය. මේ වන විට ඔහුට එම සමාගමේ හිමි කොටස් ප්‍රමාණය 10%ක් වන අතර ඒවායේ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 89.9කි.

ජෙෆ් බෙසෝස්/ www.amazon.com

කොවිඩ්-19 වසංගතය සමග බොහෝ දෙනෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ මිල දී ගැනීමට පෙළඹීමත් සමග මිනිසාට එදිනෙදා අවශ්‍ය භාණ්ඩවලින් බොහොමයක් “Amazon” හරහා අලෙවි කිරීමට ඔහු කටයුතු කළේය. 2020 දී එම සමාගමේ කොටස්වල වටිනාකම 76%කින් ඉහළ ගියේය. ඒ සමගම ඔහු ධනවතුන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියේය. ආරම්භයේ සිට 2021 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ බෙසෝස් 2021 ජූලි 5 දින එම තනතුරින් ඉල්ලා අස් විය. ඔහු අභ්‍යවකාශ නිෂ්පාදකයෙකු සහ උප කක්ෂික අභ්‍යවකාශ පියාසර සේවා සමාගමක් වන “Blue Origin” සහ “Washington Post” මාධ්‍ය ආයතනයේ කොටස් හිමිකාරිත්වය ද දරයි. එම කොටස්වල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 9.15ක් සහ මිලියන 250කි. ඔහු සතු අත්පිට මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 14.5ක් ලෙස ගණන් බලා තිබේ.

06. වොරන් බෆෙට්

2022 දෙසැම්බර් වන විට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ හයවැනි ස්ථානයේ පසු වන බෆෙට් සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 108කි. මේ වන විට ජීවතුන් අතර සිටින වයස්ගත ම ආයෝජකයා ලෙස සැලකෙන ඔහු වයස අවුරුදු 14 දී පළමු වරට ව්‍යාපාරයක ආයෝජනය කර ඇත.

ඔහු 1962 දී සුප්‍රකට රෙදිපිළි සමාගමක් වන “Berkshire Hathaway” හි කොටස් මිල දී ගත් අතර, 1965 වන විට එහි බහුතර කොටස් හිමිකරු බවට පත් විය. ඒ වන විට රෙදිපිළි වෙළෙඳාමට පමණක් සීමා වූ එම සමාගම ඔහු රක්ෂණ සහ වෙනත් ක්ෂේත්‍රයන්ට පුළුල් කිරීමත් සමඟ එහි ආදායම විශාල ලෙස ඉහළ ගියේ ය.

වොරන් බෆට් – www.wikipedia.org

බෆෙට් සතු අත්පිට මුදල් ප්‍රමාණය අමෙරිකා ඩොලර් බිලියන 10කි. ඔහු සිය ධනයෙන් වැඩි කොටසක් විවිධ සමාජ සුබසාදන වැඩසටහන් වෙනුවෙන් කැප කර ඇත. ඔහු මෑතකදී එක්සත් ජනපදය මූලික කරගෙන ක්‍රියාත්මක වන සුබසාධන ආයතනයක් වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමට ඩොලර් බිලියන 41ක් පරිත්‍යාග කළේය.

ඔහු සිය දරුවන් ක්‍රියාත්මක කරන විවිධ සුබසාධන ව්‍යාපෘති වෙනුවෙන් ද විශාල වශයෙන් මූල්‍යමය පරිත්‍යාග සිදු කර ඇත. මේ වන විට 92 හැවිරිදි වියේ පස් වන ඔහු තවමත් “Berkshire Hathaway” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කිරීම සුවිශේෂී කරුණකි.

07. ලැරී එලිසන්

ලෝරන්ස් ජෝශප් එලිසන්, එසේත් නැත්නම් ලැරී එලිසන් එක්සත් ජනපදයේ උපත ලැබූ අතර මේ වන විට හවායි දූපතේ ජීවත් වේ. ඔහු කුඩා කල පියා ඔහුගේ මව හැර ගියේ ය. 1966 දී චිකාගෝ විශ්වවිද්‍යාලයේ හදාරමින් සිටි උපාධි පාඨමාලාව අතරමඟ හැර ගිය ඔහු කැලිෆෝනියා ප්‍රාන්තයට ගොස් පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත විය.

1971 දී ලැරී “Ampex” සමාගමට සම්බන්ධ විය. වසර තුනකට පසු, එනම් 1974 දී එම සමාගමෙන් ඉල්ලා අස් වූ ඔහු “Precision Instruments” නම් සමාගමට සම්බන්ධ විය. ලැරී එම සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන උප සභාපති ලෙස කටයුතු කළේ ය.

ලැරී එලිසන් – www.USAtoday.com

ලැරී 1977 දී එලිසන් ඕට්ස් සහ බොබ් මයිනර් සමඟ එක්ව මෘදුකාංග සංවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. වසර දෙකකට පසුව, එම සමාගම Oracle දත්ත පද්ධතිය නිර්මාණය කළේ ය. මේ වන විට ලොව විශාලත ම මෘදුකාංග සමාගම්වලින් එකක් වන Oracle සමාගම ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පරිගණක සේවා සපය යි.

ආරම්භයේ පටන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ එලිසන් 2014 දී එම තනතුරින් ඉල්ලා අස් විය. 2018 දී ටෙස්ලා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වූ ඔහු 2022 ජූනි ඉන් ඉවත් විය. මේ වන විට සමාගම් ගණනාවක කොටස් හිමිකාරිත්වය දරන එලිසන් සතු ශුද්ධ වත්කම්වල වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 93.7කි.

08. මුකේෂ් අම්බානි

ලොව විශාලත ම තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරවලින් එකක් වන “Reliance Industries” හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන අම්බානි ඉන්දියානු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පියා වූ ධිරුබායි අම්බානි රෙදිපිළි ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ “Reliance Industries” හි හිමිකරු බවට පත් වූ මුකේෂ් අම්බානි එම ව්‍යාපාරය වඩාත් පුළුල් කළේ ය.

එය මේ වන විට තෙල් සහ ගෑස් පිරිපහදු කටයුතු, මාධ්‍ය හා දුරකතන සේවා සැපයීම සම්බන්ධ ව්‍යාපාර ගණනාවක එකතුවක් ලෙස ක්‍රියාත්මක වේ.

මුකේෂ් අම්බානි – www.cnn.com

අමෙරිකා ඩොලර් බිලියන 89.6ක වත්කම්වලට හිමිකම් කියන අම්බානිගේ වත්කම්වලින් හරි අඩක් පමණ “Reliance Industries” ව්‍යාපාරය හා සම්බන්ධ ඒවා වේ. ඔහුට අයත් මුම්බායි නගරයේ පිහිටි “Antilia” නමින් හඳුන්වන නිවසේ වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 410කි. ඔහුට “මුම්බායි ඉන්දියන්ස්” ක්‍රිකට් කණ්ඩායම මිල දී ගැනීමත් සමඟ ක්‍රීඩා ක්ෂේත්‍රයට ද අවතීර්ණ විය. 2016 දී ඔහු ඉන්දියාව පුරා විසිරුණු ජංගම  දුරකථන ජාලයක හිමිකාරිත්වය ද ලබා ගත්තේ ය.

කවරයේ ඡායාරූපය - බර්නාඩ් ආනොල්ට් සහ ඉලෝන් මස්ක්ට අමතර ව ව්‍යාපාර ලොව දැවැන්තයන් ගණනාවකගේ නම් සඳහන් වන ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවයි මේ - www.businesstoday.in
මූලාශ්‍ර :
www.investopedia.com
www.ceoworld.biz
www.forbes.com
www.dw.com

Related Articles