අතීත ග්‍රීක ගොඩනැගිලි

ග්‍රීසිය කියන්නේ ලෝකයට ගොඩාක් දේවල් අතීතයේ දායාද කරපු රටක්. මේ ලෝක ප්‍රසිද්ධ ග්‍රීක් ගොඩනැගිලි නිර්මාණ කිහිපයක් පිළිබඳව කෙටි සටහනක්

“පර්තනොන්” (Parthenon)

nationalgeographic.com

ක්‍රි.පූ. 5 කාලය සැළකෙන්නේ පුරාතන ග්‍රීසියේ ස්වර්ණමය සමයක් ලෙසයි. එකල නිර්මාණය වෙන මෙම “පර්තනොන්” කිරිගරුඬ දේවාලය ග්‍රීසියේ අතීත ගොඩනැගිලි අතර ජනප්‍රියතාව ඉහළින්ම දිනාගත් ගොඩනැගිල්ලක්. මෙම ගොඩනැගිල්ල ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටා තිබෙනවා. ක්‍රි.පූ. 5 වන සියවසේ ග්‍රීසියේ පාලනය කළ පේරික්ලීස් (Pericles) විසින් මෙය ඇතැන්ස් හි ආරක්ෂණ දෙවඟන වූ “ඇතෙනා” වෙනුවෙන් නිර්මාණය කර තිබුණා. “ඇතෙනා” දෙවඟන ග්‍රීසිය තුල සැලකෙන්නේ දැනුමට, කලාවට, සාහිත්‍යට හා යුද්ධයට අධිපති දෙවඟනක ලෙසයි. මෙම ගොඩනැගිල්ල ක්‍රි.පූ. 480 පමණ ඉදිකිරීම් ආරම්භ කරන්න ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරනවා. ගණනය කිරීම්වලට අනුව මෙම දේවාලය නිර්මාණය කිරීම වෙනුවෙන් ගල් 13,400ක් පමණ භාවිතා කර තිබෙනවා.

එරෙක්තහයන් (Erechtheion)

wikimedia.org

මෙයත් අතීත ග්‍රීක දේවස්ථානයක්. මෙය ක්‍රි.පූ. 421-406 අතර දක්වා කාලය තුල නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙනවා. මෙයත් ඇතැන්ස් නුවර ඉදිකර තිබෙනවා. මෙය නිර්මාණය වුණේ ක්‍රි.පූ. 427- 480 දක්වා කාලය තුල පර්සියානු ආක්‍රමණවලින් විනාශ වූ ග්‍රීක ගොඩනැගිලි නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් යටතේයි. මෙම ගොඩනැගිල්ල තරමක් අසාමාන්‍ය හා සංකීර්ණ හැඩයක් ගනු ලබනවා. එමෙන්ම මෙම නිර්මාණය ගොඩ නගා තිබෙන භූමියත් සැලකෙන්නේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් භූමියක් ලෙසයි. ග්‍රීසියේ විසූ කේක්රෝප්ස් (Kekrops) හෙවත් ඇතැන්ස් නගරය නිර්මාණය කරන ලද රජතුමාගේ හා එරෙක්තියුම් යන ග්‍රීක අතීත පුරාවෘත්තයන් හී සඳහන් ඇතැන්ස් හි රජ කෙනෙකු හා පොසිඩන් දෙවියන් ලෙස සමහරක් ස්ථානවල ප්‍රකාශ කෙරෙන තැනැත්තාගේ සිරුරු භූමිදානය කර ඇති නිසායි. මෙම නිර්මාණයත් කිරිගරුඬවලින් නිර්මාණය කර තිබෙනවා.

සියුස් දේවාලය (The Temple of Zeus)

wikimedia.org

සියුස් දෙවියන් වෙනුවෙන් කැපකර තිබෙන මෙම අතීත ග්‍රීක දේවාලය ග්‍රීසියේ ඇතැන්ස් හි පිහිටා තිබෙනවා. මෙම නිර්මාණය කර තිබෙන්නේ ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුවයි. ක්‍රි.පූ. 470 පමණ මෙහි නිර්මාණ කටයුතු ආරම්භ වූ අතර ක්‍රි.පූ. 456 පමණ වනවිට එහි වැඩ අවසන් වී තිබුණා. මෙම නිර්මාණයේ ගෘහ නිර්මාණකරුවා වුනේ ලිබෝන්. නමුත් මේ නිර්මාණයේ මූර්ති ශිල්පියා ගෙන නම් සඳහන් වෙන්නේ නෑ. එක පැත්තක කුළුණු 13 බැගින් මෙම ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන අතර ඉන් එකක් මීටර 10.43ක උසකින් හා පාදමේ මීටර 2.25ක පමණ විෂ්කම්භයකින් යුතුයි. මෙම ගොඩනැගිල්ල ක්‍රි.පූ. 426 පමණ තියෝඩිසියස් නම් නැගෙනහිර රෝම අධිරාජ්‍යයා විසින් ගිනි තබා විනාශ කරනු ලැබුවා. එයින් විශාල ලෙස හානි වූ මෙම ගොඩනැගිල්ල ක්‍රි.පූ. 551/552 සිදු වූ භූ කම්පන වලින් පසුව සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් අදත් එහි නටඹුන් නම් දැක ගත හැකි වෙනවා.

පැනාතනෙයික් (Panathenaic)

asksports.gr

වසර 2500කට පමණ පෙර ග්‍රීසියේ තැනුණ මේ ක්‍රීඩාංගණය අදටත් ක්‍රීඩා උත්සව වෙනුවෙන් භාවිතයට ගැනෙන ලොව පැරණිතම ක්‍රීඩාංගනය ද වෙනවා. පළමු නූතන ඔලිම්පික් උළෙල වර්ෂ 1896 දී මෙහි පවත්වා තිබෙනවා. මෙම ක්‍රීඩාංගනයේ පළමුවරට ක්‍රීඩා උළෙලක් පවත්වා තිබෙන්නේ ක්‍රි.පූ. 6 වන සියවස පමණ කාලයේදීයි. එකල මෙහි ප්‍රේක්ෂකයන් 50,000කට පමණ පහසුකම් තිබී තිබෙන අතර කිරිගරුඩ යොදා ආසන නිමවා තිබුණා. නමුත් ග්‍රීසියේ සාම්ප්‍රදායික ජනාවාස බිඳ වැටීමත් සමඟම මෙම ක්‍රීඩාංගනය නැවත 19 සියවසේ යළි අනාවරණය කරගන්නා තෙක් ක්‍රමයෙන් අබලන් වෙමින් පැවතුණා. අතීත ග්‍රීසියේ ක්‍රීඩා උත්සව ආගම් හා බැඳී තිබුණා. එමෙන්ම ඒවා බොහෝ විට පැවැත්වුණේද ආගමික අතින් වැදගත් වූ ස්ථාන ආශ්‍රිතවයි. එම ක්‍රීඩා උත්සව වසර දෙකකට හෝ හතරකට වතාවක්, වසර සිය ගණනක් පුරා පැවැත්වනු ඒවායි. එමෙන්ම ඒවා විශේෂයෙන්ම දේවතාවන් හා උප දේවතාවන් වූ ඔලිම්පියා හි සියුස්, ඩේල්පි හී ඇපලෝ, ඉසත්මියා හී පොසෙයිඩන්, නෙමෙයා හී ඔප්හෙල්ට්ස් යන ඇයගේ ගෞරව වෙනුවෙන් සංවිධානය වී තිබුණා.

කවරයේ රූපය : policygenius-blog.imgix.net

Related Articles

Exit mobile version